Skip to content

පටුනට යන්න

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

“කුරුසය ක්‍රිස්තියානි ආගම්වල ප්‍රධාන සංකේතයයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. ඇත්තෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නා සෑම ආගමකම පාහේ කුරුසයට විශේෂ තැනක් හිමි වී තිබෙනවා. බොහෝ චිත්‍ර හා මූර්තිවල පවා පෙන්වා තිබෙන්නේ යේසුස්ව කුරුසයක ඇණ ගසා තිබෙන ආකාරයයි. නමුත් ඇත්තටම යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයක් මතද?

බොහෝ අය එම ප්‍රශ්නයට ඔව් කියා පිළිතුරු දිය හැකියි. ඊට හේතුව ඇතැම් බයිබල් පරිවර්තනවල යේසුස් කුරුසයක් මත මිය ගියා කියා සඳහන්ව තිබීමයි. උදාහරණයකට යේසුස්ව ඇණ ගසා තිබූ අවස්ථාවේ ඇතැම් අය ඔහුට සමච්චල් කරමින් හැකි නම් “කුරුසියෙන් බසින්නැයි” කියා පැවසූ බව පැරණි අනුවාදයේ සඳහන් වෙනවා. (මතෙව් 27:40, 42) එමෙන්ම සිරේනිය නම් නුවරේ උපන් සීමොන්ට “උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න” හේවායන් බල කළ බව නව අනුවාදයේ සඳහන් වෙනවා. (මාක් 15:21) එම බයිබල් ඡේද දෙකේම “කුරුසිය” ලෙස සිංහලෙන් පරිවර්තනය කර තිබෙන්නේ ස්ටාව්රොස් නමැති ග්‍රීක වචනයයි. එම ග්‍රීක වචනය කුරුසය ලෙස පරිවර්තනය කිරීම නිවැරදිද? එම ග්‍රීක වචනයේ සැබෑ අර්ථය කුමක්ද?

සැබෑ අර්ථය කුමක්ද?

ස්ටාව්රොස් යන වචනයේ අර්ථය ගැන ග්‍රීක විශාරදයෙක් වන ඩබ්ලිව්. ඊ. වයින් පැවසුවේ මෙයයි. “ස්ටාව්රොස් යන වචනය භාවිත කර තිබෙන්නේ අපරාධකරුවන්ව එල්ලා මරා දැමීමට භාවිත කළ කණුවක් විස්තර කිරීමටයි. මුලින් එම වචනය භාවිත කර තිබෙන ආකාරය ගැන සලකා බලන විට කෙළින් සිටවූ කණුවක් හරහා තවත් කණුවක් බැඳ තිබූ බව අදහස් වන්නේ නැහැ.”

එක් ශබ්දකෝෂයකට අනුව ස්ටාව්රොස් යන වචනයෙන් අදහස් වන්නේ “යම් දෙයක් එල්ලිය හැකි, බිම සිටුවා තිබෙන කෙළින් තියෙන කණුවක්.” එමෙන්ම ක්‍රොස් (cross) නමැති ඉංග්‍රීසි වචනය සෑදී තිබෙන කෘක්ස් යන ලතින් වචනය ගැනත් එම ශබ්දකෝෂයේ මෙසේ සඳහන් වෙනවා. “එදා සිටි රෝම ජාතිකයන් කෘක්ස් යන වචනය යොදාගත්තේ කෙළින් සිටවූ කණුවක් විස්තර කිරීමට මිස කුරුසයක් විස්තර කිරීමට නොවෙයි.” (The Imperial Bible-Dictionary) ඒ අනුව බලන විට කතෝලික විශ්වකෝෂයේ මෙසේ සඳහන් වී තිබීම ගැන පුදුම විය යුතු නැහැ. “කුරුසය ලෙස අද බොහෝදෙනා හඳුන්වන දෙය ආරම්භයේදී ඇත්තටම තිබුණේ කෙළින් සිටවූ කණුවක් ලෙස මිස කුරුසයේ හැඩයෙන් නොවෙයි.”—The Catholic Encyclopedia.

යේසුස්ව මරණයට පත් කිරීම සඳහා යොදාගත් දේ විස්තර කිරීමට බයිබල් ලේඛකයන් ක්සිලොන් යන ග්‍රීක වචනයද යොදාගෙන තිබෙනවා. එක් පොතක එම වචනයේ අර්ථය විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “ක්සිලොන් යන ග්‍රීක වචනයෙන් ලීයක් හෝ ලී කණුවක් යන්න අදහස් වෙනවා. අතීතයේ සිටි රෝමවරුන් මරණයට නියම වූ අයව ඇණ ගැසුවේ එවැනි කෙළින් සිටවූ කණුවකයි.”—A Critical Lexicon and Concordance to the English and Greek New Testament.

ඒ නිසා ඇතැම් බයිබල් පරිවර්තකයන් ක්සිලොන් යන වචනය “ගස” ලෙස යොදා තිබෙනවා. උදාහරණයකට පැරණි අනුවාදයේ සඳහන් මේ දෙය සලකා බලන්න. “නුඹලා විසින් ගසක [ක්සිලොන්] එල්ලා මැරුවාවූ යේසුස්වහන්සේව අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැඟිටෙවූසේක.” (ක්‍රියා 5:30) එමෙන්ම පැරණි අනුවාදයේ තවත් පදයක මෙසේද සඳහන් වී තිබෙනවා. “උන්වහන්සේ ගැන ලියා තිබෙන සියල්ල ඔවුන් සම්පූර්ණ කළ විට, ගසෙන් [ක්සිලොන්] උන්වහන්සේව බාගෙන, සොහොන්ගෙයක තැබුවෝය.”—ක්‍රියා 13:29.

ස්ටාව්රොස් සහ ක්සිලොන් යන ග්‍රීක වචන දෙකේ මූලික අර්ථ ගැන කලින් උපුටා දැක්වූ පොතේ මෙවැනි අදහසක් සඳහන් වී තිබෙනවා. “අද බොහෝ පින්තූරවල යේසුස්ව කුරුසයක් මත එල්ලා තැබූ බව පෙන්වා තිබුණත් ඒ ග්‍රීක වචන දෙකේ කුරුසය යන අදහස ගැබ් වී නැහැ.” (Critical Lexicon and Concordance) බයිබල් ලේඛකයන් ස්ටාව්රොස් යන වචනය යොදාගත්තේ කුරුසයක් විස්තර කිරීමට නොවෙයි. ඒ නිසා යේසුස් “කුරුසයක්” මත මිය ගියා කියා සඳහන් කර තිබීම නිවැරදියි කියා පැවසිය නොහැකියි. ඒ අනුව බලන විට ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය නමැති සිංහල බයිබලයේ කුරුසය වෙනුවට “වධකණුව” යන වචනය යොදා තිබීම ඉතා නිවැරදියි. (මතෙව් 27:40-42) වෙනත් බයිබල් පරිවර්තනයකත් ස්ටාව්රොස් යන වචනය “මරණීය කණුව” ලෙස දක්වා තිබෙනවා.—Complete Jewish Bible.

කුරුසයේ සුලමුල

යේසුස් කුරුසයක් මත මිය ගිය බව මුල් බයිබල් පිටපත්වල සඳහන් වී නැත්නම් කතෝලික, රෙපරමාදු සහ ඕතඩොක්ස් ආගම්වලට අයිති අය කුරුසය ඔවුන්ගේ ආගමික සංකේතය ලෙස යොදාගන්නේ ඇයි? කුරුසය එතරම් ජනප්‍රිය ආගමික සංකේතයක් බවට පත් වුණේ කෙසේද?

ඊට හේතුව වන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා අයට අමතරව මිථ්‍යා ආගම්වලට අයිති අයත් ඈත අතීතයේ සිටම කුරුස ලකුණට ගරුබුහුමන් කිරීමයි. විවිධ හැඩතලවලින් යුත් කුරුස ඈත අතීතයේ සිටි මිනිසුන් භාවිත කළ බවට විවිධ පොත් පත්වල සඳහන් වෙනවා. උදාහරණයකට විවිධ දෙවි දේවතාවන් “T” අක්ෂරයේ හැඩයෙන් යුත් අණ්ඩක් සහිත කුරුසයක් අතැතිව සිටින ආකාරය ඊජිප්තුවේ තිබෙන පැරණි රූපාක්ෂරවල පෙන්වා තිබෙනවා. බොහෝ අය සිතන්නේ එම කුරුසයෙන් ජීවිතය සංකේතවත් කරන බවයි. ඊජිප්තුවේ ඇතැම් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල අදටත් කුරුසය හැටියට යොදාගන්නේ එයයි.

කතෝලික විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙනවා. ‘පෙනෙන ආකාරයට කුරුස අතරින් පැරණිතම කුරුස වර්ගය ලෙස හඳුන්වනු ලබන්නේ ස්වස්තික නම් කුරුස වර්ගයයි. එය ඉන්දියාවේ වෙසෙන හින්දු බැතිමතුන් සහ ආසියාවේ වෙසෙන බෞද්ධ බැතිමතුන් අතර වඩාත් ප්‍රසිද්ධයි. එමෙන්ම එම ප්‍රදේශවලට අයත් විවිධ සැරසිලි සහ විසිතුරු භාණ්ඩවලත් එය දැකිය හැකියි.’

කුරුස සංකේතය ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල සංකේතයක් බවට පත් වුණේ කුමන කාලයේද කියා නිශ්චිතවම පැවසිය නොහැකියි. කොහොමවුණත් එක් ශබ්දකෝෂයක ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තු වර්ෂ දෙසීය ගණන්වල මැදභාගය වන විට ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි ඇතැම් සත්‍යය ඉගැන්වීම්වලින් බැහැර වී සිටියා. අන්‍ය ආගමිකයන්ව තම ආගමට බඳවාගෙන අණසක පැතිරවීමේ අදහසින් ඔවුන් ඇතැම් මිථ්‍යා ආගමික සංකේත හා විශ්වාසයන් ක්‍රිස්තියානි ආගමට එකතු කරගැනීමට කැමති වුණා.” කුරුස ලකුණ ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට ඇතුල් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.—Expository Dictionary of New Testament Words.

ක්‍රිස්තු වර්ෂ 312දී හිරු දෙවියාට නමස්කාර කළ කොන්ස්ටන්ටයින් නම් රෝම අධිරාජ්‍යයා යුද්ධයකට යන අතරේ දර්ශනයක් දුටු බවට පැවසෙනවා. ඔහු දුටුවේ සූර්යයා ඉදිරියේ කුරුසයක් තිබෙන ආකාරයයි. එහි ලතින් භාෂාවෙන් “ඔබට ජයග්‍රහණය ලැබෙන්නේ මේ සංකේතයෙන්” කියා සඳහන් වී තිබුණා. ඒ සිද්ධියෙන් පසු ඔහු එම කුරුස ලකුණ කොඩිවලටත් සොල්දාදුවන්ගේ පලිස්වලටත් යුද්ධායුධ කට්ටලයටත් ඇතුළත් කළ බව පැවසෙනවා. (වම් පැත්තේ ඇති පින්තූරය බලන්න.) එසේ කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගම අදහන්න පටන්ගත්තත් ඔහු ක්‍රිස්තියානියෙක් හැටියට බව්තීස්ම වුණේ මරණාසන්නව සිටි කාලයෙයි. කොහොමවුණත් කොන්ස්ටන්ටයින්ගේ ක්‍රියාකලාපය ගැන එක් පොතක මෙවැනි අදහසක් පළ වී තිබෙනවා. ‘කොන්ස්ටන්ටයින් යේසුස්ගේ ඉගැන්වීම් අනුව ජීවත් වෙනවා වෙනුවට මිථ්‍යා ආගම් ඇදහූ අයව ක්‍රිස්තියානි ආගමට ඈඳාගැනීම සඳහා ක්‍රිස්තියානි ඉගැන්වීම් වෙනස් කළා.’—The Non-Christian Cross.

එදා පටන් මේ දක්වා විවිධ හැඩතලවලින් යුත් කුරුස ගණනාවක් මිනිසුන් භාවිත කර තිබෙනවා. ඒ ගැන එක් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “සාන්ත අන්තෝනි කුරුසය ‘T’ අක්ෂරයේ හැඩයෙන් යුත් එකක්. සමහර අය විශ්වාස කරන්නේ එම හැඩයෙන් යුත් කුරුසය බිහි වී තිබෙන්නේ බැබිලෝනිවරුන්ගේ දෙවියෙක් වූ තම්මුස් නමැති දෙවියාගේ නමට යෙදෙන මුල්ම ග්‍රීක අක්ෂරය වන ටෝ නමැති අක්ෂරයෙන් බවයි.” (The Illustrated Bible Dictionary) මීට අමතරව සාන්ත අන්දෘ කුරුසය “X” අක්ෂරයේ හැඩයෙන් යුත් එකක්. එමෙන්ම “T” අක්ෂරයේ හරස් අතට ඇති කොටස මදක් පහත් කර ඇති කුරුසය හඳුන්වන්නේ ලතින් කුරුසය ලෙසයි. “බොහෝ අය විශ්වාස කරන්නේ යේසුස් එවැනි කුරුසයක් මත මිය ගිය බවයි.”

මුල් ක්‍රිස්තියානීන් විශ්වාස කළ දේ

පළමු සියවසේ සිටි බොහෝ අය යේසුස් පිළිබඳව දැනගත් පසු ඔවුන් ඔහුගේ ජීවිත පූජාව පිළිගෙන ක්‍රිස්තියානීන් බවට පත් වූ බව බයිබලයේ පෙන්වා තිබෙනවා. උදාහරණයකට යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් කොරින්ති නගරයේ සිටි යුදෙව්වන්ට යේසුස් පිළිබඳව දේශනා කළ විට සිදු දේ බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සිනගෝගය භාරව සිටි නිලධාරියා වූ ක්‍රිස්පස්ද ඔහුගේ නිවසේ සිටි සියලුදෙනාද ස්වාමීන්ව පිළිගෙන ඔහුගේ අනුගාමිකයෝ වූහ. ශුභාරංචියට සවන් දුන් කොරින්තියේ වැසියන් බොහෝදෙනෙකු තුළද විශ්වාසයක් ඇති වී ඔවුහු බව්තීස්ම වූහ.” (ක්‍රියා 18:5-8) අලුතින් ක්‍රිස්තියානි ආගම පිළිගත් ඔවුන්ට රූප හෝ සංකේත කෙරෙහි විශ්වාසය තබන්න කියා පාවුල් කිසිවිටක දිරිගැන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ ‘රූප වන්දනාවෙන්’ සහ මිථ්‍යා ආගම්වලට සම්බන්ධ සෑම දෙයකින්ම ඉවත් වන්න කියායි.—1 කොරින්ති 10:14.

මුල් ක්‍රිස්තියානීන් කුරුසය භාවිත කළ බව ඔප්පු කිරීමට ඉතිහාසඥයන්ට කිසිම සාක්ෂියක් සොයාගැනීමට හැකි වී නැහැ. කුරුසය භාවිත කිරීම සම්බන්ධයෙන් 17වන සියවසේ සිටි ලේඛකයෙක්ට හැඟුණු දෙයක් එක් පොතක මෙසේ උපුටා දක්වා තිබෙනවා. “නින්දා අපහාස කරමින් තමාව ඉතා කුරිරු ලෙස ඝාතනය කිරීමට යොදාගත් දෙය ආගමික සංකේතයක් ලෙස භාවිත කරමින් තම අනුගාමිකයන් ඊට නමස්කාර කරනවා දකින විට යේසුස් ඒ ගැන සතුටු වෙයිද?” එම ලේඛකයා නැඟූ ඒ ප්‍රශ්නයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?—History of the Cross.

යෙහෝවා දෙවි අපේ නමස්කාරය පිළිගැනීමට නම් රූප හෝ සංකේතවලට ගරුබුහුමන් කිරීමෙන් අපි වැළකී සිටිය යුතුයි. “දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද” කියා බයිබලයේ ප්‍රශ්නයක් නඟා තිබෙන්නේ ඒ නිසයි. (2 කොරින්ති 6:14-16) යේසුස්ව මරා දැමීමට භාවිත කළ දෙය කුමක් වුණත් එය නමස්කාරයේදී භාවිත කළ යුතුයි කියා බයිබලයේ කිසිම තැනක සඳහන් වන්නේ නැහැ.—මතෙව් 15:3; මාක් 7:13 කියවන්න.

ඒ අනුව කුරුසය සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ කියා පැවසිය නොහැකියි. එසේනම් සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ කුමක්ද? යේසුස් පැවසූ ලෙස එම ලකුණ වන්නේ ප්‍රේමයයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:34, 35.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබල් ලේඛකයන් ස්ටාව්රොස් යන වචනය යොදාගත්තේ කුරුසයක් විස්තර කිරීමට නොවෙයි

[18වන පිටුවේ පින්තූරය]

පුද්ගලයෙකුව වධකණුවක් මත ඇණ ගසා ඇති ආකාරය පෙන්වන 17වන සියවසට අයත් චිත්‍රයක්

[19වන පිටුවේ පින්තූරය]

“T” අක්ෂරයේ හැඩයෙන් යුත් අණ්ඩක් සහිත කුරුසයක් අතැතිව සිටින අයුරු පෙන්නුම් කරන ක්‍රිස්තු පූර්ව 14වන සියවසට අයත් ඊජිප්තු බිතුසිතුවමක්

[හිමිකම් විස්තර]

© DeA Picture Library/​Art Resource, NY

[19වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ ලක්ෂ්මි නාරායන් හින්දු දේවාලයේ දැකිය හැකි ස්වස්තිකය

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book The Cross in Tradition, History, and Art (1897)