Skip to content

පටුනට යන්න

යේසුස් දිවි පිදුවේ ඇයි?

යේසුස් දිවි පිදුවේ ඇයි?

‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.’—මාක් 10:45.

තමාට පොළොවේ වැඩි කාලයක් ජීවත් වීමට අවස්ථාවක් නොලැබෙන බවත් වේදනාකාරී මරණයක් අද්දකිමින් තම ජීවිතය පූජා කිරීමට සිදු වන බවත් යේසුස් වටහාගෙන සිටියා. එසේවුවත් ඊට හොඳින් මුහුණ දීමට ඔහු සූදානමින් සිටියා.

යේසුස්ගේ ජීවිත පූජාව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. එක් පොතක සඳහන් වන ආකාරයට යේසුස්ගේ මරණය ගැන අලුත් ගිවිසුමේ 175 වතාවක් පමණ සඳහන් වී තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. නමුත් යේසුස්ට කුරිරු මරණයක් අද්දකිමින් තරුණ වියේදීම මිය යෑමට සිදු වූයේ ඇයි? යේසුස්ගේ මරණය අපි සියලුදෙනාගේම ජීවිතවලට විශාල වශයෙන් බලපාන නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගැනීම ඉතා වැදගත්.

යේසුස් දැන සිටි දෙය:

තම මරණයට අවුරුද්දකට පමණ පෙර සිටම යේසුස් අවස්ථා කිහිපයකදී තමා දුක් විඳ මිය යෑමට නියමිත බව ගෝලයන්ට පැවසුවා. උදාහරණයකට ගෝලයන් 12දෙනා සමඟ අවසන් වතාවට පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට යමින් සිටියදී ඔහු මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන් හා නීතිය පිටපත් කරන්නන් අතට භාර දෙනු ලබනවා. ඔවුන් ඔහුව මරණයට නියම කර වෙනත් ජාතීන්ට භාර දෙයි. ඒ අය ඔහුට කවටකම් කර කෙළ ගසා, කසයෙන් තළයි. අන්තිමේදී ඔහුව මරණයට පත් කරයි.” * (මාක් 10:33, 34) එවැනි මරණයක් තමාට අද්දකින්න සිදු වෙයි කියා යේසුස්ට එතරම් විශ්වාසයක් තිබුණේ ඇයි?

ගැලවුම්කරු ලෙස තමාගේ ජීවිතය අවසන් වෙන ආකාරය ගැන පැරණි ගිවිසුමේ සඳහන්ව තිබූ අනාවැකි යේසුස් හොඳින්ම දැන සිටියා. (ලූක් 18:31-33) එවැනි අනාවැකි කිහිපයක් සහ ඒවා ඉටු වූ ආකාරය පෙන්වන බයිබල් පද කිහිපයක් සලකා බලන්න.

ගැලවුම්කරු ගැන සඳහන් වූ අනාවැකි

ගැලවුම්කරු සම්බන්ධයෙන් දෙවි පවසා තිබූ සෑම අනාවැකියක්ම යේසුස් තුළින් ඉටු වුණා. ඉන් ඔප්පු වුණේ ඔහු දෙවි විසින් එවන ලද ගැලවුම්කරු බවයි. *

කොහොමවුණත් යේසුස්ට දුක් විඳ මිය යෑමට සිදු වුණේ ඇයි?

දෙවිගේ පාලන අයිතිය තහවුරු කිරීමට සහ දෙවිට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට හැකි බව ඔප්පු කිරීමට:

ඒදන් උයනේදී යක්ෂයා පැවසූ දේ පිළිගත් ආදම් සහ ඒව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් ඔහුට අකීකරු වූ නිසා යෙහෝවා දෙවි හොඳ පාලකයෙක්ද යන ප්‍රශ්නය මතු වුණා. එම ප්‍රශ්නය මුළු මහත් විශ්වයටම බලපානවා. එමෙන්ම ආදම් සහ ඒව දෙවිට විශ්වාසවන්තව නොසිටි නිසා දුෂ්කරතා හමුවේ මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටියිද යන ප්‍රශ්නයත් මතු වුණා.—උත්පත්ති 3:1-6; යෝබ් 2:1-5.

එම ප්‍රශ්න දෙකටම යේසුස් පැහැදිලි පිළිතුරු සැපයුවා. “වධකණුවක මරණයක් විඳීමට” සිදු වුණත් දෙවිට කීකරු වීමෙන් පාලනය කිරීමට සුදුසුම තැනැත්තා වන්නේ යෙහෝවා දෙවි බව යේසුස් ඔප්පු කළා. (ෆිලිප්පි 2:8) එමෙන්ම මිය යන මොහොත දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ඕනෑම පීඩාකාරී තත්වයක් හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටීමට මිනිසුන්ට හැකි බවත් ඔහු පෙන්නුම් කළා.

මිනිස් වර්ගයාව ගලවාගැනීමට:

මිනිස් වර්ගයාව ගලවාගැනීම සඳහා ගැලවුම්කරුට දුක් විඳ මිය යෑමට සිදු වන බවටත් ඔහු සියලුදෙනාගේම පව් උදෙසා තම ජීවිතය වන්දියක් ලෙස ඔප්පු කරන බවටත් බයිබලයේ අනාවැකි සඳහන් වී තිබෙනවා. (යෙසායා 53:5, 10) එම අනාවැකි හොඳින්ම දැන සිටි යේසුස් “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා” කළේ කැමැත්තෙන්මයි. (මතෙව් 20:28) ඔහු එසේ කළ නිසා පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින මිනිසුන්ට දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත් පාපයේ සහ මරණයේ ග්‍රහණයෙන් මිදීමටත් මඟ විවර වුණා. එමෙන්ම ආදම් සහ ඒවගේ වරදින් අහිමි වූ පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ අවස්ථාව නැවත ලබාගැනීමටත් හැකි වී තිබෙනවා. *එළිදරව් 21:3, 4.

ඔබට කළ හැකි දේ:

යේසුස්ගේ මූලාරම්භය ගැනත් ඔහු ජීවිතය ගත කළ ආකාරය ගැනත් ඔහු මිය ගිය හේතුව ගැනත් මෙම ලිපි පෙළෙන් අපි සලකා බැලුවා. ඒ තොරතුරු හොඳින් සිතට ගැනීමෙන් වැරදි වැටහීම් නිවැරදි කරගැනීමටත් අනාගතයේදී පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව උදා කරගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියා පහත සඳහන් වෙනවා.

  • යේසුස් ගැනත් යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමට යේසුස් සම්බන්ධ වී ඇත්තේ කෙසේද කියාත් අවබෝධ කරගන්න.—යොහන් 17:3.

  • යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහුව ඔබේ ගැලවුම්කරු ලෙස පිළිගන්නා බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.—යොහන් 3:36; ක්‍රියා 5:31.

යෙහෝවා දෙවි අප සියලුදෙනාටම “සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව” උදා කර දීම සඳහා පොළොවට එවූ ඔහුගේ “එකම පුත්‍රයා” වන යේසුස් ගැන තවත් දැනගැනීමට ඔබ කැමතිද? ඒ සඳහා ඔබට උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.—යොහන් 3:16.

^ 5 ඡේ. යේසුස් බොහෝ අවස්ථාවලදී තමාවම “මනුෂ්‍ය පුත්‍රයා” ලෙස හැඳින්වූවා. (මතෙව් 8:20) යේසුස් දෙවිගේ පුත්‍රයා වුවත් පොළොවේදී ඔහු ජීවත් වුණේ අප හා සමාන මිනිසෙක් ලෙස බවත් අනාවැකිවල සඳහන්ව තිබූ ‘මනුෂ්‍ය පුත්‍රයා’ යේසුස් බවත් ඉන් අදහස් වෙනවා.—දානියෙල් 7:13, 14.

^ 13 ඡේ. යේසුස් තුළින් ඉටු වූ තවත් අනාවැකි ගැන දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ උපග්‍රන්ථයේ ඇති “පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්” යන කොටස බලන්න.

^ 17 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග” යන මාතෘකාවෙන් යුත් 5වන පරිච්ඡේදය බලන්න.