Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

මිය ගිය අයට යළි ජීවිතය

මිය ගිය අයට යළි ජීවිතය

අපි හුඟාක් ආදරය කරන කෙනෙක් මිය ගියොත් අපිට දැනෙන වේදනාව මොන තරම්ද! අපිව නිර්මාණය කළ යෙහෝවා දෙවිට අපි විඳින ඒ වේදනාව හොඳින්ම දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු තම අතිමහත් බලය යොදාගෙන මිය ගිය අයට නැවත ජීවිතය දෙන්නත් මහත් ආශාවකින් බලා සිටිනවා. ඒ ගැන අතීතයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ් පැවසූ දේ දැන් අපි සලකා බලමු.—යෝබ් 14:13-15.

යෝබ් දුක් කරදර රැසකට මුහුණ දුන් කෙනෙක්. නොසිතූ ලෙස ඔහුගේ දේපොළ සියල්ල ඔහුට අහිමි වුණා. දරුවන් සියලුදෙනාම හදිසියේම මිය ගියා. ඒ වගේම යෝබ්ට දරුණු කුෂ්ඨ රෝගයක්ද වැලඳුණා. ඒ සියල්ල දරාගත නොහැකිව ‘අනේ, මාව මිනී වළෙහි සඟවා තබන්න’ කියා ඔහු දෙවිට කන්නලව් කළා. * (යෝබ් 14:13) ඔහු සිතුවේ මිය ගියා නම් තමා අද්දකිමින් සිටි වේදනාවෙන් නිදහස් විය හැකි බවයි.

නමුත් තමාට සදහටම මිනී වළේ සිටින්න සිදු වෙයි කියා යෝබ් සිතුවේ නැහැ. තමන්ට මිනී වළේ සිටීමට සිදු වන්නේ ‘නියම කළ කාලයකට’ බවත් ඒ කාලය අවසන් වූ පසු දෙවි තමන්ව “නිදහස් කරන” බවත් ඔහු පැවසුවේ ඒ නිසයි. (යෝබ් 14:14) ඉන් පැහැදිලි වෙන්නේ යම් දිනක ප්‍රශ්න ගැටලුවලින් තොර පාරාදීසයක දෙවි තමන්ව නැවත නැඟිටුවයි කියා යෝබ්ට ස්ථිර විශ්වාසයක් තිබුණු බවයි.

ඔහුට ඒ ගැන එතරම් විශ්වාසයක් තිබුණේ ඇයි? ඊට හේතුව ප්‍රේමණීය යෙහෝවා දෙවිට මිය ගොස් සිටින තම විශ්වාසවන්ත සේවකයන් ගැන හැඟෙන ආකාරය යෝබ් හොඳින්ම දැන සිටීමයි. ඒ නිසා ඔහු දෙවිට මෙසේද පැවසුවා. “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.” (යෝබ් 14:15) යෝබ් එහිදී තමාව හඳුන්වා තිබෙන්නේ දෙවිගේ දෑතින් නිමැවූ දෙයක් ලෙසයි. ඇත්තෙන්ම මවකගේ කුස තුළ යෝබ්ව වැඩෙන්න සැලැස්වූ යෙහෝවා දෙවිට, මිය ගොස් සිටින ඔහුව නැවත ජීවත් කරවන එක කොහෙත්ම අපහසු කාර්යයක් නොවෙයි.—යෝබ් 10:8, 9; 31:15.

යෝබ් පැවසූ වදන්වලින් අපිට යෙහෝවා දෙවි ගැන වැදගත් කාරණයක් ඉගෙනගත හැකියි. එය නම් යෝබ් හා සමානව තමන්ගේ ජීවිතය යෙහෝවා දෙවිට කැමති අයුරින් සකස් කිරීමට ඉඩහරින අයට යෙහෝවා දෙවි බෙහෙවින් ඇලුම් කරන බවයි. (යෙසායා 64:8) ඇත්තෙන්ම මිය ගොස් සිටින තම විශ්වාසවන්ත සේවකයන් යළි ජීවත් වෙනවා දකින්න දෙවි “මහත් ආශාවෙන්” බලා සිටිනවා. “මහත් ආශාවෙන් බලා සිටිනවා ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය යම් දෙයක් කිරීමට ආශාවෙන් සිටින කෙනෙකුගේ ගැඹුරු හැඟීම් විස්තර කිරීමට පාවිච්චි කරන සුවිශේෂී වචනයක්” කියා එක් විශාරදයෙක් පැවසුවා.

මිය ගිය අයට නැවත ජීවිතය ලබා දීමට වූ තම ආශාව බයිබලයේ මුලින්ම ලියවුණු පොත්වලින් එකක් වන යෝබ් නම් පොතට ඇතුළත් කිරීම ගැන අප දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! * දෙවි ආශාවෙන් සිටින්නේ මරණය නිසා අපට අහිමි වූ අය සමඟ අපි යළි සතුටින් ජීවත් වෙනවා දකින්නයි. එය දැන සිටීම වියෝදුකින් පෙළෙන අයට මොන තරම් සැනසිල්ලක්ද! මිනිසුන්ට එතරම් ප්‍රේම කරන දෙවි ගැන තව තවත් ඉගෙනගෙන ඔබේ ජීවිතය සකස් කිරීමට ඔහුට ඉඩහරිනවා නම් මිය ගිය අය යළි ජීවත් වෙන ඒ කාලය හැබැහින් දකින්න ඔබටත් අවස්ථාව උදා වෙනවා.

මාර්තු මාසයට නියමිත බයිබල් කියවීම

එස්තර් 1-9 සිට යෝබ් 1-15 දක්වා

^ 2 ඡේ. එක් පොතක “සඟවා තබන්න” කියා යෝබ් පැවසූ දේ “වටිනා දෙයක් සඟවා තබන්නාක් මෙන් මාව සඟවා තබන්න” ලෙස දක්වා තිබෙනවා. තවත් පොතක සඳහන් වුණේ “වස්තුවක් මෙන් මාව සඟවන්න” කියායි.

^ 6 ඡේ. නැවත නැඟිටීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වන පරිච්ඡේදය බලන්න.