Skip to content

පටුනට යන්න

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?

“ඔබේ මහත් බලය ඉතා අගනේය. අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!”—ගීතා. 143:10.

1, 2. (අ) දෙවි තම සේවකයන්ට ඔහුගේ බලය ලබා දුන් අවස්ථා කිහිපයක් සඳහන් කරන්න. (ආ) දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන්නේ යම් විශේෂ තත්වයන්වලදී විතරද? පැහැදිලි කරන්න.

දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැන කල්පනා කරද්දී ඔබගේ මතකයට නැඟෙන්නේ කුමක්ද? ගිඩියොන් සහ සැම්සන් කළ බලවත් ක්‍රියා ඔබට මතක් වෙනවාද? (විනි. 6:33, 34; 15:14, 15) එසේත් නැත්නම් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ගේ නිර්භීතකම හෝ ස්තේපන් මන්ත්‍රණ සභාව ඉදිරියේ සන්සුන්ව සිටි ආකාරය ඔබට මතක් වෙනවාද? (ක්‍රියා 4:31; 6:15) අද දිනත් දෙවිගේ සෙනඟ ජාත්‍යන්තර සමුළුවලදී අද්දකින ප්‍රීතිය, දේශපාලනයට සම්බන්ධ නොවීම නිසා සිරගත වූ සහෝදරයන්ගේ විශ්වාසවන්තකම සහ ශුභාරංචිය ලොව පුරා ව්‍යාප්ත වීම වැනි දේවල්ද ඔබට මතක් වෙනවා ඇති. මේ සියලු උදාහරණවලින් පැහැදිලි වෙන්නේ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බවට සාක්ෂියි.

2 දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන්නේ යම් විශේෂ තත්වයන්වලදී විතරද? නැහැ. දෙවි ඔහුගේ බලය නිරතුරුවම අපට ලබා දෙනවා. උදාහරණයකට “දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න” හා ‘දෙවිගේ බලයට යටත් වන්න’ කියා බයිබලයේ සඳහන් වී තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (ගලා. 5:16, 18, 25) ඒ නිසා අපගේ සිතුවිලි, කතාබහ සහ ක්‍රියා නිවැරදි කරන්න අපට දෙවිගේ බලයේ උපකාරය ලබා දෙන්න කියා දිනපතාම දෙවිගෙන් ඉල්ලන්න අවශ්‍යයි. (ගීතාවලිය 143:10 කියවන්න.) දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරින විට යහපත් ගුණාංග වර්ධනය කරගත හැකියි. එයින් අන් අයට සහනයක් ලැබෙනවා පමණක් නොව දෙවිට ගෞරවයක්ද ලැබෙනවා.

3. (අ) අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරීම අත්‍යවශ්‍ය ඇයි? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩ දීම අත්‍යවශ්‍ය ඇයි? ඊට හේතුව එම බලයට විරුද්ධව ක්‍රියා කරන යමක් අප තුළ තිබීමයි. බයිබලයේ එය හඳුන්වන්නේ “පව්කාර ආශාවන්” කියායි. එම ආශාවන් අපට උරුම වී තිබෙන්නේ අප ආදම්ගෙන් පැවතෙන නිසයි. (ගලාති 5:17 කියවන්න.) අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරීම යන්නට ඇතුළත් වෙන්නේ කුමක්ද? පව්කාර ආශාවන්ට හසු නොවී සිටීමට ගත හැකි පියවර තිබෙනවාද? ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග’ නවයෙන් ඉතුරු ගුණාංග හය වන “බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” ගැන සලකා බලද්දී ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා බලමු.—ගලා. 5:22, 23.

සභාවේ සමාදානයට දායක වන මෘදුකම සහ බොහෝ ඉවසිලිවන්තකම

4. මෘදුකම සහ බොහෝ ඉවසිලිවන්තකම සභාවේ සමාදානයට දායක වෙන්නේ කොහොමද?

4 කොලොස්සි 3:12, 13 කියවන්න. සභාවේ සමාදානයට මෘදුකම සහ බොහෝ ඉවසිලිවන්තකම අත්‍යවශ්‍යයි. අන් අයට කාරුණිකව සලකන්න, කෝප වූ විට සන්සුන්ව සිටින්න හා අන් අය හිත රිදෙන දෙයක් කියද්දී හෝ කරද්දී එකට එක නොකරන්න දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන එම ගුණාංග අප තුළ තිබීම අත්‍යවශ්‍යයි. සහෝදරයෙක් සමඟ ගැටලුවක් ඇති වූ විට ඔහු සමඟ සමාදාන වීමට ගන්නා උත්සාහයෙන් වැඩක් නැහැ කියා ඉවසිලිවන්ත කෙනෙක් සිතන්නේ නැහැ. ඒ වෙනුවට ගැටලුව නිරාකරණය කරගන්න කළ හැකි සෑම දෙයක්ම ඔහු කරනවා. සභාවේ සියලුදෙනාම මෘදු හා බොහෝ ඉවසිලිවන්ත අය වීම අත්‍යවශ්‍යද? ඔව්. ඊට හේතුව අප සියලුදෙනාටම පාපය උරුම වී තිබීමයි.

5. පාවුල් සහ බානබස් අතර ඇති වුණේ කුමක්ද? ඉන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

5 පාවුල් සහ බානබස් අතර සිදු වූ දෙයක් සලකා බලමු. ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට ඔවුන් වසර ගණනාවක් පුරා සහයෝගයෙන් වැඩ කළා. දෙදෙනාටම යහපත් ගුණාංග තිබුණා. ඒ වුණත් එක් අවස්ථාවක දෙදෙනා අතර ‘බහින් බස් වීමක් ඇති වූ නිසා ඔවුන් එකිනෙකාගෙන් වෙන් වුණා.’ (ක්‍රියා 15:36-39) ඉන් පැහැදිලි වෙන්නේ උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන අය අතර පවා සමහරවිට එකඟ නොවීම් ඇති වන බවයි. සහෝදරයන් දෙදෙනෙක් අතර එකඟ නොවීමක් ඇති වුණොත් එය බහින් බස් වීමක් දක්වා දුර දිග යෑමට ඉඩ නොදී මිත්‍රත්වය ආරක්ෂා කරගන්න කුමක් කළ හැකිද?

6, 7. (අ) සහෝදරයෙක් සමඟ බහින් බස් වීමක් ඇති වීම වළක්වාගැනීමට අදාළ කරගත හැකි බයිබල් උපදෙස කුමක්ද? (ආ) ‘ඇහුම්කන් දීමට ඉක්මන් වීමෙන්, කතා කිරීමට හා කෝප වීමට ප්‍රමාද වීමෙන්’ ලැබෙන ප්‍රයෝජන මොනවාද?

6 පාවුල් සහ බානබස් අතර ඇති වූ බහින් බස් වීමෙන් පැහැදිලි වෙන්නේ ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාට කෝපයක් ඇති වූ බවයි. සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ යම් කාරණයක් සාකච්ඡා කරද්දී තමන් තුළ කෝපයක් ඇති වන බව ක්‍රිස්තියානියෙකුට හැඟුණොත් යාකොබ් 1:19, 20හි ඇති මේ උපදෙස අදාළ කරගැනීම ඥානවන්තයි. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි. මන්ද කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැක.” අවස්ථාවට අනුව විෂය මාරු කිරීම, සාකච්ඡාව තාවකාලිකව නතර කිරීම හෝ එතැනින් ඉවත් වීම මගින් බහින් බස් වීමක් ඇති වීම වළක්වාගත හැකියි.—හිතෝ. 12:16; 17:14; 29:11.

7 බයිබලයේ සඳහන් ඉහත උපදෙස අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියා අපි සලකා බලමු. ඉහත උපදෙසට අනුව කෝපය නිවාගන්න කාලය ගැනීමෙන්, ගැටලුව ගැන යාච්ඤා කිරීමෙන් සහ පිළිතුරු දෙන ආකාරය ගැන කල්පනා කිරීමෙන් ක්‍රිස්තියානියෙක් දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වීමට ඉඩහරිනවා. (හිතෝ. 15:1, 28) කෝපයක් ඇති වූ විට මෘදුකමින් සහ ඉවසීමෙන් ක්‍රියා කිරීමට දෙවිගේ බලය ඔහුට උපකාරවත් වෙනවා. එවිට එෆීස 4:26, 29හි ඇති උපදෙස අදාළ කරගැනීමට සුදුසු තත්වයක ඔහු සිටිනවා. එහි පවසන්නේ මෙයයි. ‘කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.’ අප මෘදුකමින් හා ඉවසීමෙන් ක්‍රියා කරනවා නම් සභාවේ සාමයට හා එක්සත්කමට දායක වෙන්න අපට පුළුවන්.

පවුලේ සන්තෝෂයට දායක වන කරුණාවන්තකම හා යහපත්කම

8, 9. කාරුණික කෙනෙක් හා යහපත් කෙනෙක් ක්‍රියා කරන්නේ කොහොමද? පවුලේ සන්තෝෂයට එම ගුණාංග දායක වෙන්නේ කොහොමද?

8 එෆීස 4:31, 32; 5:8, 9 කියවන්න. තද රස්නෙ දවසක සිසිල් සුළඟක් හමද්දී හෝ සීතල වතුර වීදුරුවක් පානය කරද්දී ලැබෙන ප්‍රබෝධය හා සතුට මොන තරම්ද කියා සිතා බලන්න. කරුණාවන්ත වීමෙන් හා යහපත්කම් කිරීමෙන්ද සතුටක් ලැබෙනවා. එම ගුණාංග පවුලේ සාමාජිකයන් විදහාපෙන්වද්දී පවුල තුළ ප්‍රසන්න වාතාවරණයක් ඇති වෙනවා. කරුණාවන්තකම සිත් ඇදගන්නාසුලු ගුණාංගයක්. කරුණාවන්ත කෙනෙක් අන් අය කෙරෙහි අවංක උනන්දුවක් දක්වනවා. එය ඔහුගේ කාරුණික ක්‍රියාවලින් හා සැලකිලිමත් කතාබහෙන් දැකගත හැකියි. යහපත්කමද සිත් ඇදගන්නාසුලු ගුණාංගයක්. යහපත් කෙනෙක් ක්‍රියා කරන්නේ අන් අයගේ ශුභසිද්ධිය තකායි. එවැනි කෙනෙක් පරිත්‍යාගශීලීයි. (ක්‍රියා 9:36, 39; 16:14, 15) නමුත් යහපත් කෙනෙක් ඊට වඩා වැඩි දෙයක් කරනවා.

9 යහපත් කෙනෙක් නිතරම හරි වැරැද්ද පිළිබඳව දෙවි දී තිබෙන උසස් ප්‍රමිති රකිනවා. ඔහු පිටතින් පමණක් නොව ඇතුළාන්තයෙන්ම යහපත් පුද්ගලයෙක්. උදාහරණයකට, අප අඹ ගෙඩියක් හොඳ එක්ක කියා පවසන්නේ එය පිටතින් මෙන්ම ඇතුළතින්ද නරක් නොවී හොඳින් ඉදී තිබෙනවා නම් පමණයි. ඒ අඹ ගෙඩිය කොතැනින් කැපුවත් කෑමට සුදුසු තත්වයක තිබෙනවා. ඒ හා සමානව දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වන යහපත්කමද ක්‍රිස්තියානියෙකුගේ පිටතින් පමණක් නොව ඇතුළතින්ම එනම් මුළු ජීවිතයෙන්ම දැකගත හැකියි.

10. දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග වර්ධනය කරගන්න පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීමට කුමක් කළ හැකිද?

10 එකිනෙකාට කරුණාවන්තව සලකන්න සහ යහපත්කම් කරන්න පවුලේ සාමාජිකයන්ට උපකාරවත් වෙන්නේ කුමක්ද? දෙවිගේ වචනය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීම ඒ සඳහා මහඟු උපකාරයක්. (කොලො. 3:9, 10) සමහර පවුල් මූලිකයන් පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්‍රියේදී දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග ගැන සාකච්ඡා කරනවා. එය කිරීම අපහසු දෙයක් නොවෙයි. එම ගුණාංග ගැන තොරතුරු ප්‍රකාශනවලින් සොයාගන්න පුළුවන්. එක ගුණාංගයක් ගැන සොයාගත් තොරතුරු සතියකට ඡේද කිහිපය බැගින් සති කිහිපයක් සාකච්ඡා කිරීමට ඔබට හැකියි. අධ්‍යයනය කරන අතරතුර සඳහන් කර ඇති බයිබල් පද කියවා සාකච්ඡා කරන්න. ඔබ ඉගෙනගන්නා දේවල් අදාළ කරගත හැකි ආකාරය කල්පනා කරන්න. එමෙන්ම ඔබ ගන්නා වෑයම්වලට ආශීර්වාද කරන්න කියා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. (1 තිමෝ. 4:15; 1 යොහ. 5:14, 15) එකිනෙකාට සලකන ආකාරයේ යම් වෙනසක් කරන්න පවුලේ අයට එවැනි අධ්‍යයනයක් ප්‍රයෝජනවත් වෙයිද?

11, 12. කරුණාවන්තකම ගැන අධ්‍යයනය කිරීමෙන් ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන සඳහන් අද්දැකීම් දෙක විස්තර කරන්න.

11 තම විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට ආශාවෙන් සිටින තරුණ යුවළක් දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග ගැන අධ්‍යයනය කරන්න තීරණය කළා. එම අධ්‍යයනයෙන් ඔවුන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? භාර්යාව මෙසේ පවසනවා. “කරුණාවන්තකමට, ළැදි ප්‍රේමය සම්බන්ධ වන ආකාරය අවබෝධ කරගනිද්දී එකිනෙකාට සලකන ආකාරයේ සැබෑ වෙනසක් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම සාධාරණ වෙන්නත් සමාව දෙන්නත් අපි ඉගෙනගත්තා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය අවස්ථාවලදී ‘ස්තුතියි’ කියන්නත් ‘සමාවෙන්න’ කියන්නත් අපි ඉගෙනගත්තා.”

12 විවාහ ජීවිතයේ ගැටලු අද්දැක්ක තවත් යුවළක් තමන් එකිනෙකාට කරුණාවන්ත නොවූ බව අවබෝධ කරගත්තා. ඒ නිසා කරුණාවන්තකම ගැන අධ්‍යයනය කරන්න ඔවුන් තීරණය කළා. ඔවුන්ට ලැබුණු ප්‍රතිඵල මොනවාද? පුරුෂයා මෙසේ පවසනවා. “අනිත් තැනැත්තා වැරදියි කියා චෝදනා කරනවා වෙනුවට එකිනෙකාගේ යහපත් ගුණාංග දකින්න කරුණාවන්තකම ගැන අධ්‍යයනය කිරීම අපිට ප්‍රයෝජනවත් වුණා. අපි එකිනෙකාගේ අවශ්‍යතා ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්නත් පටන්ගත්තා. මගේ භාර්යාවට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන එකත් ඇය අදහස් ප්‍රකාශ කරද්දී තරහ නොගෙන ඉන්න එකත් කරුණාවන්තකමට ඇතුළත් කියලා මම තේරුම්ගත්තා. ඒත් ඒක කරන්න මට මගේ උඩඟුකම නැති කරගන්න සිද්ධ වුණා. අපි වැඩි වැඩියෙන් කරුණාවන්ත වෙද්දී හැම වෙලාවෙම තමන් හරියි කියලා හිතන එක අඩු කරගන්න අපිට පුළුවන් වුණා. ඇත්තෙන්ම අපිට ලොකු නිදහසක් දැනුණා.” දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග ගැන අධ්‍යයනය කිරීමෙන් ඔබේ පවුලේ අයටත් ප්‍රයෝජන ලැබිය හැකිද?

තනිව සිටින විට දෙවිට විශ්වාසවන්ත වන්න

13. දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට තර්ජනයක් එල්ල වන කුමන දේවලින් අප වැළකී සිටිය යුතුද?

13 ක්‍රිස්තියානීන් අන් අය සමඟ සිටින විට පමණක් නොව තනිව සිටින විටදී පවා තමන්ට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරිය යුතුයි. සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකය අශික්ෂිත රූපවලින් සහ පහත් විනෝදාස්වාදවලින් පිරී තිබෙනවා. දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට හානි කරන්න ඒවාට පුළුවන්. ඒ නිසා ක්‍රිස්තියානියෙකුට කුමක් කළ හැකිද? දෙවිගේ වචනයේ මෙවැනි උපදෙසක් දෙනවා. “සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න. එය ඔබේ ජීවිත ගැලවීමට මඟ පාදයි.” (යාකො. 1:21) දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීම නිසා ඇති වන විශ්වාසය දෙවි ඉදිරියේ ශුද්ධව සිටින්න අපට උපකාරවත් වෙන්නේ කොහොමද කියා අපි සලකා බලමු.

14. දෙවි කෙරෙහි ඇති විශ්වාසය අඩු වීම වැරදි දේ කිරීමට මඟ පාදන්නේ කෙසේද?

14 යෙහෝවා දෙවි අපට සැබෑ පුද්ගලයෙක් වෙන්නේ ඔහු කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් පමණයි. අප යෙහෝවා දෙවිව සැබෑ පුද්ගලයෙක් ලෙස සලකන්නේ නැත්නම් පහසුවෙන්ම වැරදි දේ කිරීමට පෙලඹෙන්න පුළුවන්. පුරාණයේ සිටි දෙවිගේ සෙනඟට සිදු වූ දේ සලකා බලන්න. තමා පිළිකුල් කරන දේවල් ඔවුන් රහසිගතව කරන බව යෙහෝවා දෙවි එසකියෙල්ට හෙළි කළා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන් ඇතුල් කාමරවලට ගොස් තම තමන්ගේ කැටයම් රූප ඉදිරියේ කරන දේවල් ඔබ දුටුවාද? ‘යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ. යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්’ යයි කියමින් ඔවුන් අඳුරේ කරන දේවල් ඔබට පෙනෙනවාද?” (එස. 8:12) ඔවුන් එවැනි තත්වයට පත් වුණේ ඇයි? තමන් කරන දේවල් දෙවිට පෙනෙන බව ඔවුන් අමතක කළ නිසයි. ඔවුන් යෙහෝවා දෙවිව සැබෑ පුද්ගලයෙක් ලෙස සැලකුවේ නැහැ.

15. යෙහෝවා දෙවි කෙරෙහි ඇති නොසැලෙන විශ්වාසය අපට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

15 යෝසෙප් ක්‍රියා කළේ ඔවුන්ට වඩා වෙනස් ආකාරයකටයි. ඔහු තමාගේ පවුලේ අයගෙන් හා ඔහුගේ සෙනඟගෙන් ඈත්ව ජීවත් වුණත් අනාචාරයේ හැසිරීමට පොතිෆර්ගේ භාර්යාව කළ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඔහු එසේ කළේ ඇයි? ඊට හේතුව ඔහුම මෙසේ පැවසුවා. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?” (උත්. 39:7-9) ඔහු යෙහෝවා දෙවිව සැලකුවේ සැබෑ පුද්ගලයෙක් ලෙසයි. අපත් දෙවිව සැබෑ පුද්ගලයෙක් ලෙස සලකනවා නම් රහසිගතව අසභ්‍ය දර්ශන නරඹන්නේවත් දෙවිව අසතුටු කරන වෙන කිසිම දෙයක් කරන්නේවත් නැහැ. අපට තිබෙන්නෙත් ගීතිකාකරුගේ මෙම අධිෂ්ඨානයයි. “මාගේ නිවසේදී පවා ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි. කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.”—ගීතා. 101:2, 3.

සිත ආරක්ෂා කරගැනීමට තමාව පාලනය කරගන්න

16, 17. (අ) හිතෝපදේශ පොතේ සඳහන් ආකාරයට ‘අඥාන තරුණයෙක්’ පාපයට හසු වුණේ කෙසේද? (ආ) කුමන වයස් මට්ටමක සිටියත් එවැනිම දෙයක් අද දිනත් සිදු විය හැකි බව 26වෙනි පිටුවේ ඇති පින්තූරයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

16 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග නවය අතරින් අවසාන එක වෙන්නේ තමාව පාලනය කරගැනීමයි. දෙවි ප්‍රතික්ෂේප කරන දේවල් ප්‍රතික්ෂේප කරන්න අපට උපකාරවත් වන්නේ එයයි. අපගේ සිත ආරක්ෂා කරගැනීමට එය විශාල උපකාරයක්. (හිතෝ. 4:23) ගණිකාවකගේ මායම්වලට හසු වූ ‘අඥාන තරුණයෙක්’ ගැන හිතෝපදේශ 7:6-23හි සඳහන් වෙනවා. එම තරුණයා ඇයට හසු වුණේ ‘වීථිය දිගේ ගොස් ඇය සිටින පාරට හැරුණු’ නිසයි. ඔහු ඒ දෙසට ගියේ ඔහුට කුතුහලයක් ඇති වූ නිසා විය හැකියි. තමාගේ “ජීවිතය අනතුරේ” වැටීමට හේතු වුණේ එම මෝඩ ක්‍රියාව බව තේරුම්ගන්න ඔහු අසමත් වුණා.

17 එම භයානක අනතුර වළක්වාගැනීමට නම් ඔහු කළ යුතුව තිබුණේ කුමක්ද? “මංමුළා වී ඇගේ මාවත්වලට හැරී නොයන්න” යන අනතුරු ඇඟවීමට සවන් දීමයි. (හිතෝ. 7:25) ඉන් අපටත් පාඩමක් ඉගෙනගත හැකියි. අපට මඟ පෙන්වීම සඳහා දෙවිගේ බලයට ඉඩහරින්න අවශ්‍ය නම් අප වැරදි පෙලඹීම්වලට තුඩු දෙන තත්වයන් මඟහරින්න අවශ්‍යයි. ‘අඥාන තරුණයා’ ගත් මෝඩ ක්‍රියාමාර්ගය ගැනීමට කෙනෙක් පෙලඹිය හැකි එක් ආකාරයක් වන්නේ අනවශ්‍ය ලෙස රූපවාහිනි නාලිකා එකින් එකට මාරු කිරීම හෝ අරමුණක් නොමැතිව අන්තර්ජාලයේ සැරිසැරීමයි. කෙනෙක් එසේ කරන්නේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අරමුණින් නොවුණත් එවැනි දර්ශන නෙත ගැටීමට තිබෙන ඉඩකඩ ඒ නිසා වැඩි විය හැකියි. එවැනි දේ නෙත ගැටීමෙන් කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දට ඔහු ක්‍රමානුකූලව වැටිය හැකියි. ඉන් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හා හෘදය සාක්ෂියට බරපතළ හානියක් සිදු වෙනවා. එපමණක් නොව එය ඔහුගේ මුළු ජීවිතයටම බලපානවා.රෝම 8:5-8 කියවන්න.

18. තමාගේ සිත ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රිස්තියානියෙකුට ගත හැකි පියවර මොනවාද? ඒවා ක්‍රියාත්මක කිරීමට තමාව පාලනය කරගැනීම අවශ්‍ය ඇයි?

18 ලිංගික හැඟීම් අවුස්සන දර්ශනයක් නෙත ගැටුණොත් අප ඉක්මනින්ම ඉන් ඉවත් විය යුතුයි. ඒ සඳහා තමාව පාලනය කරගැනීම අත්‍යවශ්‍යයි. නමුත් එවැනි දර්ශනයක් නෙත ගැටීමට ඇති අවස්ථා වළක්වාගත හැකි නම් එය මොන තරම් ඥානවන්තද! (හිතෝ. 22:3) එවැනි දර්ශන නෙත ගැටීම වළක්වාගැනීම සඳහා ගත හැකි පියවර තීරණය කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තමාව පාලනය කරගැනීම අත්‍යවශ්‍යයි. උදාහරණයකට සියලුදෙනාටම පෙනෙන ස්ථානයක පරිගණකය තැබීම ආරක්ෂිත පියවරක්. නිවසේ අනික් සාමාජිකයන් සිටින විට රූපවාහිනිය නැරඹීම හෝ පරිගණකය භාවිත කිරීම ආරක්ෂාවක් බව සමහරුන් වටහාගෙන තිබෙනවා. අන්තර්ජාල පහසුකම් ලබා නොගැනීමට තවත් අය තීරණය කර තිබෙනවා. (මතෙව් 5:27-30 කියවන්න.) අපගෙත් අපගේ පවුලේ අයගෙත් ආරක්ෂාව සඳහා කළ හැකි සෑම දෙයක්ම අපි කරමු. එවිට අප සියලුදෙනාටම “පවිත්‍ර හදවතකින්ද දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද” දෙවිට නමස්කාර කළ හැකියි.—1 තිමෝ. 1:5.

19. අපට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහැරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

19 දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග වර්ධනය කරගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. මෘදුව හා බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කිරීමෙන් සභාවේ සමාදානයට දායක වෙන්න පුළුවන්. කාරුණික වීමෙන් හා යහපත්කම් කිරීමෙන් පවුලේ සන්තෝෂයට දායක වෙන්න පුළුවන්. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටත් විශ්වාසය හා තමාව පාලනය කරගැනීම අපට උපකාරවත් වෙනවා. එපමණක් නොවෙයි ගලාති 6:8හි මෙවැනි සහතිකයක්ද අපට ලබා දෙනවා. “තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි.” තමන්ට මඟ පෙන්වීම සඳහා දෙවිගේ බලයට ඉඩහරින අයට ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවේ පදනම මත යෙහෝවා දෙවි සදාකාල ජීවනය ලබා දෙනවා.

ඔබට මතකද?

• මෘදුකම සහ බොහෝ ඉවසිලිවන්තකම සභාවේ සමාදානයට දායක වෙන්නේ කොහොමද?

• නිවසේදී කරුණාවන්ත වීමටත් යහපත්කම් කිරීමටත් ක්‍රිස්තියානීන්ට උපකාරවත් වෙන්නේ කුමක්ද?

• තමාගේ සිත ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රිස්තියානියෙකුට විශ්වාසය හා තමාව පාලනය කරගැනීම උපකාරවත් වෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

සාකච්ඡාවක් බහින් බස් වීමක් දක්වා දුර දිග යෑම වළක්වාගන්න පුළුවන් කොහොමද?

[25වන පිටුවේ පින්තූරය]

දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග අධ්‍යයනය කිරීම පවුලේ අයට ප්‍රයෝජනවත් වෙනවා

[26වන පිටුවේ පින්තූරය]

දෙවි කෙරෙහි ඇති විශ්වාසය හා තමාව පාලනය කරගැනීම තුළින් වළක්වාගත හැකි අනතුරු මොනවාද?