Skip to content

පටුනට යන්න

මම තාමත් සතුටින්

මම තාමත් සතුටින්

මම තාමත් සතුටින්

සොයියේ ඩිමිට්‍රෝවා

සර්කස් කණ්ඩායමකට බැඳිලා තැනින් තැනට ගිහින් සන්දර්ශනවලට හවුල් වෙන්න මම මැව්ව හීනේ සැබෑ වුණා. එතකොට මට වයස අවුරුදු 15යි. ඒත් 1970 සැප්තැම්බර් 4වෙනිදා සිද්ධ වුණ දෙයකින් මගේ සතුට නැති වෙලා ගියා. එදා සර්කස් සන්දර්ශනයක් අතරතුරේදී මාව උඩ ඉඳන් පහළට වැටුණා.

මම ඉපදුණේ 1952 දෙසැම්බර් 16වෙනිදා. මගේ අම්මයි තාත්තයි අක්කයි එක්ක බල්ගේරියාවේ සොෆියාවල තමයි මම ජීවත් වුණේ. ඒ දවස්වල අපේ රටේ තිබුණේ කොමියුනිස්ට් පාලනයක්. ඒ නිසා ආගම දහමට තැනක් තිබුණේ නැහැ. හුඟක් අය දෙවි කෙනෙක්ව විශ්වාස කළෙත් නැහැ. දෙවි කෙනෙක්ව විශ්වාස කරපු අයත් ඒ ගැන අනිත් අය එක්ක කතා කළේ නැහැ. මගේ පවුලේ අය ඕතඩොක්ස් ආගමේ හිටියත් දෙවියන් ගැන මට කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ.

පොඩි කාලේ ඉඳලා මම හැම ක්‍රීඩාවකටම ඇල්මක් දැක්වුවා. ඒ අතරින් ජිම්නාස්ටික්වලට තමයි මම හුඟක්ම ආස කළේ. දවසක් සර්කස් කණ්ඩායමකට ළමයෙක්ව හොයාගෙන එක් කෙනෙක් අපේ ඉස්කෝලෙට ආවා. එතකොට මට වයස අවුරුදු 13යි. ඒ වෙලාවේ අපේ ජිම්නාස්ටික් පුහුණුකරු මගේ නම නිර්දේශ කළා. මාව සම්මුඛ පරීක්ෂණවලටයි පුහුණුවීම්වලටයි එක්කගෙන ගියේ සුඛෝපභෝගී වාහනයකින්. ඒකේ නැඟලා යන කොට මට පොඩි ආඩම්බරයකුත් දැනුණා. අන්තිමේදී මාව සර්කස් කණ්ඩායමට තෝරගත්තම මට ඊටත් වඩා ලොකු සතුටක් දැනුණා. එදා ඉඳලා අවුරුදු දෙකක් යන කල්ම මම හුඟක් වෙහෙස මහන්සි වෙලා පුහුණුවීම්වල යෙදුණා. මට වයස අවුරුදු 15දී පුහුණුවීම් කාලය අවසන් වුණාට පස්සේ සන්දර්ශනවලට මම බල්ගේරියාව පුරාත් සෝවියට් දේශයටත්, ඇල්ජීරියාව, හංගේරියාව සහ යුගෝස්ලාවියාව වැනි රටවලටත් ගියා.

අවුරුදු තුනක් තිස්සේ සර්කස් සන්දර්ශනවලට හවුල් වෙමින් මම සතුටින් හිටියා. හැබැයි අපි මැසිඩෝනියාවේ සර්කස් සන්දර්ශනයක් කරන අතරවාරයේදී මම අනතුරකට ලක් වුණා. මාත් එක්ක හවුල් වුණ යාළුවා හිටියේ කකුල් දෙකෙන් ඔංචිල්ලාවක එල්ලිලා. මම හිටියේ එයාගේ අත් දෙකේ එල්ලිලයි. එයාට තිබුණේ පැද්දිලා ගිහින් මාව ගුවනට විසි කරන්නයි. ඊටපස්සේ මට කරන්න තිබුණේ ගුවනේ කරනම් ගහලා ඇවිත් එයාගේ අත් දෙක ආපහු අල්ලගන්නයි. ඒත් එදා එයාගේ අත් දෙක අල්ලගන්න බැරි වුණා. ඒත් එක්කම ආරක්ෂක කඹෙත් කැඩුණු නිසා අඩි 20ක් උඩ හිටිය මාව පහළටම වැටුණා. ඒ වෙලාවෙම මාව රෝහලට අරන් ගියා. මගේ අතකුයි ඉළ ඇට කීපයකුයි කොන්දයි කැඩිලා කියලා දොස්තරවරු කිව්වා. මම දවස් කීපයක්ම හිටියේ කම්පනයකින්. මට මොකුත් මතක තිබුණේ නැහැ. මගේ තත්වේ ටිකක් හොඳ අතට හැරුණම මට තේරුණා මගේ ඉණෙන් පහළ පණ නැහැ කියලා. ඒත් ශල්‍යකර්මයක් කළාම මට ආපහු ඇවිදින්න පුළුවන් වෙයි කියලත් ආයෙත් සර්කස් සන්දර්ශනවලට යන්න පුළුවන් වෙයි කියලත් මට හිතුණා.

අවුරුදු දෙකහමාරක් තිස්සේ නොයෙක් ප්‍රතිකාර ලබාගත්තත් මට සුවයක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ආස කළ දේවල් කරන්න මට ආපහු ලැබෙන්නේ නැහැ කියලා මට පිළිගන්න සිද්ධ වුණා. අන්තිමේදී, තැනින් තැනට සංචාරය කරන්න ආසාවෙන් හිටිය මට සිද්ධ වුණේ මුළු ජීවිත කාලයම රෝද පුටුවේ කල් ගෙවන්නයි.

අලුත් ජීවිතයක්!

ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ මට මේ ජීවිතයට හුරු වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. හැම බලාපොරොත්තුවක්ම සුන් වුණ නිසා මම හොඳටම කලකිරුණා. එහෙම ඉන්න කොට 1977දී තරුණයෙක් අපේ ගෙදරට ආවා. එයාගේ නම ස්ටෝයන්. එයා මගේ පංතියේ හිටිය යාළුවෙක්ගේ අයියා කෙනෙක් කියලා දැනගත්තම ගේ ඇතුළට එන්න කියලා මම එයාට ආරාධනා කළා. කතා කරකර ඉන්න ගමන් එයා මගෙන් ඇහුවා කවදා හරි දවසක ඔයාට සම්පූර්ණ සුවයක් ලැබෙයිද කියලා. මට ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා මම කිව්වා. එතකොට එයා කිව්වා දෙවියන්ට විතරයි ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම කේන්තියෙන් ඇහුවා “දෙවි කෙනෙක් ඉන්නවා නම් මට මෙහෙම වුණේ ඇයි” කියලා.

අතීතයේදී සර්කස් සන්දර්ශනවලට සහභාගි වෙලා හිටිය ස්ටෝයන් ළඟකදී තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා තියෙන්නේ. එයා අනාගතය ගැන බයිබලයේ සඳහන් කරලා තියෙන පොරොන්දු ගැන මට පැහැදිලි කළා. ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා දැනගත්තම මට පුදුම හිතුණා. ‘මරණය, වැලපීම, හැඬීම සහ වේදනාව නැති’ කාලයක් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන පොරොන්දුව මගේ හිතට තදින්ම කාවැදුණා. (එළිදරව් 21:4) මට සම්පූර්ණ සුවයක් ලැබෙන ඒ කාලය එන කල් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එදා ඉඳලම බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න පටන්ගත්ත නිසා ජීවිතේ අලුතින් පටන්ගන්නත් අනාගතය ගැන සැබෑ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් මට පුළුවන් වුණා.

ස්ටෝයන් හැම සතියෙම බයිබලය කියලා දෙන්න එනකම් මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. ඊටපස්සේ මට බයිබලය ගැන කියලා දෙන්න ආවේ ටෝට්ක කියලා සහෝදරියක්. එයා හරිම කරුණාවන්ත කෙනෙක්. බයිබලයේ සඳහන් දේවල් ඉගෙනගෙන මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්න ටෝට්ක මට හුඟක් උදව් කළා. ඒ වෙනකොට මාව බව්තීස්ම කරන්න සුදුසු සහෝදරයෙක් හිටියේ නැති නිසා මැසිඩෝනියාවෙන් සහෝදරයෙක් එන කල් මට ඉන්න සිද්ධ වුණා. බයිබලය පාඩම් කරන්න පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ ඒ කියන්නේ 1978 සැප්තැම්බර් 11වෙනිදා මගේ ගෙදර නාන ටැංකියේ මාව බව්තීස්ම කළා. එදා මම හුඟක් සතුටු වුණා. එදා ඉඳන් මම අර්ථවත් ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා.

බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් අනික් අයට කියලා දෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා අපේ ගෙදරට එන හැම කෙනෙක්ටම මං ඒ දේවල් ගැන කිව්වා. හැබැයි මං කිව්ව දේවල් ගැන ඒ අය උනන්දුවක් දැක්වුව බවක් නම් පේන්න තිබුණේ නැහැ. සමහරවිට මම අනතුරකට ලක් වෙලා හිටිය නිසා මම කතා කරන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා ඒ අය හිතන්න ඇති.

බරපතළ වරදක්!

ඒ කාලයේදී බල්ගේරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණා. මේ රටේ හිටියේ සාක්ෂිකරුවන් ටිකදෙනෙක් විතරයි. මට යන්න පුළුවන් තැනක සාක්ෂිකරුවන්ගේ රැස්වීම් තිබුණේ නැති නිසා සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න ලැබුණේ නැහැ. ඒ කාලෙදී සාක්ෂිකරුවන් නොවන අයත් එක්ක මම වැඩියෙන් ආශ්‍රය කළා. මේ හැම හේතුවක් නිසාම මගේ අතින් බරපතළ වරදක් සිද්ධ වුණා.

ඒ ගැන මගේ හිත මට හුඟක් වධ දුන්නා. මට ලොකු ලැජ්ජාවකුත් දැනුණා. යෙහෝවා දෙවිගෙන් ඈත් වුණ එක ගැන මම හිටියේ ලොකු වේදනාවකින්. මගේ වරදට සමාව දෙන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ටික කාලෙකට පස්සේ සාක්ෂිකරුවන් අතර වැඩිමහල්ලන් විදිහට කටයුතු කරන සහෝදරයන්ගේ උපකාරය ඇතුව මට ආයෙත් යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවිට පිරිසිදු හදවතකින් සේවය කරන අය එක්ක එකතු වෙලා මටත් පිරිසිදු හදවතකින් දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන එක ගැන මම අද සතුටු වෙනවා.

බාධක මැද සතුටින්!

අවුරුදු 40ක් තිස්සේ මම රෝද පුටුවටම සීමා වෙලා හිටියත් මගේ ජීවිතේ දිහා හැරිලා බලනකොට මම දුක් වෙන්නේ නැහැ. මොකද බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ මට තේරුණා සර්කස් කණ්ඩායමට බැඳිලා මම ලබාගන්න හැදුව සතුට තාවකාලිකයි කියලා. මාත් එක්ක සර්කස් කණ්ඩායමේ හිටිය සමහර අය ගත කරන්නේ කලකිරුණු ජීවිතයක්. හැබැයි මේ විශ්වය නිර්මාණය කළ යෙහෝවා දෙවිත් එක්ක මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න පුළුවන් වෙලා තියෙන නිසා මම ඉන්නේ හුඟක් සතුටෙන්. ඒ සතුට මට කවදාවත් සර්කස් සන්දර්ශනවලින් ලබාගන්න බැහැ.

හුඟක් අය බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගෙන යෙහෝවා දෙවිට ඔවුන්ගේ ජීවිත කැප කරනවා දැකීමෙනුත් මම ලොකු සතුටක් අද්දකිනවා. මම 1977දී බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්ත කාලයේ බල්ගේරියාවේ සාක්ෂිකරුවන් හිටියේ ටිකදෙනෙක් විතරයි. කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණාට පස්සේ 1991දී සාක්ෂිකරුවන්ව පිළිගත් ආගමක් හැටියට ලියාපදිංචි කළා. ඒ වෙද්දී සාක්ෂිකරුවන් 100දෙනෙක්වත් හිටියේ නැහැ. ඒත් දැන් සාක්ෂිකරුවන් 1,800ක් විතර ඉන්නවා. ඒ ගැන මට හුඟක් සතුටුයි.

බයිබලයේ සඳහන් තොරතුරු ඉගෙනගන්න ආස කරන හුඟක් අය බල්ගේරියාවේ ඉන්නවා. දෙදහස් දහය අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කිරීමට 3,914දෙනෙක්ම ආවා. බල්ගේරියාවේ ඉන්න සාක්ෂිකරුවන්ට යෙහෝවා දෙවි ආශීර්වාද කරලා තියෙනවා කියලා හිතන කොට මට ලොකු සතුටක් දැනෙනවා. ‘සුළු තැනැත්තා බලවත් ජාතියක්’ බවට පත් වෙනවා කියා බයිබලයේ සඳහන් වදන් ඉටු වෙනවා මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.—යෙසායා 60:22.

ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය බල්ගේරියානු භාෂාවෙන් ලැබුණු දවස මගේ ජීවිතේ අමතක නොවන දවසක්. ඒක මුදාහැරියේ 2009 අගෝස්තු මාසයේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදීයි. තවත් හුඟදෙනෙක්ට බයිබලයේ සඳහන් දේවල් ගැන ඉගෙනගන්න මේ බයිබලය උපකාරවත් වන බවට නම් කිසිම සැකයක් නැහැ.

මගේ ආබාධිත තත්වය නිසා මට ශුභාරංචිය ගැන කියන්න ගෙයින් ගෙට යන්න අමාරු වුණත් අසල්වැසියන්ට සහ මගේ ගෙදරට එන අයට ශුභාරංචිය ගැන කියා දීමෙන් මම ලොකු සතුටක් ලබනවා. එක දවසක් මම උඩු මහලේ ඉන්න කොට පාරේ ගිය අපේ අසල්වැසියෙක්ට අඬගහලා එයාට බයිබලේ තියෙන වටිනා තොරතුරු ටිකක් කියලා දුන්නා. දිගටම බයිබලය පාඩම් කරන්න ඒ වෙලාවෙම එයා කැමති වුණා. කාලෙකට පස්සේ එයා යෙහෝවා දෙවිට ජීවිතය කැප කරලා බව්තීස්ම වුණාම මට ලොකු සතුටක් දැනුණා. ඒ විදිහට හතරදෙනෙකුටම ඔවුන්ගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කරන්න උපකාර කරන්න අවස්ථාව මට ලැබිලා තියෙනවා.

මම වැඩියෙන්ම සතුටක් ලැබුවෙත් දිරිගැන්වුණෙත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙනුයි. ඒ රැස්වීම්වලට මගේම පවුලේ අය වගේ ඉන්න ගොඩක් සහෝදර සහෝදරියන් එනවා. සමහර රටවල වගේ මහලු අයටයි ආබාධිත අයටයි විශේෂ ප්‍රවාහණ පහසුකම් අපේ රටේ නැති නිසා රැස්වීම්වලට යන එක මට අභියෝගයක් වුණා. හැබැයි යෞවන සාක්ෂිකාරයෙක් උඩුමහලේ ඉඳන් මාව පහළට උස්සගෙන ඇවිත් එයාගේ වාහනයෙන්ම මාව රැස්වීම්වලට එක්කගෙන ගිහින් ආපහු ගෙදර ඇරලවන්න ඉදිරිපත් වුණා. ඒ වගේ ප්‍රේමණීය පවුලක සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

යෞවන කාලෙදී මම මැව්ව හීනයි අද මම ගත කරන ජීවිතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීමෙන් දැන් මම ඉන්නේ ගොඩක් සතුටින්. ඒ වගේම අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවකුත් මට තියෙනවා. ‘කොර අය මුවෙකු මෙන් පැන යන’ කාලයක් එන බවට බයිබලයේ සඳහන් පොරොන්දුව මගේ හිතේ තදින්ම කාවැදිලා තියෙනවා. (යෙසායා 35:6) මගේ රෝද පුටුවෙන් නැඟිටලා ආයෙත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ලැබෙන ඒ කාලය උදා වෙන තුරු මම බලාගෙන ඉන්නේ හුඟක් ආශාවෙන්.

[30වන පිටුවේ හිමිකම් විස්තර]

“මම වැඩියෙන්ම සතුටක් ලැබුවෙත් දිරිගැන්වුණෙත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙනුයි”

[31වන පිටුවේ හිමිකම් විස්තර]

ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය බල්ගේරියානු භාෂාවෙන් ලැබුණු දවස මගේ ජීවිතේ අමතක නොවන දවසක්”

[29වන පිටුවේ පින්තූරය]

මම සර්කස් සන්දර්ශනවලට යන්න පටන්ගත්තේ වයස අවුරුදු 15දීයි