Skip to content

පටුනට යන්න

“ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”

“ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”

“ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”

‘ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන් එසේ කරන්න.’—1 පේතෘ. 5:2.

1. පේතෘස් ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස කුමක්ද? ඒ ඇයි?

රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට නිරෝ පීඩා කරන්න කලින් පේතෘස් ඔවුන්ට තම පළමු ලිපිය ලිව්වා. ඔහුට අවශ්‍ය වුණේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කිරීමටයි. මන්ද සාතන් ක්‍රිස්තියානීන්ව ගිල දමන්න මාන බලමින් ‘ඔබ මොබ ඇවිදමින්’ සිටියා. ඔහුට විරුද්ධ වීම සඳහා ක්‍රිස්තියානීන් ‘සිහිකල්පනාව ඇතුව සිටිය’ යුතු වුණා. ඒ වගේම ඔවුන් ‘මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වීමද අවශ්‍ය වුණා.’ (1 පේතෘ. 5:6, 8) ඔවුන් එක්සත්ව සිටීමද වැදගත් වුණා. එසේ නොසිට ඔවුන් ‘එකිනෙකාව රිදවමින් එකිනෙකාට නින්දා කළා නම් එකිනෙකාව නැති කර දැමීමේ අවදානම’ ඔවුන්ට තිබුණා.—ගලා. 5:15.

2, 3. අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ කවුරුන් සමඟද? අප සලකා බලන තොරතුරු මොනවාද?

2 අද දින අපද ඒ හා සමාන තත්වයකට මුහුණ දෙනවා. සාතන් අපවද ගිල දැමීමට උත්සාහ කරමින් සිටිනවා. (එළි. 12:12) ‘ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ මහත් පීඩාවකට’ අපට මුහුණ දීමට සිදු වෙනවා. එය ඉතා ඉක්මනින්ම පැමිණීමට නියමිතයි. (මතෙ. 24:21) පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් එකිනෙකා අතර ප්‍රශ්න ඇති කරගැනීමෙන් වැළකී සිටිය යුතු වුණා වගේ අපත් සහෝදර සහෝදරියන් සමඟ ප්‍රශ්න ඇති කරගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ සඳහා සමහර අවස්ථාවලදී අපට වැඩිමහල්ලන්ගේ උපකාරය අවශ්‍යයි.

3 ‘දෙවිගේ රැළ රැකබලා ගැනීමට’ වැඩිමහල්ලන්ට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කරන්න ඔවුන්ට පුළුවන් කොහොමද? (1 පේතෘ. 5:2) වැඩිමහල්ලන් දෙවිගේ රැළ රැකබලා ගත යුතු නිසි ආකාරය කුමක්ද? යන ප්‍රශ්න අපි මෙම ලිපියෙන් සලකා බලනවා. ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ ‘වෙහෙසී වැඩ කරන, ස්වාමීන් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන අයව සුළු කොට නොතකන්න’ සභාවේ සෙසු අයට පුළුවන් කොහොමද යන්නයි. (1 තෙස. 5:12) අපගේ ප්‍රධාන සතුරා වන සාතන්ට විරුද්ධව සිටින්නත් අපට පොරබැදීමට තිබෙන්නේ ඔහුට විරුද්ධව කියා අවබෝධ කරගන්නත් එම තොරතුරු සලකා බැලීම ප්‍රයෝජනවත්.—එෆී. 6:12.

දෙවිගේ රැළ රැකබලා ගන්න

4, 5. වැඩිමහල්ලන්ට රැළ ගැන තිබිය යුතු ආකල්පය කුමක්ද? උදාහරණයක් දෙන්න.

4 දෙවි ඔහුගේ රැළ රැකබලා ගන්නා ආකාරයට වැඩිමහල්ලන්ද ඔවුන්ට භාර දී තිබෙන රැළ රැකබලා ගත යුතු බවට පේතෘස් පළමු ශතවර්ෂයේ සිටි වැඩිමහල්ලන්ව දිරිගැන්නුවා. (1 පේතෘස් 5:1, 2 කියවන්න.) පේතෘස් සභාවේ කණුවක් හා සමාන කෙනෙක් වුණත් වැඩිමහල්ලන් ඔහුට වඩා පහත් අය ලෙස සලකා කතා කළේ නැහැ. ඒ වෙනුවට වැඩිමහල්ලන් ඔහු හා සමාන අය ලෙස සලකා ප්‍රේමණීයව උපදෙස් දුන්නා. (ගලා. 2:9) අද දින පාලක මණ්ඩලයද දෙවිගේ රැළ රැකබලා ගැනීමේ බැරෑරුම් වගකීම ඉටු කිරීමට වැඩිමහල්ලන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.

5 පේතෘස් වැඩිමහල්ලන්ට පැවසුවේ “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න” කියායි. රැළ යෙහෝවා දෙවිට හා යේසුස් ක්‍රිස්තුස්ට අයිති බව වැඩිමහල්ලන් අමතක නොකළ යුතුයි. දෙවිගේ බැටළුවන්ව රැකබලා ගන්නා ආකාරය ගැන ඔවුන් දෙවිට වග කිව යුතුයි. උදාහරණයකට, යාළුවෙක් ඔහුගේ දරුවන්ව ඔබට භාර දී ටික කාලයකට වෙනත් ප්‍රදේශයකට යනවා කියා සිතන්න. ඔබ ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් ඔවුන්ව හොඳින් රැකබලා ගන්නේ නැද්ද? දරුවෙකුට අසනීප වුණොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ නැද්ද? ඒ හා සමානව වැඩිමහල්ලන්ද ‘දෙවිගේ සභාව රැකබලා ගන්නවා. දෙවි ඒ සභාව මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන්.’ (ක්‍රියා 20:28) සභාවේ සිටින සෑම කෙනෙක්වම දෙවි ඔහුගේ පුත්‍රයාගේ රුධිරයෙන් මිල දී ගෙන තිබෙන බව වැඩිමහල්ලන් මතක තබාගන්නවා. වැඩිමහල්ලන් රැළ ගැන දෙවිට වග කිව යුතු නිසා රැළ පෝෂණය කර, ආරක්ෂා කර එය රැකබලා ගන්නවා.

6. එඬේරුන්ට තිබූ වගකීම් මොනවාද?

6 එඬේරෙකුට තිබූ වගකීම් ගැන ටිකකට සිතන්න. කාෂ්ටක අව්වෙත් සීතල රාත්‍රියෙත් ඔවුන්ට රැළ රැකබලා ගැනීමට සිදු වුණා. (උත්. 31:40) ඒ සඳහා ඔවුන්ට තම ජීවිතය අනතුරේ හෙළන්න පවා සිදු වුණා. දාවිත් එඬේරෙක් ලෙස සිටි කාලයේදී වනසතුන්ගෙන් තම රැළ ආරක්ෂා කළා. සිංහයෙකුගෙන් සහ වලසෙකුගෙන් රැළ රැකගත් ආකාරය ගැන ඔහු මෙසේ පැවසුවා. ‘මම උන්ට පහර දී උන්ගේ බෙල්ලෙන් අල්ලලා උන්ව පොළොවේ ගහලා මරලා දැම්මා.’ (1 සාමු. 17:34, 35) දාවිත් ඔහුගේ බැටළුවන්ව එම දරුණු සතුන්ගේ කටින් බේරාගත්තා. එය මොන තරම් එඩිතරකමක්ද! බැටළුවන්ව බේරාගන්න දාවිත් තමන්ට හැකි සෑම දෙයක්ම කළා.

7. සාතන්ගේ කටින් බැටළුවන්ව මුදාගැනීම හා සමාන දෙයක් වැඩිමහල්ලන් කරන්නේ කොහොමද?

7 සිංහයෙක් හා සමානව සාතන් එල්ල කරන ප්‍රහාරවලින් රැළ ආරක්ෂා කිරීමට වැඩිමහල්ලන් සෝදිසියෙන් සිටිය යුතුයි. ඒ සඳහා ඔවුන් ධෛර්යවත්ව ක්‍රියා කළ යුතුයි. මන්ද එය හරියට සාතන්ගේ කටින් බැටළුවන්ව මුදාගැනීම හා සමාන දෙයක්. නොසැලකිලිමත්කම නිසා සාතන්ගේ කපටි උපායන්වලට හසු වී සිටින සහෝදරයන්ට කාරණා තේරුම් කර දීමට ඔවුන්ට සිදු විය හැකියි. (යූද් 22, 23 කියවන්න.) ඔවුන්ට එය සාර්ථක කරගැනීමට හැකි වන්නේ දෙවිගේ උපකාරය නිසයි. එඬේරෙක් තුවාල වූ බැටළුවෙකුට කරුණාවෙන් සලකා තෙල් ආලේප කර තුවාල බඳිනවා හා සමානව වැඩිමහල්ලන්ද තමන්ට භාර දී ඇති රැළේ බැටළුවන්ට දෙවිගේ වචනයෙන් අවශ්‍ය සැනසීම ලබා දෙනවා.

8. වැඩිමහල්ලන් රැළේ සිටින අයව දිරිගන්වන්නේ කුමක් කිරීමටද? ඔවුන් එය කරන්නේ කොහොමද?

8 එඬේරෙක් සතු තවත් වගකීමක් වන්නේ බැටළුවන්ව තණබිම්වලට හා වතුර ඇති ස්ථානවලට රැගෙන යෑමයි. ඒ හා සමානව වැඩිමහල්ලන්ද රැළේ සිටින අයට නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමට දිරිගන්වනවා. එවිට ඔවුන්ට ‘නියම වේලාවට ආහාර ලබාගෙන’ හොඳින් පෝෂණය විය හැකියි. (මතෙ. 24:45) දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දුර්වල කරගෙන තිබෙන අයට නැවත එම බැඳීම ශක්තිමත් කරගැනීමට දෙවිගේ වචනයෙන් ඉතා කාරුණිකව අවශ්‍ය උපකාරය ලබා දීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. ඒ සඳහා ඔවුන්ට වැඩි කාලයක් වැය කිරීමට සිදු විය හැකියි. රැළෙන් ඉවත් වූ බැටළුවෙක් නැවත රැළට එන්න උත්සාහ කරන විට වැඩිමහල්ලන් උපකාර කරන්නේ කොහොමද? එවැනි කෙනෙකුව බිය ගන්වනවා වෙනුවට බයිබලයේ තිබෙන ප්‍රමිති ඔහුට පහදා දී ඒවා අදාළ කරගත හැකි ආකාරය ගැන ඉතා කාරුණිකව පෙන්වා දෙනවා.

9, 10. දෙවි සමඟ ඇති බැඳීම දුර්වල වී තිබෙන කෙනෙකුට වැඩිමහල්ලන් උපකාර කළ යුත්තේ කොහොමද?

9 ඔබ අසනීප වී සිටින විට ඔබ කැමති මොන වගේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමටද? ඔබ සමඟ සුළු වේලාවක් කතා කර ඉක්මනින්ම ඔබට බෙහෙත් නියම කරන වෛද්‍යවරයෙකුටද? නැත්නම් ඔබට හොඳින් සවන් දී ඔබේ රෝගය ගැන ඔබට පහදා දී අවශ්‍ය ප්‍රතිකාර නියම කරන කෙනෙකුටද?

10 ඒ හා සමානව දෙවි සමඟ තිබෙන බැඳීම දුර්වල කරගෙන සිටින කෙනෙකුට වැඩිමහල්ලන් කාරුණිකව සවන් දී අවශ්‍ය සහනය ලබා දෙනවා. එය හරියට ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරනවා’ හා සමානයි. (යාකොබ් 5:14, 15 කියවන්න.) ගිලියද් දේශයේ බෝල්සම් තෛලයෙන් සහනයක් ලැබෙනවා හා සමානව දෙවිගේ වචනයෙන්ද සහනයක් ලැබෙනවා. (යෙරෙ. 8:22; එස. 34:16) දෙවි සමඟ ඇති බැඳීම දුර්වල වී තිබෙන කෙනෙකුට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් නැවතත් දෙවිට උද්‍යෝගයෙන් සේවය කිරීමට හැකි වෙනවා. ඇත්තෙන්ම, වැඩිමහල්ලන් එවැනි කෙනෙකුට හොඳින් සවන් දී ඔහුගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා නම් ඔහු සමඟ යාච්ඤා කරනවා නම් වැඩි යහපතක් සිදු වෙයි.

බල කිරීම නිසා නොව කැමැත්තෙන් කරන්න

11. කැමැත්තෙන්ම දෙවිගේ රැළ රැකබලා ගැනීමට වැඩිමහල්ලන් පෙලඹෙන්නේ ඇයි?

11 රැළ රැකබලා ගැනීමේදී වැඩිමහල්ලන් කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් ගැන පේතෘස් සඳහන් කළා. ඔවුන් දෙවිගේ රැළ රැකබලා ගන්නේ ‘බල කිරීම නිසා නොව කැමැත්තෙන්මයි.’ තම සහෝදරයන් වෙනුවෙන් කැමැත්තෙන්ම සේවය කිරීමට වැඩිමහල්ලන් පෙලඹෙන්නේ ඇයි? ඊට පිළිතුරු දැනගැනීමට යේසුස්ගේ බැටළුවන්ව රැකබලා ගනිමින් ඔවුන්ව පෝෂණය කිරීමට පේතෘස් පෙලඹුණු ප්‍රධාන හේතුව ගැන බලමු. ඒ හේතුව නම් යේසුස් කෙරෙහි ඔහුට තිබුණු ප්‍රේමයයි. (යොහ. 21:15-17) වැඩිමහල්ලන් ජීවත් වන්නේ ‘තමන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් මිය ගිය’ යේසුස් වෙනුවෙනුයි. (2 කොරි. 5:14, 15) යේසුස්ට වගේම දෙවිට සහ තම සහෝදරයන්ට ඇති ප්‍රේමය නිසාත් වැඩිමහල්ලන් රැළ වෙනුවෙන් තමන්ගේ කාලය, ශක්තිය හා තමන් සතු දේවල් වැය කිරීමට පෙලඹෙනවා. (මතෙ. 22:37-39) ඇත්තෙන්ම වැඩිමහල්ලන් රැළ වෙනුවෙන් සේවය කරන්නේ කැමැත්තෙන්මයි.

12. පාවුල් රැළ කෙරෙහි කොතරම් සැලකිල්ලක් දැක්වුවාද?

12 වැඩිමහල්ලන් රැළ කෙරෙහි කොතරම් දුරකට සැලකිල්ල දැක්විය යුතුද කියා අපි බලමු. රැළ රැකබලා ගැනීමේදී වැඩිමහල්ලන් පාවුල්ව අනුකරණය කරන්නේ ඔහු යේසුස්ව අනුකරණය කළ නිසයි. (1 කොරි. 11:1) තෙසලෝනිකයේ සිටි සහෝදරයන් කෙරෙහි තිබුණු ඉමහත් සෙනෙහස නිසා පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන් ‘දෙවිගේ ශුභාරංචිය ලබා දීමට පමණක් නොව ඔවුන් වෙනුවෙන් ජීවිත පවා දීමට’ කැමති වුණා. ඔවුන් රැළ රැකබලා ගත්තේ “කිරි දෙන මවක් ඇගේම දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නා” ආකාරයටයි. (1 තෙස. 2:7, 8) කිරි දෙන මවකට ඇගේ දරුවා කෙරෙහි තිබෙන සෙනෙහස මොන තරම්ද කියා පාවුල් දැන සිටියා. එවැනි මවක් දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට, සමහරවිට කිරි දීම සඳහා මැදියම් රෑ වුණත් අවදිවීමට අදිමදි කරන්නේ නැහැ.

13. වැඩිමහල්ලන් සමබර විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

13 වැඩිමහල්ලන් සභාව වෙනුවෙන් හා තම පවුලේ අය වෙනුවෙන් වැය කරන කාලය ගැන සමබර විය යුතුයි. (1 තිමෝ. 5:8) ඔවුන් සභාව වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වැය කිරීමට තිබෙන කාලයයි. ඔවුන්ට සභාවේ හා පවුලේ වගකීම් සමබරව කළ හැකි එක් ආකාරයක් වන්නේ පවුලේ නමස්කාරය සඳහා අන් අයටත් ආරාධනා කිරීමයි. ජපානයේ සිටින වැඩිමහල්ලෙක් වන මාසානාඕගේ අද්දැකීම සලකා බලන්න. ඔහු කාලයක් පුරා තනිකඩ අයව හා පියා සාක්ෂිකරුවෙක් නොවන පවුල්වලට තම පවුලේ නමස්කාරයට ආරාධනා කළා. එලෙස උපකාර ලැබූ සමහර අය දැන් වැඩිමහල්ලන් බවට පත් වී සිටින අතර ඔවුන්ද මාසානාඕගේ කදිම ආදර්ශය අනුගමනය කරනවා.

වාසි ප්‍රයෝජන නිසා නොව උනන්දුවෙන් කරන්න

14, 15. වැඩිමහල්ලන් ‘අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාවෙන්’ වැළකී සිටිය යුත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඔවුන්ට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

14 “අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්” රැළට සේවය කරන්න කියාද පේතෘස් වැඩිමහල්ලන්ට උනන්දු කළා. රැළ රැකබලා ගැනීමේදී ඔවුන්ට සහෝදරයන් වෙනුවෙන් සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදු වුණත් ඔවුන් ඒ සඳහා මුදලක් බලාපොරොත්තු වන්නේ නැහැ. “අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව” ඇතුව සේවය කිරීමේ ඇති අවදානම පේතෘස් දුර තියාම දුටුවා. දෙවි ගැන බොරු උගන්වන ‘මහ බැබිලෝනියට’ අයත් ආගමික නායකයන් ගත කරන සුඛෝපභෝගී ජීවිතයෙන් පැහැදිලි වන්නේ ඔවුන් ඒ උගුලට හසු වී ඇති බවයි. (එළි. 18:2, 3) ඔවුන් එවැනි ජීවිතයක් ගත කරද්දී සාමාන්‍ය ජනයා ගත කරන්නේ දිලිඳු ජීවිතයක්. එම උගුලට කිසි ලෙසකින්වත් හසු නොවී සිටීමට වැඩිමහල්ලන්ට හොඳ හේතු තිබෙනවා.

15 ඒ සම්බන්ධයෙන් පාවුල් වැඩිමහල්ලන්ට කදිම ආදර්ශයක්. යේසුස්ගේ නියෝජිතයෙක් ලෙස පාවුල්ට තෙසලෝනික සභාවේ සහෝදරයන්ට “බරක් වී” ජීවත් වීමට තිබුණා. නමුත් ඔහු ඒ ගැන පැවසුවේ තමන් “කිසිවෙකුගෙන් නොමිලේ කෑම කෑවේ” නැහැ කියායි. ඒ වෙනුවට ඔහු ‘වෙහෙස මහන්සිය නොබලා රෑ දවල් වැඩ කළා.’ (2 තෙස. 3:8) ඒ සම්බන්ධයෙන් අද දින සේවය කරන වැඩිමහල්ලන් හා සංචාරක සේවකයන්ද කදිම ආදර්ශයක් සපයනවා. ඔවුන් සෙසු සහෝදරයන්ගෙන් ආගන්තුක සත්කාරය පිළිගත්තත් “කිසිවෙකුට බරක්” වන්නේ නැහැ.—1 තෙස. 2:9.

16. රැළ “උනන්දුවෙන්” රැකබලා ගැනීම යන්නට අයත් වන්නේ කුමක්ද?

16 වැඩිමහල්ලන් රැළ රැකබලා ගන්නේ මහත් “උනන්දුවකින්.” ඒ බව ඔවුන්ගේ ආත්මපරිත්‍යාගශීලී ස්වභාවයෙන් පැහැදිලි වෙනවා. ඔවුන් මහත් උනන්දුවකින් දෙවිගේ රැළ රැකබලා ගන්නවා කියද්දී ඉන් අදහස් කරන්නේ දෙවිට සේවය කරන්න කියා හෝ තරඟකාරී ස්වභාවයකින් සේවය කරන්න කියා හෝ රැළට බල කිරීම නොවෙයි. (ගලා. 5:26) ඒ වෙනුවට සභාවේ සෑම සාමාජිකයෙක්ම එකිනෙකාට වෙනස් බවත් ඒ සෑම කෙනෙක්ම වටිනා අය බවත් වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. ඒ වගේම යෙහෝවා දෙවිට සන්තෝෂයෙන් සේවය කිරීම සඳහා සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන් ආශාවෙන් සිටිනවා.

අනිසි ලෙස බලය නොපවත්වා රැළට ආදර්ශයක් වන්න

17, 18. (අ) යේසුස් නිහතමානිකම ගැන ඉගැන්වූ දේ සමහර අවස්ථාවලදී ඔහුගේ නියෝජිතයන්ට තේරුම්ගැනීමට අපහසු වුණේ ඇයි? (ආ) අපට අද්දැකීමට ඉඩ තිබෙන්නේ ඒ හා සමාන කුමන තත්වයක්ද?

17 අප සාකච්ඡා කළ කරුණුවලට අනුව රැළ අයිති වන්නේ තමන්ට නොව යෙහෝවා දෙවිට බව වැඩිමහල්ලන් මතක තබාගත යුතුයි. ඒ නිසා ‘දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපැවැත්වීමට’ ඔවුන් වගබලා ගන්නවා. (1 පේතෘස් 5:3 කියවන්න.) සමහර අවස්ථාවලදී යේසුස්ගේ නියෝජිතයන් පවා වගකීම් දරන්න උත්සාහ කළේ වැරදි ආකල්පයක් ඇතුවයි. ඔවුන්ට අවශ්‍ය වුණේ පාලකයන් මෙන් උසස් තනතුරු ලබාගැනීමටයි.මාක් 10:42-45 කියවන්න.

18 අද දිනද සහෝදරයෙක් “සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරනවා නම්” ඔහු එසේ කරන්නේ ඇයි කියා තමන්වම සෝදිසි කර බැලිය යුතුයි. (1 තිමෝ. 3:1) දැනටමත් වැඩිමහල්ලන් ලෙස සේවය කරන සහෝදරයන්ද යේසුස්ගේ සමහර නියෝජිතයන්ට තිබුණා හා සමාන අධිකාරියක් හෙබවීමේ හෝ ප්‍රසිද්ධියක් ලබාගැනීමේ ආශාව තමන් තුළ තිබෙනවාද කියා සෝදිසි කර බැලීම අවශ්‍යයි. යේසුස්ගේ නියෝජිතයන්ටත් ඒ සම්බන්ධයෙන් දියුණු කරගත යුතු පැති තිබුණා නම් අද දින සිටින වැඩිමහල්ලන්ද දෙවිගෙන් ඈත් වූ ජනයා තුළ ඇති අධිකාරිය හෙබවීමේ ආකල්පයෙන් වැළකී සිටීමට උපරිම උත්සාහයක් දැරිය යුතුයි.

19. රැළ ආරක්ෂා කිරීමට පියවර ගැනීමේදී වැඩිමහල්ලන් මතක තබාගත යුත්තේ කුමක්ද?

19 සමහර අවස්ථාවලදී වැඩිමහල්ලන්ට ඍජු පියවර ගැනීමට සිදු වෙනවා. ‘රෞද්‍ර වෘකයන්ගෙන්’ රැළ ආරක්ෂා කරගැනීමට සිදු වන අවස්ථා ඊට එක් උදාහරණයක්. (ක්‍රියා 20:28-30) පාවුල් තීතස්ට පැවසුවේ “ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම්” දෙන්න කියායි. (තීත. 2:15) එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වන අවස්ථාවකදී වුණත් වැඩිමහල්ලන් ඔවුන්ට සලකන්නේ ගෞරවයෙන් යුතුවයි. වැරදි කළ කෙනෙකුට කාරණා අවබෝධ කර දීමට හා ඔහුව නිවැරදි මාර්ගයට ගැනීම සඳහා විවේචනය කරනවාට වඩා කාරුණිකව ඔහුට උපකාර කිරීම ප්‍රයෝජනවත් බව වැඩිමහල්ලන් තේරුම්ගෙන සිටිනවා.

20. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් රැළට ආදර්ශයක් වීමට වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

20 රැළ කෙරෙහි ප්‍රේමය පෙන්වීමට වැඩිමහල්ලන් පෙලඹෙන්නේ යේසුස් තැබූ කදිම ආදර්ශය නිසයි. (යොහ. 13:12-15) දේවසේවයේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූ ආකාරය ඉතා සිත්ගන්නාසුලුයි. ඔහුගේ නිහතමානිකම ගෝලයන්ට ලොකු බලපෑමක් ඇති කළා. ඒ නිසා ඔවුන්ද ‘නිහතමානීව අන් අය තමන්ට වඩා උතුම් කියා සිතන්න’ පෙලඹුණා. (ෆිලි. 2:3) වැඩිමහල්ලන්ද යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් “රැළට ආදර්ශයක්” තබනවා.

21. වැඩිමහල්ලන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමන ආශීර්වාදද?

21 පේතෘස් වැඩිමහල්ලන්ට දුන් ප්‍රේමණීය උපදෙස් අවසන් කරන්නේ පොරොන්දුවක් ගැන සඳහන් කරමිනුයි. (1 පේතෘස් 5:4 කියවන්න.) අභිෂේක ලත් වැඩිමහල්ලන්ට ස්වර්ගයේ “තේජස නමැති කිසිදා දිරා නොයන ඔටුන්න” හිමි වෙනවා. ‘වෙනත් බැටළුවන්ට’ අයත් වැඩිමහල්ලන්ට ‘ප්‍රධාන එඬේරාගේ’ අධීක්ෂණය යටතේ පොළොවේ සිටින දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වරප්‍රසාදය හිමි වෙනවා. (යොහ. 10:16) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයන්ට සහයෝගය දක්වන්න අන් අයට පුළුවන් ආකාරය ගැනයි.

ඔබට මතකද?

• දෙවිගේ රැළ රැකබලා ගැනීම සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට උපදෙස් දීමට පේතෘස් සුදුසු පුද්ගලයෙක් වුණේ ඇයි?

• දෙවි සමඟ ඇති බැඳීම දුර්වල කරගත් කෙනෙකුට වැඩිමහල්ලන් උපකාර කළ යුත්තේ කොහොමද?

• දෙවිගේ රැළ රැකබලා ගැනීමට වැඩිමහල්ලන් තුළ පෙලඹීමක් ඇති වන්නේ කුමක් නිසාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

එඬේරුන් බැටළුවන්ව රැකබලා ගත් ආකාරයට වැඩිමහල්ලන්ද සහෝදරයන්ව රැකබලා ගත යුතුයි