Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

ඔයා තනි වෙලා කියලා ඔයාට හිතෙනවාද?

ඔයා තනි වෙලා කියලා ඔයාට හිතෙනවාද?

අද ඉන්න හුඟක් අයට තනිකම දැනෙනවා. ඒ අය හිතන්නේ කිසිම කෙනෙක් තමන් ගැන සැලකිලිමත් නැහැ කියලයි. විශේෂයෙන්ම තනිකම දැනෙන්නේ මහලු අයට. හැබැයි යෙහෝවා දෙවිට සේවය කරන දරුවන්ටත් සමහර අවස්ථාවලදී තමන් තනි වෙලා කියලා භයක් දැනෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයා දන්නවාද? *

ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. දැන් අපි මීට අවුරුදු 3,000කට විතර කලින් ජීවත් වුණු එලියාගේ අද්දැකීම ගැන බලමු. ඒ කාලේ හිටිය ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිව අත්හැරලා බොරු දෙවියෙක් වූ බාල්ට නමස්කාර කළා. ඒ නිසා දෙවිට නමස්කාර කරන්න ‘ඉතුරු වෙලා ඉන්නේ තමා විතරයි’ කියලා එලියා හිතුවා. හැබැයි එලියා හිතුව දේ හරිද?

ඇත්තටම ඒ වෙන කොට ඊශ්‍රායෙල්වරුන් දහස් ගණනක් යෙහෝවා දෙවිට නමස්කාර කරමින් හිටියා. ඒත් එලියා ඒක දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ අයත් භයෙන් හැංගිලයි හිටියේ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

ඒ කාලේ ඊශ්‍රායෙල් දේශය පාලනය කළේ ආහබ් රජයි. ඔහුත් යෙහෝවා දෙවිව අත්හැරලා තම බිරිඳ වුණු යෙසබෙල් නමස්කාර කළ බාල් දෙවියාට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ දෙන්නටම ඕන වුණේ යෙහෝවා දෙවිට නමස්කාර කළ අයව මරලා දාන්නයි. ඒ අයට වැඩියෙන්ම මරන්න ඕන වුණේ එලියාවයි. ඒ නිසා එලියා කිලෝමීටර් 483ක් විතර ඈතින් තිබුණු හොරෙබ් කියන පාළුකරයට ගියා. ඒ ප්‍රදේශය බයිබලයේ සීනයි කියලත් හඳුන්වලා තියෙනවා. ඊට අවුරුදු සිය ගණනකට කලින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දසපනත දුන්නෙත් ඒ ප්‍රදේශයේදීමයි. හොරෙබ්වලට ගියාට පස්සේ එලියා ගුහාවක හැංගිලා හිටියා. ඒත් එලියා භය වෙන්න ඕනේද?

යෙහෝවා දෙවි එලියා මාර්ගයෙන් හුඟක් බලවත් දේවල් කරලා තිබුණා. එක අවස්ථාවකදී එලියා අහසින් ගින්දර එවලා දවන පූජාවක් පුලුස්සන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කළාම දෙවි ඒක කළා. ඒ නිසා යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලත් බාල් බොරු දෙවියෙක් කියලත් ඒකෙන් ඔප්පු වුණා.

එලියා ගුහාවේ හැංගිලා ඉන්න කොට යෙහෝවා දෙවි එලියාගෙන් මෙහෙම ඇහුවා. “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි?” එතකොට එලියා කිව්වා ‘ඔබට නමස්කාර කරන්න ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි’ කියලා. ඒත් යෙහෝවා දෙවි එලියාට ආදරෙන් කිව්වා ‘මට නමස්කාර කරන තවත් හත්දහස්දෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ ඉන්නවා’ කියලා. ඒ වගේම කරන්න වැඩ හුඟක් තියෙන නිසා ආයෙත් ඊශ්‍රායෙල් දේශයට යන්න කියලත් දෙවි එලියාට කිව්වා.

එලියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?—යෙහෝවා දෙවිට නමස්කාර කරන අයත් සමහර අවස්ථාවලදී භය වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවිට යාච්ඤා කරලා උපකාර ඉල්ලන එක හුඟක් වැදගත්. මොකද ‘යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව ඉන්නවා’ කියලා දෙවිම පොරොන්දු වෙලා තියෙනවා.

ඒ වගේම අපි තනි වෙලා නැහැ කියලත් මතක තියාගන්න ඕනේ. ඒකට හේතුව ‘ලොව පුරා සිටින ඔබේ සහෝදරයන් සියලුදෙනාම ඒ හා සමාන දුක් පීඩාවලට මුහුණ දෙනවා’ කියලා බයිබලයේ සඳහන් වීමයි. ඒකෙන් අපිට තේරෙනවා යෙහෝවා දෙවිටත් අපිටත් ආදරය කරන හුඟදෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ ගැන ඔයා සතුටුයි නේද?

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.