Skip to content

පටුනට යන්න

බිඳුණු සිත් ඇති අයට සැනසීම!

බිඳුණු සිත් ඇති අයට සැනසීම!

දෙවිට ළං වෙන්න

බිඳුණු සිත් ඇති අයට සැනසීම!

යෙහෝවා දෙවි කවදාවත් මට ප්‍රේම කරන එකක් නැහැ.’ එසේ පැවසුවේ සෑහෙන කාලයක් පුරා කනස්සල්ලට පත්ව සිටි කාන්තාවක්. ඇය සිතාගෙන සිටියේ යෙහෝවා දෙවි ඇගෙන් ඈත් වී සිටිනවා කියලයි. නමුත් කනස්සල්ලට පත් වී සිටින තම සේවකයන්ගෙන් දෙවි ඇත්තටම ඈත් වී සිටිනවාද? එම ප්‍රශ්නයට පිළිතුර පුරාණයේ සිටි දාවිත් රජ දෙවිගේ මඟ පෙන්වීම ඇතුව රචනා කළ ගීතිකාවකින් අපට දැනගත හැකියි.—ගීතාවලිය 34:18.

මානසිකව බිඳ වැටුණු කෙනෙක් කොතරම් අසීරු තත්වයක් අද්දකිනවාද කියා දාවිත් දැන සිටියා. ඔහු යෞවනයෙකුව සිටියදී සාවුල් රජ ඔහුව මරා දැමීමට ඉවක් බවක් නැතුව ඔහු පසු පස හඹා ගියා. එක් අවස්ථාවකදී දාවිත් තම ජීවිතය බේරාගැනීමට සතුරු ජාතියක්ව සිටි පිලිස්තිවරුන්ගේ ගාත් නම් නගරයටත් ගියා. නගරයේ වැසියන් දාවිත්ව හඳුනාගත් නිසා ඔහු සිහිවිකල් වූ කෙනෙක් ලෙස රඟපා දිවි ගලවාගත්තා. එසේ දිවි ගලවාගැනීමට යෙහෝවා දෙවි තමාට උපකාර කිරීම ගැන ඔහු දෙවිට ප්‍රශංසා කරමින් ගීතාවලිය පොතේ 34වෙනි ගීතිකාව රචනා කළා.

දැඩි දුෂ්කරතා අද්දකින තම සේවකයන්ගෙන් දෙවි ඈත් වී සිටිනවා කියා දාවිත් සිතුවද? නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි” කියායි. (ගීතාවලිය 34:18) ඒ වදන්වලින් මොන තරම් සැනසීමක් හා බලාපොරොත්තුවක් ලැබෙනවාද කියා අපි දැන් බලමු.

“බිඳුණු සිත් ඇති අය.” බිඳුණු සිත් කීමෙන් දාවිත් අදහස් කරන්නේ “පොදුවේ ඕනෑම කෙනෙක් අද්දකින” වේදනාකාරී තත්වයක් ගැනයි කියා එක් විශාරදයෙක් පවසා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය පවා සිත බිඳෙන තරමටම දැඩි දුෂ්කරතා අද්දැකිය හැකියි.

“තැළුණු හදවත් ඇති අය.” මින් විස්තර කරන්නේ අධෛර්යයට පත් වී තමන් නොවටිනා කෙනෙක් කියන හැඟීමෙන් සිටින අයවයි. එවැනි අයට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ කියා හැඟෙන අවස්ථා තිබිය හැකියි. බයිබල් පරිවර්තකයන් වෙනුවෙන් තිබෙන පොතක තැළුණු හදවත් ඇති අය යන වදන් පෙළ “අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් නැති අය” ලෙසත් අර්ථ දැක්විය හැකි බව සඳහන් වෙනවා.

‘යෙහෝවා දෙවි සමීපව සිටියි.’ එක් පොතක සඳහන් වන ආකාරයට එම වදන්වලින් අදහස් වෙන්නේ, “තම සේවකයන් ගැන දෙවි නිරතුරුවම අවධානයෙන් සිටින බව හා ඔවුන්ව ගලවාගැනීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් ඔහු සූදානමින් සිටින බවයි.” ඇත්තෙන්ම තම සේවකයන් ගැන දෙවි එතරම් අවධානයෙන් සිටීම සතුටට කාරණයක් නොවෙයිද! මේ ‘අසීරු, අනතුරු සහිත කාලයේ’ ජීවත් වන අපි මොන වගේ දුෂ්කරතා අද්දකිනවාද කියා දෙවි හොඳින්ම දන්නවා. අපේ ඇතුළාන්ත හැඟීම් පවා ඔහු තේරුම්ගන්නවා.—2 තිමෝති 3:1; ක්‍රියා 17:27.

“බිඳුණු සිත්” හා “තැළුණු හදවත්” ඇති අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද? දෙවි ඔවුන්ගෙන් ඈත් වී සිටිනවාද? කොහෙත්ම නැහැ. අසරණ වී සිටින දරුවෙකුව තුරුලු කරගෙන සනසවන පියෙකු මෙන් යෙහෝවා දෙවිත් උපකාරය ඉල්ලා තමාට කන්නලව් කරන අයට ළංව සිටිනවා. එමෙන්ම බිඳුණු සිත් හා තැළුණු හදවත් ඇති අයව සනසවමින් ඔවුන්ව ශක්තිමත් කිරීමට ඔහු ඉතා ආශාවෙන්ද සිටිනවා. ඔවුන් කුමනාකාරයේ දුෂ්කරතා අද්දැක්කත් ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රඥාව හා බලය දීමට ඔහුට හැකියි.—2 කොරින්ති 4:7; යාකොබ් 1:5.

දයානුකම්පාවෙන් පිරි යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වී තිබෙනවා. ‘පීඩිතයන්ට ළංව සිටිමි. පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.’ එවැනි ප්‍රේමණීය දෙවි කෙනෙකුට ළං විය හැකි ආකාරය සොයා දැනගන්න කියා අපි ඔබට දිරිගන්වන්න කැමතියි.—යෙසායා 57:15.

ජූනි මාසයට නියමිත බයිබල් කියවීම:

ගීතාවලිය 26 සිට 59 දක්වා