Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

එය ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවක්. පොළොවේ තිබෙන මනුෂ්‍ය ආණ්ඩු ඉවත් කර දෙවිගේ කැමැත්ත මේ පොළොවේ සිදු කරන්නේ එම ආණ්ඩුව මගිනුයි. අපගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් හොඳම ආණ්ඩුව එයයි.දානියෙල් 2:44; මතෙව් 6:9, 10 කියවන්න.

යෙහෝවා දෙවි එම ආණ්ඩුවේ පාලකයා ලෙස යේසුස්ව පත් කර තිබෙනවා.ලූක් 1:30-33 කියවන්න.

2. යේසුස් සුදුසුම පාලකයා වන්නේ ඇයි?

ඔහු කාරුණික, සාධාරණ මෙන්ම මිනිසුන්ට උපකාර කිරීමට බලය තිබෙන කෙනෙක්. (මතෙව් 11:28-30) යේසුස් මිය ගිය පසු දෙවි ඔහුව නැවත නැඟිටුවා ස්වර්ගයට ගනු ලැබුවා. තමාට රජකම භාර දෙන තුරු යේසුස්, දෙවිගේ දකුණු පැත්තේ සිටියා. (හෙබ්‍රෙව් 10:12, 13) ඉන්පසු නියමිත කාලයේදී දෙවි ඔහුව දේවරාජ්‍යයේ රජ ලෙස පත් කළා.දානියෙල් 7:13, 14 කියවන්න.

3. යේසුස් සමඟ පාලනයට හවුල් වෙන්නේ කවුද?

“ශුද්ධ තැනැත්තන්” ලෙස හඳුන්වන පිරිසක් යේසුස් සමඟ හවුල් පාලකයන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. (දානියෙල් 7:27) මුලින්ම ඒ සඳහා තෝරාගනු ලැබුවේ යේසුස්ගේ මුල් අනුගාමිකයන්වයි. එදා සිට අද වෙන තුරු යේසුස් සමඟ දේවරාජ්‍යයේ පාලනය කිරීමට දෙවි තමාට විශ්වාසවන්ත ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව තෝරමින් සිටිනවා. ඒ අයවද මිය ගිය පසු ස්වර්ගික ජීවිතයට නැවත නැඟිටුවනු ලබනවා.යොහන් 14:1-3; 1 කොරින්ති 15:42-45 කියවන්න.

කී දෙනෙක්ව ස්වර්ගයට තෝරාගනු ලබනවාද? එම සංඛ්‍යාව 1,44,000ක් බව බයිබලයේ සඳහන් වෙනවා. යේසුස් ඔවුන්ව හැඳින්වූයේ “කුඩා රැළ” ලෙසයි. (ලූක් 12:32) ඔවුන් යේසුස් සමඟ එක් වී පොළොව පාලනය කිරීමට නියමිතයි.එළිදරව් 5:9, 10; 14:1 කියවන්න.

4. දේවරාජ්‍යය පිහිටුවනු ලැබුවේ කවදාද?

යේසුස් රජ ලෙස පත් වුණේ 1914දීයි. * ඒ සමඟම යේසුස්, සාතන්වත් ඔහුගේ පැත්ත ගත් භූතයන්වත් ස්වර්ගයෙන් පොළොවට නෙරපා දැමුවා. (එළිදරව් 12:7-10, 12) එදා සිට පොළොවේ යුද්ධ, භූමිකම්පා, වසංගත, සාගත සහ නීති විරෝධී ක්‍රියා ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒවායින් පැහැදිලි වෙන්නේ අද අප ජීවත් වෙන්නේ පවතින මේ දුෂ්ට සමාජය අවසන් වීමට ආසන්න කාලයේ බවයි. (2 තිමෝති 3:1-5) දේවරාජ්‍යයෙන් ආශීර්වාද ලබාගැනීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාම එහි රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීම අත්‍යවශ්‍යයි.ලූක් 21:7, 10, 11, 31, 34, 35 කියවන්න.

5. දේවරාජ්‍යය මගින් සිදු කරන්නේ කුමක්ද?

දේවරාජ්‍යයේ රජු වන යේසුස් ලොව පුරා සිදු කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය අධීක්ෂණය කරනවා. එම කාර්යය නිසා මිලියන ගණනක් දෙනාට දෙවිගේ නීති ගැන ඉගෙනගැනීමට හැකි වී තිබෙනවා. (මතෙව් 24:14) යේසුස් දේවරාජ්‍යය මගින් මේ පොළොවේ තිබෙන සෑම නරක දෙයක්ම ඉවත් කරන විට ඔහුට කීකරුව සිටින ‘මහත් සමූහයක්ව’ ඔහු බේරාගන්නවා.එළිදරව් 7:9, 10, 13-17 කියවන්න.

දේවරාජ්‍යය මගින් මේ පොළොව අවුරුදු 1,000ක් පාලනය කිරීමට නියමිතයි. ඒ කාලය තුළ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා. ඉන්පසුව යේසුස් එම රාජ්‍යය යෙහෝවා දෙවිට භාර දෙනවා. (1 කොරින්ති 15:24-26) දේවරාජ්‍යය ගැන ඔබ ඉගෙනගත් මෙම තොරතුරු තවත් කෙනෙකුට කියා දෙන්න ඔබ කැමතිද?ගීතාවලිය 37:10, 11, 29 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වන සහ 9වන පරිච්ඡේද බලන්න.

[පාදසටහන]

^ 13 ඡේ. යේසුස් 1914දී රජ වූ බවට සඳහන් අනාවැකි ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කර ඇති බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 215-218 දක්වා පිටු බලන්න.