Skip to content

පටුනට යන්න

ස්ථිර විශ්වාසයක් ඇතුව සිටි කඩිසර කාන්තාවක්

ස්ථිර විශ්වාසයක් ඇතුව සිටි කඩිසර කාන්තාවක්

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ස්ථිර විශ්වාසයක් ඇතුව සිටි කඩිසර කාන්තාවක්

මාර්තාගේ දයාබර සොහොයුරා වූ ලාසරුස් මිය ගොස් දින හතරක් ගෙවී ගොස් තිබුණා. ඔහුගේ නිසොල්මන් සිරුර රෙදි පටිවලින් ඔතා ගුහාවක තැන්පත් කර ඇති ආකාරය විටින් විට මාර්තාගේ මනසට නැඟෙන්න ඇති. කොහොමවුණත් එය පිළිගැනීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැහැ.

ඒ අතරතුර යේසුස් ඔවුන්ගේ නිවසට පැමිණෙමින් සිටින බව මාර්තාට ආරංචි වුණා. ඒ මොහොතේම මාර්තා ඔහුව හමු වීමට ගියා. ලාසරුස්ව මරණයෙන් බේරාගැනීමට හැකියාව තිබූ එකම තැනැත්තා වන යේසුස් ඉදිරියේ මාර්තා ඇගේ දුක නොසඟවා හෙළි කළා. ඒ අවස්ථාවේදී යේසුස්ව දැකීමෙන් මාර්තා සහනයක් අද්දකින්න ඇති. මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙන බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් ඇය තුළ තිබූ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට යේසුස් ඇගෙන් ප්‍රශ්න ඇසුවා. එවිට මාර්තා ඉතා වැදගත් වූ යමක් යේසුස්ට පැවසුවා. ඇය පැවසුවේ මෙයයි. “ස්වාමීනි, මට එය විශ්වාසයි. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට එන්න සිටින තැනැත්තා ඔබ බවත් මම විශ්වාස කරනවා.”—යොහන් 11:27.

ඇත්තෙන්ම මාර්තා යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ කාන්තාවක්. ඇය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ තොරතුරු ස්වල්පයක් වුණත් ඒවා සලකා බැලීමෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි.

“ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ?”

ලාසරුස්ට අමතරව මාර්තාට මරියා කියා සහෝදරියක්ද සිටියා. ඔවුන් ජීවත් වුණේ බෙතානිය නම් නගරයෙයි. ඒ තිදෙනා ගැන සඳහන් වන සෑම වතාවකම මාර්තාගේ නම මුලින්ම සඳහන් වී තිබීම නිසාත් ආගන්තුකයන්ට සත්කාර කිරීමේදී ඇය මූලිකත්වය ගෙන කටයුතු කළ නිසාත් මාර්තා පවුලේ වැඩිමලා විය හැකියි කියා ඇතැම් විශාරදයන් පවසනවා. (යොහන් 11:5) ඔවුන් තිදෙනා විවාහ වී සිටියාද නැද්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ. කොහොමවුණත් ඔවුන් යේසුස්ගේ කිට්ටු මිතුරන්ව සිටියා. යේසුස් ඒ ප්‍රදේශයේ දේශනා සේවයේ හවුල් වූ බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ නිවසේ නවාතැන් ගත්තා. එම ප්‍රදේශයේ අවට සිටි යුදෙව්වන්ගේ සතුරුකම්වලට යේසුස්ට මුහුණ දීමට සිදු වුණත් ලාසරුස්ගේ නිවසට පැමිණ ඔවුන්ව ඇසුරු කිරීමෙන් යේසුස් මහත් සහනයක් අද්දකින්න ඇති.

නිවසට එන අමුත්තන්ට උපරිමයෙන් සැලකීම සඳහා මාර්තා හැකි සෑම දෙයක්ම කළා. ඇය ඉතා කඩිසර කාන්තාවක්. යේසුස් ඇගේ නිවසට ගිය එක් අවස්ථාවකදී ඇය කටයුතු කළ ආකාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා. එවකට පැවති යුදෙව් සමාජය තුළ ආගන්තුක සත්කාරය පිරිනැමීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකනු ලැබුවා. ඒ නිසා අමුත්තෙක් නිවසට පැමිණි විට ඔහුව පිළිගත්තේ සිපගැනීමෙනුයි. ඉන්පසුව ඔහුගේ පාවහන් ගලවා කකුල් සෝදනු ලැබූ අතර හිසට සුවඳවත් තෙල් ආලේප කළා. (ලූක් 7:44-47) ඇත්තෙන්ම ආගන්තුකයන්ට නවාතැන් පහසුකම් ඇතුළුව ආහාර ලබා දීම සත්කාරය පිරිනමන කෙනාගේ ප්‍රධාන වගකීමක් වුණා.

යේසුස් මාර්තාගේ නිවසට පැමිණි අවස්ථාවේ සමහරවිට ඔහුගේ ඇතැම් ගෝලයන්ද පැමිණෙන්න ඇති. එදින රසවත් ව්‍යාංජන කිහිපයක්ම පිළියෙල කිරීමට සැලසුම් කළ නිසා මාර්තාටත් මරියාටත් වැඩ කන්දරාවක් තිබුණා. පෙනෙන ආකාරයට මරියා ඉතා සංවේදී මෙන්ම පුළුල්ව සිතන කෙනෙක්. නිවසේ වැඩකටයුතුවලදී ඇය මාර්තාට සහයෝගය දුන් බවට සැකයක් නැහැ. කොහොමවුණත් යේසුස් පැමිණි විට මරියා යේසුස්ගේ පාද අසල ඉඳගෙන ඔහු ඉගැන්වූ දේවලට සවන් දෙන්න පටන්ගත්තා. එදා සිටි යුදෙව් ආගමික නායකයන් සහ යේසුස් අතර මොන තරම් වෙනසක් තිබෙනවාද කියා අපට එයින් තේරුම්ගන්න පුළුවන්. ඔවුන් කාන්තාවන්ව සුළු කොට සැලකුවත් යේසුස් කාන්තාවන්ට ගෞරවයෙන් සලකමින් දෙවිගේ රාජ්‍යය ගැන කියා දුන්නා.

මරියා යේසුස් අසල ඉඳගෙන ඔහුට සවන් දෙමින් සිටි නිසා මාර්තාට ගෙදරදොර වැඩකටයුතු සියල්ල තනිවම කිරීමට සිදු වුණා. ඒ වෙලාවේ මාර්තාට අනිවාර්යයෙන්ම යම් පීඩනයක් දැනෙන්න ඇති. එතරම් වැඩ කන්දරාවක් තිබෙන මොහොතක මරියා කිසිම සහයෝගයක් නොදී යේසුස්ට සවන් දීගෙන සිටිනවා දකින විට මාර්තාට කෙසේ හැඟෙන්න ඇද්ද? ඊළඟට සිදු වූ දේ සලකා බැලීමෙන් ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගත හැකියි.

මාර්තා යේසුස්ට බාධා කරමින් මෙසේ පැවසුවා. “ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදු වෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න.” (ලූක් 10:40) ඇය පැවසූ ඒ වදන් ඇතැම් බයිබල් පරිවර්තනවල මේ ආකාරයටත් සඳහන් වී තිබෙනවා. ‘ස්වාමීනි මගේ සහෝදරිය සියලුම වැඩකටයුතු මට පවරා ඔබේ පාද අසල ඉඳගෙන සිටිනවා ඔබට පෙනෙන්නේ නැද්ද?’

ඒ අවස්ථාවේදී යේසුස් ඉතා කාරුණිකව ඇයට මෙසේ පැවසුවා. “මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ? බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” (ලූක් 10:41, 42) ඔහු එසේ පැවසුවේ ඇයි? මාර්තා වෙහෙස මහන්සි වී කළ දේවල් යේසුස් අගය කළේ නැති බව හෝ මාර්තා එදිනෙදා වැඩකටයුතු ගැන පමණට වඩා සිතූ බව හෝ ඉන් අදහස් වුණාද? නැහැ.

මාර්තා හැම දෙයක්ම කළේ හොඳ චේතනාවකින් බව යේසුස් දැන සිටියා. ආගන්තුකයන්ට එලෙස සත්කාර කිරීම වැරදියි කියා යේසුස් සිතුවේ නැහැ. ඊට දින කිහිපයකට කලින් මතෙව්ගේ නිවසේ පැවැත්වූ ‘විශාල භෝජන සංග්‍රහයකට’ ඔහු කැමැත්තෙන්ම සහභාගි වීමෙන් එය පැහැදිලි වෙනවා. (ලූක් 5:29) නමුත් යේසුස් මාර්තාට එවැනි දෙයක් පැවසුවේ ඇය වැදගත්ම දේ අහිමි කරගනිමින් හොඳ කෑම වේලක් පිළියෙල කිරීම වෙත ඇගේ අවධානය යොමු කර තිබූ නිසයි. ඇයට අහිමි වූ ඒ වැදගත්ම දේ කුමක්ද?

යෙහෝවා දෙවිගේ පුත්‍රයා වූ යේසුස්ගෙන් ඉගෙනගැනීමට ලැබීමේ උතුම් වරප්‍රසාදය ඇය අහිමි කරගත්තා. ඇගේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට ලැබුණු ඒ අනගි අවස්ථාව මාර්තා අහිමි කරගැනීම ගැන යේසුස්ට දුකක් දැනෙන්න ඇති. නමුත් ඇයට කැමති ආකාරයෙන් කටයුතු කිරීමට යේසුස් ඉඩහැරියා. කොහොමවුණත් යේසුස්ගෙන් ඉගෙනගැනීමට මරියා ගත් තීරණයට බාධා කරන්න මාර්තාට අයිතියක් තිබුණේ නැහැ.

එය තේරුම්ගෙන සිටි යේසුස් ඇයව සන්සුන් කිරීමට උත්සාහ කරමින් මාර්තා මාර්තා “ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ” කියා ඇගෙන් ඇසුවා. ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී වැදගත්ම දේ වුණේ යේසුස්ගෙන් ඉගෙනගැනීමට තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. ඒ සඳහා කාලය ඉතුරු කරගැනීමට ව්‍යාංජන එකක් හෝ දෙකක් පමණක් පිළියෙල කිරීම ප්‍රමාණවත්ව තිබුණා. මාර්තාට වෙනස්ව මරියා ‘තෝරාගත්තේ වඩාත් හොඳම දෙයයි.’ එය ඇයට අහිමි වෙනවා දකින්න යේසුස් කොහෙත්ම සතුටු වුණේ නැහැ.

එම සිද්ධියෙන් අද සිටින යේසුස්ගේ අනුගාමිකයන්ටත් වැදගත් පාඩම් ඉගෙනගත හැකියි. මාර්තා මෙන් අපිත් කඩිසරව වැඩ කරන ආගන්තුක සත්කාරයට ළැදි අය විය යුතුයි. ඒ වුණත් ඒ දේවල් ගැන ‘අනවශ්‍ය ලෙස කරදර වීමෙන්’ වඩා වැදගත් දේවල් අතපසු නොකිරීමට අප වගබලා ගත යුතුයි. ඇත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට තිබෙන අවස්ථාවලට බාධා වීමට අප කිසිම දෙයකට ඉඩ දීම සුදුසු නැහැ. (මතෙව් 5:3) අප සෙසු සහෝදරයන්ව ඇසුරු කිරීමේ මූලික අරමුණ කා බී සතුටු වීම නොවෙයි. ඒ වෙනුවට අපි එවැනි අවස්ථාවන් යොදාගත යුත්තේ දෙවි සමඟ තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීම සඳහා එකිනෙකාව දිරිගැන්වීමටයි. (රෝම 1:11, 12) එවැනි අවස්ථාවල සරල කෑම වේලක් පිළියෙල කිරීම ප්‍රමාණවත්.

මරණයෙන් නැඟිටුවනු ලැබූ සොහොයුරා

යේසුස් දුන් වටිනා උපදෙස් මාර්තා අදාළ කරගත්තාද? ඉන් ටික කාලයකට පසුව සිදු වූ ලාසරුස්ගේ මරණය හා සම්බන්ධ විස්තරය තුළ “යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළේය” කියා බයිබලයේ සඳහන් වී තිබීමෙන් ඊට පිළිතුර පැහැදිලියි. (යොහන් 11:5) ඉන් ඔප්පු වන්නේ යේසුස් දුන් උපදෙස් සම්බන්ධයෙන් කේන්තියෙන් කටයුතු කරනවා වෙනුවට මාර්තා එම උපදෙස් අදාළ කරගත් බවයි. මාර්තා තැබූ ඒ ආදර්ශය අපිටත් අනුගමනය කළ හැකියි. යම් කාරණා සම්බන්ධයෙන් අපට උපදෙස් ලැබෙන විට ඒවා අදාළ කරගැනීමට අපිත් උත්සාහ කරමු.

ඇගේ සොහොයුරා වූ ලාසරුස් අසනීප වූ විට මාර්තා වෙහෙස නොබලා ඔහුට සත්කාර කළ බව නොඅනුමානයි. නමුත් මොහොතින් මොහොත ඔහුගේ තත්වය බරපතළ අතට හැරුණා. එවැනි අවස්ථාවල ඔහුගේ මුහුණ දෙස බලා සිටි මාර්තාට අවුරුදු ගණනාවක් පුරා ඔවුන් දුකේදීත් සැපේදීත් එකට සිටි ආකාරය මතකයට නැඟෙන්න ඇති.

ලාසරුස්ගේ තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙනවා බලා සිටීමට නොහැකිව මාර්තා සහ මරියා යේසුස්ට පණිවිඩයක් යවමින් “ස්වාමීනි, ඔබේ හිතවත් මිත්‍රයා අසනීපයෙන් සිටිනවා” කියා දැන්වූවා. (යොහන් 11:1, 3) ඒ වන විට යේසුස් සිටි ස්ථානයට යෑමට දින දෙකක් පමණ ගත වුණා. යේසුස් ලාසරුස්ට බෙහෙවින් ප්‍රේම කරන බවත් ඔහුව සුව කිරීමට යේසුස්ට හැකි බවත් ඔවුන් දෙදෙනා හොඳින්ම දැන සිටියා. නමුත් මාර්තාටත් මරියාටත් මහත් වේදනාවක් ගෙන දෙමින් ලාසරුස් මිය ගියා.

ලාසරුස්ගේ මරණය නිසා මාර්තා සහ මරියා බොහෝ සෙයින් හඬා වැලපුණා. ඒ අතරේ තම සොහොයුරාගේ අවසන් කටයුතු සැලසුම් කිරීමටත් තමන්ව සැනසීමට බෙතානියෙන් සහ ඒ අවටින් පැමිණි අයව පිළිගැනීමටත් ඔවුන්ට සිදු වෙන්න ඇති. ඒ වන විටත් යේසුස් පැමිණ සිටියේ නැහැ. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම මාර්තාගේ සිතේ තිබූ වේදනාව තවත් වැඩි වෙන්න ඇති. දින හතරකට පසුව ඔවුන්ව හමු වීමට යේසුස් පැමිණෙමින් සිටින බව මාර්තාට ආරංචි වුණා. ඒ මොහොතේම ඇය මරියාටවත් නොකියා ඉක්මනින්ම යේසුස්ව හමු වීමට ගියා.—යොහන් 11:20.

යේසුස්ව දුටු විගසම මාර්තා ඇගේ සිතේ වේදනාව පිට කරමින් මෙසේ පැවසුවා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” එවැනි අසීරු අවස්ථාවකදී වුණත් මාර්තා ස්ථිර විශ්වාසයකින් සිටි බව ඇය යේසුස්ට පැවසූ මේ වදන්වලින් තේරුම්ගත හැකියි. “ඔබ දෙවිගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවි ඔබට දෙන බව මම දන්නවා.” එවිට යේසුස් ඇගේ බලාපොරොත්තු ඉහළ නංවමින් මෙසේ පැවසුවා. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.”—යොහන් 11:21-23.

මාර්තා සිතුවේ යේසුස් අනාගතයේදී සිදු වීමට නියමිත නැවත නැඟිටීම ගැන පැවසුවා කියායි. ඒ නිසා “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා” කියා ඇය පැවසුවා. (යොහන් 11:24) එවකට සිටි ප්‍රසිද්ධ ආගමික නායකයන් නැවත නැඟිටීම ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබූ දේ විශ්වාස නොකළත් මාර්තා එය තදින්ම විශ්වාස කළා. (දානියෙල් 12:13; මාක් 12:18) යේසුස් නැවත නැඟිටීම ගැන උගන්වනවාට අමතරව මිය ගිය අයට ජීවිතය දුන් බවත් මාර්තා දැන සිටියා. නමුත් දින හතරක් පුරා මිය ගොස් සිටි කෙනෙකුට යේසුස් යළි ජීවිතය දුන් බව ඇය අසා තිබුණේ නැහැ. ඒ නිසා තම සොහොයුරාට කුමක් සිදු වෙයිද කියා මාර්තා හරියටම දැන සිටියේ නැහැ.

ඒ අවස්ථාවේදී යේසුස් ඉතාමත් වැදගත්කමකින් යුත් මේ වදන් පෙළ පැවසුවා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.” මිය ගොස් සිටින මිනිසුන් අසංඛ්‍යාත දෙනෙකුව අනාගතයේදී නැවත නැඟිටුවීමට යෙහෝවා දෙවි යේසුස්ට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා ඔහු මාර්තාගෙන් මෙසේ ඇසුවා. “ඔබ මේ දේ විශ්වාස කරනවාද?” ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට පැමිණීමට නියමිතව සිටි තැනැත්තා ඔබ බවත් මම විශ්වාස කරනවා කියා මාර්තා පැවසුවේ ඒ අවස්ථාවේදීයි.—යොහන් 5:28, 29; 11:25-27.

එවැනි විශ්වාසයක් ඇතුව කටයුතු කරන අයව යෙහෝවා දෙවි සහ යේසුස් අගය කරනවාද? ඊළඟට සිදු වූ දෙයින් ඊට පැහැදිලි පිළිතුරක් ලබාගත හැකියි. මාර්තා ඉක්මනින්ම ගොස් මරියාව එතැනට එක්කගෙන ආවා. මරියා සහ ඇය සමඟ පැමිණි යුදෙව්වරුන් හඬා වැලපෙන ආකාරය දැකීමෙන් යේසුස්ට මහත් ශෝකයක් දැනුණු ආකාරයත් ඔහුගේ දෑස් කඳුළින් පිරී ගිය ආකාරයත් මාර්තා දුටුවා. ඒ වගේම ලාසරුස්ගේ සොහොන් ගෙය වැසීමට භාවිත කර තිබූ ගල අහක් කරන්න කියා යේසුස් පවසනවාත් ඇයට ඇසුණා.—යොහන් 11:28-39.

ඒ වන විට ලාසරුස් මිය ගොස් දින හතරක් ගෙවී තිබූ නිසා මළ සිරුර හොඳටම ගඳ ගසනවා ඇති කියා මාර්තා යේසුස්ට පැවසුවා. එවිට “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව මම ඔබට කිව්වා නේද” කියා යේසුස් ඇයට යළි මතක් කළා. ඉන්පසුව යේසුස් මහත් හඬින් “ලාසරුස්, පිටතට එන්න” කියා පැවසුවා. එවිට ලාසරුස් සොහොන් ගෙයින් පිටතට ආවා. ඒ වෙලාවේ ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතා තිබුණු අතර ඔහුගේ මුහුණත් රෙදි කඩකින් වසා තිබුණා. එමනිසා “රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියා යේසුස් පැවසුවා. (යොහන් 11:40-44) ඒ මොහොතේ මාර්තාට කෙසේ හැඟෙන්න ඇද්ද! මාර්තා සහ මරියා දුව ගොස් ඔවුන්ගේ දයාබර සොහොයුරාව ආදරයෙන් වැලඳගත් බවට කිසිම සැකයක් නැහැ. ඒ දවස මාර්තාගේ මතකයේ සදා රැඳුණු බව නොඅනුමානයි.

මිය ගිය අයට යළි ජීවිතය ලැබෙන බවට බයිබලයේ සඳහන් වී ඇති පොරොන්දුව සැබෑවක් බව එම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. මාර්තා, මරියා සහ ලාසරුස් තුළ තිබුණු ශක්තිමත් විශ්වාසය නිසා ඔවුන්ට ආශීර්වාද කළා හා සමානව අද දිනත් එවැනි විශ්වාසයක් ඇතුව කටයුතු කරන අයට ආශීර්වාද කිරීමට යෙහෝවා දෙවි සහ යේසුස් මහත් ආශාවකින් සිටිනවා. ඒ නිසා මාර්තා මෙන් ඔබත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව කටයුතු කළොත් ඔබටත් දෙවිගෙන් ආශීර්වාද රැසක් භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා. *

‘සංග්‍රහ කරමින් සිටියේ මාර්තායි’

බයිබලයේ අවසන් වතාවට මාර්තා ගැන සඳහන් වෙන්නේ යේසුස් පොළොවේ සිටි අවසන් සතියේ සිදු වූ සිද්ධියකදීයි. තව නොබෝ දිනකින් තමන්ට මුහුණ දීමට සිදු වන දේ ගැන යේසුස් දැනගෙන සිටියත් ඔහු නැවත වතාවක් ලාසරුස්ගේ නිවසේ නවාතැන් ගැනීමට ගියා. එහි සිට ඔහු කිලෝමීටර් තුනක් දුරින් තිබූ යෙරුසලමට පයින් ගමන් කළා. ඒ සතියේ එක් දිනක යේසුස්, ලාසරුස් ඇතුළු තවත් අය සීමොන් නම් තැනැත්තාගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වුණා. ඒ අවස්ථාවේ සියලුදෙනාටම ‘සංග්‍රහ කරමින් සිටියේ මාර්තායි.’—යොහන් 12:2.

බයිබලයේ මාර්තා ගැන සඳහන් වන මුල්ම අවස්ථාවේ මෙන්ම අවසන් අවස්ථාවේත් ඇයව විස්තර කර තිබෙන්නේ අන් අයට උපරිමයෙන් සලකන කඩිසර කාන්තාවක් ලෙසයි. අද දිනත් යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතර මාර්තා මෙන් ආගන්තුක සත්කාරයට ළැදි, කඩිසර ස්ත්‍රීන් සිටිනවා. ඒ ගැන අපි කොතරම් සතුටු විය යුතුද! පෙනෙන ආකාරයට මාර්තා තම ජීවිත කාලය පුරාම ඒ අයුරින් කටයුතු කරමින් ඇගේ විශ්වාසය ක්‍රියාවලින් පෙන්වන්න ඇති. එසේ වූවා නම් ඇයට මුහුණ දීමට තිබූ පීඩාවන් හමුවේ නොසැලී සිටීමට එය ඇයට උපකාරවත් වූ බව නිසැකයි.

ඉහත සිද්ධියෙන් දින කිහිපයකට පසුව යේසුස් අත්වින්ද කුරිරු මරණයේ වේදනාව දරාගැනීමට මාර්තාට සිදු වුණා. ඒ විතරක් නොවෙයි. ලාසරුස්ගේ නැවත නැඟිටීම හේතුවෙන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ නිසා යේසුස්ව ඝාතනය කළ අය ලාසරුස්වත් මරා දැමීමට කුමන්ත්‍රණය කළා. (යොහන් 12:9-11) ඒ සියල්ල දරාගැනීමට නම් මාර්තාට ස්ථිර විශ්වාසයක් තිබීම බොහෝ සෙයින් වැදගත් වුණා. කාලය ගෙවී යත්ම මාර්තා, මරියා සහ ලාසරුස් අතර තිබූ කිට්ටු සහෝදර බැඳීම මරණය නිසා අවසන් වී ගියා. එය සිදු වුණේ කවදාද, කෙසේද කියා අප දන්නේ නැහැ. කොහොමවුණත් යෙහෝවා දෙවි සහ යේසුස් කෙරෙහි තිබූ විශ්වාසය නිසා සියලුම පීඩා කරදර විඳදරාගැනීමට මාර්තාට හැකි වුණා. ඇත්තෙන්ම මාර්තා අපට අනුකරණය කිරීමට මොන තරම් වටිනා ආදර්ශයක්ද!

[පාදසටහන]

^ 27 ඡේ. මිය ගිය අයට යළි ජීවිතය ලැබීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වන පරිච්ඡේදය බලන්න.

[11වන පිටුවේ පින්තූරය]

දැඩි ශෝකයෙන් සිටියත් තම විශ්වාසය ශක්තිමත් කිරීමට මාර්තා යේසුස්ට ඉඩහැරයා

[12වන පිටුවේ පින්තූරය]

මාර්තා ගෙදරදොරේ වැඩවලට ලොකු අවධානයක් දුන්නත් යේසුස් දුන් මඟ පෙන්වීම් අදාළ කරගත්තා

[15වන පිටුවේ පින්තූරය]

මාර්තා යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඇගේ සොහොයුරා නැවත නැඟිටිනවා දැකගැනීමට ඇයට හැකි වුණා