Skip to content

පටුනට යන්න

‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයව සුළු කොට නොතකන්න’

‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයව සුළු කොට නොතකන්න’

‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයව සුළු කොට නොතකන්න’

“ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන, ස්වාමීන් වෙනුවෙන් ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට උපදෙස් හා අවවාද ලබා දෙන අයව සුළු කොට නොතකන්න.”—1 තෙස. 5:12.

1, 2. (අ) පාවුල් තෙසලෝනික සභාවට සිය පළමු ලිපිය ලියන විට එම සභාවේ තිබූ තත්වය කුමක්ද? (ආ) පාවුල් තෙසලෝනිකවරුන්ට උනන්දු කළේ කුමක් කිරීමටද?

ඔබ පළමු ශතවර්ෂයේ තෙසලෝනික සභාවේ සාමාජිකයෙක් කියා සිතන්න. එම සභාව යුරෝපයේ තිබූ මුල්ම සභා අතරින් එකක්. පාවුල් එහි සහෝදරයන්ට ක්‍රිස්තියානීන් ලෙස දියුණු වීමට උපකාර කරමින් සැලකිය යුතු කාලයක් ගත කළා. ඔහු වෙනත් සභාවල කළාක් මෙන් තෙසලෝනික සභාවෙත් වැඩිමහල්ලන්ව පත් කරන්න ඇති. (ක්‍රියා 14:23) නමුත් සභාව ආරම්භ කර වැඩි කල් යෑමට පෙර මැර කණ්ඩායමක් නිසා පාවුල්ට සහ සීලස්ට එම නගරයෙන් පිට වීමට සිදු වුණා. ඒ නිසා එහි සිටි සහෝදරයන්ට අසරණකමක් හා බියක් දැනෙන්න ඇති.

2 අලුතින් ආරම්භ කළ සභාව ගැන පාවුල් සැලකිලිමත් වූ නිසා ඔහුට නැවත එහි යෑමට අවශ්‍ය වුණා. නමුත් ‘සාතන් ගමනට බාධා’ කළ නිසා ඔහුට එහි යන්න හැකි වුණේ නැහැ. ඒ නිසා ඔහු එහි සිටි සහෝදරයන්ව දිරිගැන්වීම සඳහා තිමෝතිව යැව්වා. (1 තෙස. 2:18; 3:2) තිමෝති ඒ සභාව ගැන හොඳ වාර්තාවක් රැගෙන ආ විට පාවුල් තෙසලෝනිකවරුන්ට ලිපියක් ලියන්න පෙලඹුණා. ඔහු එහි සඳහන් කළ බොහෝ දේ අතර ‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන අයව සුළු කොට නොතකන්න’ කියාද සඳහන් කළා.1 තෙසලෝනික 5:12, 13 කියවන්න.

3. වැඩිමහල්ලන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න තෙසලෝනික සභාවේ සිටි අයට තිබුණු හේතු මොනවාද?

3 තෙසලෝනික සභාවේ සිටි වැඩිමහල්ලන් පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන් තරම් අද්දැකීම් ලත් අය නොවෙයි. ඔවුන් යෙරුසලමේ සභාවේ සිටි වැඩිමහල්ලන් මෙන් බොහෝ කාලයක් ක්‍රිස්තියානීන්ව සිටි අයද නොවෙයි. එම සභාව ආරම්භ කර වසරක්වත් ගත වී තිබුණේ නැහැ. කෙසේවෙතත් එම සභාවේ වැඩිමහල්ලන් ‘වෙහෙසී වැඩ කරමින් පෙරමුණ ගෙන කටයුතු කළා.’ ඒ වගේම සහෝදරයන්ට ‘උපදෙස් හා අවවාද ලබා දුන්නා.’ ඒ නිසා ඔවුන්ව අගය කරන්නත් ‘ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්නත්’ එම සභාවේ සිටි අයට ඒවා හේතු වුණා. පාවුල් ඔවුන්ව මෙසේ දිරිගැන්නුවා. “එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න.” ඔබ තෙසලෝනික සභාවේ සිටියා නම් වැඩිමහල්ලන් ඉටු කරන කාර්යය ඔබ ගැඹුරින් අගය කරනවාද? දෙවි, යේසුස් මාර්ගයෙන් ‘තෑගි වශයෙන් දී තිබෙන පුරුෂයන්ව’ ඔබ අගය කරන්නේ කොහොමද?—එෆී. 4:8.

‘වෙහෙසී වැඩ කරනවා’

4, 5. පාවුල්ගේ කාලයේ සිටි වැඩිමහල්ලන්ට ඉගැන්වීමේ කාර්යය කරන්න වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වුණේ ඇයි? අද දිනත් වැඩිමහල්ලන් එලෙස කටයුතු කරන්නේ කොහොමද?

4 පාවුල් සහ සීලස් බෙරීය නුවරට ගිය පසු තෙසලෝනික සභාවේ සිටි වැඩිමහල්ලන් සභාවේ “වෙහෙසී වැඩ” කළේ කොහොමද? ඔවුන් පාවුල්ව අනුකරණය කරමින් ශුද්ධ ලියවිලි යොදාගෙන ඉගැන්වූ බවට කිසිම සැකයක් නැහැ. බෙරීය නුවරේ අය ‘තෙසලෝනිකයේ සිටි අයට වඩා සාධාරණව හා පුළුල්ව සිතීමට හැකියාව තිබුණු පිරිසක් බවත් ඔවුන් දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලූ බවත්’ බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 17:11) එසේනම් ‘තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට දෙවිගේ වචනය ගැන ගැඹුරු අගයක් තිබුණේ නැද්ද’ කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. පාවුල් එහිදී කතා කරන්නේ තෙසලෝනිකයේ සිටි සාමාන්‍ය ජනයා ගැන මිස ක්‍රිස්තියානීන් ගැන නොවෙයි. ක්‍රිස්තියානීන් බවට පත් වූ තෙසලෝනිකවරු දෙවිගේ පණිවිඩය ‘පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසයි.’ (1 තෙස. 2:13) එසේ පිළිගැනීමට ඔවුන්ට හැකි වුණේ එහි සිටි වැඩිමහල්ලන් ඉගැන්වීමේ කාර්යයෙහි බොහෝ සේ වෙහෙස මහන්සි වී වැඩ කළ නිසා විය හැකියි.

5 අද දින විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දෙවිගේ රැළට “නියම වේලාවට ආහාර” ලබා දෙනවා. (මතෙ. 24:45) දාසයාගේ මඟ පෙන්වීම යටතේ සභාවේ සිටින වැඩිමහල්ලන් සහෝදර සහෝදරියන්ට උගන්වන්න මහත් වෙහෙසක් දරනවා. සභාවේ සිටින අය සතුව බයිබලය මත පදනම් බොහෝ ප්‍රකාශන තිබෙන්න පුළුවන්. ඒ වගේම සමහර භාෂාවලින් මුරටැඹ ප්‍රකාශන සූචිය (Watch Tower Publications Index) හෝ සංයුක්ත තැටිවල තිබෙන මුරටැඹ පුස්තකාලයද (Watchtower Library on CD-ROM) ලබාගත හැකියි. ඒ වුණත් සභාවේ සිටින අයට අවබෝධ කරගත හැකි ආකාරයට ඉගැන්වීම සඳහා රැස්වීම්වලට සූදානම් වෙන්න වැඩිමහල්ලන් පැය ගණනාවක් වැය කරනවා. රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවල කොටස් සූදානම් වෙන්න ඔවුන් මොන තරම් කාලයක් වැය කරනවාද කියා ඔබ කල්පනා කර තිබෙනවාද?

6, 7. (අ) තෙසලෝනික සභාවේ වැඩිමහල්ලන්ට පාවුල් තැබූ ආදර්ශය කුමක්ද? (ආ) වැඩිමහල්ලන්ට පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීම අභියෝගයක් විය හැක්කේ ඇයි?

6 රැළ රැකබලා ගැනීමේදී පාවුල් තැබූ ආදර්ශය තෙසලෝනික සභාවේ වැඩිමහල්ලන්ගේ මතකයේ තිබුණා. ඔහු රැළ රැකබලා ගත්තේ නිකම්ම වගකීමක් ඉටු කිරීම සඳහා පමණක් නොවෙයි. කලින් ලිපියේ සලකා බැලූ ලෙස ‘කිරි දෙන මවක් ඇගේම දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නා සේ ඉමහත් සෙනෙහසකින්’ පාවුල් සභාවේ අයව ‘රැකබලා ගත්තා.’ (1 තෙසලෝනික 2:7, 8 කියවන්න.) පාවුල් සහෝදරයන් වෙනුවෙන් තම ජීවිතය වුණත් දෙන්න සූදානමින් සිටියා.

7 අද දිනත් වැඩිමහල්ලන් පාවුල් මෙන් සභාව ප්‍රේමණීය ලෙස රැකබලා ගන්නවා. සභාවේ සිටින සමහර අය මිත්‍රශීලී හෝ කාරුණික අය නොවිය හැකියි. ඒ වුණත් වැඩිමහල්ලන් ඔවුන්ගේ වටහාගැනීමේ හැකියාව යොදාගෙන එවැනි අය තුළ තිබෙන යහපත් ගුණාංග දකින්න උත්සාහ කරනවා. (හිතෝ. 16:20) කෙසේවෙතත් වැඩිමහල්ලන් පරිපූර්ණ අය නොවෙයි. ඒ නිසා වැඩිමහල්ලෙකුට සෑම කෙනෙක් තුළම තිබෙන යහපත් ගුණාංග දකින්න අපහසු විය හැකියි. ඒ වුණත් සියලුදෙනාට කාරුණිකව සැලකීමට වෑයම් කරමින් ක්‍රිස්තුස් යටතේ සිටින ප්‍රේමණීය එඬේරෙක් වීමට ඔහු උත්සාහ කරද්දී අප එය අගය කළ යුතු නැද්ද!

8, 9. වැඩිමහල්ලන් ‘අප ගැන සෝදිසියෙන් සිටින’ ආකාර මොනවාද?

8 වැඩිමහල්ලන්ට “යටත් වී සිටින්න” අප සියලුදෙනාටම හොඳ හේතු තිබෙනවා. ඔවුන් ‘අප ගැන සෝදිසියෙන් සිටින’ බව පාවුල් පැවසුවා. (හෙබ්‍රෙ. 13:17) සාමාන්‍යයෙන් එඬේරුන් බැටළුවන්ව බලාගැනීමේදී හොඳ සෝදිසියකින් සිටිනවා. ඒ සඳහා ඔවුන්ට ඔවුන්ගේ නින්ද පවා කැප කිරීමට සිදු වෙනවා. ඒ හා සමානව අසනීපයෙන් සිටින, මානසික පීඩනයෙන් සිටින හෝ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට අපහසු වී තිබෙන අයට උපකාර කිරීමේදී වැඩිමහල්ලන්ටද සමහරවිට ඔවුන්ගේ නින්ද කැප කිරීමට සිදු වෙනවා. උදාහරණයකට රෝහල් සබඳතා කමිටුවල සේවය කරන වැඩිමහල්ලන්ට, රෝගීන්ට උපකාර කිරීමේදී තමන්ගේ නින්ද කැප කිරීමට සිදු වී තිබෙනවා. අපත් එවැනි තත්වයකට පත් වුණොත් ඔවුන්ගේ උපකාරය මොන තරම් අගය කරයිද!

9 ඉදි කිරීම් කමිටුවල හා සහන සේවා කමිටුවල සේවය කරන වැඩිමහල්ලන් සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔවුන්ට අපගේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි. උදාහරණයකට 2008දී මියන්මාරයට බලපෑ සුළිසුළඟින් පසුව සහෝදරයන්ට උපකාර කිරීමට සහන සේවා කමිටු මොන තරම් වෑයමක් දැරුවාද! දැඩි ලෙස හානියට පත් වූ ඉරවඩි ප්‍රදේශයේ පිහිටි බොතින්ගොන් සභාවට සහන සේවකයන්ට ගමන් කිරීමට සිදු වුණේ මළ කඳන් එහෙ මෙහෙ විසිරී තිබූ ප්‍රදේශ හරහයි. එහි පැමිණි පළමු සහන සේවා කණ්ඩායමේ එම සභාවේ කලින් සේවය කළ සංචාරක සේවකද සිටියා. ඔහුව දුටු ගමන් සහෝදරයන් මෙසේ ප්‍රීතියෙන් කෑගැසුවා. “අන්න, අපේ චාරිකා සහෝදරයා එනවා. යෙහෝවා දෙවි අපිව බේරාගත්තා.” දිවා රෑ නොබලා වැඩිමහල්ලන් කරන සේවය ඔබ අගය කරනවාද? ඒ විතරක් නොවෙයි විනිශ්චය කමිටුවකින් හැසිරවිය යුතු බැරෑරුම් කාරණා සඳහාද සමහර වැඩිමහල්ලන්ව පත් කරනවා. වැඩිමහල්ලන් ඔවුන් කරන සේවය ගැන පුරසාරම් දොඩන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සේවයෙන් ප්‍රයෝජන ලබන අය ඔවුන්ට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.—මතෙ. 6:2-4.

10. ඉගැන්වීම්වලට අමතරව වැඩිමහල්ලන් සිදු කරන කාර්යයන් මොනවාද?

10 වැඩිමහල්ලන්ට සභාවේ විවිධ කාර්යයන් තිබෙනවා. උදාහරණයකට වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක සතිපතා පැවැත්වෙන රැස්වීම්වල කොටස් මෙහෙයවන සහෝදරයන්ගේ ලැයිස්තුවක් සකසනවා. සභාවේ ලේකම් මාසික හා වාර්ෂික ක්ෂේත්‍ර සේවා වාර්තා සකසනවා. පාසැල මෙහෙයවන සහෝදරයා පාසැලේ පැවරුම් ලබා දෙනවා. මාස තුනකට වරක් සභාවේ ගිණුම් විගණනය කරනවා. එමෙන්ම ශාඛා කාර්යාලයෙන් ලැබෙන ලිපි කියවා එහි තිබෙන මඟ පෙන්වීම් ක්‍රියාත්මක කරනවා. එවිට අප හැමෝටම අප ‘විශ්වාස කරන දේ සම්බන්ධයෙන් එක්සත්ව සිටීමට’ හැකි වෙනවා. (එෆී. 4:3, 13) වැඩිමහල්ලන් එලෙස වෙහෙස මහන්සි වී වැඩ කරන විට ‘සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු වෙනවා.’—1 කොරි. 14:40.

‘පෙරමුණ ගෙන කටයුතු කරනවා’

11, 12. සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන්නේ කවුද? එසේ කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

11 තෙසලෝනික සභාවේ වැඩිමහල්ලන් “පෙරමුණ ගෙන කටයුතු කරන” අය ලෙස පාවුල් හැඳින්නුවා. (1 තෙස. 5:12) ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන බවද පාවුල් පැවසුවා. ඔහු එහිදී කතා කරන්නේ එක වැඩිමහල්ලෙක් ගැන නොව සභාවේ සිටින සියලුම වැඩිමහල්ලන් ගැනයි. අද දින බොහෝ වැඩිමහල්ලන් රැස්වීම්වල ඉගැන්වීමේ කටයුතුවල යෙදෙනවා. මුලසුන භාර අවේක්ෂක යන යෙදුම වෙනුවට දැන් අප භාවිත කරන්නේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක යන යෙදුමයි. සභාවේ සියලුම වැඩිමහල්ලන් එක්සත්ව ක්‍රියා කරන කණ්ඩායමක් බව අවබෝධ කරගැනීමට එය අපට උපකාරයක්.

12 වැඩිමහල්ලන් සභාවේ ‘පෙරමුණ ගෙන කටයුතු කරනවා’ කියද්දී ඊට අයත් වන්නේ ඉගැන්වීම පමණක් නොවෙයි. එය තේරුම්ගැනීමට පාවුල් 1 තිමෝති 3:4හි සඳහන් කරන දෙයක් සලකා බලමු. ඔහු මෙසේ පැවසුවා. වැඩිමහල්ලෙක් “තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන [එනම්, පෙරමුණ ගෙන කටයුතු කරන] පුරුෂයෙකු විය යුතුයි. ඔහුගේ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.” එහි ඇති “හොඳින් හසුරුවන” යන අදහසට දරුවන්ට ඉගැන්වීම පමණක් නොව පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගැනීමත් ‘දරුවන් ඔහුට යටත්ව සිටීමත්’ අයත් වෙනවා. ඒ හා සමානව වැඩිමහල්ලන්ද සභාවේ සිටින සියලුදෙනාටම යෙහෝවා දෙවිට යටත්ව සිටීමට අවශ්‍ය උපකාර ලබා දීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කරනවා.—1 තිමෝ. 3:5.

13. වැඩිමහල්ලන්ගේ රැස්වීමකදී තීරණයක් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක්කේ ඇයි?

13 වැඩිමහල්ලන්ට සභාවේ අවශ්‍යතා සහ එහි සාමාජිකයන්ට උපකාර කළ හැකි ආකාර ගැන සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සභාව වෙනුවෙන් එක වැඩිමහල්ලෙක් පමණක් තීරණ ගන්නවා නම් එය පහසුයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒ වුණත් පළමු ශතවර්ෂයේ පාලක මණ්ඩලය ක්‍රියා කළ ආකාරය ආදර්ශයට ගනිමින් වැඩිමහල්ලන් එකට රැස් වී අදාළ කාරණා ගැන විවෘතව කතා කරනවා. ඔවුන් තීරණ ගන්නේ ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති සලකා බැලීමෙන් පසුවයි. ඔවුන්ගේ අරමුණ වන්නේ සහෝදරයන්ට උපකාර කිරීමේදී බයිබල් ප්‍රතිපත්තිවලට අනුව එසේ කිරීමයි. එය හොඳින් කිරීම සඳහා සෑම වැඩිමහල්ලෙක්ම ශුද්ධ ලියවිලි පද සහ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන මඟ පෙන්වීම් සලකා බලා වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලට සූදානම් වෙනවා. ඒ සඳහා යම් කාලයක් වැය කරන්න අවශ්‍යයි. වැඩිමහල් මණ්ඩලයේ සාකච්ඡාවකදී එක කාරණයක් සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වන විට ශුද්ධ ලියවිල්ලට අනුව තීරණයක් ගැනීම සඳහා වැඩිපුර කාලයක් මෙන්ම වැඩියෙන් පර්යේෂණ කිරීමටද අවශ්‍ය විය හැකියි. පළමු ශතවර්ෂයේදීද චර්මච්ඡේදනය ගැන ප්‍රශ්නයක් මතු වූ විට එවැනි දෙයක් සිදු වුණා.—ක්‍රියා 15:2, 6, 7, 12-14, 28.

14. වැඩිමහල්ලන් එකමුතුව ක්‍රියා කිරීම ඔබ අගය කරනවාද? ඔබ එසේ පවසන්නේ ඇයි?

14 තමාගේ අදහස පිළිගත යුතු බවටත් තමන් කැමති ආකාරයට අන් අය ක්‍රියා කළ යුතු බවටත් එක් වැඩිමහල්ලෙක් අනික් වැඩිමහල්ලන්ට බලපෑම් කරනවා නම් සිදු වන්නේ කුමක්ද? එසේත් නැත්නම් වැඩිමහල්ලෙක් පළමු ශතවර්ෂයේ සිටි දියොත්‍රෙෆස් මෙන් සභාවේ භේද ඇති කරනවා නම් සිදු වන්නේ කුමක්ද? (3 යොහ. 9, 10) එය මුළු සභාවටම බලපානවා. සාතන් පළමු ශතවර්ෂයේ තිබූ සභාවේ ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කළා නම් වර්තමානයේදීත් එසේ කරන බව නිසැකයි. කෙනෙකු තුළ මුල් තැන ගැනීම වැනි ආත්මාර්ථකාමී ආශාවන් තිබෙනවා නම් ඒවා ඉටු කරගැනීමට සාතන් ඔහුව පොලඹවන්න පුළුවන්. ඒ නිසා වැඩිමහල්ලන් නිහතමානිකම වර්ධනය කරගෙන එකමුතුව සිටීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. වැඩිමහල්ලන් නිහතමානී වී මණ්ඩලයක් ලෙස එකමුතුව ක්‍රියා කරද්දී අප එය මොන තරම් අගය කළ යුතුද!

‘උපදෙස් හා අවවාද ලබා දෙනවා’

15. වැඩිමහල්ලෙක් සහෝදරයෙකුට හෝ සහෝදරියකට අවවාද කරන්නේ කුමන ආකල්පය ඇතුවද?

15 වැඩිමහල්ලන්ට කිරීමට සිදු වන අමාරුම නමුත් වැදගත්ම කාර්යය ගැන පාවුල් සඳහන් කළා. එනම් රැළට උපදෙස් හා අවවාද ලබා දීමයි. “උපදෙස් හා අවවාද” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ සඳහන් කරන්නේ පාවුල් පමණයි. ඉන් අදහස් කරන්නේ ඍජු උපදෙස් ලබා දීමයි. එසේ කරන්නේ එම තැනැත්තා සමඟ ඇති අමනාපයක් නිසා නොවන බවත් ඉන් අදහස් කරනවා. (ක්‍රියා 20:31; 2 තෙස. 3:15) උදාහරණයකට පාවුල් කොරින්තිවරුන්ට මෙසේ පැවසුවා. “මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි. මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය.” (1 කොරි. 4:14) ඔහු ඔවුන්ට අවවාද කළේ ඔවුන් කෙරෙහි තිබූ ප්‍රේමණීය සැලකිල්ල නිසයි.

16. උපදෙස් හා අවවාද දෙන විට වැඩිමහල්ලන් මතක තබාගන්නේ කුමක්ද?

16 උපදෙස් හා අවවාද දෙන විට ඒවා දෙන ආකාරය ඉතා වැදගත් බව වැඩිමහල්ලන් මතක තබාගන්නවා. ඒ නිසා ඔවුන් කාරුණික වීමෙන්, ප්‍රේමණීයව කටයුතු කිරීමෙන් හා උපකාර කිරීමට සූදානම්ව සිටීමෙන් පාවුල්ව අනුකරණය කිරීමට වෑයම් කරනවා. (1 තෙසලෝනික 2:11, 12 කියවන්න.) ඇත්තෙන්ම, වැඩිමහල්ලන් ‘සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටිනවා. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන්ට හැකියි.’—තීත. 1:5-9.

17, 18. වැඩිමහල්ලෙක් ඔබට උපදෙස් හා අවවාද දෙන විට ඔබ මතක තබාගත යුත්තේ කුමක්ද?

17 වැඩිමහල්ලන් පරිපූර්ණ අය නොවෙයි. ඒ නිසා සමහරවිට ඔවුන් පැවසූ දෙයක් ගැන පසුව ඔවුන් පසුතැවිලි විය හැකියි. (1 රාජා. 8:46; යාකො. 3:8) ඒ වගේම සහෝදර සහෝදරියන්ට අවවාද කරද්දී සාමාන්‍යයෙන් එය ඔවුන්ට “වේදනාකාරී දෙයක් ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ” නැති බව වැඩිමහල්ලන් දන්නවා. (හෙබ්‍රෙ. 12:11) ඒ නිසා වැඩිමහල්ලෙක් කෙනෙකුට උපදෙස් හා අවවාද දෙන විට එසේ කරන්නේ ඒ ගැන හොඳින් සිතා බැලීමෙන් හා යාච්ඤා කිරීමෙන් පසුවයි. වැඩිමහල්ලන් ඔබට උපදෙස් හා අවවාද ලබා දෙන විට ඔවුන් ඔබ කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ල ඔබ අගය කරනවාද?

18 උදාහරණයකට, කාලයක් පුරා හඳුනාගැනීමට නොහැකි වූ රෝගයක් ඔබට තිබෙනවා කියා සිතන්න. නමුත් එක වෛද්‍යවරයෙක් රෝගය හඳුනාගන්නවා. ඔහු එය ඔබට පවසද්දී එවැනි රෝගයක් ඔබට තිබෙන බව පිළිගැනීමට ඔබට අපහසු විය හැකියි. ඒ නිසා ඔබ වෛද්‍යවරයා සමඟ අමනාප වෙනවාද? නැහැ. ඒ වෙනුවට ඔහු ඔබට ශල්‍යකර්මයක් කළ යුතු බව පැවසුවත් එය ඔබගේ යහපතට බව ඔබ දන්න නිසා ඔබ එයට කැමති වෙනවා. වෛද්‍යවරයා රෝගය ගැන තොරතුරු ඔබට පැවසූ ආකාරය නිසා ඔබට යම් සිත් රිදවීමක් ඇති වුණා කියා සිතන්න. ඒ නිසා ඔබ ගන්න තීරණය වෙනස් කරනවාද? නැහැ. ඒ හා සමානව වැඩිමහල්ලන් ඔබට උපදෙස් දුන් ආකාරය ගැන සිතමින් ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. ඊට හේතුව දෙවි සමඟ තිබෙන ඔබගේ මිත්‍රත්වය රැකගැනීමට ඔබට උපකාර කිරීමට වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවි සහ යේසුස්.

යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන ප්‍රේමණීය සැපයුමක්

19, 20. ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ව’ අගය කරන බව ඔබට පෙන්වන්න පුළුවන් කොහොමද?

19 ඔබට අත්‍යවශ්‍ය යමක් තෑග්ගක් ලෙස කෙනෙක් ඔබට දුන්නොත් ඔබ එය අගය කරන බව නිසැකයි. ඉන් ප්‍රයෝජන ගැනීමෙන් ඔබ ඒ බව පෙන්වනවා. යෙහෝවා දෙවිද යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබ වෙනුවෙන් “පුරුෂයන්ව තෑගි වශයෙන්” දී තිබෙනවා. එම තෑගි අගය කරන බව පෙන්වන්න පුළුවන් එක් ආකාරයක් වන්නේ වැඩිමහල්ලන් ඉදිරිපත් කරන කතාවලට හොඳින් සවන් දී එහි කරුණු අදාළ කරගැනීමට උත්සාහ කිරීමයි. රැස්වීම්වලදී අර්ථවත් අදහස් දැක්වීමෙන්ද අපගේ අගය පෙන්විය හැකියි. දේවසේවය වැනි වැඩිමහල්ලන් පෙරමුණ ගෙන ක්‍රියා කරන දේවලට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔබට පුළුවන්. වැඩිමහල්ලෙක් දුන් උපදෙසක් අදාළ කරගැනීම නිසා ඔබ ප්‍රයෝජන ලැබුවා නම් ඒ ගැන ඔහුට පවසන්න. ඒ විතරක් නොවෙයි වැඩිමහල්ලන්ගේ පවුලේ අයවත් අගය කරන්න ඔබට පුළුවන්. වැඩිමහල්ලෙකුට සභාවේ වැඩකටයුතුවලට කාලය වැය කිරීමට හැකි වී තිබෙන්නේ ඔහුගේ පවුලේ අය ඔහු සමඟ ගත කරන කාලය කැප කරන නිසා බව අමතක නොකරන්න.

20 වෙහෙස මහන්සි වී වැඩ කරන, පෙරමුණ ගෙන ක්‍රියා කරන සහ අපට උපදෙස් හා අවවාද ලබා දෙන වැඩිමහල්ලන්ව අගය කරන්න බොහෝ හේතු තිබෙනවා. ඇත්තෙන්ම මේ “පුරුෂයන්” යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන ප්‍රේමණීය සැපයුමක්.

ඔබට මතකද?

• තෙසලෝනික සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අයව අගය කරන්න එහි සිටි අයට තිබූ හේතු මොනවාද?

• ඔබේ සභාවේ වැඩිමහල්ලන් ඔබ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ කොහොමද?

• ඔබ අතරේ පෙරමුණ ගන්නා වැඩිමහල්ලන්ගෙන් ඔබ ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

• වැඩිමහල්ලෙක් උපදෙස් හා අවවාද ලබා දෙන විට ඔබ මතක තබාගත යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූරය]

විවිධාකාරවලින් සභාව රැකබලා ගන්නා වැඩිමහල්ලන්ව ඔබ අගය කරනවාද?