Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

පුරාණ මැටි මුද්‍රාවල බයිබලයේ සඳහන් අයගේ නම් තිබෙනවාද?

ඈත අතීතයේදී වැදගත් ලියකියවිලි යම් තැනකට යැවීමට කලින් ඒවා අකුළා නූලකින් ගැට ගසනු ලැබුවා. ඉන්පසු ගැටය මත මැටි පිඩක් තබා එයට මුද්‍රාවක් තැබුවා. අත්සනක්, සාක්ෂියක් හෝ හිමිකාරිත්වය තහවුරු කිරීමක් හැටියට ඔවුන් භාවිත කළේ ඒ මුද්‍රාවයි.

ඇතැම් අවස්ථාවල මුද්‍රා ලෙස මුදු පවා භාවිත කළ අතර එවැනි මුදු ඉතා වටිනා ඒවා ලෙස සලකනු ලැබුවා. (උත්පත්ති 38:18; එස්තර් 8:8; යෙරෙමියා 32:44) බොහෝ අවස්ථාවලදී එවැනි මුද්‍රාවලට අයිතිකරුගේ නම, තනතුර සහ පියාගේ නම ඇතුළත් වුණා.

පුරාවිද්‍යාඥයන් ඉපැරණි මැටි මුද්‍රා බොහොමයක් සොයාගෙන තිබෙන අතර ඉන් ඇතැම් මුද්‍රාවල බයිබලයේ සඳහන් අයගේ නම්ද ඇතුළත් වෙනවා. ඒ අතර යුදෙව් රජවරුන් දෙදෙනෙකුගේ මුද්‍රාවලින් කරන ලද බවට විශ්වාස කෙරෙන මැටි මුද්‍රාද තිබෙනවා. ඉන් එක මැටි මුද්‍රාවක “යූදාහි රජු වන යෝතම්ගේ පුත් ආහස්ට අයත්ය” කියාත් “යූදාහි රජු වන ආහස්ගේ පුත් හෙසකියාට අයත්ය” කියාත් සඳහන් වෙනවා. (2 රාජාවලිය 16:1, 20) ආහස් සහ හෙසකියා පාලනය කළේ ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදියි.

ඊට අමතරව අනාගතවක්තෘ යෙරෙමියා විසින් සඳහන් කර තිබෙන අයගේ නම් ඇතුළත් මැටි මුද්‍රාද හමු වී තිබෙනවා. ඒ අතර යෙරෙමියාගේ ලේකම් ලෙස කටයුතු කළ බාරුක්, ෂාපාන්ගේ පුත් ගෙමරියා, රාජ පුත්‍රයෙක් වන යෙරාමෙයෙල්, ෂෙලෙමියාගේ පුත් යූකල් සහ බාරුක්ගේ සහෝදරයා වන සෙරායා යන නම් සඳහන් වෙනවා.—යෙරෙමියා 32:12; 36:4, 10, 26; 38:1; 51:59.

දවසේ විවිධ වේලාවන් බයිබලයේ හඳුන්වා තිබෙන්නේ කෙසේද?

‘උදෑසන,’ ‘දහවල’ හා ‘සවස’ යන විවිධ වේලාවන් ගැන පැරණි ගිවිසුමේ සඳහන් වෙනවා. (උත්පත්ති 24: 11; ද්විතීය කතාව 28: 29; 1 රාජාවලිය 18:26) අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් හිරු බැසීමේ සිට හිරු නැඟීම දක්වා වූ කාලය පැය හතරකින් යුත් කොටස් තුනකට වෙන් කළා. නමුත් පසු කාලයේදී ග්‍රීක සහ රෝම ජාතිකයන් එය කොටස් හතරකට වෙන් කළා. පෙනෙන ආකාරයට සෝදිසියෙන් සිටීමේ අවශ්‍යතාව ගැන යේසුස් කියා දුන් විට ඔහු යොමු දක්වන්න ඇත්තේ ඒ ක්‍රමයට විය හැකියි. ඔහු පැවසුවේ මෙයයි. “සෝදිසියෙන් සිටින්න. නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ.” (මාක් 13:35) “සවස් යාමය” හිරු බැස ගිය විට ඇරඹී රාත්‍රී නවයට පමණ අවසන් වුණා. දෙවන යාමය අවසන් වූයේ මධ්‍යම රාත්‍රියෙයි. තුන්වන යාමය අලුයම තුන පමණ වන තෙක් දිව ගියා. හතරවන යාමය හිරු නැඟීම දක්වා දිව ගියා. යේසුස් ගලීල මුහුද මත ඇවිද්දේ ‘හතරවෙනි යාමයේදීයි.’—මතෙව් 14: 23-26.

හිරු නැඟීමේ සිට හිරු බැසීම දක්වා වූ දහවල් කාලය පැය 12කට වෙන් කර තිබුණා. (යොහන් 11:9) විවිධ ඍතුවල හිරු නැඟීමේ සහ බැසීමේ වේලාවන් වෙනස් වෙනවා. යම් සිද්ධීන් සිදු වූ නිශ්චිත වේලාවන් බයිබලයේ සඳහන් කර නැත්තේ ඒ නිසයි.—ක්‍රියා 10:9.

[15වන පිටුවේ පින්තූරය]

ඉදිරියෙන් තිබෙන්නේ හෙසකියාගේ සහ ආහස්ගේ නම් ඇතුළත් මැටි මුද්‍රාවක්. පිටුපසින් තිබෙන්නේ බාරුක්ගේයයි සිතිය හැකි මැටි මුද්‍රාවක්

[හිමිකම් විස්තර]

Back: Courtesy of Israel Museum, Jerusalem

Front: www.BibleLandPictures.com/​Alamy

[15වන පිටුවේ පින්තූරය]

රෝම අධිරාජ්‍ය සමයට අයත් කාලය මනින උපකරණයක් (ක්‍රිස්තු පූර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 476 දක්වා)

[හිමිකම් විස්තර]

© Gerard Degeorge/​The Bridgeman Art Library International