Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

දෙවිට ළං වෙන්න

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

මෙම පින්තූරයේ බැටළු පැටවා එඬේරාගේ තුරුලේ සුරක්ෂිතව සිටින ආකාරය දෙස මදක් බලන්න. යෙහෝවා දෙවි තම සේවකයන්ට ලබා දෙන රැකවරණයත් බයිබලයේ සමාන කර තිබෙන්නේ එඬේරෙක් තම බැටළුවන්ට ලබා දෙන රැකවරණයටයි. (ගීතාවලිය 23) අපි එම රැකවරණය ලබාගන්නවා නම් 23වන ගීතිකාව රචනා කළ දාවිත් රජු මෙන් “යෙහෝවා දෙවි මාගේ එඬේරාය” කියා පැවසීමට අපටත් හැකියි. *ගීතාවලිය 23:1.

දාවිත් යෞවන කාලයේදී එඬේරෙක් ලෙස කටයුතු කළා. ඒ නිසා බැටළුවන්ගේ අවශ්‍යතා සහ එඬේරෙකුගේ වගකීම් ගැන ඔහු දැන සිටියා. දෙවිගේ රැකවරණය අද්දුටු කෙනෙක් ලෙස ඔහු දෙවිව එඬේරෙකුට සමාන කරමින් 23වන ගීතිකාව රචනා කළේ ඒ නිසයි. ඒ ගීතිකාවේ ආරම්භයෙත් අවසානයෙත් දෙවිගේ නාමය සඳහන් වෙනවා. (ගීතාවලිය 23:1, 6) එමෙන්ම තම බැටළුවන් ගැන සැලකිලිමත් එඬේරෙක් මෙන් යෙහෝවා දෙවි තම සේවකයන්ව රැකබලා ගන්නා ආකාරයන් තුනක් ගැනත් එම ගීතිකාවේ පැහැදිලි කර තිබෙනවා.—ගීතාවලිය 100:3.

මඟ පෙන්වයි. එඬේරෙකුගේ මඟ පෙන්වීම නොලැබුණොත් බැටළුවන් අතරමං වෙනවා. ඒ හා සමානව දෙවිගේ මඟ පෙන්වීම නොලැබුණොත් ජීවිතය ගත කළ යුතු ආකාරය නොදැන අපත් අතරමං වෙනවා. (යෙරෙමියා 10:23) දාවිත් සඳහන් කළේ, දෙවි තම සේවකයන්ව ‘සරු තණබිම්වලත්’ ‘සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලත්’ ‘ධර්මිෂ්ඨ මාවත්වලත්’ ගෙන යන බවයි. (ගීතාවලිය 23:2, 3) දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය හැකි බව ඉන් පැහැදිලි වෙනවා. ඒ නිසා බයිබලයේ සඳහන් දෙවිගේ මඟ පෙන්වීම් අපි අදාළ කරගන්නවා නම් සතුටින් පිරි සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට හැකියි.

රැකවරණය සලසයි. එඬේරෙකුගේ රැකවරණය නොලැබුණොත් බැටළුවන් බියට පත් වෙනවා. නමුත් යෙහෝවා දෙවි තම සේවකයන්ට පවසන්නේ ‘අඳුරු තැනිතලාවක ගමන් කිරීමට’ සිදු වුණත්, එනම් ජීවිතයේ අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු වුණත් බිය නොවන්න කියායි. (ගීතාවලිය 23:4) ඕනෑම අවස්ථාවකදී තම සේවකයන්ට උපකාර ලබා දීමට ඔහු සූදානමින් සිටිනවා. එමෙන්ම යම් දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ ප්‍රඥාවත් ඔහු ලබා දෙනවා.—ෆිලිප්පි 4:13; යාකොබ් 1:2-5.

පෝෂණය කරයි. කෑම සොයාගැනීම සඳහා බැටළුවන්ට තම එඬේරා මත යැපීමට සිදු වෙනවා. ඒ හා සමානව ජීවිතයට අවශ්‍ය නිසි මඟ පෙන්වීම් ලබාගැනීමට නම් අපි දෙවි මත රඳා සිටිය යුතුයි. (මතෙව් 5:3) ඇත්තෙන්ම දෙවි තම සේවකයන්ට බහුල ලෙස කෑම එනම් ඔහුගේ මඟ පෙන්වීම් ලබා දෙනවා. (ගීතාවලිය 23:5) ඒ ගැන අපි කොතරම් ස්තුතිවන්ත විය යුතුද! බයිබලය සහ ඔබ කියවන මෙම මාසික සඟරාව ඇතුළු බයිබලය මත පදනම් ප්‍රකාශන කියවා බැලීමෙන් ජීවිතයේ අර්ථය ගැනත් මිනිසුන් සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැනත් දැනගත හැකියි.

යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමෙන් “ජීවිතයේ සෑම දවසකම” ඔහුගේ රැකවරණය ලැබිය හැකි බව දාවිත් තේරුම්ගත්තා. (ගීතාවලිය 23:6) දෙවිගේ රැකවරණය අද්දැකීමට ඔබත් කැමතිද? එසේනම් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගත හැකි ආකාරය සොයා බලන්න. එවිට උතුම් එඬේරා වන යෙහෝවා දෙවි ඔබට මඟ පෙන්වන ආකාරයත්, රැකවරණය හා පෝෂණය ලබා දෙන ආකාරයත් අද්දැකීමට ඔබට හැකි වේවි.—යෙසායා 40:11.

මැයි මාසයට නියමිත බයිබල් කියවීම

යෝබ් 38-42 සිට ගීතාවලිය 1-25 දක්වා

[පාදසටහන]

^ 1 ඡේ. බොහෝ බයිබල් පරිවර්තනවල “ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය” කියා සඳහන් කර තිබෙනවා. ඒවායින් යෙහෝවා යන දෙවිගේ නම ඉවත් කිරීමට හේතුව ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 195 සිට 197 දක්වා පිටු බලන්න.