Skip to content

පටුනට යන්න

දෙවිව ගෞරවයට පත් කරන ගුණාංග

දෙවිව ගෞරවයට පත් කරන ගුණාංග

දෙවිව ගෞරවයට පත් කරන ගුණාංග

‘දිගටම බොහෝ පල දරන්න. ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි.’—යොහ. 15:8.

1, 2. (අ) අන් අයව දිරිගැන්වීමට අපට ඇති අවස්ථා මොනවාද? (ආ) අප සතු හැකියාවන් වර්ධනය කරගනිමින් දෙවිට සේවය කරන්න ඔහු ලබා දී තිබෙන තෑග්ග කුමක්ද?

අපි මුලින්ම නිදසුන් දෙකක් සලකා බලමු. තරුණ සහෝදරියක් කනගාටුවෙන් සිටින බව වැඩිහිටි සහෝදරියක් දකිනවා. ඒ නිසා ඇය සමඟ දේවසේවයේ යෑමට එම වැඩිහිටි සහෝදරිය සැලසුම් කරනවා. ඔවුන් දේවසේවයේ යන අතරතුර තරුණ සහෝදරිය තමන්ගේ හිතට වධ දෙන කාරණාව වැඩිහිටි සහෝදරියට පවසනවා. එදින සවස තරුණ සහෝදරිය යෙහෝවා දෙවිට යාච්ඤා කර වැඩිහිටි සහෝදරිය තමන් වෙත දැක්වූ සැලකිල්ල ගැන ස්තුති කරනවා. ඒ අවස්ථාවේදී ඇයට අවශ්‍යව තිබුණේ එවැනි සැලකිල්ලක්. ඊළඟ නිදසුන බලමු. විදෙස් රටක ශුභාරංචිය ප්‍රකාශ කර නැවත තමන්ගේ රටට පැමිණි යුවළක් ඔවුන් සහභාගි වූ සුහද හමුවකදී ඔවුන් ලැබූ අද්දැකීම් ඉතා උද්‍යෝගයෙන් විස්තර කළා. තරුණ සහෝදරයෙක් එය සාවධානව අසා සිටියා. වසර කිහිපයකට පසුව එම තරුණයා මිෂනාරි සේවයට යන්න සූදානම් වෙද්දී තමාට මිෂනාරි සේවය සඳහා පෙලඹීමක් ඇති කළේ ඔවුන් පැවසූ අද්දැකීම් බව ඔහුට සිහි වෙනවා.

2 කෙනෙක් ඔබේ ජීවිතයේ යම් වෙනසක් කළ ආකාරය හෝ ඔබ වෙනත් කෙනෙකුගේ ජීවිතයේ යම් වෙනසක් කළ ආකාරය ඒ නිදසුන් සලකා බලද්දී ඔබට මතක් වෙන්න ඇති. එක සාකච්ඡාවකින් කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට හැකි වන්නේ ඉතා කලාතුරකින් බව ඇත්තයි. නමුත් අන් අයව දිරිගන්වන්න හා ශක්තිමත් කරන්න එදිනෙදා අපට බොහෝ අවස්ථා ලැබෙනවා. යෙහෝවා දෙවිට වඩාත් වටින පුද්ගලයෙක් වෙන්නත් සහෝදර සහෝදරියන්ට වඩාත් හොඳින් උපකාර කළ හැකි කෙනෙක් වෙන්නත් අප සතු හැකියාවන් සහ ගතිගුණ වර්ධනය කරගැනීම සඳහා අපට උපකාරවත් වන යමක් තිබෙනවා නම් මොන තරම් හොඳද! යෙහෝවා දෙවි අපට එවැනි තෑග්ගක් දී තිබෙනවා. ඒ ඔහුගේ බලයයි. (ලූක් 11:13) දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙද්දී අලංකාරවත් ගුණාංග වර්ධනය වෙනවා. දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන්න එම ගුණාංග අපට උපකාරවත් වෙනවා. එය මොන තරම් උතුම් තෑග්ගක්ද!ගලාති 5:22, 23 කියවන්න.

3. (අ) ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංගවලින්’ දෙවිට ගෞරවයක් ලැබෙන්නේ කොහොමද? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 දෙවිගේ බලයෙන් නිපදවන ගුණාංගවලින් පිළිබිඹු වන්නේ එම ගුණාංගවල උල්පත වන යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයයි. (කොලො. 3:9, 10) දෙවිව අනුකරණය කිරීමට ක්‍රිස්තියානීන් වෑයම් කළ යුතු ප්‍රධානතම හේතුව ගැන යේසුස් මෙසේ පැවසුවා. ‘දිගටම බොහෝ පල දරන්න. ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි.’ * (යොහ. 15:8) ‘දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග’ වර්ධනය කරගනිද්දී අපගේ කතාවෙන් හා ක්‍රියාවෙන් ඒවා පැහැදිලිව දැකගත හැකියි. එයින් යෙහෝවා දෙවිට ගෞරවයක් ලැබෙයි. (මතෙ. 5:16) එම ගුණාංග සාතන්ගේ පාලනය යටතේ සිටින මිනිසුන් පෙන්වන ගුණාංගවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? එම ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? එසේ කිරීම අභියෝගයක් කියා සිතිය හැක්කේ ඇයි? ප්‍රේමය, ප්‍රීතිය හා සමාදානය යන ගුණාංග ගැන සාකච්ඡා කරද්දී ඒ ප්‍රශ්න ගැනත් සලකා බලමු.

උසස් ප්‍රේමයක්

4. යේසුස් පැවසූ ලෙස අප ප්‍රේමය පෙන්විය යුත්තේ කෙසේද?

4 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ප්‍රේමය පොදුවේ මිනිසුන් පෙන්වන ප්‍රේමයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ කොහොමද? එය පදනම් වී තිබෙන්නේ උසස් ප්‍රතිපත්තියක් මතයි. පොදුවේ මිනිසුන් පෙන්වන ප්‍රේමය සහ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ප්‍රේමය අතර ඇති වෙනස යේසුස් කන්ද උඩ දේශනාවේදී පැහැදිලි කළා. (මතෙව් 5:43-48 කියවන්න.) තමන්ට සලකන ආකාරයටම අනුන්ටත් සැලකීම පව්කාරයන් පවා කරන බව යේසුස් එහිදී පැවසුවා. එවැනි ප්‍රේමයක් පරිත්‍යාගශීලී ප්‍රේමයක් නොවෙයි. එය හුවමාරුවක් පමණයි. නමුත් ‘ස්වර්ගයෙහි සිටින අපේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීමට’ අපට අවශ්‍ය නම් අප වෙනස් අය විය යුතුයි. අන් අය අපට සලකන ආකාරයට ඔවුන්ට සලකනවා වෙනුවට යෙහෝවා දෙවි අන් අය දෙස බලන ආකාරයට හා ඔවුන්ට සලකන ආකාරයට අපත් ඔවුන් දෙස බලන්නත් ඔවුන්ට සලකන්නත් අවශ්‍යයි. එසේනම් යේසුස් අණ කළ ලෙස සතුරාට ප්‍රේම කරන්න අපිට පුළුවන් කොහොමද කියා සලකා බලමු.

5. අපට පීඩා කරන අයට ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද?

5 අපි දැන් බයිබලයේ සඳහන් උදාහරණයක් සලකා බලමු. පාවුල් සහ සීලස් ෆිලිප්පියේ ශුභාරංචිය ප්‍රකාශ කරන අතරතුර ඔවුන්ව අත්අඩංගුවට ගෙන පහර දී, සිරගෙදර දමා දඬුකඳේ ගැසුවා. සිරගෙදර භාරකරුත් ඔවුන්ට හිරිහැර කරන්න ඇති. භූමිකම්පාවක් සිදු වීම නිසා නොසිතූ ලෙස ඔවුන් නිදහස් වූ අවස්ථාවේදී ඔවුන් ඔහුගෙන් පළිගත්තාද? නැහැ. ඔවුන් ඔහුට ප්‍රේමය හා සැලකිල්ල දැක්වූ නිසා ඔහුත් ඔහුගේ පවුලේ සියලුදෙනාත් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. (ක්‍රියා 16:19-34) වර්තමානයේ සිටින අපගේ සහෝදරයන්ද, ඔවුන්ට ‘පීඩා කරන අයට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලා තිබෙනවා.’—රෝම 12:14.

6. අපගේ සහෝදරයන් වෙනුවෙන් පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙන්වන්න පුළුවන් ආකාර මොනවාද? (21වෙනි පිටුවේ කොටුව බලන්න.)

6 අපගේ සහෝදර සහෝදරියන්ට අප ඊටත් වඩා ප්‍රේමයක් පෙන්විය යුතුයි. මන්ද ‘අපගේ සහෝදරයන් වෙනුවෙන් අපගේ ජීවිතය වුණත් දීමට අප බැඳී සිටින’ බව බයිබලයේ පවසනවා. (1 යොහන් 3:16-18 කියවන්න.) නමුත් සුළු සුළු කාරණාවලදී ප්‍රේමය පෙන්වීමට අපට නිතර නිතර අවස්ථා උදා වෙනවා. උදාහරණයකට අප කරන කියන දෙයකින් අපගේ සහෝදරයෙකුගේ හිත රිදුණොත් සමාව ඉල්ලන්න පියවර ගැනීමෙන් ප්‍රේමය පෙන්වන්න පුළුවන්. (මතෙ. 5:23, 24) වෙන කෙනෙක් අපගේ හිත රිදෙව්වොත් කුමක් කළ හැකිද? අප ‘සමාව දීමට කැමතිද’ නැත්නම් අමනාපය හිතේ තියාගෙන ඉන්නවාද? (ගීතා. 86:5) ‘යෙහෝවා දෙවි මුළු හදවතින්ම අපට සමාව දී තිබෙන ආකාරයටම’ සමාව දී පුංචි පුංචි වැරදි අමතක කරන්න අප පෙලඹෙන්නේ දෙවිගේ බලයෙන් නිපදවන බලවත් ප්‍රේමය නිසයි.—කොලො. 3:13, 14; 1 පේතෘ. 4:8.

7, 8. (අ) දෙවි කෙරෙහි ඇති ප්‍රේමය අන් අයට ප්‍රේමය දැක්වීමට උපකාරයක් වන්නේ කෙසේද? (ආ) දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කරගත හැක්කේ කෙසේද? (පහත තිබෙන පින්තූරය බලන්න.)

7 අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පරිත්‍යාගශීලී ප්‍රේමයක් වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කරගැනීමෙන් එසේ කළ හැකියි. (එෆී. 5:1, 2; 1 යොහ. 4:9-11, 20, 21) බයිබලය කියවීමට, ගැඹුරින් කල්පනා කිරීමට සහ යාච්ඤා කිරීමට කාලය ගත කිරීමෙන් දෙවි කෙරෙහි ඇති ප්‍රේමය වැඩි කරගත හැකියි. කෙසේවෙතත් දෙවිට ළං වීම සඳහා අප කාලය සොයාගත යුතුයි.

8 මේ උදාහරණය සලකා බලන්න. බයිබලය කියවීමට, ඒ ගැන කල්පනා කිරීමට සහ යාච්ඤා කිරීමට සෑම දවසකම ලැබී තිබෙන්නේ යම් නිශ්චිත වේලාවක් පමණයි කියා සිතන්න. දෙවි වෙනුවෙන් වෙන් කළ එම වේලාව වෙන දෙයකට වැය නොකරන්න ඔබ උපරිමයෙන් වෑයම් කරන්නේ නැද්ද? නමුත් අප කැමති වේලාවක යාච්ඤා කරන්නත් බයිබලය කියවන්නත් අපට නිදහස තිබෙනවා. ඒ නිසාම දෙවි වෙනුවෙන් වෙන් කළ කාලය වෙන දෙයකට සොරාගන්න අපගේ කාර්යබහුල ජීවිතයට අපි ඉඩ දෙනවාද? යෙහෝවා දෙවිට ළං වීම සඳහා ඔබ දිනපතා හැකි උපරිමයෙන් කාලය ගන්නවාද?

‘දෙවිගේ බලය නිසා ප්‍රීතියෙන්’

9. දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ප්‍රීතිය නමැති ගුණාංගයේ ඇති විශේෂත්වය කුමක්ද?

9 ප්‍රශ්න ගැටලු මැද වුණත් දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග දිගටම පවත්වාගන්න පුළුවන්. අප දැන් සලකා බලන ප්‍රීතිය නමැති ගුණාංගය ඊට උදාහරණයක්. කටුක පරිසරයක වුවත් සාරවත්ව වැඩෙන ගසකට ප්‍රීතිය සමාන කරන්න පුළුවන්. ලොව පුරා සිටින දෙවිගේ බොහෝ සේවකයන්ට විවිධ පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණත් ඔවුන් ප්‍රීතියෙන් දෙවිගේ පණිවිඩය පිළිගෙන තිබෙන්නේ දෙවිගේ බලය නිසයි. (1 තෙස. 1:6) තවත් අය දුෂ්කරතා හා අගහිඟකම්වලට මුහුණ දෙනවා. ඔවුන්ට ඒවා ‘සාර්ථකව විඳදරාගැනීමටත් ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත්’ හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවි ඔහුගේ බලයෙන් ඔවුන්ව ශක්තිමත් කරන නිසයි.—කොලො. 1:11.

10. අපට ප්‍රීති වීමට ඇති ප්‍රධාන හේතුව කුමක්ද?

10 “අවිනිශ්චිත ධන සම්පත්” මෙන් නොව දෙවි ලබා දී තිබෙන දීමනාවල සදාකාලික වටිනාකමක් තිබෙනවා. (1 තිමෝ. 6:17; මතෙ. 6:19, 20) යෙහෝවා දෙවි අපට නිමක් නැති ප්‍රීතිමත් අනාගතයක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක සාමාජිකයන් වීමේ ප්‍රීතියද අප භුක්ති විඳිනවා. කෙසේවෙතත් අපට ප්‍රීති වීමට තිබෙන ප්‍රධාන හේතුව වන්නේ යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන කිට්ටු බැඳීමයි. දාවිත් එක් අවස්ථාවක දෙවිට මෙසේ ප්‍රශංසා කළා. “ඔබ පෙන්වන මහත් ප්‍රේමය ලැබීමම මට අගනේය. එය මාගේ ජීවිතයටත් වඩා මට වටින්නේය. එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තුරා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 63:3, 4) ඔහු එසේ පැවසුවේ පලා යමින් ජීවත් වූ කාලයකයි. අපත් දුෂ්කර තත්වයන් අද්දැක්කත් දෙවිට ප්‍රීතියෙන් ප්‍රශංසා කිරීමට පෙලඹෙනවා.

11. අප දෙවිට කරන සේවය ප්‍රීතියෙන් කිරීම අත්‍යවශ්‍ය ඇයි?

11 පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කළා. “ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය.” (ෆිලි. 4:4) ක්‍රිස්තියානීන් දෙවිට කරන සේවය ප්‍රීතියෙන් කිරීම අත්‍යවශ්‍ය ඇයි? ඊට හේතුව සාතන් දෙවිගේ පාලන අයිතිය ගැන නැඟූ ප්‍රශ්නයට අපත් සම්බන්ධ වීමයි. කිසි කෙනෙක් කැමැත්තෙන් දෙවිට සේවය නොකරන බව ඔහු පැවසුවා. (යෝබ් 1:9-11) අප දෙවිට කරන සේවය ප්‍රීතියෙන් නොකර, කළ යුතු නිසාම සේවය කරනවා නම් එය පූර්ණ සේවයක් නොවෙයි. ඒ නිසා අප ගීතිකාකරු පැවසූ මේ වදන් සිතට ගනිමු. “සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න. ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉදිරියට පැමිණෙන්න.” (ගීතා. 100:2) දෙවිට මහත් ගෞරවයක් ලැබෙන්නේ අප ඔහුට ප්‍රීතියෙන් සහ කැමැත්තෙන් සේවය කරනවා නම් පමණයි.

12, 13. අධෛර්යය වීම් ජය ගන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?

12 යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන අය පවා කලින් කලට අධෛර්යයට හෝ කලකිරීමට පත් වී ප්‍රීතිය නැති කරගැනීමට ඉඩ තිබෙනවා. (ෆිලි. 2:25-30) එවැනි අවස්ථාවලින් ගොඩ එන්න එෆීස 5:18, 19හි සඳහන් මේ දේ උපකාරවත් වෙනවා. “දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්, එකිනෙකා සමඟ එකතු වී ගීතිකා ගයන්න. දෙවිට ප්‍රශංසා ඔප්පු කරමින් ගී ගයන්න. එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.” එම උපදෙස අදාළ කරගන්න අපට පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න හා ප්‍රශංසනීය දේවල් ගැන කල්පනා කරන්න අපට පුළුවන්. (ෆිලිප්පි 4:6-9 කියවන්න.) ගීතිකා වාදනය වන අතරතුර එම ගීතිකා මිමිණීම අධෛර්යය වීම් ජය ගන්න උපකාරයක් බව සමහර අයට අවබෝධ වී තිබෙනවා. පීඩාවක් නිසා විටින් විට කලකිරුණු සහෝදරයෙක් මෙසේ පවසනවා. “යාච්ඤා කරනවාට අමතරව මම ගීතිකා කිහිපයක් කටපාඩම් කරගත්තා. එම ගීතිකා හඬ නඟා හෝ නිහඬව ගායනා කිරීමෙන් මට ලොකු සහනයක් දැනුණා. ඒ කාලයේදීම යෙහෝවාට ළං වන්න පොත ලැබුණා. ඊළඟ අවුරුද්දේ මම ඒ පොත දෙපාරක් කියෙව්වා. ඒ පොත මගේ හිතට ලොකු සැනසීමක් වුණා. යෙහෝවා දෙවි මගේ වෑයම්වලට ආශීර්වාද කළා කියා මම දන්නවා.”

එකමුතුකමට මඟ පාදන සමාදානය

14. දෙවිගේ සෙනඟ අතර තිබෙන සමාදානය මඟ පාදන්නේ කුමකටද?

14 ජාත්‍යන්තර සමුළුවලට විවිධ පසුබිම්වලින් පැමිණෙන සහෝදර සහෝදරියන් එකිනෙකාගේ ඇසුරෙන් ප්‍රීතියක් ලබනවා. දෙවිගේ සෙනඟ එවැනි ඇසුරක් භුක්ති විඳින්නේ එකිනෙකා අතර තිබෙන සමාදානය නිසයි. ඔවුන් අතර තිබෙන එම සමාදානය එක්සත්කමට මඟ පාදනවා. එය දකින අන් අය ඒ ගැන පුදුම වෙනවා. සතුරන් මෙන් සිටිය යුතුයි කියා ඔවුන් සිතන අය ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වීම නිසා අද්දකින එක්සත්කම රැකගෙන සමාදානයෙන් ජීවත් වෙනවා.’ (එෆී. 4:3) එවැනි එක්සත්කමක් ඇති කරගන්න ඔවුන්ට බොහෝ බාධා ජය ගැනීමට සිදු වී තිබෙනවා.

15, 16. (අ) පේතෘස් පැමිණියේ කුමන පසුබිමකින්ද? එය ඔහුට අභියෝගයක් වුණේ කොහොමද? (ආ) පේතෘස්ගේ ආකල්පය වෙනස් කරගන්න යෙහෝවා දෙවි ඔහුට උපකාර කළේ කොහොමද?

15 විවිධ පසුබිම්වල සිටින අයව එක්සත් කිරීම අභියෝගයක්. එම අභියෝගය ජය ගැනීම සඳහා අපි කුමක් කළ යුතුද කියා තේරුම්ගැනීමට පේතෘස්ගේ උදාහරණය සලකා බලමු. වෙනත් ජාතීන් සම්බන්ධයෙන් පේතෘස්ට තිබූ ආකල්පය ඔහුගේ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා. නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.” (ක්‍රියා 10:24-29; 11:1-3) යුදෙව්වන්ට පමණක් ප්‍රේම කළ යුතුයි කියා නීතියේ සඳහන් වී තිබෙන බව එදා සිටි යුදෙව්වන් විශ්වාස කළා. සමහරවිට පේතෘස් හැදී වැඩුණේ එවැනි සමාජයක නිසා ඔහු වෙනත් ජාතීන්ව සතුරන් ලෙස සලකන්න ඇති. *

16 කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වූ විට පේතෘස්ට මොන තරම් අපහසුතාවක් දැනෙන්න ඇද්ද කියා සිතා බලන්න. වෙනත් ජාතීන්ට වෛර කළ ඔහුට ඔවුන් සමඟ ‘එක්සත්ව හා සමාදානයෙන්’ ‘එකට බැඳී සිටින්න’ පුළුවන් වුණාද? (එෆී. 4:3, 16) ඔව්, වෙනත් ජාතීන්ව පහත් කොට සැලකීමේ ආකල්පය ඉවත් කරගැනීමට ඊට දින කිහිපයකට කලින් දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් පේතෘස්ට උපකාර කළ නිසා ඔහුට එය කළ හැකි වුණා. යෙහෝවා දෙවි මිනිසුන්ට සලකන්නේ ඔවුන්ගේ වර්ගය හෝ ජාතිය අනුව නොවන බව දර්ශනයක් මාර්ගයෙන් පේතෘස්ට පැහැදිලි කළා. (ක්‍රියා 10:10-15) ඒ නිසා කොර්නේලියස්ට මෙසේ පැවසීමට පේතෘස්ට හැකි වුණා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) පේතෘස් ඔහුගේ ආකල්ප වෙනස් කරගෙන “සහෝදරයන් වන සියලුදෙනා” සමඟ සැබෑ ලෙසම එක්සත්ව සිටියා.—1 පේතෘ. 2:17.

17. දෙවිගේ සෙනඟ අතර ඇති එක්සත්කම සුවිශේෂී වන්නේ ඇයි?

17 දෙවිගේ සෙනඟ අතර සිදු වන සුවිශේෂී වෙනස්කම් අගය කරන්න පේතෘස්ගේ අද්දැකීම අපට උපකාරවත් වෙනවා. (යෙසායා 2:3, 4 කියවන්න.) ‘සියලු ජාතීන්, ගෝත්‍ර, ජනයා සහ සියලු භාෂා කතා කරන’ මිලියන ගණනක් දෙනා ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්තට’ අනුව තම ආකල්ප වෙනස් කරගෙන තිබෙනවා. (එළි. 7:9; රෝම 12:2) ඒ අයගෙන් බොහෝදෙනෙක් කලින් අන් අයට වෛර කළ හා සතුරුකම් කළ අයයි. නමුත් දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම තුළින් හා දෙවිගේ බලයේ උපකාරය ඇතුව “සමාදානයට දායක වන දේවල්” කිරීමට ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. (රෝම 14:19) ඔවුන්ගේ එක්සත්කම නිසා යෙහෝවා දෙවිට ගෞරවයක් ලැබෙනවා.

18, 19. (අ) සභාවේ සමාදානයට හා එක්සත්කමට අප එක් එක් කෙනාට දායක වෙන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ මොනවාද?

18 දෙවිගේ සෙනඟ අතර තිබෙන එක්සත්කමට හා සමාදානයට දායක වෙන්න අප එක් එක් කෙනාට පුළුවන්. ඒ කොහොමද? බොහෝ සභාවල විදේශිකයන් සිටිනවා. ඒ අයගෙන් සමහරුන්ට තිබෙන්නේ අපට වඩා වෙනස් සිරිත් විරිත්. අපගේ භාෂාව හොඳින් කතා කරන්නත් ඔවුන්ට හැකියාව නැතුව ඇති. එවැනි අයව දැන හඳුනා ගන්න අප උත්සාහ කරනවාද? දෙවිගේ වචනයේ උනන්දු කර තිබෙන්නේ එසේ කරන්න කියායි. යුදෙව්වන් සහ වෙනත් ජාතීන්ට අයත් අය සිටි රෝම සභාවට පාවුල් මෙසේ ලිව්වා. “ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම එකිනෙකාව පිළිගන්න. එසේ කිරීමෙන් දෙවිට ගෞරවයක් ගෙන දීමට ඔබට හැකි වේ.” (රෝම 15:7) වඩාත් හොඳින් දැන හඳුනා ගත හැකි අය ඔබේ සභාවෙත් සිටිනවාද?

19 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දීම සඳහා කළ හැකි තවත් දේවල් තිබෙනවාද? දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන අනික් ගතිලක්ෂණ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරද්දී එම ප්‍රශ්නයට පිළිතුර සොයා බලමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. යේසුස් සඳහන් කරන පලවලට දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග හා දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීම ඇතුළත් වෙනවා.—හෙබ්‍රෙ. 13:15.

^ 15 ඡේ. ලෙවී කතාව 19:18හි මෙසේ පවසනවා. “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.” එහි සඳහන් “ඔබේ සහෝදරයා” සහ “අසල්වැසියා” යන්නෙන් අදහස් කළේ යුදෙව්වන්ව පමණක් බව එදා සිටි යුදෙව් ආගමික නායකයන් තරයේම විශ්වාස කළා. ඊශ්‍රායෙල්වරුන් වෙනත් ජාතීන්ගෙන් වෙන් වී සිටිය යුතුයි කියා මෝසෙස්ට දුන් නීතියේ අණ කර තිබූ බව ඇත්තයි. කෙසේවෙතත් යුදෙව් ආගමික නායකයන් ඉගැන්නුවේ අන් සියලුම ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් බවයි. ඒ නිසා ඊශ්‍රායෙල්වරු ඔවුන්ට වෛර කළ යුතුයි කියාද ඔවුන් ඉගැන්නුවා.

ඔබට මතකද?

• අපගේ සහෝදරයන් වෙනුවෙන් පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙන්වන්න පුළුවන් කොහොමද?

• දෙවිට සේවය කරද්දී එය ප්‍රීතියෙන් කිරීම වැදගත් වන්නේ ඇයි?

• සභාවේ සමාදානයට හා එක්සත්කමට දායක වෙන්න අපට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ කොටුව]

“ඔවුන් තමයි සැබෑම ක්‍රිස්තියානීන්”

නාට්සි පාලන කාලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අද්දුටු දේවල් ගැන ලියවුණු පොතක තරුණ යුදෙව් සිරකරුවෙකු පැවසූ දෙයක් සඳහන් වෙනවා. ඔහුට මුලින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණේ නොයියන්ගාම ගාල් කඳවුරේදීයි. ඔහු ඒ ගැන මෙසේ විස්තර කරනවා.—එම පොත Between Resistance and Martyrdom—Jehovah’s Witnesses in the Third Reich.

“යුදෙව්වන් වන අපි ඩාකව් ගාල් කඳවුරෙන් මේ කඳවුරට ආපු ගමන්ම අනිත් යුදෙව්වන් ඒගොල්ලන් ළඟ තිබුණු දේවල් අපිට දෙන්න වෙයි කියලා හංගගත්තා. ඒත් අපි කඳවුරුවලට එන්න කලින් නම් එකිනෙකාට උදව් උපකාර කළා. අපි කඳවුරේ ගත කරන්නේ ජීවිතයයි මරණයයි අතර සටනක් නිසා හැමෝම හිතුවේ තමන් ගැනම විතරයි. හැබැයි බයිබල් ශිෂ්‍යයන් නම් ඊට වඩා ගොඩක් වෙනස්. ඒ වෙලාවේදී ඔවුන් ජල නළ අලුත්වැඩියා කරමිනුයි හිටියේ. ඒක ගොඩක් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්. මුළු දවස පුරාම ඔවුන්ට වැඩ කරන්න සිදු වුණේ අයිස් වගේ සීතල වතුරේ හිටගෙනයි. ඒ වගේ දුෂ්කර තත්වයක් ඔවුන් විඳදරාගත්තේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ. ඔවුන් කිව්වේ යෙහෝවා දෙවි ශක්තිය දෙනවා කියලයි. අපි වගේම ඔවුනුත් හිටියේ ඉවසන්න බැරි තරම් බඩගින්නෙයි. නමුත් කෑම ලැබුණාම ඔවුන් මොකක්ද දන්නවද කළේ? ඒ කෑමවලින් භාගයක් ඩාකව් කඳවුරෙන් මේ කඳවුරට අලුතෙන් ආව සාක්ෂිකරුවන්ට දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ව හමු වුණ ගමන්ම ඔවුන්ව ආදරයෙන් වැලඳගෙන පිළිගත්තා. ඔවුන් කෑම කන්න කලින් යාච්ඤා කළා. කෑම කෑවට පස්සේ ඔවුන් හිටියේ හරිම සතුටින් සහ තෘප්තියෙන්. ඔවුන් කෑම කෑවේ අඩුවෙන් වුණත් ඔවුන් කිව්වේ බඩගින්නක් දැනෙන්නේ නැහැ කියලයි. ඔවුන් තමයි සැබෑම ක්‍රිස්තියානීන් කියලා මට තේරුණා.”

[19වන පිටුවේ පින්තූර]

ඔබ වෙනත් ක්‍රියාකාරකම්වලට වැය කරන කාලය කැප කර දෙවිට ළං වීමට සෑම දිනකම කාලය සොයාගන්නවාද?