Skip to content

පටුනට යන්න

සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?

සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?

පාඨකයන් අසයි

සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?

▪ “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) යේසුස් පැවසූ ඒ වදන් බොහෝ අය දන්නවා. යේසුස් එසේ පැවසීමෙන් අදහස් කළේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියලුදෙනාම සදාකාල ජීවනය ලබාගැනීම සඳහා ස්වර්ගයට යන බවද?

එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. “මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ. ස්වර්ගයෙන් පැමිණි එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා [එනම් යේසුස්] පමණයි.” (යොහන් 3:13) ඉන් අදහස් වෙන්නේ නෝවා, ආබ්‍රහම්, මෝසෙස් සහ දාවිත් වැනි පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පවා ස්වර්ගයට ගොස් නැති බවයි. (ක්‍රියා 2:34) එසේනම් ඔවුන්ට සිදු වුණේ කුමක්ද? මේ වන විට ඔවුන් සියලුදෙනාම මරණය නමැති නින්දේ සැතපී සිටිනවා. කොහොමවුණත් අනාගතයේදී යෙහෝවා දෙවි ඒ සියලුදෙනාටම නැවතත් ජීවිතය ලබා දෙනවා.—දේශනාකාරයා 9:5, 6; ක්‍රියා 24:15.

මරණයෙන් පසු ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුව ගැන මුලින්ම ඉගැන්වූයේ යේසුස් විසිනුයි. තමා ස්වර්ගයට ගියායින් පසු ගෝලයන්ට එහි ස්ථානයක් පිළියෙල කරන බව යේසුස් පැවසුවා. (යොහන් 14:2, 3) පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් ඊට පෙර එවැනි දෙයක් අසා තිබුණේ නැහැ. යේසුස් ‘ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් තම ගෝලයන් වෙනුවෙන් විවෘත කර දුන්නා’ කියා යේසුස් ස්වර්ගයට ගොස් යම් කාලයකට පසු බයිබල් ලේඛක පාවුල් පැවසුවේ ඒ නිසයි.—හෙබ්‍රෙව් 10:19, 20.

නමුත් සියලුම යහපත් අය ස්වර්ගයට යන බව ඉන් අදහස් වෙන්නේ නැහැ. ස්වර්ගයට තෝරාගනු ලබන්නේ විශේෂ පැවරුමක් ඉටු කිරීමට නියමිත යම් පිරිසක් පමණයි. ඒ පැවරුම නම් යේසුස් හා හවුල් වී දේවරාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කිරීමයි. ඔවුන් ‘සිංහාසනවල ඉඳ විනිශ්චය කිරීමට’ හවුල් වෙනවා කියා යේසුස් පැවසුවා.—ලූක් 22:28-30.

යේසුස් සමඟ පාලනයට හවුල් වන්නේ එදා සිටි යේසුස්ගේ ගෝලයන් පමණක් නොවෙයි. වෙනත් ක්‍රිස්තියානීන්ද ඊට හවුල් වෙනවා. ඒ සියලුම දෙනා ස්වර්ගයේ සිට රජවරුන් ලෙසත් පූජකයන් ලෙසත් සේවය කරන ආකාරය යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන්ට දෙවි දර්ශනයකින් දකින්න සැලැස්වූවා. (එළිදරව් 3:21; 5:10) කීදෙනෙක් යේසුස් සමඟ හවුල් වී පාලනය කරනවාද? දෙවිගේ බැටළු පැටවා වන යේසුස් සමඟ හවුල් වී පාලනය කිරීමට “මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ” 1,44,000ක් පමණයි.—එළිදරව් 14:1, 4, 5.

අතීතයේ සිට මේ දක්වා ජීවත් වී තිබෙන යෙහෝවා දෙවිගේ සේවකයන් හා සසඳන විට 1,44,000දෙනෙක් යනු ඉතා සීමිත පිරිසක්. එතරම් සුළු පිරිසක්ව තෝරාගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට හිමි කාර්යභාරය ඉතා පරිශුද්ධ එකක් බවයි. ඔබ නිවසක් ගොඩනැඟීමට සැලසුම් කරන විට ඒ ප්‍රදේශයේ සිටින මේසන් වැඩ දන්න සියලුදෙනාවම ඊට හවුල් කරගන්නවාද? නැහැ. ඒ සඳහා ඔබ තෝරාගන්නේ එම කාර්යයට අත්‍යවශ්‍යම පිරිස පමණයි. ඒ හා සමානව යේසුස් සමඟ හවුල් වී පාලනය කිරීමට දෙවි තම සියලුම සේවකයන්ව තෝරාගෙන නැහැ.

යෙහෝවා දෙවි මිනිස් වර්ගයා සම්බන්ධයෙන් අරමුණු කළ දේ දෙවිගේ රාජ්‍යය මගින් ඉටු කිරීමට නියමිතයි. අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන්නේ යේසුස් සහ 1,44,000දෙනා විසිනුයි. දෙවිට විශ්වාසවන්තව සිටින විශාල පිරිසකට ඒ පාරාදීස පොළොව තුළ සතුටින් සදාකාලයටම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. (යෙසායා 45:18; එළිදරව් 21:3, 4) ඒ අය අතර නැවත නැඟිටුවනු ලබන අයත් සිටිනවා.—යොහන් 5:28, 29.

ඇත්තෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටින සියලුදෙනාටම සදාකාල ජීවනය නමැති තෑග්ග උරුම කරගත හැකියි. (රෝම 6:23) සීමිත පිරිසකට ස්වර්ගයෙත් තවත් විශාල පිරිසකට මේ පොළොවෙත් සදාකාල ජීවිතය හිමි වෙනවා.