Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බරබ්බස් හවුල් වුණේ කුමන අපරාධවලටද?

පොන්තියුස් පිලාත් යේසුස් වෙනුවට බරබ්බස්ව නිදහස් කළ බව සුවිශේෂ පොත් හතරේම සඳහන් වෙනවා. බයිබලයේ බරබ්බස්ව හඳුන්වා තිබෙන්නේ ‘ප්‍රසිද්ධ අපරාධකරුවෙක්’ සහ ‘කොල්ලකරුවෙක්’ ලෙසයි. (මතෙව් 27:16; යොහන් 18:40) ඔහු ‘වෙනත් පිරිසක් හා හවුල් වී ආණ්ඩුවට විරුද්ධව කැරලිගසා මිනී මරා’ තිබුණු නිසා රෝම ආණ්ඩුව විසින් ඔහුව යෙරුසලමේ සිරගත කර තිබුණා.—මාක් 15:7.

බරබ්බස් කළ අපරාධ පිළිබඳව අමතර සාක්ෂි කිසිවක් සොයාගැනීමට නැතත් ඔහුව බයිබලයේ ආණ්ඩුවට විරුද්ධව සිටි කණ්ඩායමක කෙනෙක් ලෙස විස්තර කර තිබෙන නිසා සමහර විශාරදයන් පවසන්නේ ඔහු විප්ලවකාරී කණ්ඩායමකට අයත්ව සිටින්න ඇති කියායි. ඒ කාලයේ පීඩිත යුදෙව්වන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා කියා පවසමින් රජයට විරුද්ධව අපරාධයන් සිදු කළ කල්ලි බොහොමයක් තිබුණා කියා ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස් පවසනවා. ක්‍රිස්තු වර්ෂ පළමු සියවස මැදභාගය වන විට පීඩිත රෝම පාලනයට විරුද්ධවත් ධනවත් යුදෙව්වන්ට විරුද්ධවත් නැඟී සිටි කල්ලි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ 66දී රෝමවරුන්ව යුදයෙන් එළවා දැමීමටත් එම කල්ලිවලට අයත් අය බොහෝ සෙයින් දායක වී තිබෙනවා.

එක් ශබ්දකෝෂයක බරබ්බස් ගැන සඳහන් වන්නේ මෙසේයි. “බරබ්බස් යම් සොර කල්ලියකට අයත්ව ඉන්න ඇති. ඔවුන් ධනවත් අයව කොල්ලකමින් රෝම පාලනයට විරුද්ධව කැරලිගැසූ නිසා සාමාන්‍ය මිනිසුන්ගේ ජනාදරයට පත්ව සිටියා.”—The Anchor Bible Dictionary.

රෝමවරුන් වධකණුවක ඇණ ගසා මරා දැමුවේ කුමනාකාරයේ වැරදි කළ අයවද?

රජයට විරුද්ධව කැරලිගැසූ සහ අපරාධවලට හවුල් වූ අයව රෝමවරුන් කණුවක ඇණ ගසා මිය යෑමට ඉඩහැරියා. එය කෙනෙකුට අත්විඳිය හැකි ඉතා වේදනාකාරී මෙන්ම දරුණුම ආකාරයේ දඬුවමක් වුණා.

එක් පොතක ඒ ගැන සඳහන් වුණේ මෙසේයි. “මිනිසුන්ව වධකණුවක ඇණ ගසනු ලැබුවේ ප්‍රසිද්ධ ස්ථානවල නිසා එය ඉතා නින්දාසහගත දෙයක් වුණා. රෝමවරුන් එවැනි දඬුවම් ක්‍රමයක් යොදාගත්තේ රජයට විරුද්ධව කැරලිගැසීම සඳහා අන් අය තුළ බියක් ඇති කිරීමටයි.” (Palestine in the Time of Jesus) පුරාණයේ සිටි එක් රෝම ලේඛකයෙක්ද සඳහන් කරන්නේ “අන් අය තුළ බියක් ඇති කිරීම සඳහා සියලුදෙනාටම පෙනෙන සේ බොහෝ අය ගැවසෙන පාරවල් අසල මිනිසුන්ව වධකණුවල ඇණ ගැසුවා” කියායි.

ක්‍රිස්තු වර්ෂ 70දී ටයිටස්ගේ හමුදාව යෙරුසලම වැටලූ අවස්ථාවේ එහි සිටි එක් මිනිසෙකුව අල්ලාගෙන පවුරෙන් එපිට සියල්ලන්ටම පෙනෙන සේ ඔහුව ඇණ ගැසූ බව ජොසීෆස් සඳහන් කරනවා. එසේ කර තිබෙන්නේ නගරයේ සිටි අයව බියගන්වා ඔවුන්ව යටත් කරගැනීමට කියාත් ඔහු සඳහන් කරනවා. කොහොමවුණත් නගරය යටත් කරගත් පසු බොහෝ අයවත් එසේ වධකණුවක ඇණ ගසා මරා දමනු ලැබුවා.

වැඩිම පිරිසක්ව වධකණුවල ඇණ ගසා මරා දමනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 73ත් 71ත් අතර කාලයේ ස්පාටකස් දියත් කළ කැරැල්ලේදීයි. ස්පාටකස්ගේ පැත්තේ සිටි වහලුන් සහ ග්ලැඩියේටර්වරුන් 6,000ක්ව කප්පුවා සිට රෝමය දක්වා වධකණුවල එල්ලා මරා තිබෙනවා.

[10වන පිටුවේ පින්තූරය]

චාල්ස් මුලර්ගේ “බරබ්බස්ව නිදහස් කරන්න” නමැති චිත්‍රය, 1878දී