Skip to content

පටුනට යන්න

යේසුස් පැමිණියේ කොහේ සිටද?

යේසුස් පැමිණියේ කොහේ සිටද?

“තම මාලිගාවට නැවතත් ඇතුල් වූ ඔහු, ‘ඔබ ආවේ කොහෙන්ද’ කියා යේසුස්ගෙන් ඇසුවේය. නමුත් යේසුස් ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.”—යොහන් 19:9.

රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් යේසුස්ගෙන් එසේ ඇසුවේ යේසුස්ව මරා දමන්න කියා යුදෙව්වන් පෙරැත්ත කළ විටයි. * යේසුස් ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ කුමන පළාතේද කියා පිලාත් දැන සිටියා. (ලූක් 23:6, 7) එමෙන්ම සාමාන්‍ය මිනිසෙකුට වඩා යේසුස් වෙනස් කෙනෙක් බවත් ඔහු තේරුම්ගෙන සිටියා. පොළොවට පැමිණීමට පෙර යේසුස් යම් තැනක ජීවත් වෙන්න ඇති කියා ඔහු සිතන්න ඇද්ද? සත්‍යය කුමක්ද කියා දැනගෙන ඊට එකඟව කටයුතු කිරීමට ඔහු කැමති වුණාද? ඒ කුමක් වුණත් ඔබ ආවේ කොහෙන්ද කියා පිලාත් ඇසූ ප්‍රශ්නයට යේසුස් පිළිතුරු දුන්නේ නැහැ. පිලාත්ට වුවමනා වුණේ තමන්ගේ තත්වය රැකගැනීමට මිස සාධාරණය ඉටු කිරීමට නොවන බව ඔහු කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වුණා.—මතෙව් 27:11-26.

ඇත්තෙන්ම යේසුස් පැමිණියේ කොහෙන්ද කියා දැනගැනීමට කැමති අයට ඒ සඳහා බයිබලයෙන් පිළිතුරක් සොයාගත හැකියි. යේසුස් පිළිබඳ නිවැරදි තොරතුරු එහි ඇතුළත් වෙනවා. ඉන් කිහිපයක් දැන් අපි සලකා බලමු.

යේසුස් උපන් ස්ථානය:

වර්තමාන කාල ගණනයට අනුව යේසුස් උපත ලබා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙකේදියි. ඒ යූදා දේශයේ බෙත්ලෙහෙම් නුවරෙයි. ඒ අවදියේ ඔගස්ටස් සීසර් සියලුදෙනාටම උපන් ගමට ගොස් ලියාපදිංචි වෙන්න කියා නියම කළ නිසා යෝසෙප් සහ මරියා බෙත්ලෙහෙම බලා පිටත් වුණා. ඒ වන විට දරුවාව ප්‍රසූත කිරීමේ කාලය ළඟා වෙලයි තිබුණේ. ඒත් ඔවුන්ට බෙත්ලෙහෙමේදී නවාතැනක් සොයාගැනීමට හැකි වුණේ නැහැ. ඒ නිසා මරියාට යේසුස්ව බිහි කිරීමට සිදු වූයේ ගවමඩුවකයි. ඉන්පසු ඔවුන් යේසුස්ව රෙදිවලින් ඔතා ගවඔරුවක තැබුවා.—ලූක් 2:1-7.

යේසුස් ඉපදෙන්න වසර සිය ගණනකට කලින් ඔහුගේ උපත ගැන බයිබලයේ මෙම අනාවැකිය සඳහන් වුණා. “යූදාහි නගර අතරින් කුඩාම නගරය වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා! ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා පැමිණෙන්නේ ඔබගෙන්ය.” * (මීකා 5:2) යූදා දේශයේ නගර අතරින් බෙත්ලෙහෙම සඳහන් කිරීමට තරම්වත් වටින්නේ නැති ඉතා කුඩා නුවරක් වුණා. ඒ වුණත් පොරොන්දු කරන ලද ගැලවුම්කරු ඉපදුණේ එම නුවරෙයි.—මතෙව් 2:3-6; යොහන් 7:40-42.

යේසුස් හැදී වැඩුණු නුවර:

යම් කාලයකට ඊජිප්තුවේ සිටීමෙන් පසු යෝසෙප් හා මරියා දෙහැවිරිදි යේසුස් සමඟ ගලීලයේ නාසරෙත් නුවරේ පදිංචි වුණා. එය යෙරුසලමේ සිට කිලෝමීටර් 96ක් පමණ උතුරෙන් පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්. යේසුස්ගේ ළමා විය ගෙවී ගියේ ගොවියන්ගෙන්, එඬේරුන්ගෙන් හා ධීවරයන්ගෙන් ගහන ඒ සුන්දර ප්‍රදේශයෙයි. ඔහු හැදී වැඩුණේ සාමාජිකයන් වැඩිදෙනෙක් සිටි දිලිඳු පවුලකයි.—මතෙව් 13:55, 56.

ගැලවුම්කරු “නාසරෙත්හි වැසියෙක්” බව යේසුස් ඉපදෙන්න සියවස් ගණනාවකට කලින් බයිබලයේ සඳහන් වී තිබුණා. යෝසෙප් සහ මරියා යේසුස් සමඟ නාසරෙත් නුවරේ පදිංචියට ගිය විට ගැලවුම්කරුව ‘නාසරෙත්හි වැසියෙක් කියා හඳුන්වනු ලබන බවට අනාගතවක්තෘවරුන් පැවසූ දේ ඉටු වුණා’ කියා මතෙව් වාර්තා කරනවා. (මතෙව් 2:19-23) පෙනෙන ආකාරයට එහිදී මතෙව් විස්තර කර ඇත්තේ යෙස්සේගේ කඳෙන් “අංකුරයක්” හටගන්නා බවට අනාගතවක්තෘ යෙසායා පවසා තිබූ අනාවැකියයි. එසේ පවසන්නේ “අංකුරය” යන අදහස ඇති හෙබ්‍රෙව් වචනය හා ‘නාසරෙත්හි වැසියා’ යන අදහස ඇති හෙබ්‍රෙව් වචනය අතර බොහෝදුරට සමානකමක් තිබෙන නිසයි. (යෙසායා 11:1) අනාවැකිවල සඳහන් වූ ලෙසම ගැලවුම්කරු වූ යේසුස් පැවත ආවේ දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පෙළපතෙනුයි.—මතෙව් 1:6, 16; ලූක් 3:23, 31, 32.

යේසුස්ගේ මූලාරම්භය:

යේසුස් බෙත්ලෙහෙමේ උපත ලැබීමට බොහෝ කාලයකට පෙර සිටම ජීවත් වූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහුගේ ‘පටන්ගැන්ම ඈත අතීතයට දිව යන’ බව අනාවැකිවල සඳහන් වෙන්නේ ඒ නිසයි. (මීකා 5:2) යේසුස් පොළොවේ උපත ලැබීමට බොහෝ කාලයකට පෙර දෙවිගේ කුලුඳුල් පුත්‍රයා ලෙස ස්වර්ගයේ ජීවත් වුණා. ‘මම ආවේ ස්වර්ගයෙන්’ කියා යේසුස්ම පැවසීමට හේතුව එයයි. (යොහන් 6:38; 8:23) නමුත් ඔහු ස්වර්ගයේ සිට පොළොවට පැමිණියේ කෙසේද?

යෙහෝවා දෙවි තම බලය යොදාගෙන යේසුස්ව කන්‍යාවක්ව සිටි මරියාගේ ගැබ තුළ පිළිසිඳගැනීමට සැලැස්වූවා. * එමනිසා ඔහුට පාපය උරුම වුණේ නැහැ. යෙහෝවා දෙවිට අතිමහත් බලයක් තිබෙන නිසා එවැනි ආශ්චර්යයක් කිරීම අපහසු කාර්යයක් නොවෙයි. “දෙවිට කළ නොහැකි දෙයක් නැහැ” කියා මරියාව හමු වීමට පැමිණි දේවදූතයා ඇයට පැවසුවේ ඒ නිසයි.—ලූක් 1:30-35, 37.

බයිබලයේ යේසුස් ගැන තවත් තොරතුරු රැසක් සඳහන් වී තිබෙනවා. අපි දැන් යේසුස් පොළොවේ ජීවත් වූ ආකාරය ගැන එහි ඇති තොරතුරු සලකා බලමු.

^ 3 ඡේ. වැඩි විස්තර සඳහා මෙම සඟරාවේ 18 සිට 22 දක්වා පිටුවල ඇති “යුක්තිය පෙරළූ නඩුවක්” යන ලිපිය බලන්න.

^ 6 ඡේ. සමහරවිට බෙත්ලෙහෙම් නගරය පුරාණයේදී එෆ්‍රාතා හෙවත් එෆ්‍රාත් යනුවෙන් හඳුන්වන්න ඇති.—උත්පත්ති 35:19.

^ 10 ඡේ. දෙවිගේ නාමය යෙහෝවා බව බයිබලයේ සඳහන් වෙනවා.