Skip to content

පටුනට යන්න

තම නාමය වෙනුවෙන් නැඟී සිටින සෙනඟක්

තම නාමය වෙනුවෙන් නැඟී සිටින සෙනඟක්

රුසියාවේ ජනතාව වෙත: මෙම ලිපිය කියවීමෙන් රුසියාවේ ආගමික නිදහසට පදනම් විරහිතව සීමා තහංචි දමා තිබෙන බව රටවල් 230ක සිටින මිලියන ගණන් මිනිසුන් දැනගනියි. ඔබ දැන් කියවන මෙම මුරටැඹ සඟරාව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ප්‍රකාශයට පත් කරන එකම මාසික සඟරාවයි. එය භාෂා 188කට පරිවර්තනය වන අතර පිටපත් මිලියන 40කට වඩා වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කෙරෙනවා. රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික නිදහසට සිදු වී ඇති දේ ජාත්‍යන්තර ප්‍රජාව දැනගන්නවාට ඇතැම් බලධාරීන් කැමති නැහැ. කොහොමවුණත් යේසුස් පැවසූ මෙම වදන්වල සත්‍යතාව සියලුදෙනාටම දැනගැනීමට ලැබෙයි. “හොඳින් සඟවා තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසක්ව තිබෙන කිසි දෙයක් හෙළි නොකර සිටින්නේ නැහැ.”—ලූක් 12:2.

ර්ෂ 2009 දෙසැම්බර් සහ 2010 ජනවාරි මාසවල රුසියාවේ මහාධිකරණ දෙකක් සාක්ෂිකරුවන්ව අන්තවාදී ආගමික කණ්ඩායමක් ලෙස හැඳින්නුවා. එම චෝදනාව රුසියාවේ සාක්ෂිකරුවන්ට නුහුරු දෙයක් නොවෙයි. මන්ද සෝවියට් සංගමය රුසියාව පාලනය කළ කාලයේදීත් සාක්ෂිකරුවන්ව රාජද්‍රෝහීන් ලෙස හඳුන්වා පිටුවහල් කිරීමටත් සිරගත කිරීමටත් ගාල් කඳවුරුවලට යැවීමටත් පියවර ගත්තා. කොහොමවුණත් සෝවියට් සංගමය බිඳ වැටීමත් සමඟම බලයට පත් වූ නව ආණ්ඩුව සාක්ෂිකරුවන්ව එම චෝදනාවලින් නිදහස් කර ඔවුන්ට ආගමික නිදහස ලබා දුන්නා. * නමුත් ඇතැම් අය යළිත් වතාවක් සාක්ෂිකරුවන්ට විරුද්ධව නැඟී සිටින බව පෙනෙන්න තිබෙනවා.

වර්ෂ 2009දී රුසියානු බලධාරීන් සාක්ෂිකරුවන්ගේ ආගමික නිදහසට මහත් තර්ජනයක් ගෙන ආවා. එම වසරේ පෙබරවාරි මාසයේ පමණක් රට පුරා සිටි සාක්ෂිකරුවන්ට විරුද්ධව සෝදිසි මෙහෙයුම් 500කට වඩා දියත් කරනු ලැබුවා. එතැන් සිට ගෙවුණු මාස කිහිපය පුරාම පොලිස් නිලධාරීන් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට කඩා වැද ඔවුන්ගේ පොත් පත් සහ පෞද්ගලික දේපළ රාජසන්තක කර තිබෙනවා. එමෙන්ම සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කළ ජාත්‍යන්තර නීතීඥවරුන්ව රටෙන් පිටමං කරමින් නැවත රටට පැමිණීම පවා ඔවුන්ට තහනම් කළා.

වර්ෂ 2009 ඔක්තෝබර් 5වනදා රුසියාවේ රේගු නිලධාරීන් පිරිසක් සාක්ෂිකරුවන්ගේ පොත් පත් තොගයක් සෝදිසි කිරීම සඳහා තබාගත්තා. ඒ පොත් පත් මුද්‍රණය කර තිබුණේ ජර්මනියේයි. රුසියාවේ පිහිටි සභා ගණනාවකට අයත් පොත් පත් ඒ අතර තිබුණා. ඒ පොත් තොගය පරීක්ෂා කරනු ලැබුවේ සැකකටයුතු භාණ්ඩ සෝදිසි කරන විශේෂ කණ්ඩායමක් විසිනුයි. එයට හේතුව කුමක්ද? “ආගමික බෙදීම් ඇති කරන තොරතුරු ඇතුළත් පොත් පත් තිබෙනවාද කියා සොයා බැලීම සඳහා” එසේ කළ බව ඊට අදාළ ලියවිල්ලක සඳහන් වුණා.

රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන මෙම මාසික සඟරාව ඇතුළුව තවත් පොත් පත් රැසක් අන්තවාදී ප්‍රකාශන ලෙස තහනම් කිරීමත් සමඟම රුසියාවේ සාක්ෂිකරුවන්ට පැමිණි පීඩා තවත් උග්‍ර අතට හැරී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ පොත් පත් ගෙන්වාගැනීමට හෝ බෙදාහැරීමට අවසර නැහැ. ඒ පිළිබඳව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළත් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට එය ලක් වී තිබුණත් මේ වන තුරු කිසිදු වෙනසක් සිදු වී නැහැ.

සාක්ෂිකරුවන්ගේ නාමයට එල්ල වී තිබෙන අපහාස සහ ඔවුන්ව නිහඬ කිරීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඔවුන් කුමන පියවරක් ගනියිද? අධිකරණ විසින් පනවා තිබෙන නීති සලකා බැලීමෙන් රුසියානුවන්ට හිමි ආගමික නිදහස ගැන හෙළි වන්නේ කුමක්ද?

සාක්ෂිකරුවන් පිළිතුරු දෙයි

රුසියාවේ වෙසෙන 1,60,000ක් පමණ සාක්ෂිකරුවන් 2010 පෙබරවාරි මස 26වෙනි සිකුරාදා විශේෂ කාර්යයක් ඇරඹුවා. එම කාර්යය වූයේ රුසියාවේ වැසියෙනි එය නැවතත් සිදු වෙයිද? නමැති විශේෂ පත්‍රිකාවේ පිටපත් මිලියන 12ක් බෙදාහැරීමයි. උදාහරණයකට සයිබීරියාවේ ඌසොල්යා සීබිර්ස්කයා නම් නගරයේ සාක්ෂිකරුවන් 400ක් පමණ උදෑසන 5:30ට වීදිවලට ගොස් එය මහජනයාට බෙදාහැරියා. ඔවුන් අතර 1951දී සයිබීරියාවට පිටුවහල් කළ සාක්ෂිකරුවන්ද සිටියා. ඒ අවස්ථාවේ පැවතියේ සෙල්සියස් අංශක ඍණ 40ක උෂ්ණත්වයක් වුණත් ඒ අධික සීතල දරාගෙන ඔවුන් නියමිත පත්‍රිකා 20,000 මහජනයා අතට පත් කළා.

දින තුනක් පුරා සිදු වූ ඒ විශේෂ පත්‍රිකාව බෙදාහැරීමේ කාර්යය දැනුම් දීමට සාක්ෂිකරුවන් මාධ්‍ය හමුවක් සංවිධානය කළා. මානව හිමිකම් ආයතනයේ ප්‍රවීණයෙකු වන ලියෙෆ් ලෙවින්සොන් මහතාද ඊට සහභාගි වුණා. ජර්මනියේ නාට්සි පාලනය යටතේ හා සෝවියට් පාලනය යටතේ සාක්ෂිකරුවන්ට අත්විඳින්න සිදු වූ කුරිරුකම් ගැනත් ඔවුන්ට ආගමික නිදහස හිමි වූ ආකාරය ගැනත් ඔහු සඳහන් කළා. එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. එවකට “ජනාධිපතිව සිටි යෙල්ට්සින් විසින් සෝවියට් පාලනය යටතේ පීඩාවට ලක් වූ සියලුම ආගම් චෝදනාවලින් නිදහස් කළා. ඔවුන්ට අහිමි වූ සියල්ල නැවත ලබා දීමටත් පියවර ගත්තා. කොහොමවුණත් සාක්ෂිකරුවන්ට අයිති කිසිවක් සෝවියට් ආණ්ඩුව අයිති කරගෙන තිබුණේ නැහැ. නමුත් සාක්ෂිකරුවන්ට අහිමි වූ ඔවුන්ගේ කීර්ති නාමය ඔවුන්ට යළි හිමි වුණා.”

ඒත් යළිත් වතාවක් රුසියාවේ සිටින සාක්ෂිකරුවන්ගේ කීර්ති නාමයට තර්ජනයක් ඇති වී තිබෙනවා. සාක්ෂිකරුවන්ට “කිසිම හේතුවක් නැතුව පීඩා කරදර ගෙනෙනු ලබනවා” කියා ඉහත සඳහන් කළ ලෙවින්සොන් මහතා වැඩිදුරටත් පැවසුවා.

පත්‍රිකා බෙදාහැරීම හොඳ ප්‍රතිඵල ගෙනෙයි

පත්‍රිකා බෙදාහැරීමේ කාර්යය කොයි තරම් දුරට සාර්ථක වූවාද කියා ලෙවින්සොන් මහතා දැක්වූ මේ අදහස්වලින් තේරුම්ගත හැකියි. “මේ මාධ්‍ය හමුවට එන අතරතුර මම දැක්කා සාක්ෂිකරුවන් බෙදාහැරිය පත්‍රිකාව මඟ දිගට රුසියානුවන් උනන්දුවෙන් කියවනවා.” * ඒ සම්බන්ධයෙන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් අපි දැන් සලකා බලමු.

මධ්‍යම රුසියාවේ සිටි මහලු කාන්තාවකට එම පත්‍රිකාව ඉදිරිපත් කළ විට එහි සඳහන් වෙන්නේ කුමක්ද කියා ඇය විමසා තිබෙනවා. එහි සඳහන් වෙන්නේ රුසියාවේ මානව අයිතිවාසිකම් සම්බන්ධවයි කියා ඇයට පැවසූ විට ඇය මෙසේ කියා සිටියා. “දැන්වත් කවුරු හරි මේ ගැන අවධානය දීලා තියෙන එක ගැන මම සතුටු වෙනවා. මොකද සෝවියට් පාලනය තිබුණු කාලයේ වගේම දැනුත් මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ කරන දේ හුඟක් හොඳයි.”

චෙල්යර්බින්ස්ක් නම් නගරයේ සිටි එක් කාන්තාවකට මෙම පත්‍රිකාව ඉදිරිපත් කළ විට ඇය මෙසේ පවසා තිබෙනවා. “මට කලිනුත් මේ පත්‍රිකාව ලැබුණා. ඒක කියෙව්වට පස්සේ මට තේරුණා ඔයාලා කියන දේ ඇත්ත කියලා. වෙන කිසිම ආගමක් මේ තරම් සංවිධානාත්මක විදිහට තම විශ්වාසයන් වෙනුවෙන් නැඟී සිටිනවා මම දැකලා නැහැ. ඔයාලා අඳින පළඳින විදිහටත් කල්පනාකාරීව කටයුතු කරන ආකාරයටත් මම කැමතියි. ඒ වගේම ඔයාලගේ ආගම ගැනත් ඔයාලට ලොකු විශ්වාසයක් තියෙනවා. දෙවි ඔයාලගේ පැත්තේ ඉන්නවා කියලා මට තේරෙනවා.”

ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ වෙසෙන එක් පුද්ගලයෙකුගෙන් ඒ පත්‍රිකාව සම්බන්ධයෙන් විමසූ විට ඔහු මෙසේ අදහස් දැක්වූවා. “මම ඒ පත්‍රිකාවට හුඟක් කැමතියි. ඒක කියවන කොට මගේ ඇස්වල කඳුලු පිරුණා. සෝවියට් ආණ්ඩුව තිබුණු කාලයේ මගේ ආච්චිව හිරේට අරන් තිබුණ නිසා එහෙ වුණේ මොනවද කියලා ආච්චි මට කියලා තියෙනවා. අපරාධකාරයන්ව විතරක් නෙවෙයි කිසිම වරදක් නොකළ අහිංසක අයවත් හිරේ දාලා තියෙනවා. ඔවුන්ව හිරේ දාලා තිබුණේ ඔවුන්ගේ ආගම නිසයි. මම හිතන්නේ ඒ අසාධාරණකම් ගැන හැමෝම දැනගන්න ඕන කියලයි. ඒ නිසා ඕගොල්ලෝ කරන වැඩේ හුඟක් හොඳයි.”

රුසියාවේ සිටින සාක්ෂිකරුවන්ගේ හෙට දවස කුමක් වේවිද?

ගෙවී ගිය දශක දෙක තුළ තමන්ට යම් ආකාරයකින් හෝ ලැබී තිබෙන ආගමික නිදහස රුසියාවේ සිටින සාක්ෂිකරුවන් බොහෝ සෙයින් අගය කරනවා. කොහොමනමුත් ඒ නිදහස කොයිම අවස්ථාවක හෝ නැති වී යා හැකි බවත් ඔවුන් දන්නවා. මෑත භාගයේ ඇති වී තිබෙන පීඩා රැල්ල රුසියාවේ සිටින සාක්ෂිකරුවන්ට තවත් අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙන බවට ඉඟියක්ද කියා අප දන්නේ නැහැ. නමුත් කාලය ඊට පැහැදිලි පිළිතුරක් සපයයි.

තමන්ට කුමන තහංචියක් පැනෙව්වත් බයිබලයේ තිබෙන ප්‍රීතිමත් ශුභාරංචිය ගැන මිනිසුන්ට පැවසීම සාක්ෂිකරුවන් නතර කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අධිෂ්ඨානය එම විශේෂ පත්‍රිකාවේ සඳහන් වුණේ මේ ආකාරයටයි. “සීමා තහංචිවලින් අපව නිහඬ කරන්න බැහැ. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලයේ තිබෙන දේවල් ගැනත් මිනිසුන්ට ගෞරවනීයව කියා දීම අපි කිසිදාක නතර කරන්නේ නැහැ. (1 පේතෘස් 3:15) ජර්මනියේ නාට්සි පාලනය යටතේ අපි කුරිරු පීඩා අද්දැක්කත් මේ රට තුළ පවා නොයෙක් සීමා තහංචි දැමීමෙන් අපව නතර කරන්න හැදුවත් අපි දිගටම ඒ කාර්යය කළා. ඒ හා සමානව දැනුත් අනාගතයේදීත් අපි ඒ කාර්යයේ දිගටම නියැලෙනවා.—ක්‍රියා 4:18-20.”

^ 3 ඡේ.  “නැවත ස්ථාපිත කිරීමේ සහතික” නමැති තේමාවෙන් යුත් කොටුව බලන්න.

^ 13 ඡේ. මාධ්‍ය හමුව පටන්ගැනීමට පැය කිහිපයකට කලින් මොස්කව්වල සිටි සාක්ෂිකරුවන් විශේෂ පත්‍රිකා බෙදාහැරීමේ කාර්යය ආරම්භ කළා.

[20වන පිටුවේ පින්තූරය]

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සිකුරාදා උදෑසන සාක්ෂිකරුවන් කණ්ඩායමක් සමඟ එක් වී විශේෂ පත්‍රිකාව බෙදාහැරීමට 81වන වියේ පසු වන ව්ලාඩිමියර් ලිට්වින් පෙරමුණ ගත්තා. වයස අවුරුදු 14දී ඔහුව ක්‍රස්නොයාර්ස්ක්වලට පිටුවහල් කර තිබෙනවා

[21වන පිටුවේ පින්තූරය]

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විශේෂ පත්‍රිකාව බෙදාහැරීමට හවුල් වූ 73වන වියේ පසු වන නිකොලයි යාසින්ස්කී මෙසේ ඇසුවා. “ආයෙත් සැරයක් අපිට පීඩා කරලා යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අපිට තියෙන අයිතිය නැති කරලා දාන්න හදනවා කියන්නේ ඇත්තද?”

[21වන පිටුවේ පින්තූරය]

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මුරටැඹ සඟරාවක් ළඟ තබාගැනීම නිසා වසර දහයක සිර දඬුවමක් ලැබූ 85 හැවිරිදි ස්ටෙපාන් ලෙවිට්ස්කි ඔහුගේ බිරිඳ වන යෙලේනා සමඟ

[19වන පිටුවේ පින්තූරය]

[20වන පිටුවේ පින්තූරය]