Skip to content

පටුනට යන්න

දැනුත් සදහටත් සන්තෝෂවත් ජීවිතයක්

දැනුත් සදහටත් සන්තෝෂවත් ජීවිතයක්

දැනුත් සදහටත් සන්තෝෂවත් ජීවිතයක්

බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දැනුත් ඔබට සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා. දැන් අපි එහි සඳහන් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලමු.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය: ‘මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් නැත.’දේශනාකාරයා 2:24.

දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ වැඩ කිරීමෙන් සතුටක් ලැබිය හැකි ආකාරයෙනුයි. ඒ නිසා බොහෝ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණත් වෙහෙසී අවංකව වැඩ කිරීමෙන් අපට යම් තෘප්තියක් අද්දකින්න පුළුවන්.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”ක්‍රියා 20:35.

අන් අය වෙනුවෙන් දේවල් කිරීමෙන් සතුටක් ලැබිය හැකියි. “අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න” කියා බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 3:27.

රැල්ෆ්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු රැකියාවෙන් විශ්‍රාම ගිය පසු තම බිරිඳ සමඟ එකතු වී පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. එලෙස ඔවුන් බයිබලයේ සඳහන් දේවල් මිනිසුන්ට කියා දීම සඳහා සෑම මාසයකදීම පැය ගණනාවක් වැය කළා. ඒ ගැන රැල්ෆ් මෙසේ පවසනවා. “අනික් අය වෙනුවෙන් අපේ කාලය ශ්‍රමය වැය කරන කොට යම් වෙහෙසක් දැනුණත් ඒකෙන් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. විශේෂයෙන්ම යෙහෝවා දෙවිට සේවය කරන්න අපේ කාලය යෙදවීමෙන් ඊටත් වඩා ලොකු සතුටක් ලැබෙනවා.” රැල්ෆ් සහ ඔහුගේ බිරිඳ සතුටින් සිටින්නේ අන් අය වෙනුවෙන් ඔවුන්ගේ කාලය යෙදවීම නිසයි.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”හිතෝපදේශ 17:17.

අපට හොඳ මිතුරන් සිටිනවා නම් අපට මුහුණ දීමට සිදු වෙන පීඩාකාරී තත්වයන් දරාගැනීමට පහසු වෙනවා. නමුත් අපට සැබෑ මිතුරන් නැත්නම් අප සිටින්නේ “කාන්තාරයක අතරමං වූ තත්වයකයි” කියා ලේඛකයෙක් වන ෆ්‍රැන්සිස් බේකන් පවසා තිබෙනවා. ඇත්තෙන්ම අන් අයට සැබෑ මිතුරෙක් වීමත් සැබෑ මිතුරන්ව ඇති කරගැනීමත් අපගේ සන්තෝෂයට දායක වෙනවා.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය: “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”මතෙව් 5:3.

දෙවි දී තිබෙන පොරොන්දු ඉටු වෙනවා දැකීමට කැමති අය ‘දෙවිගේ මඟ පෙන්වීම්වලට’ එකඟව ජීවත් විය යුතුයි කියා යේසුස් පැවසුවා. ඇත්තෙන්ම සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට නම් අපට යම් මඟ පෙන්වීම් අවශ්‍යයි. අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපට අවශ්‍ය සෑම මඟ පෙන්වීමක්ම බයිබලය තුළින් සපයා දී තිබෙනවා. එමෙන්ම පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද, දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි, පොළොවේ මෙතරම් දුෂ්ටකම් සිදු වෙන්නේ ඇයි සහ දෙවි අපගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද යන ප්‍රශ්නවලට පිළිතුරුත් එහි සඳහන් වෙනවා. ඒවාට පිළිතුරු දැනගැනීම තුළින් අපට දැන් පවා සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකියි. ඊට හේතුව අප බයිබලයෙන් ඒ දේවල් ඉගෙනගන්නා විට “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වීමයි.—1 තිමෝති 1:11.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය: ‘යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්න. එසේ නොකළොත් ජීවිතයේ දුෂ්කර දවස් පැමිණි පසු, “මට ජීවිතයෙන් කිසි සතුටක් ලැබෙන්නේ නැහැ” කියා ඔබ පවසනු ඇත.’දේශනාකාරයා 12:1.

මහලු වයසේදී අපට කළ හැකි දේවල් සීමා වෙනවා. යෞවන වයසේදීම අපගේ සැදුම්කරු වන යෙහෝවා දෙවි වෙනුවෙන් අපට කළ හැකි උපරිමය කරන්න කියා බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ ඒ නිසයි. නමුත් අද බොහෝදෙනා කටයුතු කරන්නේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” යන ආකල්පයෙනුයි. (1 කොරින්ති 15:32) කොහොමවුණත් අපට සැබෑ සතුට අද්දැකීමට හැකි වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමට අපගේ ජීවිතයේ මුල් තැන දුන්නොත් පමණයි.—දේශනාකාරයා 8:12.

වෙන්ඩිගේ අද්දැකීම සලකා බලන්න. ඇය යෞවන වයසේ සිටියදී ඇගේ සහෝදරිය සමඟ ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තා. ඔවුන් එසේ කළේ ඩොමිනිකන් ජනරජයට ගොස් එහි වැසියන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහායි. ඒ ගැන වෙන්ඩි මෙසේ පැවසුවා. “අවශ්‍යතාව තිබුණු ඒ ප්‍රදේශයට ගිහින් සේවය කරන්න අපි ගොඩක් කැප කිරීම් කළා. හැබැයි ඊටත් වඩා වැඩියෙන් අපි ආශීර්වාද අද්දැක්කා. ඇත්තම කියනවා නම් එහේ සේවය කළ කාලයේදී ලැබුණු සතුට මම වෙන කිසිම දෙයකින් අද්දැකලා නැහැ!”

දෙවිට විශ්වාසවන්තව සිටීම සතුටට දායක වෙනවා

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමෙන් සැබෑ සතුට අද්දැකීමට අපට හැකි වෙනවා. ඒ කොහොමද කියා දැන් අපි බලමු. සාතන් මුල් මිනිස් යුවළව දෙවිට විරුද්ධව කැරලිගැසීමට පෙලඹුවා පමණක් නොව පීඩා හමුවේ කිසිම කෙනෙක් දෙවිට විශ්වාසවන්තව කටයුතු කරන්නේ නැහැ කියාද ඇඟෙව්වා. (යෝබ් 1:9-11; 2:4) නමුත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන්, ඔහුගේ ප්‍රතිපත්ති රැකීමෙන් හා හරි වැරැද්ද තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට බව පිළිගැනීමෙන් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කිරීමට අප සියලුදෙනාටම අවස්ථාව තිබෙනවා.—එළිදරව් 4:11.

අප හරි දේ කරන්න උත්සාහ කරන විට සමහර අවස්ථාවලදී යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් එසේ වුණා කියා අප හරි දේ නොකර සිටිනවාද? නැහැ. උදාහරණයකට නපුරු පුද්ගලයෙක් ඔබේ පවුලේ කෙනෙකු හෝ කිට්ටු මිතුරෙක් ගැන අමූලික බොරු තොරතුරු පැතිරුවා කියා සිතන්න. එම තොරතුරු සත්‍ය නොවන බව ඔප්පු කිරීමට ඔබට කළ හැකි උපරිමය කිරීමට ඔබ පෙලඹෙනවා. එසේ කිරීමේදී එම නපුරු පුද්ගලයාගේ තර්ජනවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. නමුත් ඒ නිසා ඔබ ඔබේ වෑයම අත්හරිනවාද? නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටීමත් ඒ හා සමානයි. ප්‍රශ්න ගැටලු මැද පවා අප දෙවිගේ කැමැත්ත කරන විට දෙවි ඒ ගැන සතුටු වෙනවා.—හිතෝපදේශ 27:11.

සැමදා සතුටින්

සැමදා සතුටින් සිටීමට ඔබ කැමතියි නම් දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගැනීමට වෑයම් කළ යුතුයි. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 17:3) අනාගතයේදී දෙවි මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කළ පසුව දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට එහි සදාකාලයටම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ කාලයේදී සියලුදෙනාටම සැබෑ සන්තෝෂය අද්දැකීමට හැකි වෙනවා.—ගීතාවලිය 145:16.

දෙවි ගැනත් යේසුස් ගැනත් නිවැරදි දැනුම ලබාගත හැක්කේ කෙසේද? බයිබලය අධ්‍යයනය කිරීමෙන් එම දැනුම ලබාගත හැකියි. ඒ සඳහා ඔබට උපකාර අවශ්‍ය නම් මෙම සඟරාවේ සඳහන් ලිපිනයට ඒ ගැන දැනුම් දෙන්න. එවිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගැනීමට ඔබට උපකාර කරයි.