Skip to content

පටුනට යන්න

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

දෙවි පොළොව නිර්මාණය කළේ මිනිසුන්ගේ වාසය සඳහායි. ස්වර්ගයේ ජීවත් වීම සඳහා දේවදූතයන්ව නිර්මාණය කළ පසු දෙවි පොළොවේ ජීවත් වීම සඳහා මිනිසුන්ව නිර්මාණය කළා. (යෝබ් 38:4, 7) මුල්ම මිනිසා වූ ආදම්ව පාරාදීසයක් වූ ඒදන් උයනේ පදිංචි කළ දෙවි මුළු මිනිස් වර්ගයාටම පොළොව මත සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවක්ද ලබා දුන්නා.—උත්පත්ති 2:15-17; ගීතාවලිය 115:16 කියවන්න.

ආදම්ට සහ ඔහුගේ බිරිඳ වූ ඒවට දරුවන්ව බිහි කර ගණනින් වැඩි වන්න කියාත් ඒදන් උයන මෙන් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන්න කියාත් දෙවි පැවසුවා. (උත්පත්ති 1:28) ඔහු පොළොව නිර්මාණය කළේ කිසිදා විනාශ වී යෑමට නොවෙයි.—ගීතාවලිය 104:5 කියවන්න.

2. අද පොළොව පාරාදීසයක් නොවන්නේ ඇයි?

ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔවුන්ව ඒදන් උයනෙන් ඉවත් කළා. ඒ නිසා පාරාදීස පොළොවක ජීවත් වීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වුණා. මිනිසුන් කොතරම් උත්සාහ කළත් පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට ඔවුන්ට හැකි වී නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “පොළොව දුෂ්ටයාගේ අතට භාර දී තිබේ” කියායි.—යෝබ් 9:24; උත්පත්ති 3:23, 24 කියවන්න.

කොහොමවුණත් පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට වූ තම අරමුණ දෙවි අමතක කර නැහැ. (යෙසායා 45:18) දෙවි ළඟදීම එම අරමුණ ඉටු කරනවා.—ගීතාවලිය 37:11 කියවන්න.

3. දෙවි පොළොවට යළිත් සාමකාමී තත්වයක් උදා කර දෙන්නේ කෙසේද?

ඒ සඳහා දෙවි මුලින්ම දුෂ්ටයන්ව විනාශ කිරීමට නියමිතයි. දෙවි එය කරන්නේ ඔහුගේ මහත් දවසේ යුද්ධයේදීයි. ඉන්පසුව යක්ෂයාව අවුරුදු දහසකට බැඳ තබනවා. නමුත් දෙවිට කීකරු මිනිසුන් ඒ යුද්ධයෙන් බේරී පොළොවේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා.—එළිදරව් 16:14, 16; 20:1-3; 21:3, 4 කියවන්න.

4. දුක් වේදනා නිමා වන්නේ කවදාද?

යේසුස් අවුරුදු දහසකට ස්වර්ගයේ සිට පොළොව පාලනය කිරීමට නියමිතයි. ඒ කාලයේදී ඔහු ක්‍රමානුකූලව පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. එමෙන්ම දෙවිට ප්‍රේම කරන සියලුදෙනාගේ වැරදිවලට සමාව දීමටත් අසනීප, මහලු විය සහ මරණය නැති කර දැමීමටත් ඔහු පියවර ගන්නවා.—යෙසායා 11:9; 25:8; 33:24; 35:1 කියවන්න.

දෙවි දුෂ්ටයන්ව විනාශ කර දමන්නේ කවදාද? එම දිනය ළඟා වන බව දැනගැනීම සඳහා යේසුස් ‘ලකුණක්’ දුන්නා. ඒ ලකුණට අනුව අපි අද ජීවත් වන්නේ “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” තුළ බව පැහැදිලියි.—මතෙව් 24:3, 7-14, 21, 22; 2 තිමෝති 3:1-5 කියවන්න.

5. අනාගතයේදී පාරාදීස පොළොව මත ජීවත් වන්නේ කවුද?

මිනිසුන්ට දෙවි ගැන කියා දී තම ගෝලයන් වීමට ඔවුන්ට උපකාර කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවා. (මතෙව් 28:19, 20) දැන් සිටම පාරාදීස පොළොවේ ජීවත් වීමට යෙහෝවා දෙවි මිලියන ගණන් මිනිසුන්ව පුහුණු කරමින් සිටිනවා. (ශෙපනියා 2:3) උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට හවුල් වන අයට ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් ලෙසත් මව්වරුන් හා පියවරුන් ලෙසත් තම වගකීම් හොඳින් ඉටු කළ හැකි ආකාරය ගැන ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙනවා. එම රැස්වීම්වලට සහභාගි වන දෙමව්පියන් මෙන්ම දරුවන්ද දෙවි ලබා දෙන පාරාදීසය පිළිබඳව විශ්වාස කිරීමට තිබෙන පදනම කුමක්ද කියා ඉගෙනගන්නවා.—මීකා 4:1-4 කියවන්න.

සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ඔබත් සහභාගි වුණොත් යෙහෝවා දෙවිට ප්‍රේම කරන, ඔහුව සතුටු කිරීමට කැමැත්තක් දක්වන අයව ඔබට මුණගැසෙයි.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන පරිච්ඡේදය බලන්න.