Skip to content

පටුනට යන්න

“ජීවිතය සාර්ථක කරගැනීමට” මඟ

“ජීවිතය සාර්ථක කරගැනීමට” මඟ

“ජීවිතය සාර්ථක කරගැනීමට” මඟ

‘සාර්ථකත්වය’—එය ඉතා සිත්ගන්නාසුලු වචනයක්. සමහර අය ව්‍යාපාරිකයන් ලෙස ඉතා සාර්ථක වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ධනය වගේම ප්‍රසිද්ධියද ලැබී තිබෙනවා. තවත් අය සාර්ථක වීමට සිහින මැව්වත් ඔවුන් අසාර්ථක වී තිබෙනවා.

ඔබේ ජීවිතයේ සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතින්නේ ඔබ මුල් තැන දෙන දේ මතයි. ඊට අමතරව තවත් වැදගත් කරුණු දෙකක් අවශ්‍ය වෙනවා. එනම් ඔබ ඔබේ කාලය හා ශක්තිය වැය කරන ආකාරය හා සාර්ථකත්වය අත් කරගැනීම සඳහා ඔබ ගන්නා පියවරයි.

බොහෝ ක්‍රිස්තියානීන් දේවසේවයේ උපරිමයෙන් හවුල් වීම නිසා විශාල තෘප්තියක් ලබා තිබෙනවා. එමෙන්ම යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන බාල මහලු සෑමදෙනාම සාර්ථකත්වය අද්දැක තිබෙනවා. ඒ වුණත් දේවසේවය නිරස දෙයක් කියා සිතන සමහර අය වෙනත් ඉලක්කවලට මුල් තැන දී දේවසේවයට ජීවිතයේ දෙවෙනි ස්ථානය දී තිබෙනවා. එවැනි දෙයක් සිදු වන්නේ ඇයි? ජීවිතයේ වඩා වැදගත්ම දේවල් සඳහා ඇති අගය නැති කර නොගැනීමට ඔබට කුමක් කළ හැකිද? ඔබේ “ජීවිතය සාර්ථක කරගැනීමට” ඔබට පුළුවන් කොහොමද?—යොෂු. 1:8.

පාසැලේ බාහිර ක්‍රියාකාරකම් හා විනෝදාංශ

යෙහෝවා දෙවිට කරන සේවය හා වෙනත් ක්‍රියාකාරකම් සමබරව කිරීමට දරුවන් උත්සාහ කළ යුතුයි. එසේ කිරීමෙන් ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගත හැකි අතර ඔවුන් අපගේ ප්‍රශංසාව ලැබීමටද වටිනවා.

කෙසේවෙතත් සමහර ක්‍රිස්තියානි දරුවන් පාසැලේ බාහිර ක්‍රියාකාරකම්වලට සහ විනෝදාංශවලට ඕනෑවට වඩා කාලය යොදවනවා. එවැනි ක්‍රියා වැරදි නොවුණත් යෞවනයෙක් මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කිරීම ඉතා වැදගත්. ‘එවැනි ක්‍රියාකාරකම් සඳහා මම කොපමණ කාලයක් වැය කරනවාද? එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන විට මම ආශ්‍රය කරන්නේ කාවද? එවැනි අයව ආශ්‍රය කරද්දී ඔවුන්ගේ ආකල්ප මට කොහොම බලපායිද? මම ජීවිතයේ මුල් තැන දෙන්න පෙලඹෙන්නේ කුමකටද?’ එවැනි ක්‍රියාකාරකම්වල ඇලීගැලී සිටින විට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය කාලය හා ශක්තිය නැති වන බව ඔබ තේරුම්ගෙන ඇති. ඉහත කරුණු සියල්ලෙන් පැහැදිලි වන්නේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් මොනවාද කියා කල්පනා කිරීම මොන තරම් වැදගත්ද යන්නයි.—එෆී. 5:15-17.

වික්ටර්ගේ * අද්දැකීම සලකා බලන්න. ඔහු මෙසේ පවසනවා. “මම වොලිබෝල් කණ්ඩායමට බැඳුණේ අවුරුදු 12දියි. මගේ දක්ෂකම් නිසා මට ගොඩක් තෑගි හා සම්මාන ලැබුණා. මට දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න හැකියාව තිබුණා.” කාලයක් යන විට ක්‍රීඩාවට මුල් තැන දීම නිසා දෙවි සමඟ ඔහුට තිබෙන මිත්‍රත්වයට බලපෑමක් එල්ල වන බව වික්ටර් තේරුම්ගත්තා. උදාහරණයකට ඔහු බයිබලය කියවද්දී එක දවසක් ඔහුට නින්ද ගියා. දේවසේවයෙන් ඔහු කලින් ලැබූ ප්‍රීතිය අද්දැක්කේ නැති බවත් ඔහු තේරුම්ගත්තා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මගේ මුළු ශක්තියම වැය වුණේ ක්‍රීඩාවටයි. දේවසේවයට, රැස්වීම්වලට තිබුණු මගේ උනන්දුවත් නැති වේගෙන යනවා කියලා මට තේරුණා. දෙවි වෙනුවෙන් කරන්න ඕන දේවල් මම කරන්නේ නැහැ කියලා මට තේරුණා.”

වැඩිදුර අධ්‍යාපනය අවශ්‍යද?

ක්‍රිස්තියානියෙක් තම පවුලේ අවශ්‍යතා සැපයිය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝ. 5:8) නමුත් ඒ සඳහා විශ්වවිද්‍යාලයක උපාධියක් අවශ්‍යද?

වැඩිදුර අධ්‍යාපනයක් ලබාගැනීමට තීරණය කරනවා නම් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට එය මොන තරම් බලපෑමක් ඇති කරයිද කියා සිතා බැලීම වැදගත්. එය තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් බාරුක් ගැන සලකා බලමු.

ඔහු යෙරෙමියාගේ ලේකම් ලෙස සේවය කළා. නමුත් දෙවිට සේවය කිරීමට ඔහුට ලැබී තිබෙන වරප්‍රසාදය ගැන සිතනවාට වඩා බොහෝ දේවල් ලබාගැනීමට ඔහු තුළ ආශාවක් ඇති වුණා. බාරුක්ගේ ආශාව දුටු දෙවි, යෙරෙමියා මාර්ගයෙන් ඔහුට මෙසේ අනතුරු ඇඟෙව්වා. “ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය. බාරුක්, තවදුරටත් එසේ නොකරන්න.”—යෙරෙ. 45:5.

බාරුක් ආශා කළ “බොහෝ දේවල්” මොනවාද? යුදෙව් සමාජයේ කීර්ති නාමයක් ලබාගැනීමේ ආශාව ඔහු තුළ තිබුණා විය හැකියි. එසේත් නැත්නම් ධන සම්පත් ලබාගැනීමට ආශාවක් තිබෙන්න ඇති. ඔහු තුළ තිබූ ආශාව කුමක් වුණත් වඩා වැදගත් දේවලට මුල් තැන දීමට ඔහු අසමත් වුණා. (ෆිලි. 1:10) නමුත් යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි දුන් අනතුරු ඇඟවීමට බාරුක් කීකරු වූ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වුණා.—යෙරෙ. 43:6.

අපට ඉන් ඉගෙනගත හැක්කේ කුමක්ද? බාරුක් සිතුවේ තමන් ගැන පමණයි. ඔහු ඔහුටම බොහෝ දේවල් ලබාගැනීමට ආශා කළා. ඔබටත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් සපයාගැනීමට හැකියාව තිබෙනවා කියා සිතන්න. එසේනම් උසස් තත්වයක් ලබාගැනීමට ඔබට තිබෙන ආශාව නිසා හෝ දෙමාපියන් නැත්නම් නෑදයන් සතුටු කිරීමට අවශ්‍ය නිසා හෝ කාලය හා ධනය වැය කර වැඩිදුර අධ්‍යාපනයක් ලබාගැනීමට වෑයම් කළ යුතුද?

පරිගණක වැඩසටහන් නිපදවන බ්‍රයන්ගේ අද්දැකීම සලකා බලන්න. මිත්‍රයන් උනන්දු කළ නිසා කරමින් සිටි රැකියාවෙන් ඉහළට යෑම සඳහා ඔහු උසස් පාඨමාලාවක් හදාරන්න පටන්ගත්තා. වැඩිකල් යන්න කලින් නමස්කාර කටයුතුවල හවුල් වීමට ඔහුට කාලය තිබුණේ නැහැ. ඔහු මෙසේ මතක් කරනවා. “දෙවි එක්ක තියෙන මගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්න උපකාර වන ඉලක්ක අත් කරගන්න බැරි වුණ නිසා මගේ හෘදය සාක්ෂිය නිතරම මට වධ දුන්නා.”

රැකියාවට මුල් තැන

ක්‍රිස්තියානීන් වෙහෙස මහන්සි වී වගකීමෙන් වැඩ කළ යුතු බව දේවවචනයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.” (කොලො. 3:22, 23) වෙහෙස මහන්සි වී වැඩ කිරීම අත්‍යවශ්‍ය වුණත් දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට එය කිසිසේත් බාධාවක් නොවිය යුතුයි. (දේශ. 12:13) ක්‍රිස්තියානියෙක් රැකියාවට මුල් තැන දෙන විට සිදු වන්නේ දෙවිට කරන නමස්කාරය දෙවෙනි තැනට පත් වීමයි.

රැකියාවට මුල් තැන දෙන ක්‍රිස්තියානියෙකුට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට හැකි වන්නේ නැහැ. පවුලේ අයට ඒ සඳහා උපකාර කිරීමටත් ඔහුට හැකියාවක් නැහැ. ‘වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරන’ කෙනෙක් “සුළඟ පසුපස හඹා යනවා” කියා සලමොන් රජු පැවසුවා. ක්‍රිස්තියානියෙක් ඕනෑවට වඩා වැඩි කාලයක් රැකියාවට වැය කරනවා නම් ඔහුට මානසික පීඩනය ඇති විය හැකියි. එවැනි කෙනෙක් රැකියාවට වහලෙක් වන අතර ඒ නිසා ඔහු රෝගියෙක් විය හැකියි. එසේ වුණොත් ‘වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ සතුටක් ලබන්න’ ඔහුට පුළුවන්ද? (දේශ. 3:12, 13; 4:6) ඊටත් වඩා වැදගත් දේවල් වන පවුලේ වගකීම් ඉටු කිරීමට සහ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීමට ශාරීරික හා මානසික ශක්තියක් ඔහුට ඉතුරු වෙයිද?

නැඟෙනහිර යුරෝපයේ ජීවත් වන යනූෂ්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු උද්‍යාන අලංකරණය හා සම්බන්ධ ව්‍යාපාරයට ඔහුගේ මුළු කාලයම වැය කළා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මම මගේ මුළු කාලය, අවධානය දුන්නේ මම භාරගත්ත වැඩවලටයි. ඒ නිසා මට වැඩ භාර දුන්න අය මගේ වැඩ ගැන ගොඩක් සතුටු වුණා. ඒත් දෙවි එක්ක තිබුණු මගේ මිත්‍රත්වය දුර්වල වෙන්න පටන්ගත්තා. දේශනා සේවයත් අඩු වුණා. වැඩි කාලයක් යන්න කලින් මම රැස්වීම් යන එකත් නතර කළා. මට වැඩිමහල්ලන් උපදෙස් දුන්නත් ඒවා පිළිගන්න තරම් මම යටහත්පහත් වුණේ නැහැ. මම සභාවෙන් ඈත් වුණා.”

ඔබේ ජීවිතය සාර්ථක කරගත හැකියි

දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අවධානමට ලක් වන තරමටම ක්‍රිස්තියානියෙක් තම ජීවිතයේ මුල් තැන දිය හැකි කාරණා තුනක් ගැන අප සලකා බැලුවා. ඔබ ඉන් එකකට හෝ මුල් තැන දී තිබෙනවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්න, ශුද්ධ ලියවිලි පද සහ සමහර අයගේ අදහස් සලකා බැලීමෙන් ඔබ ඇත්තටම සිටින්නේ සාර්ථකත්වය ලබාගත හැකි මාර්ගයේද කියා සොයා බලන්න පුළුවන්.

බාහිර ක්‍රියාකාරකම් හා විනෝදාංශ. ඔබ ඒවායේ කොතරම් ඇලීගැලී සිටිනවාද? ඔබ මින් පෙර නමස්කාරයේ කටයුතුවලට යෙදවූ කාලය දැන් එම ක්‍රියාකාරකම් සඳහා යොදවනවාද? සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබ දැන් එතරම් සතුටක් ලබන්නේ නැද්ද? එසේනම් දාවිත් මෙන් ඔබටත් යෙහෝවා දෙවිට මෙසේ කන්නලව් කළ හැකියි. “දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.”—ගීතා. 143:8.

කලින් සඳහන් කළ වික්ටර්ට චාරිකා සේවකයෙකුගේ උපකාර ලැබුණා. ඔහු වික්ටර්ට මෙසේ පැවසුවා. “ඔයා වොලිබෝල්වලට නම් ගොඩක් උනන්දුයි නේද?” ඒ ගැන වික්ටර් පැවසුවේ මෙසේයි. “එතකොටයි මගේ ඇස් ඇරුණේ. මම ක්‍රීඩාවට මුල් තැන දීලා තියෙනවා කියලා මට තේරුණා. ඒ නිසා මම ඉක්මනින්ම යාළුවන්ගේ ආශ්‍රය නතර කරලා සභාවේ යාළුවන් ඇති කරගත්තා.” මේ වන විට වික්ටර් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරනවා. ඔහු මෙවැනි යෝජනාවක් කරනවා. “‘ඔයාගේ පාසැලේ ක්‍රියාකාරකම් ඔයාව යෙහෝවා දෙවිට ළං කරලද නැත්නම් ඈත් කරලද’ කියලා ඔයාගේ යාළුවන්ගෙන්, දෙමාපියන්ගෙන් සහ සභාවේ වැඩිමහල්ලන්ගෙන් අහලා බලන්න.”

සභාවේ අමතර වගකීම් දැරීමට ආශාවක් දක්වන බව ඔබ වැඩිමහල්ලන්ට පවසා තිබෙනවාද? සභාවේ සිටින වැඩිහිටි අයව ආශ්‍රය කරන්න ඔබට පුළුවන්ද? ගෙදරදොරේ වැඩවලට වගේම ඔවුන්ට අවශ්‍ය වෙනත් උපකාර කරන්න ඔබට පුළුවන්ද? ඔබ කුමන වයසක සිටියත් ඔබට පූර්ණකාලීන සේවය කරන්න පුළුවන්. ඉන් ඔබ ලබන සතුට ගැන අන් අයටත් පවසන්න ඔබට පුළුවන්.

වැඩිදුර අධ්‍යාපනය. ‘තමාටම ගෞරවය ලබාගන්න උත්සාහ කරන්න’ එපා කියා යේසුස් අනතුරු ඇඟෙව්වා. (යොහ. 7:18) කොතරම් දුරකට අධ්‍යාපනයක් ලබනවාද කියා තීරණය කිරීම ඔබ සතුයි. නමුත් මුලින්ම ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා අවබෝධ කරගන්න.’—ෆිලි. 1:9, 10.

කලින් සඳහන් කළ පරිගණක වැඩසටහන් නිපදවන බ්‍රයන් ඔහුගේ ජීවිතයේ යම් වෙනස්කම් කළා. ඔහු මෙසේ පැවසුවා. “මම වැඩිමහල්ලන් දුන් උපදෙස් හිතට අරගෙන ජීවිතය සරල කරගන්න පියවර ගත්තා. තවදුරටත් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය නැහැ කියලා මම තේරුම්ගත්තා. ඒකෙන් වෙන්නේ මගේ කාලය හා ශක්තිය වැය වෙන එක විතරයි.” ඉන්පසු ඔහු සභාවේ වැඩකටයුතුවල වැඩියෙන් හවුල් වුණා. පසුව ඔහුට තනිකඩ සහෝදරයන් සඳහා තිබෙන පාසැලට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබුණා. ඇත්තෙන්ම ඔහු, දෙවි ගැන ඉගෙනගන්න ඔහුට ‘ලැබුණු සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගත්’ බව පැවසිය හැකියි.—එෆී. 5:16.

රැකියාව. නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලීමට නොහැකි වන තරමටම ඔබ ඔබේ රැකියාවේ ඇලීගැලී සිටිනවාද? ඔබේ පවුලේ අය සමඟ සුහද කතාබහක යෙදෙන්න ඔබට කාලය තිබෙනවාද? රැස්වීමේදී ඔබට ලැබෙන පැවරුම් වඩාත් හොඳින් ඉදිරිපත් කරන්න ඔබ වෑයම් කරනවාද? අන් අයව ගොඩනංවන ආකාරයෙන් කතා කිරීමට ඔබට හැකි වී තිබෙනවාද? ඔබ ‘දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදිනවා’ නම් දෙවිගේ ආශීර්වාද මෙන්ම ‘වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳීමට’ ඔබට හැකි වෙයි.—දේශ. 2:24; 12:13.

කලින් සඳහන් කළ යනූෂ්ගේ උද්‍යාන අලංකරණය හා සම්බන්ධ ව්‍යාපාරය අසාර්ථක වුණා. ඔහුට ආදායමක් නොතිබූ නිසා ඔහු බොහෝ සේ ණය වුණා. ඔහු නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරුණා. ඉන්පසු යනූෂ් යෙහෝවා දෙවිට මුල් තැන දෙමින් ක්‍රියා කළ නිසා ස්ථාවර පුරෝගාමියෙක් ලෙසත් වැඩිමහල්ලෙක් ලෙසත් සේවය කිරීමේ වරප්‍රසාදය ඔහුට හිමි වුණා. ඔහු මෙසේ පවසනවා. “මට තියෙන දේවලින් සෑහීමට පත් වෙලා දෙවිට මම මුල් තැන දෙනකොට මගේ හදවතටත් මනසටත් ලොකු සහනයක් දැනෙනවා.”—ෆිලි. 4:6, 7.

ඔබේ ආකල්ප මොනවාද කියාත් ඔබේ ජීවිතයේ ඔබ මුල් තැන දෙන්නේ කුමකටද කියාත් අවංකව සොයා බලන්න. සැබෑ සාර්ථකත්වය අද්දැකිය හැක්කේ දෙවිට සේවය කිරීමෙන් පමණයි. ඒ නිසා දෙවිට සේවය කිරීමට ඔබේ ජීවිතයේ මුල් තැන දෙන්න.

“දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත” කිරීමට නම් ජීවිතයේ යම් වෙනස්කම් කිරීමට හෝ වැදගත් නොවන දේවල් ඉවත් කිරීමට හෝ සිදු විය හැකියි. (රෝම 12:2) නමුත් යෙහෝවා දෙවිට පූර්ණ හදවතකින් සේවය කිරීමෙන් “ජීවිතය සාර්ථක කරගැනීමට” ඔබට හැකියි.

[පාදසටහන]

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[31වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජීවිතය සාර්ථක කරගත හැකි ආකාර

ඔබේ අවධානය වෙනතකට යොමු කරන බොහෝ දේවල් තිබෙන නිසා ඇත්තටම වඩා වැදගත් වන්නේ මොනවාද කියා ස්ථිර කරගන්නේ කොහොමද? ඔබේ ආකල්ප හා ඔබ මුල් තැන දෙන දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට පහත සඳහන් ප්‍රශ්න ගැන සලකා බලන්න.

අමතර ක්‍රියාකාරකම් හා විනෝදාංශ

▪ ඔබ එම ක්‍රියාකාරකම්වල යෙදෙන විට ඔබේ ආකල්පවලට ඇති වන බලපෑම කුමක්ද?

▪ ඒවාට කොපමණ කාලයක් වැය වෙනවාද?

▪ ඒවා ඔබේ ජීවිතයේ මුල් තැන ගනීද?

▪ ඔබ එම දේවලට වැය කරන්නේ දෙවිට සේවය කිරීමට තිබෙන කාලයද?

▪ ඔබ ආශ්‍රය කරන්නේ කොයි වගේ අයද?

▪ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට වඩා ඒ අය හොඳයි කියා ඔබට හැඟෙනවාද?

උසස් අධ්‍යාපනය

▪ ඔබට ආදයම් මාර්ගයක් තිබෙනවා නම් තවදුරටත් ඉගෙනගැනීමට ඔබේ කාලය හා මුදල් යෙදවීම අවශ්‍යද?

▪ ජීවිතයේ අවශ්‍යතා පිරිමසාගන්න උපාධියක් අත්‍යවශ්‍යද?

▪ රැස්වීම්වලට සහභාගි වීම සඳහා මොන වගේ බලපෑමක් සිදු වෙයිද?

▪ ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගෙන’ සිටිනවාද?

▪ ඔබට අවශ්‍ය දේවල් ලබා දෙන්න දෙවිට හැකියාව තිබෙන බව ඔබට විශ්වාසද?

රැකියාව

▪ ‘වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින්’ සිටීමට හැකි වී තිබෙනවාද?

▪ රැකියාවෙන් පසු ඔබට පවුලේ වගකීම් ඉටු කරන්න හා ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදෙන්න අවශ්‍ය මානසික හා ශාරීරික ශක්තිය තිබෙනවාද?

▪ පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරන්න ඔබ සැලකිය යුතු කාලයක් ගන්නවාද?

▪ දෙවිට කරන සේවය වැදගත් නොවන තරමට ඔබ රැකියාට මුල් තැන දෙනවාද?

▪ ඔබේ පැවරුම්වලට ඉන් බාධා ඇති වී තිබෙනවාද?

[30වන පිටුවේ පින්තූරය]

බාරුක්ට තිබුණු ආශාව ගැන යෙහෝවා දෙවි අනතුරු ඇඟෙව්වා