Skip to content

පටුනට යන්න

ජීවිතය කිසි තේරුමක් නැති හිස් දෙයක්ද?

ජීවිතය කිසි තේරුමක් නැති හිස් දෙයක්ද?

ජීවිතය කිසි තේරුමක් නැති හිස් දෙයක්ද?

“ජීවිතයේ මෙතරම් ප්‍රශ්න ගැටලු ඇති වන්නේ ඇයි?” බොහෝදෙනෙක් එම ප්‍රශ්නය අසනවා. ඔවුන් සිතන්නේ ජීවිතය කිසිම තේරුමක් නැති හිස් දෙයක් කියායි.

බොහෝදෙනෙකුට එසේ හැඟෙන්නේ ඇයි? එයට එක් හේතුවක් වන්නේ මිනිසුන් විවිධ දුක්මුසු අද්දැකීම්වලට මුහුණ දීමයි. දුප්පත්කම, ලෙඩ රෝග, අපරාධ හා වෙනත් ප්‍රශ්න ගැටලුවලින් මිනිසුන් මිරිකී සිටිනවා. මිනිසුන්ගේ ජීවිත “දුක් කම්කටොලුවලින් පිරී” තිබෙනවා කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (යෝබ් 14:1) එවැනි හේතූන් නිසා මිනිසුන් මූලික අවධානය දෙන්නේ එදා දවස කරදරයක් නැතුව ගත කිරීමටයි.

කෙසේවෙතත් සුඛෝපභෝගී ජීවිත ගත කරන මිලියන ගණනක්ද සිටිනවා. ඔවුන්ට කිසිම දෙයකින් අඩුවක් නැහැ කියා පෙනෙන්න පුළුවන්. ඒ වුණත් ඔවුන්ටද බලාපොරොත්තු නොවූ ලෙස ආර්ථික ප්‍රශ්න හෝ තම දරුවෙකුගේ මරණය වැනි දේවලට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ සිහින හා බලාපොරොත්තු බොඳ වී යනවා. ඒ නිසා ජීවිතය “දුක් ගැහැටවලින් පිරී” තිබෙනවා කියා ඔවුන්ටද හැඟෙනවා.—ගීතාවලිය 90:10.

ජීවිතය කිසි තේරුමක් නැති හිස් දෙයක් ලෙස මිනිසුන් සිතීමට තවත් හේතුවක් තිබෙනවා. එය නම් ජීවිතය කෙටි වීමයි. විවිධාකාර හැකියාවන් හා දක්ෂතා තිබෙන මිනිසා ඉතාමත් කෙටි කාලයකින් මිය යන්නේ ඇයි කියා ඔවුන් සිතනවා. අනික් අතට සමහර අය ජීවිත කාලය පුරාම බරපතළ විපත්වලට මුහුණ නොදුන්නත් මරණය නිසා ඔවුන්ගේ ජීවිත අවසන් වෙනවා. එයට හේතුව කුමක්ද කියා බොහෝ අය කල්පනා කරනවා.—දේශනාකාරයා 3:19, 20.

හැමදාම මෙහෙම වෙයිද?

පුරාණයේ සිටි රජ කෙනෙක් වූ සලමොන් මිනිසුන්ගේ එදිනෙදා වැඩකටයුතු ගැන හොඳින් නිරීක්ෂණය කළා. මිනිසුන් වගා කරන ආකාරය, විවිධ දේවල් ගොඩනඟන ආකාරය හා තම පවුල් රැකබලා ගන්නා ආකාරය ඔහු දුටුවා. ඉන්පසු ඔහු මෙසේ පැවසුවා. “සෑම දෙයකින්ම අත් වන්නේ දුක් කරදර පමණි. ඒ සියල්ල නිෂ්ඵලය. සුළඟ පසුපස හඹා යන්නාක් මෙනි.”—දේශනාකාරයා 2:17.

මිනිසා කරන සෑම දෙයක්ම ‘නිෂ්ඵල බවත් එය සුළඟ පසුපස හඹා යෑමක්’ බවත් සලමොන් අදහස් කළාද? නැහැ. ඔහු පැවසුවේ මිනිසුන් සාමාන්‍යයෙන් අද්දකින දේ ගැනයි. නමුත් සතුටට කරුණක් වන්නේ මෙම තත්වය සෑමදාම මේ ආකාරයට පවතින්නේ නැති බව බයිබලයේ සඳහන්ව තිබීමයි.

ඒ ගැන වැඩි විස්තර අපි ඊළඟ ලිපි දෙකෙන් සලකා බලමු. ජීවිතයේ මෙතරම් ප්‍රශ්න ගැටලු ඇති වන්නේ ඇයි, ඒවාට විසඳුම් ලැබෙන්නේ කෙසේද සහ ප්‍රශ්න ගැටලු හමුවේ පවා සාර්ථක ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නවලට එවිට ඔබට පිළිතුරු දැනගැනීමට හැකි වෙයි.