Skip to content

පටුනට යන්න

විශ්වය පාලනය කරන නීති සෑදුවේ කවුද?

විශ්වය පාලනය කරන නීති සෑදුවේ කවුද?

විශ්වය පාලනය කරන නීති සෑදුවේ කවුද?

විශ්වය ගැන හා එහි ක්‍රියාකාරිත්වය ගැන බොහෝ තොරතුරු අද මිනිසුන් ඉගෙනගෙන තිබෙනවා. නමුත් නොදන්නා බොහෝ තොරතුරු තවත් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් පිළිගන්නවා. ඔවුන් අලුත් දේවල් වැඩි වැඩියෙන් සොයාගනිද්දී විශ්වය ගැන ඔවුන්ට තිබූ අවබෝධය වෙනස් කරගැනීමට ඔවුන්ට සිදු වී තිබෙනවා.

විශ්වය ගැන හොඳින්ම දන්නා කෙනෙකු සිටින බව බයිබලයේ පවසනවා. ඒ මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවියි. අසීමිත ප්‍රඥාවක් සතු ඔහුට විශ්වය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. නමුත් මිනිසුන්ට ඒ ගැන තිබෙන්නේ ඉතා සීමිත දැනුමක් පමණයි. එක් අවස්ථාවකදී පුරාණයේ සිටි මනුෂ්‍යයෙක් වූ යෝබ්ගෙන් “විශ්වය පාලනය කරන නීති ඔබ දන්නවාද” කියා දෙවි ඇසුවේ ඒ නිසයි.—යෝබ් 38:33.

බයිබලය විද්‍යාව ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ලියූ පොතක් නොවෙයි. කොහොමනමුත් විශ්වය ගැන එහි සඳහන් වී තිබෙන තොරතුරු ඉතාමත් නිවැරදියි. ඉන් පැහැදිලි වෙන්නේ බයිබලයේ කතෘ වන යෙහෝවා දෙවිට විශ්වය පාලනය කරන නීති ගැන හොඳ අවබෝධයක් තිබෙන බවයි. මිනිසුන් ශ්‍රේෂ්ඨයි කියා සලකන පුද්ගලයන්ට වඩා දෙවි සතු ප්‍රඥාව මොන තරම්ද කියා දැන් අපි සලකා බලමු.

අතීතයේදී විශ්වය ගැන දැන සිටි දේ

බයිබලයේ පරණ ගිවිසුම ලෙස හඳුන්වන කොටස ලියා අවසන් කර ශතවර්ෂයකට පමණ පසුව එනම් ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ සිටි විද්‍යාඥයන් විශ්වය ගැන දැරූ මතය අපි දැන් සොයා බලමු. ඒ කාලයේදී ග්‍රීක දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල්, විශ්වය ගැන ඔහු අවබෝධ කරගෙන තිබූ දේ වෙනත් උගතුන්ට උගන්වමින් සිටියා. වර්තමානයේදීද ඇරිස්ටෝටල්ව සලකන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ලෙසයි. ( 25වන පිටුවේ තිබෙන කොටුව බලන්න.) එක් විශ්වකෝෂයක ඇරිස්ටෝටල් ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ඉතිහාසයේ සිටි මුල්ම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඇරිස්ටෝටල්. ඔහුට අනික් සියලුම විද්‍යාඥයන් ණයගැතියි.’—Encyclopædia Britannica.

ඇරිස්ටෝටල්, විශ්වයේ රූප සටහනක් නිර්මාණය කළා. ඔහුගේ රූප සටහනට අනුව පෘථිවිය තිබෙන්නේ විශ්වයේ හරි මැදයි. පෘථිවිය වටා එකක් තුළ එකක් පිහිටන සේ විනිවිද පෙනෙන ගෝල 50කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. පෘථිවියට ආසන්නයේම තිබෙන ගෝලවල ග්‍රහලෝක පිහිටා ඇති අතර ඈතින් තිබෙන ගෝලවල තරු පිහිටා තිබෙනවා. පෘථිවියට ඉහළින් තිබෙන සෑම දෙයක්ම සදාකාලික සහ වෙනස් නොවන ඒවා බව ඔහු පැවසුවා. එම අදහස් කිසි තේරුමක් නැති ඒවා බව අපට සිතෙන්න පුළුවන්. නමුත් වසර 2,000ක පමණ කාලයක් පුරා බොහෝ විද්‍යාඥයන්ට එම අදහස් මහත් බලපෑමක් ඇති කළා.

ඇරිස්ටෝටල් ඉගැන්වූ දේ හා බයිබලයේ සඳහන් දේ අතර වෙනසක් තිබෙනවාද? කාලයත් සමඟ සත්‍ය බව ඔප්පු වුණේ කුමක්ද? අපි දැන් විශ්වය පාලනය කරන නීති ගැන ඇති ප්‍රශ්න තුනක් සලකා බලමු. ඒවාට ලැබෙන පිළිතුරුවලින් “විශ්වය පාලනය කරන නීති” ඇති කළ තැනැත්තා මෙන්ම බයිබලයේ කර්තෘ වන දෙවි ගැන අපට තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගත හැකියි.—යෝබ් 38:33.

1. විශ්වය වෙනස් වෙනවාද?

ඇරිස්ටෝටල් පැවසුවේ විශ්වය වෙනස් නොවන බවයි. ඔහු පැවසූ ලෙස තරු පිහිටා තිබෙන ගෝලය කුඩා වෙන්නේවත් විශාල වෙන්නේවත් නැහැ.

බයිබලයේ එවැනි දෙයක් සඳහන් වෙනවාද? නැහැ. ඒ සම්බන්ධයෙන් එහි ඍජුව තොරතුරු පවසනවා වෙනුවට උපමාලංකාර භාෂාවෙන් ඒ ගැන විස්තර කර තිබෙනවා. යෙසායා විස්තර කර ඇති මේ දේ ඊට එක් උදාහරණයක් පමණයි. “පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි. පොළොවේ සියලු වැසියන් ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් මෙනි. ඔහු අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැර කූඩාරමක් මෙන් එය පිහිටුවන්නේය.”—යෙසායා 40:22. *

අද දින සත්‍යක් වී තිබෙන්නේ විශ්වය සම්බන්ධයෙන් ඇරිස්ටෝටල් නිර්මාණය කළ රූප සටහනද? නැත්නම් විශ්වය ගැන බයිබලයේ සඳහන් කර තිබෙන අදහසද? වර්තමානයේ විද්‍යාඥයන් විශ්වය ගැන දරන මතය කුමක් වුණත් 20වන ශතවර්ෂයේදී තාරකා විද්‍යාඥයන් පෘථිවිය ප්‍රසාරණය වන බව දැනගනිද්දී ඔවුන් ඒ ගැන පුදුම වුණා. ඇත්තෙන්ම මන්දාකිනි පවා වේගයෙන් ගමන් කරනවා. විශ්වය මෙතරම් ප්‍රසාරණය වී තිබීම ගැන විද්‍යාඥයන්ට හිතාගන්නවත් බැහැ. විශ්වය ආරම්භයේදී තිබූ ප්‍රමාණයට වඩා එය දිනෙන් දින විශාල වන බව විශ්වය පිළිබඳ ගවේෂණය කරන බොහෝදෙනා පිළිගෙන තිබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ ඇරිස්ටෝටල්ගේ අදහස විද්‍යාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

යෙසායා පැවසූ වචනවලින් අපට තේරුම්ගත හැක්කේ කුමක්ද? අනාවැකි පැවසූ පුද්ගලයෙක් වන යෙසායා තරු පිරි අලංකාර අහස දුටුවේ මුළු ප්‍රදේශයම ආවරණය කරන ඇතිරිල්ලක් ලෙසයි. * ක්ෂීර පථය දකින විට සිහින් නූලකින් වියා තිබෙන රෙද්දක් ඔහුට මතක් වෙන්න ඇති.

යෙසායා පවසන දෙයින් අපට මනසින් චිත්‍රයක් මවාගත හැකියි. බයිබලය ලියූ කාලයේ කූඩාරම් සෑදීමට භාවිත කළ රෙදි ඔතා තිබූ අතර අවශ්‍ය විට දිගහැර පොලු යොදා කූඩාරමක් සාදාගත හැකියි. යෙසායා පවසන්නේ කූඩාරම් රෙද්දක් දිගහැර තිබෙනවා හා සමානව අහසත් දිගහැර ඇති බවයි.

බයිබලයේ එවැනි උපමාලංකාරයක් භාවිත කර තිබෙන්නේ අපගේ විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කිරීමට කියා අප පවසන්නේ නැහැ. නමුත් වර්තමානයේ විද්‍යාවෙන් සොයාගෙන තිබෙන දේවලට බයිබලයේ පවසා තිබෙන දේවල් එකඟ වන බව ඉන් පැහැදිලි වෙන්නේ නැද්ද? යෙසායා ජීවත් වුණේ ඇරිස්ටෝටල්ට සියවස් තුනකට පෙර සහ විශ්වයේ ප්‍රසාරණය ගැන විද්‍යාඥයන් සාක්ෂි සොයාගැනීමට වසර දහස් ගණනකට පෙරයි. ඒ වුණත් විද්‍යාවෙන් සොයාගෙන තිබෙන සාක්ෂි නිසා යෙසායා ලියූ දේ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් විශ්වය ගැන ඇරිස්ටෝටල් පැවසූ දේ නිවැරදි කිරීමට සිදු වුණා.

2. ආකාශ වස්තූන් රැඳී තිබෙන්නේ කුමක් මතද?

ඇරිස්ටෝටල්ගේ මතයට අනුව මුළු විශ්වයම විවිධ දේවලින් පිරී තිබෙනවා. ඔහු පවසන ආකාරයට පෘථිවිය සහ ඊට ආසන්නයේම ඇති අවකාශය පොළොව, ජලය, වාතය හා ගින්දර යන මූලද්‍රව්‍ය හතරින් පිරී තිබෙනවා. ඒ වගේම ඊට ඉහළින් ඇති අවකාශය ඊදර් යන ද්‍රව්‍යයෙන් සැකසුනු විනිවිද පෙනෙන ගෝලවලින් පිරී තිබෙනවා. එම ගෝලවලට ආකාශ වස්තූන් සම්බන්ධ වී තිබෙනවා. ඕනෑම වස්තුවක් යම් දේකට සම්බන්ධ වී තිබුණේ නැත්නම් එය රඳවා තබාගත නොහැකියි යන පොදු මතය නිසා බොහෝ විද්‍යාඥයන් ඇරිස්ටෝටල් පැවසූ දේ පිළිගත්තා.

බයිබලයේ එම විෂය ගැන සඳහන් වී තිබෙන්නේ කුමක්ද? පුරාණයේ සිටි යෝබ් නමැති තැනැත්තා මෙවැනි දෙයක් පවසා තිබෙනවා. ‘දෙවි පොළොව හිස් අවකාශයේ එල්ලා තැබුවේය.’ (යෝබ් 26:7) එම අදහස අසත්‍යයක් බව ඇරිස්ටෝටල් සිතන්න ඇති.

යෝබ් ජීවත් වූ කාලයට වසර 3,000කට පමණ පසු එනම් ක්‍රිස්තු වර්ෂ 17වන ශතවර්ෂයේදී පොදුවේ පිළිගත් විද්‍යාත්මක මතය වූයේ විශ්වය විනිවිද පෙනෙන ගෝලවලින් නොව යම් ද්‍රාවණයකින් වැසී තිබෙන බවයි. එම ශතවර්ෂයේදීම ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් එම අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කළා. විශ්වයේ ඇති වස්තූන් නොවැටී තිබෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා බව ඔහු පැවසුවා. මිනිසුන්ට එය පෙනෙන්නේ ‘හිස් අවකාශයේ එල්ලා තිබෙනවා’ හා සමානවයි.

ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටන්ගේ අදහසට බොහෝදෙනා විරුද්ධ වුණා. තරු සහ විශ්වයේ ඇති අනිකුත් වස්තූන් ගන ද්‍රව්‍යයකට සම්බන්ධ වී නැති බව පිළිගැනීමට බොහෝදෙනෙක් කැමති වුණේ නැහැ. අපගේ අතිවිශාල පොළොව හෝ ආකාශ වස්තූන් හිස් අවකාශයේ එල්ලී තිබෙන්නේ කොහොමද? බොහෝදෙනා සිතුවේ එය සිදු විය නොහැකි දෙයක් බවයි. ඇරිස්ටෝටල්ගේ දවස්වල සිට බොහෝ විද්‍යාඥයන් විශ්වාස කළ දෙයක් වෙන්නේ අවකාශය යම් දෙයකින් පිරී ඇති බවයි.

පොළොව සූර්යයා වටා තිබෙන කක්ෂයට සම්බන්ධ වී ඇති බව යෝබ් නොදැන සිටි බව ඇත්තයි. එසේනම් පොළොව “හිස් අවකාශයේ” එල්ලී ඇති බව ඔහු ලිව්වේ කොහොමද?

පොළොව හිස් අවකාශයේ එල්ලී තිබෙනවා යන අදහස තවත් ප්‍රශ්නයකට මඟ පාදනවා. එනම් පොළොව සහ අනිකුත් ආකාශ වස්තූන් නියමිත ස්ථානවල තැබුවේ කවුද යන්නයි. දෙවි, යෝබ්ගෙන් ඇසූ මේ ප්‍රශ්න ගැන මදකට සිතන්න. “කයිමා තාරකා මණ්ඩලයේ කඹ සවිමත්ව බැඳ තබන්න ඔබට හැකිද? එසේත් නැත්නම්, කේසිල් තාරකා මණ්ඩලයේ කඹ ලිහා දමන්න ඔබට හැකිද?” (යෝබ් 38:31) යෝබ් ජීවත් වූ කාලය පුරාම ඔහු එම තාරකා මණ්ඩල දකින්න ඇති. * නමුත් ඒ කාලය පුරාම එම තාරකා මණ්ඩල වෙනස් නොවුණේ ඇයි? ඒවා නියමිත ස්ථානයේ තිබෙන්නේ කුමකට සම්බන්ධ වී තිබෙන නිසාද? ඒ ගැන කල්පනා කිරීමෙන් යෝබ් පුදුමයට පත් වෙන්න ඇති.

එම තාරකා, ගෝලයකට සම්බන්ධ වී තිබුණා නම් ඒවා බැඳ තබන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එම තාරකා එකිනෙකට සම්බන්ධ වී තිබෙන අදෘශ්‍යමාන බලය ගැන විද්‍යාඥයන් දැනගත්තේ යෝබ් ඒ ගැන පවසා ශතවර්ෂ ගණනාවකට පසුවයි. මේ විෂය ගැන නවතම සොයාගැනීම් කළ අයිසෙක් නිව්ටන් සහ ඇල්බට් අයින්ස්ටයින් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලුවා. මෙම තාරකා මණ්ඩල විශ්වයේ රඳවා තබාගැනීමට යෙහෝවා දෙවි යොදාගත් බලයන් ගැන යෝබ් දැන සිටියේ නැති බව ඇත්තයි. ඒ වුණත් යෝබ් පොතේ සඳහන් වී තිබෙන්නේ සත්‍ය තොරතුරුයි. ඊට හේතුව යෝබ්ට එම තොරතුරු පැවසුවේ විශ්වයේ ඇති නීති සෑදූ තැනැත්තා වන යෙහෝවා දෙවියි. ඒ නිසා එම තොරතුරු ඇරිස්ටෝටල් පැවසූ දේවල් මෙන් වෙනස් කිරීමට සිදු වෙන්නේ නැහැ.

3. ක්ෂය වෙනවාද නැද්ද?

පොළොව සෑදී තිබෙන ආකාරය හා විශ්වයේ ඇති අනිකුත් වස්තූන් සෑදී තිබෙන ආකාරය අතර විශාල වෙනසක් තිබෙන බව ඇරිස්ටෝටල් විශ්වාස කළා. ඔහු පැවසුවේ පොළොව වෙනස් වෙන අතර එය ක්ෂය වෙන බවයි. නමුත් විශ්වයේ ඇති අනිකුත් වස්තූන් ක්ෂය නොවී එකම ආකාරයෙන් සදාකාලිකවම පවතින බව ඔහු පැවසුවා. ඔහු පැවසූ ආකාරයට විශ්වයේ ඇති වස්තූන් ක්ෂය වෙන්නේවත් වෙනස් වෙන්නේවත් නැති වී යන්නේවත් නැහැ.

බයිබලයේ එවැනි අදහසක් පවසනවාද? බයිබලයේ ගීතාවලිය නමැති පොතේ 102:25-27හි මෙසේ සඳහන් වෙනවා. “ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය. ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය. ඒ සියල්ල නැති වී ගියත් ඔබ සදහටම පවතින්නෙහිය. ඒවා වස්ත්‍රයක් මෙන් දිරාපත් වී යන්නේය. කාලය ඉකුත් වූ විට වස්ත්‍ර මාරු කරන්නාක් මෙන් ඔබ ඒවා මාරු කරන්නෙහිය. නමුත් ඔබ කිසිදාක වෙනස් නොවන්නෙහිය. ඔබේ පැවැත්මද කිසිදා කෙළවර නොවන්නේය.”

එම පොතේ ලේඛකයා ඉහත සඳහන් දේ පැවසුවේ ඇරිස්ටෝටල් සිටි කාලයට සියවස් දෙකකට පමණ පෙරයි. විශ්වයේ ඇති වස්තූන් හා පොළොව අතර වෙනසක් තිබෙන බව එනම් පොළොව දිරාපත් වෙන බවත් විශ්වයේ ඇති අනිකුත් වස්තූන් දිරාපත් නොවන බවත් ඔහු සඳහන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු පවසන්නේ විශ්වයේ ඇති දේවල් වෙනස් වුණත් ඒවා නිර්මාණය කළ දෙවි වෙනස් නොවන බවයි. * එම ගීතිකාවේ සඳහන් වී තිබෙන දෙයින් පැහැදිලි වෙන්නේ තාරකා සහ පොළොව යන වස්තූන් ක්ෂය වෙන බවයි. නවීන විද්‍යාව ඒ සම්බන්ධයෙන් සොයාගෙන තිබෙන්නේ කුමක්ද?

පොළොව ක්ෂය වෙන බව ඇරිස්ටෝටල් පැවසූ දේ සහ බයිබලයේ ඇති අදහස විද්‍යාත්මක සොයාගැනීම්වලට එකඟයි. පෘථිවියේ ඇති පර්වත පවා ඛාදනය වන නිසා ක්ෂය වෙනවා. නමුත් ගිනි කඳු පිපිරීම් හා පොළොවේ සිදු වෙන විපර්යාස නිසා ඒවා නැවත යථා තත්වයට පත් වෙනවා.

නමුත් තරු ගැන කියන්න පුළුවන් කුමක්ද? බයිබලයේ පවසන ආකාරයට ඒවාත් ක්ෂය වෙනවාද? නැත්නම් ඇරිස්ටෝටල් පැවසූ ආකාරයට ඒවා ක්ෂය වෙන්නේ නැද්ද? දහසයවෙනි ශතවර්ෂයේ සිටි යුරෝපියානු තාරකා විද්‍යාඥයන් තරුවක් පිපිරීමට ලක් වන ආකාරය නිරීක්ෂණය කළා. (තරුවක් පිපිරීම විද්‍යාඥයන් හඳුන්වන්නේ සුපර්නෝවා ලෙසයි.) ඒ අනුව තරු ක්ෂය නොවෙන බවට ඇරිස්ටෝටල්ගේ මතය ඔවුන් සැක කළා. තරු පිපිරීමක් නිසා හෝ දැවී යෑමක් නිසා විනාශ වන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කළා. එ වගේම තරුවක් ඉබේම විනාශ වෙන බවත් ඔවුන් දුටුවා. අනික් අතට විනාශ වී යන තරුවලින් නිකුත් වන විවිධ වායුන් නිසා තරු අලුතෙන් බිහි වෙන බවත් විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ අනුව විශ්වයේ ඇති වස්තූන් දිරාපත් වෙන බවත් ඒ වස්තූන් වෙනුවට තවත් ඒවා ඇති වන බවත් බයිබලයේ පවසන අදහස සත්‍යයක්. * වර්තමානයේ විද්‍යාඥයන් සොයාගෙන තිබෙන එම තොරතුරු පුරාණයේ සිටි බයිබල් ලේඛකයෙක් කලින්ම වාර්තා කර තිබීම මොන තරම් පුදුමයක්ද!

එම තොරතුරු සලකා බැලීමෙන් පසු ඔබට මෙසේ සිතෙන්න පුළුවන්. කවදා හරි මේ පොළොව සහ විශ්වය නැති වී ගොස් ඒ වෙනුවට තවත් එකක් බිහි වෙයිද? ඇත්තෙන්ම නැහැ. බයිබලයේ පවසන්නේ ඒවා සදාකාලයටම පවතින බවයි. (ගීතාවලිය 104:5; 119:90) නමුත් ඉන් අදහස් කරන්නේ ඒවා ක්ෂය නොවන බව නොවෙයි. ඒ වෙනුවට ඒවා නිර්මාණය කළ දෙවි ඒවායේ පැවැත්මට අවශ්‍ය සියලු දේ සපයමින් සිටිනවා. (ගීතාවලිය 148:4-6) ඔහු එය කරන්නේ කෙසේද කියා බයිබලයේ සඳහන් නොවුණත් අපට එක් නිගමනයකට පැමිණිය හැකියි. එනම් විශ්වයේ ඇති සියල්ල නිර්මාණය කළ තැනැත්තාට ඒවා දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය බලය තිබෙන බවයි. එය හරියට දක්ෂ ගොඩනැඟිලිකරුවෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ජීවත් වීමට සෑදූ නිවස නිසි පරිදි නඩත්තු කරනවා හා සමානයි.

ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද?

විශ්වය පාලනය කරන නීති පිළිබඳව අප සතු අවබෝධය වැඩි වන තරමට එම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට පහසු වෙනවා. විශ්වයේ සෑම තැනකටම තරු ඇතිරුවේ කවුද, ගුරුත්වාකර්ෂණ බලයෙන් ඒවා බැඳ තැබුවේ කවුද, ඒවායේ පැවැත්මට අවශ්‍ය දේවල් සපයන්නේ කවුද යන ප්‍රශ්න සලකා බලන විට අප මොන තරම් පුදුම වෙනවාද!

“අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 40:26) එහි, විශ්වයේ ඇති තරු සොල්දාදුවන් රාශියක් සිටින විශාල හමුදාවකට සමාන කර තිබෙනවා. හමුදාවකට අණ දෙන කෙනෙක් නොසිටියොත් එය අවුල් ජාලයක් බවට පත් වෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවි ග්‍රහලෝක, තරු සහ මන්දාකිනිවලට අදාළ නීති නොදැම්මා නම් ඒවා පිළිවෙළකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සොල්දාදුවන් මිලියන ගණනක් සිටින හමුදාවක එක් එක් සොල්දාදුවාව නමින් හඳුනන, ඔවුන් යන එන තැන් සහ ඔවුන්ගේ ගතිගුණ ගැන හොඳ අවබෝධයක් තිබෙන හමුදා ප්‍රධානියෙක් ගැන සිතන්න. යෙහෝවා දෙවිත් ඒ හා සමානයි. ඔහු විශ්වයේ ඇති සෑම දෙයකටම අණ දෙනවා පමණක් නොව ඒවා ගැන සෑම විස්තරයක්ම හොඳින් දන්නවා.

විශ්වය පාලනය වන නීති ගැන අපට ඇති සුළු අවබෝධය තුළින් පවා ඒවායේ නිර්මාතෘට මොන තරම් ප්‍රඥාවක් තිබෙනවාද කියා අවබෝධ කරගත හැකියි. විද්‍යාඥයන් විසින් විශ්වය සම්බන්ධ දේවල් අවබෝධ කරගැනීමට වසර දහස් ගණනකට පෙර ඒ සම්බන්ධ තොරතුරු ලියන්න දෙවි මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නා. එවැනි දෙයක් කළ හැක්කේ ඒවා නිර්මාණය කළ සහ ඒවා පාලනය කිරීමට අවශ්‍ය නීති පැනවූ තැනැත්තාට පමණයි. එසේනම් මේ සෑම දෙයක් වෙනුවෙන් අපගේ “ප්‍රශංසාවත් ගෞරවයත්” හිමි විය යුත්තේ ඒවායේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට පමණයි.—එළිදරව් 4:11.

[පාදසටහන්වල]

^ 11 ඡේ. පෘථිවිය ගෝලයක් බව බයිබලයේ සඳහන් වී තිබීම සුවිශේෂී කරුණක්. ඇරිස්ටෝටල් හා වෙනත් ග්‍රීක ජාතිකයන් පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව පිළිගත්තා. නමුත් වසර දහස් ගණනක් පුරා එම අදහස ගැන විවිධ ප්‍රශ්න තිබුණා.

^ 13 ඡේ. බයිබලයේ ස්ථාන කිහිපයක අහස දිගහැර ඇති ඇතිරිල්ලකට සමාන කර තිබෙනවා.—යෝබ් 9:8; ගීතාවලිය 104:2; යෙසායා 42:5; 44:24; 51:13; සෙකරියා 12:1.

^ 22 ඡේ. ‘කයිමා තාරකා මණ්ඩලය’ කියා සඳහන් වී තිබෙන්නේ ප්ලේඩීස් තරු පොකුර ගැන විය හැකියි. ‘කේසිල් තාරකා මණ්ඩලය’ කියා සඳහන් වී තිබෙන්නේ ඔරියන් නිහාරිකාවට විය හැකියි. එවැනි තාරකා මණ්ඩලවල සැලකිය යුතු වෙනසක් සිදු වීමට වසර දහස් ගණනක් ගත වෙනවා.

^ 27 ඡේ. යෙහෝවා දෙවි වෙනස් නොවෙන්නා සේ සියල්ල නිර්මාණය කිරීමට යොදාගත් “ප්‍රධාන සේවකයා” වන ඔහුගේ එකම පුත්‍රයාද වෙනස් නොවන බව පැවසිය හැකියි.—හිතෝපදේශ 8:30, 31; කොලොස්සි 1:15-17; හෙබ්‍රෙව් 1:10.

^ 29 ඡේ. කෙල්වින් ස්වාමිවරයා ලෙස ප්‍රසිද්ධ, විද්‍යාඥ විලියම් තොම්සන් 19වන ශතවර්ෂයේදී තාපගති විද්‍යාවේ දෙවන නියමය සොයාගත්තා. එනම් විශ්වයේ ඇති ස්වාභාවික පද්ධති කාලයත් සමඟම ක්ෂය වෙන බව ඔහු සොයාගත්තා. ඔහු එම නිගමනයට පැමිණීමට එක් හේතුවක් වුණේ ගීතාවලිය 102:25-27හි සඳහන් දේ පරෙස්සමින් අධ්‍යයනය කිරීමයි.

[24, 25වන පිටුවල කොටුව⁄පින්තූර]

 ඔහු කළ බලපෑම

“පුරාණයේ සිටි මිනිසුන් ඇරිස්ටෝටල්ව සැලකුවේ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා සහ විද්‍යාඥයා ලෙසයි” කියා එක් පොතක සඳහන් වුණා. ඔහුව එලෙස හැඳින්වීමට හේතු වූ කරුණු කිහිපයක් සලකා බලන්න. ක්‍රිස්තු පූර්ව 384-322 අතර කාලයේදී ඔහු ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වූ ප්ලේටෝගෙන් ඉගෙනුම ලබා තිබූ අතර පසු කාලයේදී මහා ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා ලෙසද ක්‍රියා කළා. පුරාණ ලේඛනවල සඳහන් වෙන ආකාරයට ඔහු පොත් 170ක් පමණ ලියා තිබෙනවා. මේ වන විට ඉන් ඉතුරු වී තිබෙන්නේ පොත් 47ක් පමණයි. ඔහුගේ පොත් අතරින් බොහොමයක් ලියැවී තිබෙන්නේ තාරකා විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව, භූ විද්‍යාව සහ මනෝ විද්‍යාව යන විෂයන් ඔස්සේයි. ඊට අමතරව ඔහු විවිධ ජීවීන් ගැන තොරතුරු සවිස්තරාත්මකව වාර්තා කර තිබෙනවා. ඔහු ඒවා වාර්තා කර තිබෙන්නේ වෙනත් අය ඒ ගැන අධ්‍යයනය කිරීමටත් පෙරයි. “බටහිර රටවල සිටි මිනිසුන්ගේ සිත්වලට ඔහුගේ ඉගැන්වීම් විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 476-1500 දක්වා කාලයේ සිටි මිනිසුන් ඔහුව දෙවි කෙනෙකුට මෙන් සලකන්න පටන්ගත්තා” කියා එම පොතේ තවදුරටත් සඳහන් වුණා.—The 100—A Ranking of the Most Influential Persons in History.

[හිමිකම් විස්තර]

Royal Astronomical Society/​Photo Researchers, Inc.

From the book A General History for Colleges and High Schools, 1900

[26, 27වන පිටුවල පින්තූරය]

විශ්වයේ ඇති වස්තූන් නියමිත ස්ථානවල තිබෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසයි

[හිමිකම් විස්තර]

NASA and The Hubble Heritage Team (AURA/​STScl)

[26, 27වන පිටුවල පින්තූරය]

ප්ලියඩීස් තරු පොකුර

[28වන පිටුවේ පින්තූරය]

පිපිරීමකින් විනාශ වූ තාරකාවක්

[හිමිකම් විස්තර]

ESA/​Hubble

[28වන පිටුවේ පින්තූරය]

අලුතින් සෑදුණු තාරකා

[හිමිකම් විස්තර]

J. Hester and P. Scowen (AZ State Univ.), NASA

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Peter Arnold, Inc./​Alamy