Skip to content

පටුනට යන්න

ආබ්‍රහම්ට ඔටුවන් සිටියාද?

ආබ්‍රහම්ට ඔටුවන් සිටියාද?

ආබ්‍රහම්ට ඔටුවන් සිටියාද?

පාරාවෝ, ආබ්‍රහම්ට තෑගි කළ සතුන් අතර ඔටුවන්ද සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 12:16) ආබ්‍රහම්ගේ සේවකයා මෙසපොතේමියාව බලා ගිය දිගු ගමනේදී “තම ස්වාමියාගේ ඔටුවන් දසදෙනෙකු” රැගෙන ගිය බවත් එහි සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ ක්‍රිස්තු පූර්ව 2000 ආරම්භයේදී ආබ්‍රහම් සතුව ඔටුවන් සිටි බවයි.—උත්. 24:10.

නමුත් සමහරු එය පිළිගන්නේ නැහැ. ඒ ගැන පුරාවිද්‍යාත්මක තොරතුරු අඩංගු පොතක මෙසේ සඳහන් වෙනවා. “විශාරදයන් පවසන්නේ ඔටුවන් ගැන බයිබලයේ සඳහන් වාර්තාවල කාල වකවානු වැරදි බවයි. ඊට හේතුව ඔටුවන්ව හීලෑ කිරීම බහුලව සිදු වුණේ ආබ්‍රහම් සිටි කාලයට බොහෝ කලකට පසුව එනම්, ක්‍රි.පූ. 1200ට ආසන්න කාලයේ බව විශ්වාස කිරීමයි.” ඒ නිසා බයිබලයේ සඳහන් ඉහත වාර්තා වැරදි බව ඔවුන් පවසනවා.—එම පොත New International Version Archaeological Study Bible.

ඔටුවන්ව හීලෑ කිරීම බහුලව සිදු වුණේ ක්‍රි.පූ. 2000 අගභාගයේදී වුණත් ඊට පෙර එසේ නොකළ බව ඉන් අදහස් කරන්නේ නැහැ කියා වෙනත් විශාරදයන් පවසනවා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ක්‍රි.පූ. 3000ක් තරම් ඈත අතීතයේදී අරාබියේ ගිනිකොන ප්‍රදේශයේ ජීවත් වූ ජනයා ඔටුවන්ව හීලෑ සතුන් ලෙස යොදාගත් බව මෑතකදී කරන ලද ගවේෂණයකින් තේරුම්ගත්තා. කිරි, සම්, රෝම සහ මස් ලබාගැනීම සඳහා ඔටුවන්ව ඇති කළා. ප්‍රවාහණ කටයුතු සඳහාද උන්ව යොදාගත හැකි බව පසු කාලයේදී ජනයා තේරුම්ගත්තා.” ආබ්‍රහම් ජීවත් වූ කාලයට පෙර සිටම ඔටුවන්ව හීලෑ කරගෙන තිබූ බව කැණීම්වලදී සොයාගත් ඇටකටුවලින් සහ වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් සනාථ වෙනවා.—එම පොත Civilizations of the Ancient Near East.

ආබ්‍රහම් ජීවත් වූ කාලයේදී ඔටුවන්ව හීලෑ කරගෙන තිබූ බවට ලිඛිත සාක්ෂිද තිබෙනවා. ඉහත සඳහන් පොතේ ඒ ගැන මෙසේ පවසනවා. “මෙසපොතේමියාවෙන් සොයාගත් උල් අකුරු සහිත පුවරුවක ඔටුවා යන වචනය මෙන්ම උගේ රූප සටහනද තිබෙනවා. ඉන් අදහස් කරන්නේ ක්‍රි.පූ. 2000 ආරම්භයේදී මෙසපොතේමියාවේ ජනයා ඔටුවන්ව හීලෑ කරගෙන තිබුණු බවයි.” ආබ්‍රහම් ජීවත් වුණෙත් ඒ කාලයේයි.

සුවඳ ද්‍රව්‍යය ප්‍රවාහණය කළ දකුණු අරාබි වෙළඳුන් කාන්තාරය හරහා ඊජිප්තුව හා සිරියාව වැනි රටවලට භාණ්ඩ ප්‍රවාහණය කිරීමට ඔටුවන්ව යොදාගත් බවත් පසු කාලයේදී එම රටවල උන් ව්‍යාප්ත වූ බවත් සමහර විශාරදයන් විශ්වාස කරනවා. සුවඳ ද්‍රව්‍යය වෙළඳාම ක්‍රි.පූ. 2000 තරම් ඈතක සිට ප්‍රචලිතව තිබූ බව සිතිය හැකියි. බයිබලයේද සඳහන් වන්නේ ඉෂ්මායෙල්වරුන් සුවඳ ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීම සඳහා ඔටුවන්ව යොදාගත් බවයි. (උත්පත්ති 37:25-28) ඒ ආබ්‍රහම්ගෙන් අවුරුදු සියයකට පමණ පසුවයි.

ක්‍රිස්තු පූර්ව 2000 ආරම්භයේදී මැදපෙරදිග ප්‍රදේශවල ජනයා සමහරවිට ඔටුවන්ව බහුල ලෙස යොදාගත්තේ නැති වුණත් ඔවුන් ඔටුවන් ගැන දැන සිටියා විය හැකි බවට සාක්ෂි තිබෙනවා. එක් බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ආබ්‍රහම්ගේ කාලයේදී ඔටුවන්ව යොදාගත් බව බයිබලයේ සඳහන් වාර්තා වැරදියි කියා පැවසීමට හේතු නැහැ. මන්ද ආබ්‍රහම් ජීවත් වූ කාලයට පෙර සිටම ඔටුවන්ව හීලෑ කරගත් බවට බොහෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.”—The International Standard Bible Encyclopedia.