Skip to content

පටුනට යන්න

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු

“සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝ. 14:15.

1, 2. (අ) අප තීරණ ගනිද්දී මූලික අවධානය යොමු කළ යුත්තේ කුමක් ගැනද? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

අප සෑම දවසකම බොහෝ තීරණ ගන්නවා. ඒවායින් වැඩි හරියක් එතරම් බැරෑරුම් නැති කෙටි කාලයකට පමණක් බලපාන ඒවා වුණත් සමහර ඒවා අපගේ මුළු ජීවිත කාලයටම බලපාන්න පුළුවන්. අප කුමන තීරණය ගත්තත් මූලික අවධානය යොමු කරන්නේ දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයේ තීරණ ගැනීමටයි.1 කොරින්ති 10:31 කියවන්න.

2 තීරණ ගැනීම ඔබට පහසු දෙයක්ද? නැත්නම් එය අභියෝගයක් කියා සිතෙනවාද? අප අවබෝධයෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානීන් බවට පත් වන්න නම් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු විය යුතුයි. අප තීරණ ගත යුත්තේ අප අවබෝධ කරගෙන තිබෙන දේ අනුව මිස අන් අය කියන නිසා නොවෙයි. (රෝම 12:1, 2; හෙබ්‍රෙ. 5:14) නිවැරදි තීරණ ගැනීමට ඉගෙනගත යුතු වෙනත් ප්‍රධාන හේතු මොනවාද? සමහර අවස්ථාවලදී තීරණ ගැනීම එතරම් අමාරු ඇයි? දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් තීරණ ගැනීමට නම් අප කළ යුතු දේවල් මොනවාද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

අප විසින්ම තීරණ ගත යුත්තේ ඇයි?

3. අප ගන්නා තීරණවලට බාධා කිරීමට කුමන දේවලට ඉඩ නොදිය යුතුද?

3 බයිබල් ප්‍රතිපත්ති අදාළ වන කාරණාවලදී නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි නම් අපගේ විශ්වාසයන් ගැන අපට නිවැරදි අවබෝධයක් නොමැති බව අපගේ පාසැලේ හෝ රැකියා ස්ථානයේ සිටින අය තීරණය කිරීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවක අප පහසුවෙන්ම ඔවුන්ගේ බලපෑමට හසු විය හැකියි. ඔවුන් බොරු කියන, වංචා කරන හෝ සොරකම් කරන අය නම් අපවත් ඒ සඳහා පොලඹවන්න ඉඩ තිබෙනවා. එසේ නැත්නම් ඔවුන් කරන වැරදි වැඩ හෙළි නොකරන්න කියා අපට පවසන්න පුළුවන්. (නික්. 23:2) කෙසේවෙතත් දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් තීරණ ගන්න කෙනෙක් බිය නිසා හෝ අන් අයගේ අනුමැතිය ලබාගැනීමට තිබෙන ආශාව නිසා හෝ පුහුණු කරන ලද හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ.—රෝම 13:5.

4. අන් අය අප වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ තිබෙන්නේ ඇයි?

4 අප වෙනුවෙන් තීරණ ගන්න හැමෝම එසේ කරන්නේ අපට හානි කිරීමේ අරමුණින් නොවෙයි. සමහර අවස්ථාවලදී අපට උදව් කිරීමට ඉදිරිපත් වන මිත්‍රයන් ඔවුන්ගේ මඟ පෙන්වීමට අනුව තීරණ ගන්න කියා අපට බල කළ හැකියි. සමහරවිට අප ජීවත් වන්නේ දෙමාපියන් සමඟ නොවෙයි නම්, අපගේ යහපත වෙනුවෙන් සැලකිලිමත් විය යුතුයි කියා සිතන නෑදෑයන් අප වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. උදාහරණයකට වෛද්‍ය ප්‍රතිකාර ගැන සලකා බලන්න. බයිබලයේ පැහැදිලිවම සඳහන් කරන්නේ රුධිරයෙන් වළකින්න කියායි. (ක්‍රියා 15:28, 29) කෙසේවෙතත් ගත යුතු සෑම ප්‍රතිකාරයක් ගැනම බයිබලයේ සඳහන් වී නැහැ. එවැනි අවස්ථාවක පිළිගත යුත්තේ හා ප්‍රතික්ෂේප කළ යුත්තේ කුමන ප්‍රතිකාරයද කියා අප පෞද්ගලිකව තීරණය කළ යුතුයි. * එම ප්‍රතිකාර ගැන අපගේ නෑදෑ හිතවතුන්ට වෙනත් මත තිබෙන්න පුළුවන්. නමුත් එවැනි ප්‍රතිකාර ක්‍රම ගැන තීරණයක් ගැනීමේදී සෑම බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක්ම “තමාට පැවරී ඇති වගකීම” ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. (ගලා. 6:4, 5) අප වඩාත් සැලකිලිමත් වන්නේ මිනිසුන් ඉදිරියේ නොව දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටයි.—1 තිමෝ. 1:5.

5. අපගේ විශ්වාසය විනාශ කර නොගන්න නම් අප කුමක් කළ යුතුද?

5 තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් සිටීම ඉතා භයානකයි. “එවැනි කෙනෙක් තමන් කරන කියන සියල්ලේදී අවිනිශ්චිතව කටයුතු කරයි” කියා යාකොබ් පැවසුවා. (යාකො. 1:8) ඔහු සැඩ සුළඟට හසු වී එහේ මෙහේ පැද්දෙන හබලක් නැති ඔරුවක සිටින පුද්ගලයෙක් වගෙයි. එවැනි කෙනෙක් අන් අයගේ විවිධ අදහස් නිසා තීරණයක් ගැනීමට නොහැකිව දෙගිඩියාවෙන් සිටිනවා. එවැනි කෙනෙක් ඔහුගේ විශ්වාසය විනාශ කරගෙන ඔහු මුහුණ දෙන දුක්ඛිත තත්වය ගැන අන් අයට දොස් පවරන්න පහසුවෙන්ම පෙලඹෙන්න පුළුවන්. (1 තිමෝ. 1:19) එවැනි දෙයක් අපට සිදු නොවීමට නම් අප කුමක් කළ යුතුද? ඒ සඳහා අප “විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” අවශ්‍යයි. (කොලොස්සි 2:6, 7 කියවන්න.) එසේ සිටීමට නම් අප දෙවිගේ වචනය මත පදනම්ව තීරණ ගැනීමට ඉගෙනගත යුතුයි. (2 තිමෝ. 3:14-17) නිවැරදි තීරණ ගැනීමට බාධා වන දේවල් මොනවාද කියා දැන් අපි සලකා බලමු.

තීරණ ගැනීම අපහසු ඇයි?

6. බිය නිසා අපට මොන වගේ බලපෑමක් ඇති විය හැකිද?

6 තීරණය වරදියිද, එය අසාර්ථක වෙයිද, අන් අය එය මෝඩ තීරණයක් කියා සිතයිද යන බිය නිසා තීරණ ගැනීම අපහසු විය හැකියි. එලෙස සිතීම සාමාන්‍යයි. වැරදි තීරණයක් ගැනීමෙන් කරදරයට හා ලැජ්ජාවට පත් වෙන්න කවුරුත් කැමති නැහැ. නමුත් දෙවිට හා ඔහුගේ වචනයට තිබෙන ළැදියාව බිය අඩු කරගැනීමට අපට උපකාරවත් වෙනවා. ඒ කෙසේද? දෙවි කෙරෙහි ප්‍රේමයක් අපට තිබෙනවා නම් වැදගත් තීරණ ගැනීමට පෙර නිතරම ඔහුගේ වචනය හා ඒ මත පදනම් ප්‍රකාශන සෝදිසි කර බැලීමට අප පෙලඹෙනවා. එසේ කිරීමෙන් අප අතින් සිදු වෙන වැරදි අවම කරගන්න අපට හැකියි. මන්ද “අද්දැකීම් අඩු කෙනෙකුට බුද්ධියද තරුණයෙකුට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාවද” ලබා දීමට බයිබලයට හැකියි.—හිතෝ. 1:4.

7. දාවිත්ගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

7 අප හැමෝම අතින් වැරදි සිදු වෙන නිසා සෑමවිටම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අපට නැහැ. (රෝම 3:23) උදාහරණයකට දාවිත් රජ ගැන සිතන්න. ඔහු දෙවිට විශ්වාසවන්තව සිටි ප්‍රඥාවන්ත කෙනෙක්. නමුත් සමහර අවස්ථාවලදී ඔහු ගත් අඥාන තීරණ නිසා ඔහුටත් අන් අයටත් වේදනා විඳින්න සිදු වුණා. (2 සාමු. 12:9-12) කෙසේවෙතත් තමන්ට දෙවිගේ අනුමැතිය ඇති තීරණ ගැනීමට තවදුරටත් නොහැකි බව දාවිත් සිතුවේ නැහැ. (1 රාජා. 15:4, 5) අප අතීතයේදී වැරදි තීරණ ගෙන තිබෙනවා නම් යෙහෝවා දෙවි අපගේ වැරදිවලට සමාව දී ඒවා අමතක කරන බව දාවිත් මෙන් අපිත් මතක තබාගනිමු. දෙවිට ප්‍රේම කරන හා කීකරු වෙන අයට ඔහු දිගටම උපකාර කරනවා.—ගීතා. 51:1-4, 7-10.

8. විවාහය ගැන පාවුල් පැවසූ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 තීරණ ගැනීමට සිදු වන විට අපට යම් පීඩනයක් ඇති වෙනවා. නමුත් සමහර කාරණා සම්බන්ධයෙන් නිවැරදි තේරීම් කිහිපයක් තිබෙන බව තේරුම්ගැනීමෙන් පීඩනය අඩු කරගන්න අපට පුළුවන්. පාවුල් විවාහය ගැන පැවසූ දේ සලකා බලන්න. දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ඔහු මෙසේ ලිව්වා. “අවිවාහක කෙනෙකුට තම ලිංගික හැඟීම් පාලනය කිරීම අපහසු බව හැඟෙන්න පුළුවන. එසේම ඔහු යොවුන් විය පසු කර සිටිනවා නම් නැතහොත් තමා විවාහ විය යුතුයි කියා ඔහුට හැඟෙනවා නම් විවාහ වීමට ඔහුට නිදහස තිබේ. ඔහු වරදක් කරනවා කියා පැවසිය නොහැක. එවැනි අයට විවාහ විය හැක. නමුත් කෙනෙක් විවාහ නොවී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිය හැක. තමාට විවාහ වීම සඳහා අවශ්‍යතාවක් නැති බවත් තමාගේ හැඟීම් පාලනය කරගැනීමට තමාට හැකි බවත් ඔහුට සිතෙන නිසා තමා ගත් තීරණයට ස්ථිරව ඇලී සිටීමෙන් ඔහුට යහපතක් සිදු වේ.” (1 කොරි. 7:36-38) පාවුල් එහි පවසන්නේ තනිකඩව සිටීම හොඳම තේරීම වුණත් එකම තේරීම එය නොවන බවයි.

9. අප ගන්නා තීරණ ගැන අන් අය කෙසේ සිතයිද කියා අප සැලකිලිමත් විය යුතුද? පැහැදිලි කරන්න.

9 අප ගන්නා තීරණ ගැන අන් අය කෙසේ සිතයිද කියා අප සැලකිලිමත් විය යුතුද? යම් ප්‍රමාණයකට සැලකිලිමත් විය යුතුයි. දේවතා රූපවලට පූජා කළා කියා සිතිය හැකි ආහාර අනුභව කිරීම ගැන පාවුල් පැවසූ දේ සලකා බලන්න. කෙනෙක් ගන්නා තීරණයක් වැරදි නොවිය හැකි වුණත් දුර්වල හෘදය සාක්ෂියක් තිබෙන කෙනෙකුට එය බලපාන්න පුළුවන් බව ඔහු තේරුම්ගෙන සිටියා. ඒ නිසා ඔහු මෙවැනි අධිෂ්ඨානයක් ගෙන තිබුණා. “මා ගන්නා යම් ආහාරයක් නිසා මගේ සහෝදරයාට හානියක් සිදු වෙයි නම් මම ඒ දේ නොකරන්නෙමි. මගේ සහෝදරයාට හානියක් සිදු වෙනවා දකින්න මා අකමැති නිසා නැවත කිසිදා මම මස් නොකන්නෙමි.” (1 කොරි. 8:4-13) අප ගන්නා තීරණ අන් අයගේ හෘදය සාක්ෂියට බලපාන ආකාරය ගැන අපත් සැලකිලිමත් විය යුතුයි. ඒ කොහොමවුණත් අප මූලිකවම අවධානය යොමු කළ යුත්තේ අප ගන්න තීරණ යෙහෝවා දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට බලපාන ආකාරය ගැනයි. (රෝම 14:1-4 කියවන්න.) යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයේ තීරණ ගැනීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

නිවැරදි තීරණ ගැනීමට පියවර හයක්

10, 11. (අ) පවුලේ අය සමඟ ක්‍රියා කරන විට අහංකාර වීමෙන් වළකින්න පුළුවන් කොහොමද? (ආ) සභාවට බලපාන තීරණ ගනිද්දී වැඩිමහල්ලන් මතක තබාගත යුත්තේ කුමක්ද?

10 අහංකාර නොවන්න. සලමොන් රජ මෙවැනි උපදෙසක් දුන්නා. “යමෙකු අහංකාරකමින් ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත. එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.” (හිතෝ. 11:2) යම් තීරණයක් ගැනීමට පෙර මෙසේ කල්පනා කරන්න. ‘මට මේ තීරණය ගන්න අයිතියක් තියෙනවාද?’

11 සමහර තීරණ ගැනීමට දෙමාපියන් දරුවන්ට අවස්ථාව ලබා දෙනවා විය හැකියි. නමුත් ඒ නිසාම තමන්ට තීරණ ගැනීමේ අයිතිය තිබෙනවා කියා දරුවන් නොසිතිය යුතුයි. (කොලො. 3:20) පවුල තුළ යම් තීරණ ගැනීමට භාර්යාවකට හෝ මවකට යම් අයිතියක් තිබුණත් තමා ස්වාමිපුරුෂයාගේ මූලිකත්වය යටතේ සිටින බව ඇය තේරුම්ගත යුතුයි. (හිතෝ. 1:8; 31:10-18; එෆී. 5:23) ස්වාමිපුරුෂයාද ක්‍රිස්තුස්ට යටත් නිසා හිතුමතේ තීරණ ගන්න තමාට අයිතියක් නැති බව තේරුම්ගත යුතුයි. (1 කොරි. 11:3) වැඩිමහල්ලන්ට සභාවට බලපාන තීරණ ගැනීමට සිදු වුණත් “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා” නොයන්න වගබලා ගත යුතුයි. (1 කොරි. 4:6) එමෙන්ම ඔවුන් තීරණ ගැනීමේදී විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගෙන් ලැබෙන මඟ පෙන්වීම් කිට්ටුවෙන් අනුගමනය කරනවා. (මතෙ. 24:45-47) තීරණ ගැනීමට අයිතියක් තිබෙන විට අප සාධාරණ වුණොත් අන් අයටත් අපටත් ඇති වන පීඩනය හා වේදනාව වළක්වාගත හැකියි.

12. (අ) තොරතුරු සොයා බැලිය යුත්තේ මන්ද? (ආ) තොරතුරු සොයා බැලිය හැකි ආකාර විස්තර කරන්න.

12 තොරතුරු සොයා බලන්න. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියා සලමොන් රජ පැවසුවා. (හිතෝ. 21:5) උදාහරණයකට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ අදහස් කරනවාද? එසේනම් හැඟීම්වලට අනුව තීරණ නොගන්න. ඒ සඳහා අවශ්‍ය සියලු තොරතුරු සොයා බලන්න. ඒ ගැන දන්නා අයගෙන් අදහස් විමසා බලන්න. අදාළ වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද කියා සොයා බලන්න. (හිතෝ. 20:18) ඉන්පසු සොයාගත් තොරතුරු යොදාගෙන ඉන් ලැබෙන වාසි හා අවාසි ලැයිස්තුගත කරන්න. තීරණයක් ගැනීමට පෙර ‘වියදම ගණන් බලන්න.’ (ලූක් 14:28) ඔබ ගන්න තීරණය ඔබේ ආර්ථිකයට බලපාන ආකාරය ගැන පමණක් නොව දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වයට බලපාන ආකාරය ගැනද සලකා බලන්න. තොරතුරු සොයා බලන්න කාලය හා වෑයම අවශ්‍යයි. නමුත් එසේ කිරීමෙන් ඉක්මන් වී තීරණ ගැනීමෙන් ඇති විය හැකි මානසික පීඩනය වළක්වාගන්න පුළුවන්.

13. (අ) යාකොබ් 1:5හි ලබා දී ඇති සහතිකය කුමක්ද? (ආ) ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න. දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් තීරණ ගැනීමට හැකි වෙන්නේ තීරණ ගැනීමට පෙර දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරනවා නම් පමණයි. ප්‍රඥාව ඉල්ලීමේ අවශ්‍යතාව ගැන යාකොබ් මෙසේ පවසනවා. “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” (යාකො. 1:5) නිවැරදි තීරණ ගැනීමට දෙවිගේ ප්‍රඥාව අවශ්‍ය බව පිළිගැනීම අපට ලැජ්ජාවක් නොවෙයි. (හිතෝ. 3:5, 6) අපගේම නුවණේ රඳා සිට තීරණ ගැනීමෙන් අප පහසුවෙන්ම නොමඟ යා හැකියි. ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් හා දේවවචනයේ සඳහන් ප්‍රතිපත්ති සලකා බැලීමෙන් දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට අප ඉඩහරිනවා. දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට අප යම් තීරණයක් ගන්නේ කුමන පරමාර්ථයෙන්ද කියා අවබෝධ කරගත හැකියි.—හෙබ්‍රෙ. 4:12; යාකොබ් 1:22-25 කියවන්න.

14. තීරණ ගැනීම කල් නොදැමිය යුත්තේ ඇයි?

14 තීරණය ගන්න. තොරතුරු සොයා නොබලා හා ප්‍රඥාව ඉල්ලා යාච්ඤා නොකර තීරණ ගන්න එපා. ඥානවන්ත කෙනෙක් ‘තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කිරීමට’ කාලය ගන්නවා. (හිතෝ. 14:15) නමුත් තීරණ ගැනීම කල් දමන්න එපා. තීරණයක් ගැනීමට කල් දමන කෙනෙක් බොරු හේතු දෙමින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. (හිතෝ. 22:13) එවැනි කෙනෙක් තමා වෙනුවෙන් තීරණ ගැනීමට අන් අයට ඉඩහරිනවා.

15, 16. තීරණයක් ක්‍රියාත්මක කිරීමට නම් කුමක් කළ යුතුද?

15 තීරණය ක්‍රියාත්මක කරන්න. අප ගත් තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් වූ මහන්සිය අපතේ යනවා. “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න” කියා සලමොන් රජ පැවසුවා. (දේශ. 9:10) අප ගත් තීරණය සාර්ථක කරගැනීමට නම් අවශ්‍ය දේවල් සැලසුම් කළ යුතුයි. උදාහරණයකට සහෝදරයෙක් පුරෝගාමි සේවය කරන්න තීරණය කරනවා කියා සිතන්න. ඔහු එම තීරණය සාර්ථක කරගැනීමට නම් ඔහුගේ රැකියාවට හා විනෝදයට වැඩි කාලයක් වැය නොකළ යුතුයි. එසේ කළොත් දේවසේවය සඳහා ඔහුට අවශ්‍ය කාලය හා ශක්තිය නැති විය හැකියි.

16 “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන” නිසා නිවැරදි තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීම සැමවිටම පහසු නැහැ. (1 යොහ. 5:19) අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ “ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.” (එෆී. 6:12) පාවුල් සහ යූද් පැවසුවේ කෙනෙක් දෙවිට ගෞරවය ගෙන දීමට තීරණය කර තිබෙනවා නම් ඔහුට සටනක් කිරීමට සිදු වන බවයි.—1 තිමෝ. 6:12; යූද් 3.

17. තීරණ ගන්නා විට දෙවි අපගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

17 ගත් තීරණය කලින් කලට සලකා බලා අවශ්‍ය නම් සකස් කිරීම් කරන්න. අප ගන්නා සෑම තීරණයක්ම ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න හැකි වෙන්නේ නැහැ. ඊට හේතුව “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිදු වීමයි. (දේශ. 9:11) නමුත් දුෂ්කරතා හමුවේ පවා සමහර තීරණ වෙනස් නොකිරීම දෙවි අපගෙන් බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට දෙවිට වූ කැප වීම හා විවාහ වෙන අවස්ථාවේ දෙන පොරොන්දුව වෙනස් කළ නොහැකියි. එය වෙනස් නොකිරීම දෙවි අපගෙන් බලාපොරොත්තු වෙනවා. (ගීතාවලිය 15:1, 2, 4 කියවන්න.) අප ගන්නා බොහෝ තීරණ එතරම් බැරෑරුම් ඒවා නොවෙයි. ඥානවන්ත කෙනෙක් තමන් ගත් තීරණ ගැන කලින් කලට සලකා බලයි. ඔහු ගත් තීරණයේ යම් සකස් කිරීම් කරන්න හෝ එසේත් නැත්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදු වේ නම් උඩඟුකම හෝ මුරණ්ඩුකම නිසා එසේ නොකර සිටින්නේ නැහැ. (හිතෝ. 16:18) ඔහු මූලික අවධානය දෙන්නේ දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් ජීවත් වීමටයි.

දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගැනීමට අන් අයව පුහුණු කරන්න

18. නිවැරදි තීරණ ගැනීමට දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

18 දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගැනීමට දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට බොහෝ දේ කළ හැකියි. එසේ කිරීමට හැකි හොඳ ක්‍රමයක් වන්නේ ආදර්ශයක් තැබීමයි. (ලූක් 6:40) තමන් යම් තීරණයක් ගැනීමට ගත් පියවර මොනවාද කියා අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ට කියා දීමටද දෙමාපියන්ට හැකියි. ඒ වගේම සමහර තීරණ දරුවන්ට ගැනීමට ඉඩ දී ඒවා සාර්ථක වූ විට ඔවුන්ට ප්‍රශංසා කිරීමට දෙමාපියන්ට හැකියි. නමුත් දරුවෙක් වැරදි තීරණයක් ගත් විට දෙමාපියන් ඉක්මනින්ම පෙලඹෙන්නේ ඉන් අත් වන ඵල විපාකවලින් දරුවාව ආරක්ෂා කිරීමටයි. එසේ කිරීමෙන් දරුවාට සෑමවිටම යහපතක් සිදු වෙනවා කියා පැවසිය නොහැකියි. උදාහරණයකට දරුවාට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට දෙමාපියන් අවසර දිය හැකියි. දරුවා මාර්ග නීති කඩ කළ නිසා ඔහුට දඩ මුදලක් ගෙවීමට සිදු වෙනවා කියා සිතන්න. එවැනි අවස්ථාවක එම මුදල ගෙවීමට දෙමාපියන් ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් එසේ නොකර දරුවාටම එය ගෙවීමට ඉඩහරිනවා නම් තමන් කළ දේ මොන තරම් බරපතළද කියා ඔහුට තේරුම්ගැනීමට හැකි වෙනවා.—රෝම 13:4.

19. අප සමඟ බයිබලය පාඩම් කරන අයට ඉගැන්විය යුත්තේ කුමක්ද? එය කළ හැක්කේ කෙසේද?

19 අන් අයට උගන්වන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවා. (මතෙ. 28:20) අප සමඟ බයිබලය පාඩම් කරන අයට නිවැරදි තීරණ ගන්නා ආකාරය ඉගැන්වීමද ඉතා වැදගත්. එය හොඳින් කිරීමට නම් ඔවුන් ගත යුතු තීරණ මොනවාද කියා අප ඔවුන්ට නොපැවසිය යුතුයි. ඒ වෙනුවට බයිබල් ප්‍රතිපත්ති සෝදිසි කර ඔවුන්ටම තීරණ ගත හැකි ආකාරය උගන්වන්න. මන්ද ‘අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනවා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 14:12) ඉන් පැහැදිලි වන්නේ දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගැනීමට අපට හොඳ හේතුවක් ඇති බවයි.

[පාදසටහන]

^ 4 ඡේ. මෙම විෂය ගැන වැඩි විස්තර දැනගැනීමට 2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 3-6 දක්වා පිටුවල පළ වී ඇති “රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද” යන ලිපිය බලන්න.

ඔබට මතකද?

• තීරණ ගැනීමට ඉගෙනගත යුත්තේ ඇයි?

• බිය නිසා අපට මොන වගේ බලපෑමක් ඇති විය හැකිද? ඉන් ගොඩ එන්න පුළුවන් කොහොමද?

• දෙවිට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් තීරණ ගැනීමට උපකාරවත් වන පියවර හය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නිවැරදි තීරණ ගැනීමට නම්

1 අහංකාර නොවන්න

2 තොරතුරු සොයා බලන්න

3 ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න

4 තීරණය ගන්න

5 තීරණය ක්‍රියාත්මක කරන්න

6 තීරණය සලකා බලා සකස් කිරීම් කරන්න

[15වන පිටුවේ පින්තූරය]

තීරණයක් ගැනීමට නොහැකි කෙනෙක් සැඩ සුළඟට හසු වී එහේ මෙහේ පැද්දෙන හබලක් නැති ඔරුවක් වගෙයි