Skip to content

පටුනට යන්න

ඔබගේ සහෝදර සහෝදරියන්ට අතහිත දෙන්න

ඔබගේ සහෝදර සහෝදරියන්ට අතහිත දෙන්න

ඔබගේ සහෝදර සහෝදරියන්ට අතහිත දෙන්න

“අවුරුදු දහයක් පුරා අපි සම්පූර්ණ අවධානය දුන්නේ අපේ ව්‍යාපාරික කටයුතුවලටයි. ඒ කාලයේදී අපිට ගොඩක් මුදල් උපයන්න හැකි වුණා. කුඩා කාලයේ ඉඳලා බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගෙනගත්තත් අපි යෙහෝවා දෙවිගෙන් ගොඩක් ඈත් වුණා. අපිට ආයෙත් දෙවි වෙතට හැරිලා එන්න තරම් ශක්තියක් නැහැ කියලා හැඟුණා.” එසේ පැවසුවේ යාරොස්වෝ සහ ඔහුගේ බිරිඳ බෙයාටායි. *

තවත් සහෝදරයෙක් වන මාරෙක් මෙහෙම කියනවා. “පෝලන්තයේ සමාජීය හා දේශපාලනික වෙනස්කම් ඇති වුණ නිසා මම කරපු හැම රැකියාවක්ම මට නැති වුණා. මම හොඳටම කලකිරුණා. මම කවදාවත් ව්‍යාපාරයක් කරලා නැති නිසා ඒ වගේ දෙයක් පටන්ගන්න මට භයක් තිබුණා. නමුත් දෙවි සමඟ තියෙන මගේ මිත්‍රත්වයට කිසිම හානියක් කරගන්නේ නැතුව මගේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරාගන්න හැකි වෙයි කියලා හිතලා මම අන්තිමේදී ව්‍යාපාරයක් පටන්ගත්තා. නමුත් මම ගත්ත තීරණය වැරදියි කියලා මට තේරුණේ කාලයක් ගියාට පස්සෙයි.”

ජීවන වියදම හා රැකියා විරහිතභාවය ශීඝ්‍රයෙන් ඉහළ යන නිසා අසරණ තත්වයට පත් වන සමහර අය අඥාන තීරණ ගන්නවා. බොහෝ සහෝදරයන් අතිකාල සේවය කිරීමට, අමතර රැකියාවක් කිරීමට සහ ව්‍යාපාරික දැනුමක් නැතත් ව්‍යාපාර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් සිතන්නේ තමන් වැඩිපුර උපයන මුදල පවුලේ නඩත්තුවට උපකාරයක් වෙයි කියායි. ඒ වගේම ඉන් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හානියක් නොවන බවත් ඔවුන් සිතනවා. කෙසේවෙතත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හානියක් නොවන ආකාරයෙන් අමතර මුදලක් සොයන්න සැලසුම් කළත් නොසිතන මොහොතක බලාපොරොත්තු නොවන දේවල් සිදු වෙන නිසාත් අස්ථිර ආර්ථිකය නිසාත් එම සැලසුම් අසාර්ථක විය හැකියි. එවැනි තත්වයට පත් වූ සමහර අය දෙවිට සේවය කිරීමට තිබෙන ආශාවට වඩා වැඩි ආශාවක් මුදල් ඉපයීමට ඇති කරගෙන කෑදරකමේ උගුලට හසු වී තිබෙනවා.—දේශ. 9:11, 12.

සමහර සහෝදර සහෝදරියන් මේ සමාජයේ ඉදිරිපත් කරන දේවල් පසුපස හඹා යෑමට තම මුළු අවධානයම යොමු කර තිබෙන නිසා පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම් හෝ දේවසේවය සඳහා ඔවුන්ට කාලය නැති වී තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් අතපසු කිරීම නිසා දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ මිත්‍රත්වයට හානි සිදු වෙනවා. ඒ වගේම ‘ඔවුන් හා සමාන විශ්වාසයක් ඇති’ අයගේ මිත්‍රත්වයද ඔවුන් නැති කරගන්නවා. (ගලා. 6:10) සමහර අය ක්‍රමානුකූලව ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් ඈත් වෙනවා. ඒ ගැන බැරෑරුම් ලෙස කල්පනා කර බැලිය යුතුයි.

සෙසු සහෝදර සහෝදරියන් ගැන අපට ඇති වගකීම්

සහෝදර සහෝදරියන් ලෙස එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න අපට බොහෝ අවස්ථා උදා වෙනවා. (රෝම 13:8) ඔබේ සභාවේ ‘උපකාරය අවශ්‍ය දුප්පත් අය’ සිටිනවා ඔබ දැක ඇති. (යෝබ් 29:12) සමහර අයට ජීවත් වීමට අවශ්‍ය මූලික දේවල් පවා නොතිබෙනවා විය හැකියි. ඒ නිසා අපට ලැබෙන අවස්ථාවක් ගැන යොහන් මෙසේ පවසනවා. “එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක් තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත් ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම් එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?”—1 යොහ. 3:17.

ඔබ එවැනි අයට උපකාර කර තිබෙනවා විය හැකියි. නමුත් සහෝදර සහෝදරියන්ට උපකාර කිරීම එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දේවල් සැපයීමට පමණක් සීමා වෙන්නේ නැහැ. දෙවිට සේවය කිරීමට තමන් සුදුසු නැහැ කියා සිතන අය මෙන්ම බරපතළ අසනීප නිසා හෝ තමන් ප්‍රේම කරන කෙනෙකුගේ වියෝව නිසා දුකෙන් සිටින අය තනිකම හෝ අධෛර්යය වීම් අද්දකිනවා ඇති. එවැනි අයට අපගේ උපකාරය අවශ්‍යයි. ඔවුන්ට සවන් දීමෙන් හා ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් ඔවුන්ට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න පුළුවන්. එසේ කිරීමෙන් ඔවුන්ගේ මනසට සහනයක් ලබා දෙන්නත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්නත් ඔවුන්ට උපකාර කරන්න අපට පුළුවන්. (1 තෙස. 5:14) ඉන් සහෝදර සහෝදරියන් සමඟ අපේ බැඳීම ශක්තිමත් කරගන්න අපට හැකි වෙනවා.

එඬේරුන් ලෙස සේවය කරන වැඩිමහල්ලන් එවැනි අයට හොඳින් සවන් දී, ඔවුන්ගේ තත්වය හොඳින් තේරුම්ගෙන ශුද්ධ ලියවිල්ලෙන් මඟ පෙන්වීම් ලබා දිය යුතුයි. (ක්‍රියා 20:28) එසේ කිරීමෙන් වැඩිමහල්ලන් අනුකරණය කරන්නේ සහෝදර සහෝදරියන්ට “ගැඹුරු සෙනෙහසක්” පෙන්වූ පාවුල්වයි.—1 තෙස. 2:7, 8.

කෙසේවෙතත් ක්‍රිස්තියානියෙක් සභාවෙන් ඈත් වුණොත් සෙසු ක්‍රිස්තියානීන් ගැන ඔහුට තිබෙන වගකීම ඔහු ඉටු කරන්නේ කොහොමද? වැඩිමහල්ලන් පවා ධන සම්පත්වලට මුල් තැන දීමේ උගුලට හසු විය හැකියි. ක්‍රිස්තියානියෙක් එවැනි උගුලකට හසු වුණොත් සිදු වන්නේ කුමක්ද?

කනස්සල්ල නිසා අධෛර්යයට පත් වී

අප සලකා බැලූ දේවලින් පැහැදිලි වන්නේ පවුලේ මූලික අවශ්‍යතා පිරිමසාගන්න වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීම මගින් කනස්සල්ල ඇති වන බවයි. ඒ වගේම සැබෑ ක්‍රිස්තියානියෙක් ලෙස ජීවත් වීම මොන තරම් වටිනවාද යන හැඟීමත් නැති වී යා හැකියි. (මතෙ. 13:22) කලින් සඳහන් කළ මාරෙක් මෙසේ පවසනවා. “මගේ ව්‍යාපාරය අසාර්ථක වුණාම වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න පිටරටකට යන්න මම තීරණය කළා. මම ගියේ මාස තුනකට. ඊටපස්සේ තව මාස තුනක් හිටියා. ඒ කාලය තව තවත් දික් වුණා. මම විටින් විට ගෙදර ආවත් මගේ මේ ක්‍රියාකලාපය නිසා සාක්ෂිකාරයෙක් නොවන මගේ බිරිඳ මානසිකව වැටුණා.”

ගැටලු ඇති වුණේ ඔහුගේ පවුල් ජීවිතයේ පමණක් නොවෙයි. මාරෙක් ඒ ගැන මෙසේ පවසනවා. “කට්ට අව්වේ එක දිගට වැඩ කරන්න මට සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි මට වැඩ කරන්න සිද්ධ වුණේ රස්තියාදුකාරයෝ වගේ හැසිරුණු අය එක්කයි. ඒ නිසා මම මානසිකව වැටුණා. මට හිතුණේ මාව රූකඩයක් වගේ නටවනවා කියලයි. මං ගැනවත් හිතන්න වෙලාවක් නැති කොට මගේ සහෝදර සහෝදරියන්ට සේවය කරන්නේ කොහොමද කියලා මට හිතුණා.”

මාරෙක් ගත් තීරණය නිසා ඔහුට මුහුණ දීමට සිදු වූ කනගාටුදායක අද්දැකීම් ගැන අප හොඳින් සිතා බැලිය යුතුයි. පිටරටකට රැකියාවකට යෑමෙන් ආර්ථික ප්‍රශ්න විසඳාගැනීමට හැකියාව තිබුණත් ඉන් වෙනත් ප්‍රශ්න ඇති වන්නේ නැද්ද? උදාහරණයකට පවුලේ අය දෙවි සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වයට හා ඔවුන්ගේ මානසිකත්වයට කුමන බලපෑමක් ඇති වෙයිද? එවැනි තීරණයක් ගැනීම නිසා මම ක්‍රිස්තියානි සභාවෙන් ඈත් වෙයිද? එසේ ඈත් වුණොත් සෙසු ක්‍රිස්තියානීන්ට උපකාර කරන්න තිබෙන වරප්‍රසාදයට කුමක් වෙයිද?—1 තිමෝ. 3:2-5.

රැකියාව වෙනුවෙන් මුළු අවධානය යොමු කරන්නේ වෙනත් රටකට ගොස් රැකියාවක් කරන අය පමණක් නොවෙයි. යාරොස්වෝ සහ බෙයාටා යුවළට සිදු වූ දේ බලන්න. යාරොස්වෝ මෙසේ පවසනවා. “අපිට ඕන වුණේ ජීවත් වෙන්න මුදල් ටිකක් හොයාගන්නයි. ඒ නිසා අපි හොඳට වෙළඳාම් වෙන තැනක පාරෙ අයිනේ බනිස් වර්ගයක් (hot-dog) විකුණන්න පටන්ගත්තා. ඒ වෙළඳාමෙන් අපිට ගොඩක් ලාභ ලැබුණු නිසා අපි ව්‍යාපාරය දියුණු කරන්න තීරණය කළා. අපි කාර්යබහුලව හිටිය නිසා අපිට රැස්වීම් අතපසු වුණා. පස්සේ මම පුරෝගාමි සේවයෙනුත් සහයක සේවකයෙක් ලෙස කළ සේවයෙනුත් අයින් වුණා. අපිට ලොකු ලාභයක් ලැබුණු නිසා තවත් කෙනෙක් එක්ක හවුල් වෙලා ලොකු කඩයක් කරන්න පටන්ගත්තා. හැබැයි එයා සාක්ෂිකාරයෙක් නෙවෙයි. පස්සේ මම ඩොලර් මිලියන ගණන් වටින ගිවිසුම් අත්සන් කරන්න වෙනත් රටවලට ගියා. මම ගෙදර හිටියේ කලාතුරකින්. මගේ බිරිඳයි දුවයි එක්ක තිබුණු බැඳීම ටිකෙන් ටික අඩු වුණා. අන්තිමේදී දෙවිට සේවය කරන එක සම්පූර්ණයෙන්ම නතර වුණා. සභාව සමඟ තිබුණු සම්බන්ධය නැති වුණ නිසා සහෝදරයන් ගැන හිතන්නවත් අපිට වෙලාවක් තිබුණේ නැහැ.”

ඉහත අද්දැකීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? කෙනෙකු සුඛෝපභෝගී ජීවිතයක් භුක්ති විඳීමට ඇති ආශාව නිසා වැඩි කාලයක් රැකියාව කළොත් ‘තම වස්ත්‍ර ආරක්ෂා කරගැනීමට’ එනම් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට හැකි වෙන්නේ නැහැ. (එළි. 16:15) එමෙන්ම සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට තිබෙන අවස්ථාවත් ඔහුට නැති වෙන්න පුළුවන්.

අවංක සෝදිසියක් කරන්න

‘මට නම් එහෙම වෙන්නේ නැහැ’ කියා අපට හිතෙන්න පුළුවන්. අපට එසේ සිතුණත් ජීවත් වීමට අත්‍යවශ්‍ය වන්නේ මොනවාද කියා අප බැරෑරුම්ව කල්පනා කර බැලිය යුතුයි. පාවුල් පැවසුවේ “අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන. එහෙයින් අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු” කියායි. (1 තිමෝ. 6:7, 8) ජීවන තත්වය රටින් රටට වෙනස් බව ඇත්තයි. සංවර්ධිත රටක අවම ජීවන තත්වය වෙනත් බොහෝ රටවල සුඛෝපභෝගී ජීවන තත්වයක් ලෙස සලකන්න පුළුවන්.

අප ජීවත් වන ප්‍රදේශයේ ජීවන තත්වය කුමක් වුණත් පාවුල් ඊළඟට පවසන දේ සැලකිල්ලට ගන්න. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.” (1 තිමෝ. 6:9) සාමාන්‍යයෙන් උගුලක් අටවන්නේ නොපෙනෙන්නයි. එය අටවන්නේ හදිස්සියේම ගොදුර හසු වන ආකාරයකටයි. එසේනම් “හානිකර ආශාවන්” නමැති උගුලට හසු නොවී සිටීමට අපට පුළුවන් කොහොමද?

මුල් තැන දිය යුතු දේවල් ගැන අප තීරණය කර තිබෙනවා නම් පෞද්ගලික අධ්‍යයනය ඇතුළු දෙවිට කරන සේවයේ විවිධ අංගවලට වැඩි කාලයක් සොයාගන්න අපට පුළුවන්. දෙවිට යාච්ඤා කර පෞද්ගලික අධ්‍යයනය කිරීම අන් අයට සේවය කිරීමට ‘සැදී පැහැදී සිටින්න’ ක්‍රිස්තියානියෙකුට උපකාරයක් වෙනවා.—2 තිමෝ. 2:15; 3:17.

ප්‍රේමණීය වැඩිමහල්ලන් අවුරුදු කිහිපයක් පුරා යාරොස්වෝට නැවත යථා තත්වයට පත් වෙන්න උපකාර කළා. ඉන්පසුව ඔහු ජීවිතයේ ලොකු වෙනස්කම් කළා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “සදාකල් ජීවත් වීමට කැමැත්තක් තිබූ ඒත් තමන්ගේ වස්තුව නැති වෙනවාට අකමැති වූ පොහොසත් මිනිසා ගැන බයිබලයේ සඳහන් උදාහරණය ඔවුන් මාත් එක්ක සාකච්ඡා කළා. ඊටපස්සේ ඒ උදාහරණය මට ගැළපෙනවාද කියා මගෙන් ඇසුවා. ඒ වෙලාවේදී මගේ ඇස් ඇරුණා.”—හිතෝ. 11:28; මාක් 10:17-22.

යාරොස්වෝ තමා සිටි තත්වය ගැන අවංකව සෝදිසි කර විශාල ව්‍යාපාරවලින් ඉවත් වීමට තීරණය කළා. අවුරුදු දෙකක් ඇතුළත ඔහු සහ ඔහුගේ පවුලේ අයට නැවතත් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වුණා. දැන් ඔහු වැඩිමහල්ලෙක් ලෙස සහෝදර සහෝදරියන්ට උපකාර කරනවා. යාරොස්වෝ මෙසේ පවසනවා. “නමස්කාර කටයුතු නොසලකාහරින තරමට මුළු කාලයම ව්‍යාපාරවලට වැය කරන සහෝදරයන්ට, සාක්ෂිකරුවන් නොවෙන අය සමඟ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම මොන තරම් අඥානද කියා මම ලබපු අද්දැකීමෙන් පැහැදිලි කරලා දෙනවා. ව්‍යාපාර කරද්දී මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන එකත් වංක ක්‍රියාවලින් වැළකී සිටින එකත් ලේසි නැහැ.”—2 කොරි. 6:14.

මාරෙක් පාඩමක් ඉගෙනගත්තේ කටුක අද්දැකීම්වලට මුහුණ දීමෙන් පසුවයි. පිටරටකදී හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කළ නිසා ඔහුගේ පවුලේ අයගේ අවශ්‍යතා පිරිමසන්න ඔහුට හැකි වුණත් යෙහෝවා දෙවි සහ සහෝදර සහෝදරියන් සමඟ තිබූ මිත්‍රත්වයට හානි සිදු වුණා. මුල් තැන දිය යුතු දේවල් ගැන ඔහු නැවත කල්පනා කළා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. ‘තමන් ගැනම සිතමින් තමන්ටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කළ’ බාරුක්ගේ තත්වයට මාත් පත් වුණා. අන්තිමේදී මම මගේ සියලු ප්‍රශ්න දෙවිට කිව්වා. මට දැන් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් තියෙනවා කියලා හැඟෙනවා. (යෙරෙ. 45:1-5) වැඩිමහල්ලෙක් ලෙස “යහපත් සේවයක්” ඉටු කිරීම සඳහා මාරෙක් දැන් දියුණු වෙමින් සිටිනවා.—1 තිමෝ. 3:1.

වැඩි වැටුපක් ලබාගැනීමේ අරමුණින් වෙනත් රටක රැකියාවක් කිරීම ගැන කල්පනා කරමින් සිටින අයට මාරෙක් මෙම අනතුරු ඇඟවීම දෙනවා. “පිටරටකදී උගුල්වලට හසු වීමේ ඉඩකඩ වැඩියි. ඒ රටේ භාෂාව ගැන එතරම් දැනුමක් නැති නිසා පහසුවෙන් අදහස් හුවමාරු කරගන්න බැරි වෙනවා. ආයෙත් ගෙදර එද්දී ලොකු මුදලක් අරගෙන එන්න පුළුවන් වුණත් දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය නැවත ගොඩනඟා ගන්න බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්.”

රැකියාව සහ සහෝදර සහෝදරියන් ගැන අපට තිබෙන වගකීම් සමබරව ඉටු කරද්දී යෙහෝවා දෙවිව සතුටු කරන්න අපට හැකියි. එවැනි ජීවිතයක් ගත කිරීමෙන් අප තබන ආදර්ශය අන් අයට නිවැරදි තීරණයක් ගැනීමට පෙලඹීමක් විය හැකියි. අනික් අතට අධෛර්යයට පත් වී සිටින අයට අනුකම්පා කර උපකාර කිරීමද අවශ්‍යයි. සහෝදර සහෝදරියන්ගේ යහපත් ආදර්ශයද ඔවුන්ට උපකාරයක් විය හැකියි. කනස්සල්ලෙන් යටපත් නොවීමටත් සමබරව කටයුතු කිරීමටත් සෙසු සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට සභාවේ වැඩිමහල්ලන් හා වෙනත් අද්දැකීම් ලත් අයට හැකියි.—හෙබ්‍රෙ. 13:7.

රැකියාව වෙනුවෙන් මුළු කාලයම වැය කිරීම නිසා සෙසු සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට තිබෙන අවස්ථා නැති කර නොගනිමු. (ෆිලි. 1:10) ඒ වෙනුවට අපගේ “ජීවිතයේ මුල් තැන දෙවිට” දෙමු.—ලූක් 12:21.

[පාදසටහන]

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[21වන පිටුවේ පින්තූර]

ඔබගේ රැකියාව රැස්වීම්වලට බාධාවක්ද?

[23වන පිටුවේ පින්තූර]

සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට තිබෙන අවස්ථා ඔබ අගය කරනවාද?