Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

මිනිසුන්ගේ ක්‍රියා දෙවිව සතුටට හෝ දුකට පත් කරනවාද?

මිනිසුන්ගේ ක්‍රියා දෙවිව සතුටට හෝ දුකට පත් කරනවාද?

පුරාණයේ සිටි ඇතැම් දාර්ශනිකයන් පැවසුවේ අප ක්‍රියා කරන ආකාරයෙන් දෙවිව සතුටට හෝ දුකට පත් කරන්න බැහැ කියායි. ඊට හේතුව දෙවිට හැඟීම් දැනීම් නොතිබීමයි කියා ඔවුන් පවසනවා. නමුත් අප කරන කියන දේවල් දෙවිට දැනෙන බව බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට, ගීතාවලිය 78:40, 41හි සඳහන් දේ සලකා බලන්න.

යෙහෝවා දෙවි පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් සමඟ ක්‍රියා කළ ආකාරය ගීතාවලිය 78හි සඳහන් වෙනවා. ඊජිප්තුවේ වහල්භාවයෙන් ඔවුන්ව ගලවාගත් යෙහෝවා දෙවි තමන් සමඟ විශේෂ බැඳීමක් ඇති කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. ඔවුන් දිගටම කීකරුව සිටියොත් තම අරමුණ ඉටු කරගැනීම සඳහා ඔවුන්ව ‘විශේෂ සෙනඟක්’ ලෙස තෝරාගන්නා බවට දෙවි පොරොන්දු වුණා. ඒ වගේම දෙවිට කීකරුව සිටීමට ඊශ්‍රායෙල් සෙනඟද එකඟ වුණා. නමුත් ඔවුන් දිගටම දෙවිට කීකරුව සිටියාද?—නික්මයාම 19:3-8.

අපට දෙවිව සතුටු කළ හැකි හොඳම ආකාරය නම් ඔහුට කීකරු වීමයි

දෙවි ඔවුන්ව වහල්භාවයෙන් මුදවාගෙන වැඩි කල් යන්න කලින් ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසීමට පටන්ගත්තා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. ‘ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් දෙවිට විරුද්ධව කැරලිගැසුවාද! ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළා.’ (ගීතාවලිය 78:40, 41) තමන්ව පාලනය කිරීමට දෙවිට හැකියාවක් තිබෙනවාද කියා ඔවුන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. (ගණන් කතාව 14:1-4) ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසුවා යන්නෙන් අදහස් කරන්නේ “ඔවුන් දෙවිට විරුද්ධව තම සිත් දැඩි කරගත්” බව කියා එක් පොතක සඳහන් වුණා. කොහොමවුණත් ඔවුන් තමන් කළ වරද ගැන පසුතැවිලි වූ විට යෙහෝවා දෙවි ඔවුන්ට සමාව දුන්නා. නමුත් ඔවුන් නැවත නැවතත් දෙවිට විරුද්ධව කැරලිගසමින් දෙවිට අකීකරු වුණා.—ගීතාවලිය 78:10-19, 38.

ඊශ්‍රායෙල් සෙනඟ එලෙස මුරණ්ඩු වීම ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කෙසේද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ‘ඔවුන් දෙවිගේ සිත රිදෙව්වා’ කියායි. (ගීතාවලිය 78:40) එක් පොතක එය මෙසේ විස්තර කර තිබුණා. “දරුවෙක් දෙමාපියන්ට අකීකරු වී මුරණ්ඩු වන විට දෙමාපියන්ට ඒ ගැන ලොකු වේදනාවක් දැනෙනවා. ඊශ්‍රායෙල් සෙනඟද ක්‍රියා කළේ ඒ හා සමානවයි.” බයිබලයේ සඳහන් වෙන්නේද ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වීමෙන් “ශුද්ධ තැනැත්තාණන්ගේ [එනම් දෙවිගේ] සිතට වේදනා ඇති කළෝය” කියායි.—ගීතාවලිය 78:41.

එම සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවි තම සේවකයන්ට බෙහෙවින් ප්‍රේම කරන අතර ඔවුන්ගේ වැරදිවලට සමාව දීමටත් කැමැත්තෙන් සිටිනවා. එමෙන්ම අප කරන කියන දේවල් ඔහුට බලපානවා. ඔබ කැමති වෙන්නේ දෙවිව සතුටට පත් කරන්නද නැත්නම් ඔහුව දුකට පත් කරන්නද?

දෙවි කැමති වෙන්නේ අප ඔහුට කීකරු වෙනවා දැකීමටයි. ‘මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න’ කියා දෙවිම පවසා තිබෙන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 27:11) අපට දෙවිව සතුටු කළ හැකි හොඳම ආකාරය නම් ඔහුට කීකරු වීමයි.

ජූලි මාසයට නියමිත බයිබල් කියවීම: