Skip to content

පටුනට යන්න

මට ඒක ඇහුණේ මියුරු ගීතයක් වගෙයි

මට ඒක ඇහුණේ මියුරු ගීතයක් වගෙයි

මැඩගස්කරයෙන් ලිපියක්

මට ඒක ඇහුණේ මියුරු ගීතයක් වගෙයි

අපේ කඳුළු හංගගෙන මායි මගේ සැමියයි යාළුවන්ගෙන් සමු අරන් මැඩගස්කරයට ආවේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නයි. නුහුරු නුපුරුදු රටකට ගිහින් සේවය කරන එක ගැන අපේ හිතේ පුංචි භයක් නොතිබුණාම නෙවෙයි. ඒ වුණත් අපිට මේ පැවරුම ලැබුණේ යෙහෝවා දෙවිගෙන් නිසා ඒක සාර්ථකව ඉටු කරන්න ඔහු උපකාර කරයි කියන විශ්වාසය අපිට තිබුණා.

මැඩගස්කරයට ගියාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය මුල්ම දවස අපිට තාමත් මතකයි. අපි ඒ රටේ භාෂාව දැනගෙන හිටියේ නැති නිසා ඒ රැස්වීමේදී මුරටැඹ පාඩම කළ සහෝදරයා කිව්ව දේවල් අපිට තේරුණේ නැහැ. මට ඒක ඇහුණේ මියුරු ගීතයක් වගෙයි. ඒ භාෂාව තේරුම්ගන්න අපිට ටිකක් කල් ගියා.

එක දවසක් රැස්වීමක් අතරතුරේදී ඡේදයේ තිබුණේ නැති ප්‍රශ්නයක් සහෝදරයෙක් ඇහුවා. පුදුමයකට වගේ ඒ ප්‍රශ්නේ මට තේරුණ නිසා එකපාරටම මගේ කටින් උත්තරේ පිට වුණා. මගේ ළඟ ඉඳගෙන හිටිය අයට ඒක ඇහුණා. ඒ වෙලාවේ මට හිනා යන්න ආව නිසා මම ඉක්මනින්ම මගේ අතින් කට තද කරගත්තා. පුංචි ලැජ්ජාවක් ඇති වුණත් මුල්ම වතාවට ඒ භාෂාවෙන් දෙයක් තේරුණු එක ගැන එදා මට සතුටු හිතුණා.

අපි මැඩගස්කරයට ආවේ මෙහෙ ඉන්න සාක්ෂිකරුවන්ට උපකාර කරන්නයි. ඒත් මට දැනුණේ ඒ අය මට උපකාර කරනවා කියලයි. අනික් අයට තේරෙන විදිහට ඒ භාෂාවෙන් ශුභාරංචිය කියන්න පුළුවන් කොහොමද කියලත් මොන වගේ බයිබල් පද පාවිච්චි කරන්න පුළුවන්ද කියලත් ඒ අය හරිම ආදරෙන් මට කියලා දුන්නා.

එක දවසක් මම කෙනෙකුට ශුභාරංචිය ගැන කතා කරකර ඉන්න ගමන් එක දරුවෙක් මාව දැකලා “සුදු නෝනා කෙනෙක්, සුදු නෝනා කෙනෙක්!” කියලා කෑගැහුවා. අනික් දරුවනුත් එතැනට එකතු වෙලා ඒ විදිහටම කෑගහන්න කලින් අපි ඉක්මනටම එතැනින් ගියා. ඒ අතරතුරේදී එක පිරිමි ළමයෙක් ඒ දරුවාට බැනලා මෙහෙම කිව්වා. “එයා පිට රට කනෙක් නෙවෙයි. එයාට අපේ භාෂාව කතා කරන්න පුළුවන්.” ඒ කිව්ව දේවල් මට තේරුණේ නැහැ. එත් මාත් එක්ක සේවයේ ගිය සහෝදරිය ඒක මට විස්තර කළාම ලොකු සතුටක් දැනුණා. ටිකෙන් ටික මැඩගස්කරය මගේම රට කියලා මට දැනෙන්න පටන්ගත්තා.

මට භාෂාව හොඳට කතා කරන්න බැරි වුණත් සාක්ෂිකරුවන් අතර ඉන්න පොඩි දරුවෝ මට හුඟක් ආදරේ කළා. මට සමහර වෙලාවට තනිකමක් දැනුණත් ඒක අමතක කරන්න මේ දරුවෝ ලොකු උපකාරයක් වෙලා තියෙනවා. ඇත්තටම ඒ දරුවන් යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන මිල කරන්න බැරි තෑග්ගක්! හසින් කියලා එක යෞවනියක් මට හුඟක් උදව් කළා. සමහර වෙලාටව මම කියන්න හදන දේවල් කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් හසින් ඉක්මනටම ඒවා තේරුම්ගන්නවා. ඒ වගේ වෙලාවට හසින් ඉක්මනටම ඇවිල්ලා මම කියන්න හදන්නේ මොකක්ද කියලා ඒ අයට පැහැදිලි කරනවා.

මායි මගේ සැමියයි රැස්වීම්වලට ගිය සභාවට කාලයත් එක්කම හුඟක් සෙනඟ එන්න පටන්ගත්ත නිසා ඒ සභාව සභා දෙකකට වෙන් කරන්න සිද්ධ වුණා. ඒ නිසා මාත් එක්ක බයිබලය පාඩම් කළ සමහර අයටත් අනික් කණ්ඩායමට යන්න වුණා. මොකද එයාලා ජීවත් වුණ ප්‍රදේශය අයිති වුණේ ඒ කණ්ඩායමටයි. එක සහෝදරියක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා එයත් එක්ක බයිබලය ඉගෙනගන්ත කාන්තාවකට මින් ඉදිරියට ඔයා බයිබලය උගන්වන්න කියලා. මට භාෂාව අමාරු නිසා මම ඒක කරන්න අදිමදි කළා. ඒත් ඒ සහෝදරිය මට කොහොමහරි ඒක කරන්න කියලා දිරිගැන්නුවා. ඒ වගේම වැඩි කල් යන්න කලින් ඔයත් භාෂාව ඉගෙනගෙන දක්ෂ විදිහට අනික් අයට බයිබලය ගැන උගන්වයි කියලත් ඒ දේ කරන්න යෙහෝවා දෙවි උදව් කරයි කියලත් එයා කිව්වා.

ඒ කාන්තාව හරිම උනන්දුවෙන් මාත් එක්ක බයිබලය ගැන ඉගෙනගත්තා. එයා විතරක් නෙවෙයි එයාගේ සැමියත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගෙන තිබුණා. දවසක් මඟදී ඒ කාන්තාව මාව දැකලා මගේ නම කියලා කතා කළා. එයයි එයාගේ සැමියයි විවාහය ලියාපදිංචි කරන්න යන ගමන් තමයි මාව දැකලා මට කතා කරලා තියෙන්නේ. ඒ දෙන්නාගේම කැමැත්ත වෙලා තිබුණේ යෙහෝවා දෙවිට ඔවුන්ගේ ජීවිත කැප කරලා බව්තීස්ම වෙන්නයි. දෙවි මිනිසුන්ව ඔහු ළඟට ඇදගන්න විදිහ ගැන හිතන කොට මට ලොකු සතුටක් දැනෙනවා.

මැඩගස්කරයට ආවට පස්සේ අපි හුඟක් දේවල් ඉගෙනගත්තා. අපේ යාළුවන් සහ පවුලේ අය අපි ළඟ නැති වුණාට අපිට දැනෙන්නේ එයාලත් අපිත් එක්කම මේ රටට ඇවිත් ඉන්නවා වගෙයි. මොකද අපි නිතරම ඒ අය ගැන මෙහෙ ඉන්න අපේ යාළුවන්ට කියනවා. එයාලත් නිතරම අපේ පවුල්වල අය ගැන අහනවා. අපි ආශාවෙන් බලාගෙන ඉන්නේ මැඩගස්කරයේ අපේම පවුලේ අය වගේ ඉන්න යාළුවෝ සහ අපේ ඇත්තම පවුලේ අය එකිනෙකාව හමු වෙන දවස එන තුරුයි.

තාමත් මිනිසුන් ඒ භාෂාවෙන් කතා කරන කොට මට ඒක ඇහෙන්නේ ගීතයක් වගෙයි. ඒත් දැන් මට ඒ ගීතයේ සමහර වචන තේරෙනවා. කවදා හරි දවසක ඒ ගීතයට මගේ හඬත් එකතු කරන්න මම ආසයි. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි” කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:34) ඒ නිසා හොඳම දේ, වතාවකට එක වචනයක් ගානේ ඉගෙනගන්න එකයි. දැනට මම කරන්නේ ඒ භාෂාවට හොඳින් කන් දීලා මගේ මනසට වචන ගන්න එකයි. එතකොට කාලයත් එක්කම මගේ ආදරණීය සහෝදර සහෝදරියන් වගේ මටත් ඒ භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් වෙයි.

[25වන පිටුවේ පින්තූරය]

හසින් එක්ක ශුභාරංචිය දේශනා කරන අවස්ථාවක්