Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්—මිලමුදල්

අතීතයෙන් බිඳක්—මිලමුදල්

අතීතයෙන් බිඳක්—මිලමුදල්

“ඔහු දේවමාලිගාවේ මුදල් බඳුන් පෙනෙන තැනක ඉඳගෙන සමූහයා ඒවාට මුදල් දමමින් සිටි ආකාරය බලාගෙන සිටියේය. ධනවතුන් බොහෝදෙනෙක් ඇවිත් කාසි බොහොමයක් දැමූහ. ඊළඟට දිලිඳු වැන්දඹුවක් ආවාය. ඇය දැම්මේ ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් පමණි.”—මාක් 12:41, 42.

මිනිසුන්ට වටිනා පාඩම් කියා දීමට යේසුස් අවස්ථා කිහිපයකදීම විවිධ කාසි ගැන සඳහන් කළා. උදාහරණයකට ඉහත බයිබල් පදයේ සඳහන් “කුඩා කාසි දෙකක්” දැමූ දිලිඳු වැන්දඹුව ගැන සඳහන් කරමින් ඔහු වටිනා පාඩමක් කියා දුන්නා. තවත් අවස්ථාවක ඩිනාරි කාසියක් පෙන්වමින් රජයට බදු ගෙවීමේ වැදගත්කම ගැනත් යේසුස් පහදා දුන්නා. *මතෙව් 22:17-21.

මිනිසුන් මුදල් භාවිත කිරීමට පටන්ගත්තේ ඇයි? අතීතයේදී මුදල් නිපදවනු ලැබුවෙත් ඒවා භාවිත වුණෙත් කෙසේද? එමෙන්ම මුදල්වලට නිසි තැන දීමට බයිබලයේ දී ඇති මඟ පෙන්වීම් මොනවාද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සොයා බලමු.

භාණ්ඩ හුවමාරුවේ සිට වටිනා ලෝහ දක්වා

අතීතයේදී මුදල් නිපදවීමට කලින් මිනිසුන් අවශ්‍ය දේවල් ලබාගත්තේ භාණ්ඩ හුවමාරු කිරීමෙනුයි. එහිදී සිදු වුණේ යම් දෙයක් ලබාගැනීම සඳහා ඊට සරිලන වටිනාකමකින් යුත් වෙනත් භාණ්ඩයක් දීම හෝ සේවාවක් පිරිනැමීමයි. නමුත් ඒ ක්‍රමය එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ ක්‍රමය සාර්ථක වීමට නම් භාණ්ඩ හුවමාරු කරගන්න දෙපාර්ශ්වයම තමාට ලැබෙන භාණ්ඩයට කැමති විය යුතු වුණා. එමෙන්ම වෙළෙඳුන්ට තම වෙළඳ භාණ්ඩ, ධාන්‍ය මලු ඇතුළු සතුන්ව යන යන තැනට රැගෙන යෑමටද සිදු වුණා.

එමනිසා වෙළඳ කටයුතු කිරීමට ඊට වඩා පහසු ක්‍රමයක් ගැන මිනිසුන් සිතන්න පටන්ගත්තා. මුදල් වෙනුවට රන්, රිදී, තඹ වැනි වටිනා ලෝහ වර්ග යොදාගැනීමට පටන්ගත්තේ ඉන්පසුවයි. පහත පින්තූරයේ පෙන්වා ඇත්තේ වෙළෙන්දෙක් වටිනා ලෝහවලින් සෑදූ ආභරණ සහ වටිනා ලෝහ කුට්ටි දීමෙන් තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්නා ආකාරයයි. එවැනි අවස්ථාවක එම ලෝහවල වටිනාකම තක්සේරු කිරීමට ඒවා නිවැරදි තරාදිවලින් කිරා බැලුවා. බයිබලයේ සඳහන් වන ආකාරයට ආබ්‍රහම් තම බිරිඳ වූ සාරාව භූමිදාන කිරීමට ඉඩමක් මිල දී ගත් අවස්ථාවේ නිශ්චිත රිදී ප්‍රමාණයක් කිරා දුන්නා.—උත්පත්ති 23:14-16.

පුරාණයේ සිටි සමහර වෙළෙඳුන් හොර තරාදි සහ හොර පඩි යොදාගෙන පාරිභෝගිකයන්ට වංචා කළා. යෙහෝවා දෙවි එය දැඩි ලෙස හෙළාදුටු නිසා “හොර තරාදි හෝ හොර පඩි හෝ භාවිත නොකළ යුතුයි” කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (ලෙවී කතාව 19:36; හිතෝපදේශ 11:1) යෙහෝවා දෙවි නොවෙනස් වන දෙවි කෙනෙක් නිසා ඔහු එදා මෙන්ම අදත් වංචාව සහ කෑදරකම හෙළාදකින බව භාණ්ඩ අළෙවි කරන අය මතක තබාගත යුතුයි.—මලාකි 3:6; 1 කොරින්ති 6:9, 10.

අතීතයේදී කාසි නිපදවූ ආකාරය

මුලින්ම කාසි නිපදවූයේ ක්‍රිස්තු පූර්ව 700ට පෙර පුරාණ ලිදියා නගරයේ (වර්තමාන තුර්කියේ) බව පැවසෙනවා. එතැන් පටන් බොහෝ රටවල විශාල පරිමාණයෙන් කාසි නිපදවීම ඇරඹී තිබෙනවා.

අතීතයේ සිටි ලෝහකරුවන් කාසි නිපදවූයේ කෙසේද? ඒ සඳහා ඔවුන් මුලින්ම (1) ලෝහ උණු කරගෙන (2) ඒවා අච්චුවකට දැමුවා. ඉන්පසු අච්චුවෙන් ඉවතට ගත් විට එකිනෙකට බැඳී තිබුණු එම ලෝහ කාසිවලට රූපයක් හෝ මෝස්තරයක් ඇතුළත් කිරීමට ඒවා (3) යකඩ අච්චුවක තබා (4) මිටියෙන් පහර දෙනු ලැබුවා. එවිට එම අච්චුවේ තිබූ රූපසටහන් කාසියේ දෙපැත්තේම සටහන් වුණා. ඇතැම් අවස්ථාවල වේගවත්ව කාසි නිපදවීමට උත්සාහ කිරීමෙන් යකඩ අච්චුවේ තිබූ රූප සහ මෝස්තර කාසියේ හරි මැද සටහන් නොවීමට ඉඩ තිබෙනවා. (5) කාසි නිපදවූ පසු ඒවා වෙන් කරගෙන ඒවායේ නියමිත බර ප්‍රමාණය කිරා බැලූ අතර ඒවායේ ලෝහ ප්‍රමාණය මදක් වැඩි වී තිබුණා නම් පීරි ගෑමෙන් එය සකස් කළා.

මුදල් මාරු කරන්නන්, බදු අය කරන්නන් සහ බැංකුකරුවන්

පළමු සියවසේදී, යෙරුසලමේ තිබූ දේවමාලිගාවට විදේශිකයන් පැමිණි විට ඔවුන් රැගෙන ආවේ විදේශ කාසියි. කොහොමවුණත් දේවමාලිගා බද්ධ ගෙවීමට අවසර තිබුණේ අනුමත කර තිබූ මුදල් ඒකකවලින් පමණයි. එමනිසා මුදල් මාරු කරන්නන් දේවමාලිගාවේදී විදේශ මුදල් මාරු කර දුන්නා. නමුත් ඔවුන් මුදල් මාරු කිරීම සඳහා ඉතා අසාධාරණ අයුරින් වැඩිපුර මුදලක් අය කළා. ඔවුන් දේවමාලිගාව “වෙළඳපොළක්” හැටියට යොදාගෙන එය “කොල්ලකාරයන්ගේ ගුහාවක්” කරගෙන තිබූ නිසා යේසුස් ඔවුන්ව දැඩි ලෙස හෙළාදැක්කා.—යොහන් 2:13-16; මතෙව් 21:12, 13.

එවකට පලස්තීනය අවට ජීවත් වූ අයට විවිධ බදු වර්ග ගෙවීමට සිදු වුණා. ‘සීසර්ට ගෙවිය යුතු බද්ධ’ ඉන් එකක්. යේසුස්ව හසු කරගැනීම සඳහා ඔහුගේ සතුරන් ප්‍රශ්න කළේ ඒ බද්ධ ගැනයි. (මතෙව් 22:17) ඊට අමතරව මහාමාර්ග බදු මෙන්ම ආනයනය හෝ අපනයනය කරන භාණ්ඩ සඳහා වූ බදුද අය කළා. රජයේ බදු අය කරන්නන් වංචනික ලෙස වැඩිපුර බදු අය කරමින් පොහොසත් වූ නිසා සාමාන්‍ය ජනයා ඉදිරියේ ඔවුන්ට එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. (මාක් 2:16) නමුත් සමහර බදු අය කරන්නන් යේසුස්ගේ ඉගැන්වීම් ජීවිතයට අදාළ කරගැනීමෙන් පසු වංචනික ක්‍රියා අත්හැර දැමුවා. සකෙවුස් ඉන් එක් කෙනෙක්. (ලූක් 19:1-10) අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද ව්‍යාපාර කටයුතු ඇතුළු සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට වගබලා ගත යුතුයි.—හෙබ්‍රෙව් 13:18.

මුදල් ආශ්‍රිත කටයුතුවල නිරත වූ බැංකුකරුවන් විදේශ මුදල් මාරු කරනවාට අමතරව මුදල් ඉතිරි කිරීමේ ක්‍රම හඳුන්වා දීම, ණය ලබා දීම, මුදල් තැන්පතු සඳහා පොලී ලබා දීම වැනි දේවල්ද කළා. තලෙන්ත පිළිබඳ උපමාව පැවසූ අවස්ථාවේදී යේසුස් එවැනි බැංකුකරුවන් ගැන සඳහන් කළා.—මතෙව් 25:26, 27.

නිසි තැන දෙන්න

ජීවිතයේ මූලික අවශ්‍යතා පිරිමසාගැනීමට මුදල් අත්‍යවශ්‍ය දෙයක් වී තිබෙනවා. ඒ අනුව “මුදල ආරක්ෂාවක්” කියා පුරාණයේ සිටි සලමොන් රජ පැවසූ බයිබලයේ සඳහන් වී ඇති වදන් කොතරම් සත්‍යයක්ද! නමුත් ‘ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙන’ බැවින් ප්‍රඥාව අත් කරගැනීම මුදල්වලට වඩා වටිනා දෙයක් කියාත් ඔහු පැවසුවා. (දේශනාකාරයා 7:12) ඇත්තෙන්ම එවැනි ප්‍රඥාවක් අත් කරගත හැක්කේ බයිබලය අධ්‍යයනය කිරීමෙනුයි.

මුදල්වලට දිය යුතු නිසි තැන කුමක්ද කියා පෙන්නුම් කිරීමට යේසුස් එක් අවස්ථාවකදී මෙවැනි දෙයක් පැවසුවා. ‘කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න බැහැ.’ (ලූක් 12:15) අපිත් ඒ මඟ පෙන්වීම අදාළ කරගෙන මුදල්වලට ආශාවක් ඇති කර නොගෙන ඊට නිසි තැන දී අවංකව සහ වගකීමෙන් මුදල් පරිහරණය කරනවා නම් යේසුස්ගේ ගෝලයන් මෙන් අපටත් ප්‍රඥාවන්තව කටයුතු කිරීමට හැකි වෙනවා.—1 තිමෝති 6:9, 10.

[පාදසටහන]

^ 3 ඡේ.  “කාසි පණම් පිළිබඳ තොරතුරු” යන කොටුව බලන්න.—26වන පිටුව.

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

 කාසි පණම් පිළිබඳ තොරතුරු

● පළමු සියවසේදී පලස්තීනයේ භාවිත වූ කුඩාම කාසි වර්ගයක් වූයේ තඹ ලෙප්ටන් කාසියයි. කුලී වැඩකරුවෙකුට විනාඩි 15කින් ලෙප්ටන් කාසි දෙකක් උපයන්න හැකිකම තිබුණා. බොහෝවිට දේවමාලිගාවේ මුදල් බඳුනට දිලිඳු වැන්දඹුව දැමුවේ ලෙප්ටන් කාසි දෙකක් විය හැකියි.—මාක් 12:42.

රිදී ඩ්‍රැක්මා කාසිය ග්‍රීක කාසියක්. මුළු දවසක්ම වැඩ කළ කුලීකරුවෙකුට එක් ඩ්‍රැක්මා කාසියක් උපයන්න හැකියාව තිබුණා. (ලූක් 15:8, 9) සෑම යුදෙව් පුරුෂයෙකුම දේවමාලිගා බද්ධ ලෙස වාර්ෂිකව ඩ්‍රැක්මා කාසි දෙකක් ගෙවිය යුතු වුණා.—මතෙව් 17:24.

● සීසර්ගේ රූපය සටහන් කර තිබූ රිදී ඩිනාරි කාසිය රෝම කාසියක්. රෝම අධිරාජ්‍යය පාලනය කළ කාලයේ සෑම යුදෙව් පුරුෂයෙක්ම වරිපණම් ඩිනාරියක් ගෙවිය යුතු වුණා. (රෝම 13:7) දිනකට නියමිත පැය දොළහ වැඩ කළ කෙනෙකුට එක් ඩිනාරියක් ලැබුණා.—මතෙව් 20:2-14.

● තීර් නගරයේ නිෂ්පාදනය වූ පවිත්‍ර රිදීයෙන් සෑදූ ෂෙකෙල් කාසිය යේසුස්ගේ කාලයේදී පලස්තීනයේ බහුලව භාවිත වුණා. යේසුස්ව පාවා දීම සඳහා යූදස්ට පූජකයන් දුන් “රිදී කාසි” 30 සමහරවිට තීර්හි නිෂ්පාදනය වූ රිදී ෂෙකෙල් කාසි විය හැකියි.—මතෙව් 26:14-16.

මෙහි දැක්වෙන්නේ කාසිවල නියම ප්‍රමාණයයි