Skip to content

පටුනට යන්න

යේසුස් දිවි ගෙව්වේ කෙසේද?

යේසුස් දිවි ගෙව්වේ කෙසේද?

“මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.”—යොහන් 4:34.

යේසුස් ඉහත සඳහන් දේ පැවසුවේ කුමන අවස්ථාවේද කියා සලකා බැලීමෙන් ඔහුගේ ජීවිතයේ ප්‍රධානම කාර්යය වූයේ කුමක්ද කියා අපට අවබෝධ කරගත හැකියි. දිනක් ඔහු තම ගෝලයන් සමඟ සමාරියේ කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටියා. (යොහන් 4:6) ඒ වන විට වේලාව දහවල් 12 පමණ වූ නිසා ගෝලයන් කෑම ටිකක් කන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටියා. (යොහන් 4:31-33) දෙවිගේ කැමැත්ත කිරීමත් ඔහු පැවරූ කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි කියා ඔහු පැවසුවේ ඒ අවස්ථාවේදීයි. ඇත්තෙන්ම දෙවිගේ කැමැත්ත කිරීම යේසුස්ගේ ජීවිතයේ වැදගත්ම දෙය වූ බව ඔහු ඉගැන්වූ දේවලින් සහ ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. අපි දැන් ඒ ගැන සලකා බලමු.

දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීම සහ ඉගැන්වීම:

යේසුස්ගේ ජීවිතයේ ප්‍රධානම කාර්යය වූයේ කුමක්ද යන්න ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘යේසුස් උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද මුළු ගලීලය පුරාම සංචාරය කළේය.’ (මතෙව් 4:23) ශුභාරංචිය ගැන දේශනා කරනවාට අමතරව ඔහු මිනිසුන්ට මඟ පෙන්වීම් ලබා දෙමින් තර්කානුකූලව කාරණා පැහැදිලි කරමින් ඉගැන්වීමේ කටයුතුවලත් නිරත වුණා. ඔහු ඉගැන්වූ සියලුම දේවල් පදනම් වී තිබුණේ දෙවිගේ රාජ්‍යය නමැති විෂය මතයි.

දෙවිගේ රාජ්‍යය ගැනත් එම රාජ්‍යය මගින් ඉටු කිරීමට නියමිත දේවල් ගැනත් යේසුස් නිතරම මිනිසුන්ට කියා දුන්නා. ඔහු දෙවිගේ රාජ්‍යය ගැන කියා දුන් කරුණු කිහිපයක් සලකා බලන්න.

  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටා තිබෙන අතර යෙහෝවා දෙවි එහි පාලනය යේසුස්ට භාර දී තිබෙනවා.—මතෙව් 4:17; යොහන් 18:36.

  • එම රාජ්‍යය මගින් යෙහෝවා දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරමින් දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මේ පොළොවේද ඉටු කරනවා.—මතෙව් 6:9, 10.

  • දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන විට මුළු පොළොවම පාරාදීසයක් වෙනවා.—ලූක් 23:42, 43.

  • ළඟදීම දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කිරීමට නියමිතයි. *මතෙව් 24:3, 7-12.

බලවත් ක්‍රියා සිදු කිරීම:

බොහෝ අය යේසුස්ව හඳුනාගෙන සිටියේ ‘ගුරුතුමෙක්’ ලෙසයි. (යොහන් 13:13) කොහොමවුණත් යේසුස් තම බව්තීස්මයේ සිට ගෙවුණු අවුරුදු තුනහාමාර තුළ බොහෝ බලවත් ක්‍රියාද කළා. එම ක්‍රියාවන් මගින් ඔහු දෙවිගේ පුත්‍රයා බව හොඳින්ම පැහැදිලි වුණා. (මතෙව් 11:2-6) එමෙන්ම දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස පොළොව පාලනය කරන කාලයේදී ඔහු කරන්නේ කුමක්ද කියාත් ඉන් අනාවරණය වුණා. ඔහු කළ බලවත් ක්‍රියා කිහිපයක් ගැන සලකා බලන්න.

  • සැඩ සුළඟක් නතර කරමින් කැළඹුණු මුහුදක් නිශ්චල කළා.—මාක් 4:39-41.

  • අන්ධ, බිහිරි මෙන්ම කොර අය ඇතුළු තවත් බරපතළ රෝගවලින් පෙළුණු බොහෝදෙනෙකුව සුව කළා.—ලූක් 7:21, 22.

  • කුසගින්නේ සිටි විශාල සමූහයකට ආශ්චර්යවත් ලෙස ආහාර ලබා දුන්නා.—මතෙව් 14:17-21; 15:34-38.

  • අඩුම තරමින් අවස්ථා තුනකදීවත් මිය ගිය අයට ජීවිතය ලබා දුන්නා.—ලූක් 7:11-15; 8:41-55; යොහන් 11:38-44.

එවැනි බලවත් රජෙක් පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන් මොන තරම් ප්‍රීතියක් අද්දකියිද කියා සිතා බලන්න.

යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා පෙන්වා දීම:

යේසුස්, යෙහෝවා දෙවිගේ ‘කුලුඳුල් නිර්මාණයයි.’ (කොලොස්සි 1:15) පොළොවට පැමිණීමට පෙර ඔහු යෙහෝවා දෙවි සමඟ අසීමිත කාලයක් පුරා ස්වර්ගයේ ජීවත් වී තිබුණා. එමනිසා යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති ගැන මෙන්ම ඔහු කටයුතු කරන ආකාරය සහ සිතන ආකාරය ගැනත් යේසුස් හොඳින්ම දන්නවා. ඒ අනුව යෙහෝවා දෙවි ගැන කියා දිය හැකි ඊටත් වඩා සුදුසු කෙනෙක් සිටිය හැකිද!

යේසුස්, යෙහෝවා දෙවිව කොතරම් හොඳින් හඳුනාගෙන සිටියාද කියා ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “පුත්‍රයාව හොඳින් හඳුනාගෙන සිටින්නේ පියාණන් පමණයි. පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි. ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.” (ලූක් 10:22) ඇත්තෙන්ම ස්වර්ගයේ සිටි කාලයේ ඉගෙනගත් දේවල් මතකයට නඟමින් යෙහෝවා දෙවි ගැන යේසුස් මිනිසුන්ට කියා දුන්නේ ඉමහත් ආශාවකිනුයි.—යොහන් 8:28.

නමුත් යෙහෝවා දෙවි ගැන තමා දැන සිටි දේවල් යේසුස් ඒ ආකාරයෙන්ම මිනිසුන්ට ඉගැන්වූයේ නැහැ. ඔහු එසේ කළා නම් සමහරවිට ඒ දේවල් මිනිසුන්ට නොතේරෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔහු තේරුම්ගැනීමට පහසු ක්‍රම යොදාගෙන යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා මිනිසුන්ට පැහැදිලි කළා.

යේසුස්, යෙහෝවා දෙවි ගැන මිනිසුන්ට පහදා දුන් ක්‍රම දෙකක් සලකා බලන්න.

  • යෙහෝවා දෙවිගේ නාමය, ඔහුගේ අරමුණ සහ ඔහු කටයුතු කරන ආකාරය ගැන යේසුස් මිනිසුන්ට කියා දුන්නා.—යොහන් 3:16; 17:6, 26.

  • යේසුස් නිරතුරුවම යෙහෝවා දෙවිගේ ගතිගුණ විදහා පෙන්නුවා. එමනිසා යෙහෝවා දෙවි සතුව මොන තරම් අනර්ඝ ගුණාංග තිබෙනවාද කියා මිනිසුන්ට තේරුම්ගැනීමට හැකි වුණා. ඔහු කොතරම් හොඳින් දෙවිගේ ගතිගුණ විදහා පෙන්නුවාද කියනවා නම් “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියා පැවසීමට ඔහුට හැකි වුණා.—යොහන් 5:19; 14:9.

යේසුස් ඔහුගේ ජීවිතය ගත කළ ආකාරය සලකා බැලීමෙන් අපට ප්‍රයෝජන රැසක් අත් කරගත හැකි සේම ඔහු තම ජීවිතය පූජා කළේ ඇයි කියා අවබෝධ කරගැනීමෙන්ද අපට ඉමහත් ප්‍රයෝජන අත් කරගත හැකියි.

^ 9 ඡේ. දෙවිගේ රාජ්‍යය ගැනත් එම රාජ්‍යය පොළොව පාලනය කිරීමට නියමිත කාලය ඉතා ආසන්න බවට තිබෙන හේතු ගැනත් දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “දේවරාජ්‍යය යනු කුමක්ද” සහ “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද’” යන මාතෘකාවලින් යුත් 8වන සහ 9වන පරිච්ඡේද බලන්න.