Skip to content

පටුනට යන්න

දිලිඳුකමට නිමාවක්

දිලිඳුකමට නිමාවක්

දිලිඳුකමට නිමාවක්

“දිලිඳුන්ව සදහටම අමතක කරනු නොලැබේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 9:18) එමෙන්ම මිනිසුන්ගේ සැදුම්කරු වන යෙහෝවා දෙවි ළඟදීම ‘තම හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා’ කියාත් එහි සඳහන් වෙනවා. (ගීතාවලිය 145:16) බයිබලයේ සඳහන් එම වදන් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. සියලු බලය හිමි දෙවි දුප්පත්කම සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඔහු එය කරන්නේ කොහොමද?

අප්‍රිකානු ආර්ථික විද්‍යාඥවරියක් පැවසුවේ දුප්පත්කම නැති කිරීමට නම් “කාරුණික ඒකාධිපතියෙක්” අවශ්‍ය බවයි. ඉන් අදහස් කරන්නේ දුප්පත්කම නැති කිරීමට කාරුණික මෙන්ම පූර්ණ බලය හිමි තැනැත්තෙක් අවශ්‍ය බවයි. දුගීකමට හේතුව රටවල් අතර සම්පත් සමසේ බෙදී නොයෑම බව අප කලින් ලිපියේ සාකච්ඡා කළා. ඒ නිසා දුගීකම නැති කිරීමට ඉදිරිපත් වෙන තැනැත්තා මුළු පොළොවම පාලනය කළ හැකි කෙනෙක් විය යුතුයි. ඒ වගේම දුප්පත්කමට මූලික හේතුව වන මිනිසුන් තුළ තිබෙන ආත්මාර්ථකාමීත්වය නැති කිරීමේ හැකියාවත් ඔහුට තිබිය යුතුයි. ඇත්තටම එවැනි පාලකයෙක් සිටිනවාද?

ඔව්. එම ශුභාරංචිය පැවසීමට දෙවි, යේසුස්ව මේ පොළොවට එව්වා. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 4:16-18.

එය ශුභාරංචියක්!

යෙහෝවා දෙවි මිනිසුන්ව පාලනය කිරීමට යේසුස්ව රජ ලෙස පත් කර තිබෙනවා. ඔහු ඉතා ළඟදීම තම පාලනය ආරම්භ කිරීමට නියමිතයි. එය ශුභාරංචියක් නොවෙයිද! දුප්පත්කම නැති කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් කියා පැවසීමට හේතු තුනක් සලකා බලමු. (1) ඔහු මුළු මිනිස් වර්ගයාවම පාලනය කිරීමට නියමිත අතර ඒ සඳහා ඔහුට බලය තිබෙනවා. (2) ඔහු දුප්පත් අයට කාරුණිකව සැලකූ අතර එසේ කිරීමට තම අනුගාමිකයන්ටත් ඉගැන්නුවා. (3) මිනිසුන් තුළ ඇති ආත්මාර්ථකාමීත්වය නැති කිරීමට ඔහුට හැකියාව තිබෙනවා. දැන් අපි එම කරුණු එකින් එක සලකා බලමු.

1. පාලනය කිරීමට බලය තිබෙනවා ‘සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ව’ පාලනය කිරීමට යේසුස්ට බලය ලැබුණා. (දානියෙල් 7:14) එක පාලකයෙක් මුළු ලෝකයම පාලනය කරන විට මිනිසුන් අතර තරඟකාරී බවක් හා ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම සියලුදෙනාටම එක හා සමානව ඵල ප්‍රයෝජන භුක්ති විඳීමටද හැකි වෙනවා. තමන්ට මුළු ලෝකයම පාලනය කිරීමට බලය තිබෙන බව යේසුස්ම මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.”—මතෙව් 28:18.

2. දුප්පත් අය කෙරෙහි දැක්වූ සැලකිල්ල යේසුස් පොළොව මත සිටි කාලයේදී දුප්පත් අයට කාරුණිකව සැලකුවා. උදාහරණයක් ලෙස අවුරුදු 12ක් පුරා ලේ ගැලීමකින් පීඩා විඳි ස්ත්‍රියකට ඔහු සැලකූ ආකාරය බලන්න. එම අසනීපයෙන් සුවයක් ලැබීම සඳහා තමන් සතු සෑම දෙයක්ම ඇය වියදම් කළා. නමුත් ඇයට ඉන් සුවයක් ලැබුණේ නැහැ. ඒ නිසා ඇය සිටියේ ඉතාමත් දුර්වල තත්වයකයි. එදා තිබූ නීතියට අනුව එවැනි රෝගයකින් පෙළෙන කෙනෙක් තව කෙනෙකුව ඇල්ලුවොත් ඒ තැනැත්තා අපවිත්‍ර වෙන බව ඇය හොඳින්ම දැන සිටියා. නමුත් සුවයක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් ඇය යේසුස්ගේ වස්ත්‍රය ඇල්ලුවා. නීතිය උල්ලංගනය කිරීම ගැන ඇයට බැණවදිනවා වෙනුවට යේසුස් ඇයට කාරුණිකව මෙසේ පැවසුවා. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”—මාක් 5:25-34.

යේසුස් ඉගැන්වූ දේවල් නිසා මිනිසුන් තමන්ගේ ජීවිත වෙනස් කරගත් අතර අන් අයට කාරුණිකව සලකන්නත් පටන්ගත්තා. යේසුස් එසේ ඉගැන්වූ එක් අවස්ථාවක් අපි දැන් සලකා බලමු. අසල්වාසීන්ට ප්‍රේම කිරීම දෙවිගේ කැමැත්ත බව දැන සිටි එක් මිනිසෙක් “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියා යේසුස්ගෙන් ඇසුවා.

ඊට පිළිතුරක් ලෙස යේසුස් මෙම උපමාව පැවසුවා. එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝවට යමින් සිටි අතරතුර කොල්ලකරුවන් පිරිසකගේ පහර කෑමට ලක් වුණා. ඒ නිසා ඔහු ‘සිහි නැති තත්වයක සිටියා.’ ඒ අසලින් ගිය පූජකයෙක් ඔහුව දැක අනික් පැත්තෙන් ගියා. ලෙවීවරයෙක්ද ඒ දේම කළා. නමුත් ‘ඒ පාර දිගේ එක්තරා සමරිතානුවරයෙක් පැමිණියා. තුවාල වී සිටි පුද්ගලයාව දුටු ඔහුට එම පුද්ගලයා ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා.’ ඔහු එම මිනිසාගේ තුවාල පිරිසිදු කර, ඔහුව නවාතැනකට ගෙන ගොස් ඔහුව බලාගැනීම සඳහා එහි අයිතිකරුට මුදල්ද දුන්නා. එම උපමාව සඳහන් කළ පසු යේසුස් මෙසේ ඇසුවා. ‘කොල්ලකරුවන්ට හසු වූ ඒ මිනිසාට අසල්වැසියෙක් වී කටයුතු කළේ කවුද?’ “ඔහුට දයාව දැක්වූ තැනැත්තා” කියා එම මිනිසා පිළිතුරු දුන්නා. එවිට යේසුස් “ඔබත් ගොස් ඒ දේම කරන්න” කියා ඔහුට පැවසුවා.—ලූක් 10:25-37.

යේසුස්ගේ ඉගැන්වීම් තම ජීවිතයට අදාළ කරගන්නා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අන් අයට කාරුණිකව සලකනවා. ඒ සම්බන්ධයෙන් අද්දැකීම් දෙකක් සලකා බලමු. ලැට්වියාවේ ලේඛිකාවක් තමන් 1960 ගණන්වල මැදභාගයේ සිරකඳවුරක සිටියදී මුහුණ දුන් අද්දැකීමක් ගැන ඇගේ පොතක මෙසේ සඳහන් කළා. “මම අසනීප වී සිටි කාලය පුරාම සාක්ෂිකරුවන් මට හොඳින් සාත්තු කළා. ඊට වඩා හොඳ සාත්තුවක් මට ලැබෙයි කියලා හිතාගන්නවත් බැහැ. ජාතිය, ආගම මොකක් වුණත් මිනිසුන්ට උපකාර කරන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. ඔවුන් ඒක සලකන්නේ වගකීමක් විදිහටයි.”—Women in Soviet Prisons.

ඉක්වදෝරයේ ආර්ථික අර්බුදයක් ඇති වූ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටි සමහර අයට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වුණා. ඒ අවස්ථාවේදී සෙසු සාක්ෂිකරුවන් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ඒ සඳහා මුදල් සොයාගැනීමට ඔවුන් කෑම පාර්සල් සාදා, ධීවරයන්ට විකුණුවා. (දකුණු පැත්තේ ඇති පින්තූරය බලන්න) එම ප්‍රදේශයේ සිටින බාල මහලු සියලුම සාක්ෂිකරුවන් ඊට සහයෝගය දැක්වුවා. ඔවුන් සෑම දිනකම පාන්දර එකට පමණ අවදි වී පාන්දර හතර වෙන විට කෑම සාදා අවසන් කළා. ඒවා විකුණා ලැබෙන මුදල අවශ්‍යතා තිබූ සහෝදරයන්ට බෙදා දුන්නා.

ඉහත අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ ඉගැන්වීම් අදාළ කරගැනීමෙන් අන් අයට උපකාර කිරීමට මිනිසුන් තුළ පෙලඹීමක් ඇති වන බවයි.

3. මිනිසුන්ගේ නරක ගතිගුණ වෙනස් කරන්න යේසුස්ට බලය තිබෙනවා මිනිසුන්ට පාපය උරුම වී තිබෙන නිසා ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීමට ඔවුන් පෙලඹෙනවා. ඒ සම්බන්ධයෙන් යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් පැවසූ දේ බලන්න. ‘මට පෙනී යන්නේ මා යම් නීතියකට වහල් වී සිටින බවය. එනම් මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි. මගේ මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද? නමුත් මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.’ (රෝම 7:21-25) පාවුල් එහිදී සඳහන් කරන්නේ යෙහෝවා දෙවි, මිනිසුන්ට උරුම වී ඇති පාපය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඉවත් කරන බවයි.

යේසුස්ව “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. (යොහන් 1:29) පාපය නිසා මිනිසුන්ට උරුම වී තිබෙන සෑම දෙයක්ම ඔහු ඉතා ළඟදීම නැති කර දමනවා. එවිට කිසිම කෙනෙක් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීමට පෙලඹෙන්නේ නැහැ.—යෙසායා 11:9.

අනාගතයේදී යේසුස් දුප්පත්කම ඇති වීමට ප්‍රධාන හේතුව ඉවත් කළ පසු සියලුදෙනාටම එක හා සමාන තත්වයක් අද්දැකීමට ලැබෙනවා. ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද! ඒ කාලයේදී “එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. (මීකා 4:4) එම වදන් ඉටු වන විට සියලුදෙනාටම තෘප්තිමත් වැඩ හා ආරක්ෂාව ලැබෙන අතර දුප්පත්කමින් තොර ජීවිතයක් භුක්ති විඳීමටද අවස්ථාව ලැබෙනවා. මේ සියල්ල සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ යෙහෝවා දෙවිටයි.