Skip to content

පටුනට යන්න

සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය

සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය

සියලුදෙනා දැනගත යුතු ශුභාරංචිය

‘ශුභාරංචියෙන් ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ.’—රෝම 1:16.

1, 2. ඔබ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ප්‍රකාශ කරන්නේ ඇයි? ශුභාරංචිය ප්‍රකාශ කරද්දී ඔබ කාවද්දන්නේ කුමක්ද?

‘මම ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ හරිම සතුටින්’ කියා ඔබ සමහරවිට පවසා ඇති. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය” ප්‍රකාශ කිරීම මොන තරම් වැදගත්ද කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස ඔබ දන්නවා. යේසුස් පැවසූ ඒ අනාවැකිය ඔබට කටපාඩමින් වුණත් කිව හැකියි.—මතෙ. 24:14.

2 ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ප්‍රකාශ කිරීමෙන් ඔබ කරන්නේ යේසුස් ආරම්භ කළ කාර්යය දිගටම කරගෙන යෑමයි. (ලූක් 4:43 කියවන්න.) ඉතා ඉක්මනින්ම දෙවි මේ ලෝකයේ ප්‍රශ්න ගැටලුවලට නිමාවක් ගෙනෙන බව ඔබ එහිදී කාවද්දනවා විය හැකියි. මහත් පීඩාවේදී දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම් සහ දුෂ්ටකම් ඔහු නැති කර දමන බවත් ඔබ පවසනවා විය හැකියි. (මතෙ. 24:21) දෙවිගේ රාජ්‍යය මගින් මේ පොළොව නැවත පාරාදීසයක් බවට පත් කරන විට මිනිසුන්ට සාමයෙන් හා සන්තෝෂයෙන් ජීවත් වීමට හැකි වන බව ඔබ ජනයාට පවසනවා ඇති. ‘“සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය” කියා ආබ්‍රහම්ට දුන් ශුභාරංචියත්’ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට’ අයත් වෙනවා.—ගලා. 3:8.

3. රෝමවරුන්ට ලියූ ලිපියේ පාවුල් ශුභාරංචියට වැඩි අවධානයක් දී ඇති බව පවසන්න පුළුවන් ඇයි?

3 අප ඉදිරිපත් කරන රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට වැදගත් අංගයක් ඇතුළත්. සමහරවිට අප ඊට අවධානය යොමු නොකරනවා විය හැකියි. නමුත් ජනයා එය දැනගැනීම අත්‍යවශ්‍යයි. පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ රාජ්‍යය ගැන සඳහන් කරන්නේ එක් වතාවක් වුණත් “ශුභාරංචිය” කියා දොළොස් වතාවක් සඳහන් කර තිබෙනවා. (රෝම 14:17 කියවන්න.) ඔහු රෝම පොතේ සඳහන් කරන ශුභාරංචියට අයත් එම වැදගත් අංගය කුමක්ද? එය එතරම් වැදගත් ඇයි? අප ජනයාට “දෙවිගේ ශුභාරංචිය” ප්‍රකාශ කරද්දී ඒ ගැන මනසේ තබාගත යුත්තේ ඇයි?—මාක් 1:14; රෝම 15:16; 1 තෙස. 2:2.

රෝමයේ සිටි අය දැනගත යුතු දේ

4. පාවුල් පළමු වතාවට රෝමයේ සිරගතව සිටියදී කතා කළේ කුමන කාරණා ගැනද?

4 පාවුල් පළමු වතාවට රෝමයේ සිරගතව සිටියදී ඔහු ලියූ කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත්. තමාව හමු වීමට පැමිණි යුදෙව්වන්ට පාවුල් ‘දෙවිගේ රාජ්‍යය ගැන හා යේසුස් ගැන ඉතා පැහැදිලි තර්ක ඉදිරිපත් කරමින් හොඳ සාක්ෂියක් ලබා දුන්නා.’ එහි ප්‍රතිඵලය කුමක්ද? ‘ඔහු පැවසූ දේවල් සමහරුන් විශ්වාස කළත් තවත් අය ඒ දේවල් විශ්වාස කළේ නැහැ.’ පසු අවස්ථාවකදීද ‘පාවුල් තමාව හමු වීමට පැමිණි සියලුදෙනාව සාදරයෙන් පිළිගෙන දෙවිගේ රාජ්‍යය ගැනද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ දේවල් ගැන ඉගැන්නුවා.’ (ක්‍රියා 28:17, 23-31) පාවුල් දෙවිගේ රාජ්‍යයට අවධානය දුන් බව ඉන් පැහැදිලියි. නමුත් ඔහු තවත් වැදගත් දෙයක් එහිදී කාවැද්දුවා. එනම් දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස් සතු කාර්යයයි.

5. පාවුල් රෝම පොතේ අවධාරණය කරන්නේ කුමක්ද?

5 සියලුම මිනිසුන් යේසුස් ගැන දැනගෙන ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. පාවුල් රෝමවරුන්ට ලියද්දී විටින් විට එය අවධාරණය කළා. ‘දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය තමන් ප්‍රකාශ කරන’ බව පාවුල් මුලින්ම සඳහන් කළා. ‘මේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත. මන්ද මේ ශුභාරංචිය තුළින් විශ්වාසයක් ඇති සියලුදෙනාටම ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ’ කියාද ඔහු පැවසුවා. තවත් අවස්ථාවක ඔහු මෙසේ පැවසුවා. ‘මා පවසන මේ දේවල් අවබෝධ වන්නේ දෙවි, ක්‍රිස්තුස් යේසුස්ව යොදාගෙන මිනිසුන් රහසිගතව තබාගෙන ඇති සෑම දෙයක්ම විනිශ්චය කරන දවසේදීය. මේ තොරතුරු මා ප්‍රකාශ කරන ශුභාරංචියට අයත් වෙනවා.’ ඒ වගේම “යෙරුසලමේ සිට ඉලිරිකම දක්වා මුළු ප්‍රදේශය පුරාම ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය අත් නෑර දේශනා කරන්න මට හැකියාව ලැබිණ” කියාද පාවුල් පැවසුවා. * (රෝම 1:9, 16; 2:16; 15:19) පාවුල් රෝමවරුන්ට යේසුස් ක්‍රිස්තුස් ගැන කාවැද්දුවේ ඇයි?

6, 7. රෝමයේ පිහිටි සභාව ආරම්භ වූ ආකාරය සහ එහි සිටි අයගේ පසුබිම් ගැන අප දන්නේ කුමක්ද?

6 පාවුල් රෝමවරුන්ට යේසුස් ක්‍රිස්තුස් ගැන කාවැද්දුවේ ඇයි කියා දැනගැනීමට පෙර රෝම සභාවේ සිටි අයගේ පසුබිම් ගැන අපි සලකා බලමු. රෝම සභාව ආරම්භ වූ ආකාරය අප දන්නේ නැහැ. පෙන්තකොස්ත උත්සවය සඳහා සහභාගි වූ යුදෙව්වන් හෝ යුදෙව් ආගමට හැරුණු අය නැවත රෝමයට ගියාද? (ක්‍රියා 2:10) නැත්නම් වෙළඳාමේ ගිය හා සංචාරයේ යෙදුණු ක්‍රිස්තියානීන් රෝමයට ශුභාරංචිය රැගෙන ගියාද? ඒ කෙසේවෙතත් ක්‍රිස්තු වර්ෂ 56දී පාවුල් රෝමවරුන්ට ලියද්දී එම සභාව ආරම්භ වී වසර ගණනාවක් ගත වී තිබුණා. (රෝම 1:8) රෝම සභාවේ සිටියේ කුමන පසුබිම්වලට අයත් අයද?

7 එහි සිටි සමහර අය යුදෙව්වන්. පාවුල් අන්ද්‍රොනිකස් සහ ජූනියස්ට සුබ පතද්දී ඔවුන්ව “මගේ නෑදෑයන්” කියා හඳුන්වනවා. එසේනම් ඔවුන්ද යුදෙව්වන් විය හැකියි. කූඩාරම් සෑදීමේ කාර්යයේ නිරත වූ අකිලා සහ ඔහුගේ භාර්යාව වූ ප්‍රිස්කාද රෝමයේ සිටි යුදෙව්වන්. (රෝම 4:1; 9:3, 4; 16:3, 7; ක්‍රියා 18:2) නමුත් පාවුල් සුබ පැතුම් යැවූ බොහෝ සහෝදර සහෝදරියන් වෙනත් ජාතීන්ට අයත් අයයි. ඒ අය අතරට “සීසර්ගේ මාලිගා සංකීර්ණයේ” සිටි අයද ඇතුළත් වූවා විය හැකියි. ඔවුන් සීසර්ගේ වහලුන් සහ සුළු නිලධාරීන් විය හැකියි.—ෆිලි. 4:22; රෝම 1:6; 11:13.

8. රෝමයේ පිහිටි සභාවේ සිටි අය පිළිගත යුතු වුණේ කුමක්ද?

8 රෝමයේ සිටි ක්‍රිස්තියානීන් පිළිගත යුතු වැදගත් දෙයක් තිබුණා. අපත් එය පිළිගත යුතුයි. පාවුල් එය මෙසේ පැවසුවා. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” (රෝම 3:23) රෝමයේ සිටි ක්‍රිස්තියානීන් සියලුදෙනාම පිළිගත යුතු දෙය වුණේ ඔවුන් පව්කාරයන් බව හා ඉන් මිදීම සඳහා දෙවි සපයා තිබෙන මාධ්‍යය කෙරෙහි ඔවුන් විශ්වාසය තැබිය යුතු බවයි.

පව්කාරයන් බව පිළිගන්න

9. පාවුල් අවධාරණය කරන්නේ ශුභාරංචිය නිසා ලැබෙන කුමන ආශීර්වාදය ගැනද?

9 පාවුල් රෝමයේ පිහිටි සභාවට ලියූ ලිපියේ මුලින්ම සඳහන් කළේ ඔහු ඉදිරිපත් කළ ශුභාරංචිය නිසා ලැබෙන අනගි ආශීර්වාද ගැනයි. ඔහු මෙසේ ලිව්වා. “මේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත. මන්ද මේ ශුභාරංචිය තුළින් විශ්වාසයක් ඇති සියලුදෙනාටම එනම්, මුලින්ම යුදෙව්වන්ටද එමෙන්ම ග්‍රීකයන්ටද ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ.” සියලුදෙනාට ගැලවීම ලබාගත හැකි වුණත් ඒ සඳහා විශ්වාසය අත්‍යවශ්‍ය බව හබක්කුක් 2:4හි සඳහන් මේ දෙයින් පැහැදිලියි. “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.” (රෝම 1:16, 17; ගලා. 3:11; හෙබ්‍රෙ. 10:38) ගැලවීමට මඟ පාදන ශුභාරංචිය සහ “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත” යන අදහස් දෙක අතර ඇති සම්බන්ධය කුමක්ද?

10, 11. රෝම 3:23හි සඳහන් දේ සමහර අයට අලුත් දෙයක් වන්නෙත් තවත් අයට එසේ නොවන්නෙත් ඇයි?

10 ගැලවීම ලබාගත හැකි බවට විශ්වාසයක් ඇති කරගැනීමට නම් කෙනෙක් තමා පව්කාරයෙක් කියා පිළිගත යුතුයි. දෙවි කෙරෙහි විශ්වාසයක් සහ බයිබලය ගැන යම් අදහසක් ඇති කෙනෙකුට නම් මිනිසුන් පව්කාරයන් යන අදහස අලුත් දෙයක් නොවෙයි. (දේශනාකාරයා 7:20 කියවන්න.) ඔහු එය පිළිගත්තත් ඒ ගැන යම් සැක තිබුණත් “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත” කියා බයිබලයේ සඳහන් දේ යම් තාක් දුරකට හෝ ඔහු දන්නවා විය හැකියි. (රෝම 3:23) කෙසේවෙතත් අපට දේවසේවයේදී හමු වන බොහෝදෙනා ඉන් අදහස් කරන්නේ කුමක්ද කියා දන්නේ නැහැ.

11 බොහෝදෙනා හැදී වැඩී තිබෙන්නේ තමන් පව්කාරකම උරුම කරගෙන සිටින බව විශ්වාස කරන පරිසරයක නොවෙයි. තමන් අතින් වැරදි සිදු වන බවත් තමන්ට නරක ගතිගුණ තිබෙන බවත් ඔවුන් පිළිගන්නවා. ඒ වගේම අනික් අයගේ තත්වයත් ඒ හා සමානයි කියා ඔවුන් දන්නවා. ඒ වුණත් ඔවුන් හැදී වැඩුණු පසුබිම නිසා ඔවුනුත් අන් අයත් එවැනි තත්වයක සිටින්නේ ඇයි කියා ඔවුන් දන්නේ නැහැ. කෙනෙකුට පව්කාරයෙක් කියා පවසද්දී සමහර සංස්කෘතීන්වලට අයත් අය සිතන්නේ ඒ තැනැත්තා අපරාධකාරයෙක් හෝ යම් නීති කඩ කළ කෙනෙක් කියායි. සියලුම මනුෂ්‍යයෝ පව්කර ඇත කියා පාවුල් පැවසූ වදන්වල නියම අර්ථය එවැනි පසුබිමක හැදී වැඩුණු කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා තමාට පාපය උරුම වී ඇති බව එවැනි කෙනෙක් පිළිගන්නේ නැහැ.

12. සෑම මනුෂ්‍යයෙක්ම පව්කාරකම උරුම කරගෙන සිටින බව බොහෝදෙනෙක් නොපිළිගන්නේ ඇයි?

12 තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නා බහුතරයක් ජීවත් වන රටවල පවා බොහෝදෙනෙක් මිනිසුන්ට පව්කාරකම උරුම වී ඇති බව පිළිගන්නේ නැහැ. ඒ ඇයි? ඔවුන් ඉඳ හිට පල්ලි ගියත් ආදම් සහ ඒව ගැන බයිබලයේ සඳහන් වර්තාව සලකන්නේ ප්‍රබන්ධ කතාවක් ලෙසයි. තවත් අය සැබෑ දෙවි කෙනෙක් සිටිනවාද කියා සැක කරනවා. ඒ නිසා හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිති නියම කරන්න උසස් තැනැත්තෙක් සිටින බවත් ඒ ප්‍රමිතිවලට අනුව ජීවත් නොවුණොත් එය පාපයක් බවත් එවැනි අය පිළිගන්නේ නැහැ. ඔවුන්ද පාවුල් පැවසූ “බලාපොරොත්තුවක්” හා සැබෑ “දෙවි ගැන දැනුමක්” නැති පළමු ශතවර්ෂයේ සිටි අය හා සමානයි.—එෆී. 2:12.

13, 14. (අ) දෙවි කෙනෙක් සිටින බව හා මිනිසාට පාපය උරුම වී ඇති බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීමට එක් හේතුවක් කුමක්ද? (ආ) එය ප්‍රතික්ෂේප කරන බොහෝදෙනා කරන්නේ කුමක්ද?

13 තමන්ට පව්කාරකම උරුම වී ඇති බවත් ඉන් මිදීමට මඟක් අවශ්‍ය බවත් පිළිගත යුතු හේතු දෙකක් ගැන පාවුල් සඳහන් කරනවා. පළමු එක නම් අප අවට ඇති දේවලින් නිර්මාතෘ කෙනෙක් සිටින බවට සාක්ෂි දැකගත හැකි වීමයි. (රෝම 1:19, 20 කියවන්න.) පාවුල් රෝමයේ සිට හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ මෙවැනි අදහසක් ඉදිරිපත් කළා. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙ. 3:4) ඔහු ඉදිරිපත් කළ තර්කයෙන් පැහැදිලි වන්නේ මුළු විශ්වයටම නිර්මාතෘවරයෙක් සිටිනවා යන සත්‍යයයි.

14 පණ නැති රූපවලට තම භක්තිය පුද කළ පුරාණ ඊශ්‍රායෙල්වරු ඇතුළු සියලුදෙනාටම ඒ සඳහා ඉදිරිපත් කිරීමට ‘කිසිම සාධාරණ හේතුවක් නැති’ බවට පාවුල් පැහැදිලි තර්කයක් ඉදිරිපත් කළා. අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන අයටද ඒ සඳහා ඉදිරිපත් කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැහැ. (රෝම 1:22-27) “යුදෙව්වරුන් හා ග්‍රීකවරුන් යන දෙපාර්ශ්වයම තම පව්කාර ස්වභාවයට හසු වී සිටිති” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—රෝම 3:9.

පාපය උරුම වී ඇති බවට සාක්ෂියක්

15. හරි වැරැද්ද තීරණය කිරීමට දෙවි සෑම කෙනෙකුටම ලබා දී තිබෙන්නේ කුමක්ද? ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 දැන් අපි පාවුල් ඉදිරිපත් කරන අනික් හේතුව සලකා බලමු. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ලබා දුන් නීති සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලිව්වා. “යමෙක් නීතිය යටතේ සිටියදීත් ඔහු වැරදි කරනවා නම් ඒ නීතියට අනුව ඔහුට විනිශ්චයක් ලැබේ.” (රෝම 2:12) දෙවි ලබා දුන් නීතිය ගැන අවබෝධයක් නැති වෙනත් ජාතීන් පවා “නීතියට ඇතුළත් දේවල් සහජයෙන්ම කරන” බව පාවුල් පැහැදිලි කළා. එවැනි අය ඥාතීන් අතරේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, මිනී මැරීම හා සොරකම වැරදි බව පිළිගන්නේ ඇයි? ඔවුන්ට හෘදය සාක්ෂියක් තිබෙන නිසා බව පාවුල් සඳහන් කළා.රෝම 2:14, 15 කියවන්න.

16. හෘදය සාක්ෂියක් තිබූ පමණින් වැරදි කිරීමෙන් වැළකී සිටිය හැකි බව පැවසිය නොහැක්කේ ඇයි?

16 හෘදය සාක්ෂියක් තිබූ පමණින්ම බොහෝදෙනෙක් ඊට එකඟව ක්‍රියා නොකරන බව ඔබ දැක ඇති. ඊශ්‍රායෙල්වරුන් ඊට උදාහරණයක්. සොරකම හා වේශ්‍යාකම වැරදි බව සඳහන් කරමින් දෙවි ඔවුන්ට නීති ලබා දී තිබුණා. ඔවුන්ට හෘදය සාක්ෂියක්ද තිබුණා. ඒ වුණත් ඔවුන් නිතර නිතර දෙවිගේ නීතියට සහ හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කළා. (රෝම 2:21-23) ඒ නිසා ඔවුන් වරදකරුවන් වූ අතර ඔවුන්ගේ පව්කාරකම පැහැදිලිව දැකගත හැකි වුණා. දෙවිගේ ප්‍රමිති හා කැමැත්තට එකඟව ක්‍රියා කරන්න ඔවුන් අසමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ නිර්මාතෘ සමඟ ඔවුන්ට තිබූ මිත්‍රත්වයට බරපතළ හානි සිදු වුණා.—ලෙවී. 19:11; 20:10; රෝම 3:20.

17. රෝම පොතෙන් අපට ලැබෙන සහතිකය කුමක්ද?

17 අප මෙතෙක් රෝම පොතෙන් සලකා බැලූ කරුණුවලට අනුව මිනිසුන් සිටින්නේ දෙවිගෙන් සමාව ලබාගැනීමට නොහැකි තත්වයක කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් ගීතාවලිය 32:1, 2හි සඳහන් වචන උපුටා දක්වමින් පාවුල් මෙසේ පවසනවා. “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය. යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.” (රෝම 4:7, 8) දෙවි ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති උල්ලංගනය නොකර අපගේ පව්වලට සමාව දීම සඳහා මාර්ගයක් ඇති කර තිබෙනවා.

ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය

18, 19. (අ) පාවුල් රෝම පොතේ අවධාරණය කරන්නේ ශුභාරංචියට අයත් කුමන වැදගත් අංගයද? (ආ) අප දේවරාජ්‍යයේ ආශීර්වාද ලබාගැනීමට නම් කුමක් පිළිගත යුතුද?

18 “ඒක නම් ඇත්තටම ශුභාරංචියක්” කියා ඔබ කියයි. කලින් සඳහන් කළ ලෙස පාවුල් රෝම පොතේ කාවැද්දූ ශුභාරංචියට අයත් වැදගත් අංගය එයයි. පාවුල් පැවසුවේ, ‘මේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත. මන්ද මේ ශුභාරංචිය තුළින් ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ’ කියායි.—රෝම 1:15, 16.

19 දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස් සතු කාර්යය එම ශුභාරංචියට අයත්. “මා පවසන මේ දේවල් අවබෝධ වන්නේ දෙවි, ක්‍රිස්තුස් යේසුස්ව යොදාගෙන මිනිසුන් රහසිගතව තබාගෙන ඇති සෑම දෙයක්ම විනිශ්චය කරන දවසේදීය. මේ තොරතුරු මා ප්‍රකාශ කරන ශුභාරංචියට අයත්ය” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. එය ඉටු වන තුරු පාවුල් බලා සිටිනවා. (රෝම 2:16) පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය සඳහන් කළා. නමුත් ‘ක්‍රිස්තුස් සහ දෙවිගේ රාජ්‍යය’ ගැන හා එමගින් දෙවි ලබා දෙන ආශීර්වාද වැදගත් නැති බව ඔහු ඉන් අදහස් කළේ නැහැ. (එෆී. 5:5) ඒ වෙනුවට අපට දේවරාජ්‍යය යටතේ ජීවත් වීමට හා එහි ආශීර්වාද භුක්ති විඳීමට අප කළ යුතු දේ ඔහු පෙන්වා දුන්නා. එනම් අප පාපය උරුම කරගෙන තිබෙන බවත් අපගේ පව්වලට සමාව ලබාගැනීමට යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය බවත් අප පිළිගත යුතුයි කියා ඔහු පෙන්නුවා. කෙනෙක් දෙවිගේ අරමුණට අයත් වන ඉහත කරුණු දෙක තේරුම්ගෙන එය පිළිගන්නවා නම් ඔහුට බලාපොරොත්තුවක් ඇති වෙනවා. එවිට “ඇත්තටම ඒක ශුභාරංචියක්” කියා ඔහු පවසනවා නොඅනුමානයි.

20, 21. අප දේවසේවය කරන විට රෝම පොතේ සඳහන් ශුභාරංචිය ගැන වැඩි අවධානයක් දිය යුත්තේ ඇයි? ඉන් ලැබිය හැකි ප්‍රතිඵල මොනවාද?

20 අප දේවසේවයේ යෙදෙන විට ශුභාරංචියට අයත් එම වැදගත් අංගය මනසේ තබාගනිමු. ‘යේසුස් කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැහැ’ කියා යෙසායා පොතේ ඇති අදහස පාවුල් සඳහන් කළා. (රෝම 10:11; යෙසා. 28:16) පාපය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේ ගැන අවබෝධයක් තිබෙන අයට ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය අලුත් දෙයක් නොවිය හැකියි. නමුත් ඒ ගැන නොදන්නා අයට ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය අලුත් දෙයක්. එවැනි අයට බයිබලය ගැන හා දෙවි ගැන විශ්වාසයක් ඇති කරගැනීමට නම් යේසුස් සතු කාර්යය ගැන අප ඔවුන්ට කියා දිය යුතුයි. ශුභාරංචියට අයත් එම වැදගත් අංගය ගැන රෝම පස්වෙනි පරිච්ඡේදයේ තවත් විස්තර ඇතුළත් වෙනවා. අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන සලකා බලමු. එම ලිපිය අපගේ දේවසේවය බලපෑමෙන් යුතුව කිරීමට උපකාරයක් වේවි.

21 රෝම පොතේ නිතර නිතර අවධාරණය කර ඇති ශුභාරංචිය අන් අයට කියා දීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! එය ‘විශ්වාසයක් ඇති සියලුදෙනාටම ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වන’ ශුභාරංචියක්. එයින් ‘දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වෙනවා.’ (රෝම 1:16) එසේ කරද්දී අප ආශීර්වාද ලබනවා. ඒ වගේම ශුභාරංචිය පිළිගන්න අය රෝම 10:15හි පාවුල් පැවසූ මේ වදන්වලට එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. “යහපත් දේවල් ගැන ශුභාරංචි ප්‍රකාශ කරන අයගේ පාද කොතරම් අලංකාරද!”—යෙසා. 52:7.

[පාදසටහන]

^ 5 ඡේ. ඊට සමාන ප්‍රකාශ මාක් 1:1; ක්‍රියා 5:42; 1 කොරි. 9:12; ෆිලි. 1:27 යන පදවලත් දැකගත හැකියි.

ඔබට මතකද?

• රෝම පොතේ අවධාරණය කරන්නේ ශුභාරංචියේ කුමන වැදගත් අංගය ගැනද?

• අප අන් අයට උපකාර කළ යුත්තේ කුමක් තේරුම්ගැනීමටද?

• “ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය” අපට මෙන්ම අන් අයටත් ආශීර්වාදයක් වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රෝම පොතේ සඳහන් ශුභාරංචියට දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි කාර්යය ඇතුළත්

[9වන පිටුවේ පින්තූරය]

අප සැමෝම මෙලොවට බිහි වුණේ පාපය උරුම කරගෙනයි