Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් පොදු ජනයාව සැලකුවේ කොහොමද?

පළමු ශතවර්ෂයේ සිටි සමාජයේ උසස් අය හා ආගමික නායකයන් එතරම් අධ්‍යාපනයක් නොලැබූ අයව පහත් අය ලෙස සැලකුවා. “නීතිය ගැන කිසිම අවබෝධයක් නැති මේ සමූහයා දේවශාපයට ලක් විය යුතු පිරිසක්” කියා ආගමික නායකයන් පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා.—යොහන් 7:49.

ඔවුන් නූගත් අයව ‘අම්හාරෙට්ස්’ හෝ “දේශයේ වැසියන්” කියා හැඳින්වූ බව බයිබලයට අමතරව වෙනත් පොත්වලද සඳහන් වී තිබෙනවා. නමුත් ‘අම්හාරෙට්ස්’ යන වචනය මුලින්ම භාවිත කළේ යම් ප්‍රදේශයකට අයත් ජනයාව හඳුන්වා දීමටයි. දුප්පත් පොහොසත් හා සමාජයේ උසස් කියා සැලකූ සෑම කෙනෙකුවම පොදුවේ හඳුන්වා දීමට එම වචනය භාවිත කළා.—උත්පත්ති 23:7; 2 රාජාවලිය 23:35; එසකියෙල් 22:29.

කෙසේවෙතත් පළමු ශතවර්ෂය වන විට එම වචනය භාවිත කළේ මෝසෙස්ට දුන් නීතිය අනුගමනය නොකළ හා යුදෙව්වරුන්ගේ සම්ප්‍රදායන්ට අයත් සෑම චාරිත්‍රයක්ම පිළිපැදීමට අසමත් වූ අයව හැඳින්වීමටයි. මිෂ්නා නමැති ග්‍රන්ථයේ (වාචික සම්ප්‍රදායන් අඩංගු ලියවිල්ලක්. එය තල්මුඩය නමැති ලියවිල්ලට පදනම සැපයුවා.) ‘අම්හාරෙට්ස්’ ලෙස සැලකූ අයගේ නිවෙස්වල නතර නොවන්න කියා අනතුරු අඟවා තිබෙනවා. දෙවන ශතවර්ෂයේ සිටි යුදෙව් ආගමික නායකයෙක් මෙවැනි දෙයක් ඉගැන්වූ බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. “පියෙක් තම දුවව ‘අම්හාරෙට්ස්’ ලෙස සැලකූ කෙනෙකුට විවාහ කර දීම ඇයව බැඳ සිංහයෙක් ඉදිරියට දමනවා හා සමානයි.” “නූගත් අය නැවත නැඟිටින්නේ නැහැ” කියා තවත් යුදෙව් ආගමික නායකයෙක් පැවසූ බව තල්මුඩයේ සඳහන් වෙනවා.—එම විශ්වකෝෂය The Encyclopedia of Talmudic Sages.

බයිබලයේ සඳහන් සීසර් යන නමේ ඇති වැදගත්කම කුමක්ද?

සීසර් යනුවෙන් හඳුන්වන්නේ ක්‍රිස්තු පූර්ව 46දී රෝමය පාලනය කළ ගේයස් ජුලියස් සීසර්ගේ වාසගමයි. රෝම අධිරාජ්‍යය පාලනය කළ බොහෝදෙනෙක් සීසර් යන නම භාවිත කිරීමට තමන්ට අයිතියක් තිබෙන බව කියා සිටියා. සමහරවිට ඔවුන් එම පවුලට අයත් අය හෝ එම පවුලේ අය ඔවුන්ව දරුකමට හදාගත් අය විය හැකියි. බයිබලයේද සීසර් යන නම ඇති රෝම පාලකයන් තුන්දෙනෙක් ගැන සඳහන් වී තිබෙනවා. ඒ ඔගස්ටස්, ටයිබීරියස් සහ ක්ලෝදියස් යන අයයි.—ලූක් 2:1; 3:1; ක්‍රියා 11:28.

යේසුස් දේවසේවය කළ කාලය පුරාම රෝමය පාලනය කළේ ටයිබීරියස් සීසර් විසිනුයි. ඔහු රෝම අධිරාජ්‍යයා බවට පත් වුණේ ක්‍රිස්තු වර්ෂ 14දීයි. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න” කියා යේසුස් පැවසූ විට රෝමයේ අධිරාජ්‍යයාව සිටියේ ඔහුයි. (මාක් 12:17) නමුත් යේසුස් පැවසූ දේ අදාළ වෙන්නේ ටයිබීරියස් සීසර්ට පමණක් නොවෙයි. ඒ වෙනුවෙට සියලුම ආණ්ඩුවලට එය අදාළයි.

ක්‍රිස්තු වර්ෂ 58දී පමණ පාවුල්ව අසාධාරණ ලෙස විනිශ්චය කළ විට ඔහු සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියා. ඔහු රෝම පුරවැසියෙකු නිසා එසේ ඉල්ලා සිටීමට ඔහුට අයිතියක් තිබුණා. (ක්‍රියා 25:8-11) පාවුල්, සීසර් කියා සඳහන් කරන්නේ නීරෝ අධිරාජ්‍යයාටයි.

සීසර් යන වාසගම රෝමය පුරාම ජනප්‍රියව පැවතුණා. ඒ නිසා සෑම පාලකයෙක්ම ආශා කළේ එම වාසගමින් තමන්ව ආමන්ත්‍රණය කරනවාටයි. සීසර් යන වාසගමට අයත් අයගේ පාලනය අවසන් වූ පසුව පවා පාලනය කළ අය එම නම භාවිත කළේ ඒ නිසයි.

[29වන පිටුවේ පින්තූරය]

ටයිබීරියස්ගේ රූපය සහිත රිදී කාසියක්