Skip to content

පටුනට යන්න

දෙවිගේ අනතුරු ඇඟවීම්වලට ඔබ සවන් දෙනවාද?

දෙවිගේ අනතුරු ඇඟවීම්වලට ඔබ සවන් දෙනවාද?

දෙවිගේ අනතුරු ඇඟවීම්වලට ඔබ සවන් දෙනවාද?

“ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.”—යෙසා. 30:21.

1, 2. සාතන්ගේ අධිෂ්ඨානය කුමක්ද? බයිබලයෙන් අපට ලැබෙන උපකාර මොනවාද?

මිනිසුන්ව අතරමං කිරීමේ අරමුණින් දුෂ්ට මිනිසෙක් මාර්ගයේ ඇති සංඥා පුවරුවක් වෙනස් කර ඇති බව මිත්‍රයෙක් ඔබට පවසනවා කියා සිතන්න. ඔහු පැවසූ දේට ඔබ හොඳ අවධානයක් දෙන්නේ නැද්ද?

2 සාතන් ඒ දුෂ්ට මිනිසා හා සමානයි. ඔහුගේ එකම අධිෂ්ඨානය අපව නොමඟ යැවීමයි. (එළි. 12:9) අපව යෙහෝවා දෙවිට අකීකරු වීමට සලස්වා සදාකාල ජීවනයට යන මාර්ගයෙන් ඉවත් කිරීමට සාතන් ඉදිරිපත් කරන අනතුරුදායක දේවල් ගැන අප කලින් ලිපියේ සලකා බැලුවා. (මතෙ. 7:13, 14) ඒ වගේම අපගේ මිතුරා වන යෙහෝවා දෙවි සාතන්ගේ උපායන් ගැන අපට දී තිබෙන අනතුරු ඇඟවීම් එම ලිපියෙන් ඉගෙනගත්තා. සාතන් අපව නොමඟ යැවීමට උත්සාහ කරන තවත් ආකාර තුනක් ගැන සහ ඒවාට හසු නොවී සිටීමට බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් ගැන මේ ලිපියෙන් සලකා බලනවා. අප බයිබලය කියවන විට එය හරියට යෙහෝවා දෙවි අප පිටුපසින් සිට “ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න” කියා පවසනවා හා සමානයි. (යෙසා. 30:21) දෙවි ලබා දෙන පැහැදිලි අනතුරු ඇඟවීම් ගැන සලකා බලද්දී ඔහුට කීකරු වීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා.

‘බොරු ගුරුවරුන්ව’ අනුගමනය නොකරන්න

3, 4. (අ) බොරු ගුරුවරු වතුර නැති ළිං හා සමානයි කියා පවසන්නේ ඇයි? (ආ) බොරු ගුරුවරු පැමිණිය හැක්කේ කොහෙන්ද? ඔවුන්ගේ ඉලක්කය කුමක්ද?

3 ඔබ කාන්තාරයක් මැදින් ගමන් කරනවා කියා සිතන්න. ඔබට පිපාසයක් ඇති වෙනවා. ඈතින් තිබෙන ළිඳක් දැක ඒ ළඟට ගියත් එහි වතුර නැති බව ඔබ දකිනවා. ඔබ මොන තරම් අධෛර්යයට පත් වෙනවාද! බයිබලයෙන් අප ඉගෙනගන්නා සත්‍යයන් ජලය හා සමානයි. බොරු ගුරුවරු වතුර නැති ළිං හා සමානයි. ඔවුන් ළඟ බයිබලයේ සඳහන් සත්‍යයන් තිබෙනවා කියා සිතා ඔවුන් පසුපස යන අයගේ බලාපොරොත්තු සුන් වෙනවා. පාවුල් හා පේතෘස් මාර්ගයෙන් යෙහෝවා දෙවි බොරු ගුරුවරුන් ගැන අපට අනතුරු අඟවා තිබෙනවා. (ක්‍රියා 20:29, 30; 2 පේතෘ. 2:1-3 කියවන්න.) බොරු ගුරුවරුන් කියන්නේ කාටද කියා අපි සොයා බලමු. එම ගුරුවරු පැමිණිය හැකි ආකාරය සහ ඔවුන් මිනිසුන්ව නොමඟ යවන ආකාරය ගැන පාවුල් සහ පේතෘස් පැවසුවා.

4 පාවුල් එෆීස සභාවේ සිටි වැඩිමහල්ලන්ට මෙසේ පැවසුවා. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි.” පේතෘස්ද සභාවන්ට ලියූ ඔහුගේ ලිපියේ මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ අතරෙහිත් බොරු ගුරුවරු සිටිනු ඇත.” ඉන් පැහැදිලි වන්නේ බොරු ගුරුවරු සභාව අතරින්ම ඇති විය හැකි බවයි. ඔවුන් සත්‍ය නමස්කාරය අත්හැර ගිය අයයි. ඔවුන්ගේ ඉලක්කය දෙවිගේ “ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑම” බව පාවුල් පැවසුවා. එහිදී ගෝලයන් කියා පාවුල් සඳහන් කරන්නේ යේසුස්ගේ ගෝලයන්ටයි. යේසුස් බොරු ගුරුවරුන්ව සමාන කළේ බැටළුවන්ව කා දමන වෘකයන්ටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සභාවේ සාමාජිකයන්ට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය විනාශ කර ඔවුන්ව සභාවෙන් ඈත් කිරීමටයි.—මතෙ. 7:15; 2 තිමෝ. 2:18.

5. බොරු ගුරුවරුන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද?

5 බොරු ගුරුවරුන් ඉතා කපටි ලෙස මිනිසුන්ව නොමඟ යවනවා. කෙනෙක් රටකට රහසිගතව යම් දේවල් ගෙන එනවා හා සමානව ඔවුන් තම අදහස් සභාවට ඇතුල් කරන්නේ ඉතා ‘රහසිගතවයි.’ ඔවුන් ‘වංචනික දේවල්ද පවසනවා.’ මුල් පිටපතට සමානව සෑදූ ව්‍යාජ ලියකියවිලි හා සමානව ඔවුන් බොරු දේවල් පවසන්නේ සත්‍ය දේවල් ලෙසයි. එමෙන්ම “මුළා කරවනසුලු අදහස්” ඉදිරිපත් කිරීමෙන් හැකි තරම් දෙනෙකුව ඔවුන්ගේ පැත්තට ගන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් ශුද්ධ ලියවිලි පද තම වාසියට හරවාගන්නවා කියා පේතෘස් පැවසුවා. (2 පේතෘ. 2:1, 3, 13; 3:16) ඔවුන් අපගේ යහපත වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන් පසුපස ගියොත් අපට සිදු වන්නේ සදාකාල ජීවනයට යන මාර්ගයෙන් ඉවතට යෑමටයි.

6. බොරු ගුරුවරුන් සම්බන්ධයෙන් බයිබලයේ දෙන පැහැදිලි අනතුරු ඇඟවීම කුමක්ද?

6 බොරු ගුරුවරුන්ගෙන් ආරක්ෂා වීමට අප කළ යුතු දේ බයිබලයේ පැහැදිලිවම සඳහන් වී තිබෙනවා. (රෝම 16:17; 2 යොහ. 9-11 කියවන්න.) එහි පවසන්නේ “ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න” කියායි. එම අනතුරු ඇඟවීම හරියට බෝ වන රෝගයක් සෑදී තිබෙන කෙනෙකු සමඟ ඇසුරු නොකරන්න කියා වෛද්‍යවරයෙක් ලබා දෙන උපදෙසක් හා සමානයි. ඔබට එම රෝගය වැලඳුණොත් ඔබ මිය යන බව වෛද්‍යවරයා දන්නවා. ඔබ ඔහුගේ උපදෙසට කීකරු වන්නේ නැද්ද? බොරු ගුරුවරුන්ද එම රෝගීන් හා සමානයි. බයිබලයේ සඳහන් වන්නේ ඔවුන් හොඳ සිහිකල්පනාවෙන් කටයුතු නොකරන අය බවයි. ඔවුන්ගේ ඉගැන්වීම්වලින් ඔවුන් සිතන ආකාරයට සිතන්න අන් අයව පොලඹවනවා. (1 තිමෝ. 6:3, 4) ඉහත සඳහන් කළ වෛද්‍යවරයා හා සමානව යෙහෝවා දෙවි බොරු ගුරුවරුන්ගෙන් ඈත් වෙන්න කියා අපට අනතුරු අඟවනවා. ඊට කීකරු වීමට අප අධිෂ්ඨාන කරගත යුතුයි.

7, 8. (අ) බොරු ගුරුවරුන්ගෙන් ඈත් වී සිටින්න අප කුමක් කළ යුතුද? (ආ) ඔවුන්ගෙන් ඈත් වී සිටින්න ඔබ අධිෂ්ඨානයක් ගෙන තිබෙන්නේ ඇයි?

7 බොරු ගුරුවරුන්ගෙන් ඈත් වී සිටින්න අපට කුමක් කළ හැකිද? අප ඔවුන් සමඟ කතා කරන්නේවත් ඔවුන්ට අපගේ නිවසට ආරාධනා කරන්නේවත් ඔවුන් ලියූ පොත් පත් කියවන්නේවත් නැහැ. ඒ වගේම ඔවුන් සහභාගි වන රූපවාහිනී වැඩසටහන් නරඹන්නේවත් අන්තර්ජාලයේ ඔවුන් පළ කර ඇති අදහස් කියවන්නේවත් ඒ පිළිබඳ අපේ අදහස් ඒවාට ඇතුල් කරන්නේවත් නැහැ. අප එලෙස ඔවුන්ගෙන් ඈත් වී සිටින්න අධිෂ්ඨානයක් ගෙන තිබීමට ප්‍රධාන හේතුව නම් අප ‘සත්‍යතාවේ දෙවි වන යෙහෝවාට’ ප්‍රේම කිරීමයි. ඒ නිසා සැබෑ දෙවිගේ වචනය වන බයිබලයට පටහැනි ඉගැන්වීම්වලට අප සවන් දෙන්නේ නැහැ. (ගීතා. 31:5; යොහ. 17:17) දෙවි අපට බයිබලයේ ඇති සත්‍යයන් ඉගැන්වීම සඳහා යොදාගන්නා සංවිධානයටද අප පක්ෂපාතව සිටිනවා. යෙහෝවා දෙවිගේ නම, එහි අර්ථය, පොළොව සඳහා දෙවිගේ අරමුණ, අප මිය ගිය විට සිදු වන්නේ කුමක්ද සහ මිය ගිය අය ගැන තබාගත හැකි බලාපොරොත්තුව වැනි දේ අප ඉගෙනගත්තේ දෙවිගේ සංවිධානයෙනුයි. ඔබ එවැනි සත්‍යයන් සහ බයිබලයේ සඳහන් තවත් දේවල් මුලින්ම ඉගෙනගනිද්දී මොන තරම් සතුටු වුණාද කියා ඔබට මතකද? එවැනි දේ ඔබට ඉගැන්වූ සංවිධානයට විරුද්ධ වීමට බොරු ගුරුවරුන්ට ඉඩ දෙන්න එපා.—යොහ. 6:66-69.

8 ඔවුන් කුමන දේ පැවසුවත් අප ඔවුන් පසුපස යන්නේ නැහැ. වතුර නැති ළිං හා සමාන ඔවුන්ට ඇහුම්කන් දීමට අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔවුන් පසුපස යන අයගේ බලාපොරොත්තු සුන් වෙනවා. අපගේ අධිෂ්ඨානය වන්නේ යෙහෝවා දෙවිට හා ඔහුගේ සංවිධානයට පක්ෂපාත වීමයි. එම සංවිධානය කවදාවත් අපේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ. ජලය හා සමාන දෙවිගේ වචනයේ ඇති සත්‍යයන් අපට බහුල ලෙස ලබා දෙන්නේ එම සංවිධානයයි.—යෙසා. 55:1-3; මතෙ. 24:45-47.

“අසත්‍ය කථාවලට” සවන් නොදෙන්න

9, 10. අසත්‍ය කථා ගැන පාවුල් තිමෝතිට දුන් අනතුරු ඇඟවීම කුමක්ද? පාවුල්ගේ මනසේ තිබුණේ කුමන අසත්‍ය කථා ගැනද? (පාදසටහන බලන්න.)

9 වැරදි දිශාවකට යොමු කර ඇති මාර්ග සංඥාවක් නිසා අප නොමඟ යා හැකියි. එවැනි සංඥාවක් හඳුනාගැනීම සමහර අවස්ථාවලදී පහසු වුණත් තවත් අවස්ථාවලදී එය එතරම් පහසු නැහැ. සාතන් පවසන බොරුද ඒ හා සමානයි. අප පරෙස්සම් නොවුණොත් පහසුවෙන්ම ඒවායින් නොමඟ යා හැකියි. පාවුල් ඒවා “අසත්‍ය කථා” කියා සඳහන් කරනවා. (1 තිමෝති 1:3, 4 කියවන්න.) එම අසත්‍ය කථා මොනවාද? ඒවාට අවධානය යොමු නොකර සිටීමට අපට කුමක් කළ හැකිද? ඊට පිළිතුරු සොයා බැලීමෙන් අපට සදාකාල ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කිරීමට හැකි වෙනවා.

10 සභාවේ වැඩිමහල්ලෙක් වන තිමෝතිට පාවුල් ලියූ පළමු ලිපියේ අසත්‍ය කථා ගැන අනතුරු ඇඟෙව්වා. ඒ වගේම සභාව පිරිසිදුව තබාගන්නා ලෙසත් සහෝදර සහෝදරියන්ට දෙවිට පක්ෂපාතව සිටින්න උපකාර කරන ලෙසත් ඔහු තිමෝතිට පැවසුවා. (1 තිමෝ. 1:18, 19) “අසත්‍ය කථා” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයට “ගොතපු කතා” යන අදහසද ඇතුළත් වෙනවා. එමෙන්ම අසත්‍ය කථා කියන්නේ සත්‍ය තොරතුරු ඇතුළත් නොවන ආගමික කතන්දරවලට කියා එක් පොතකද සඳහන් වෙනවා. (The International Standard Bible Encyclopaedia) අසත්‍ය කථා කියා සඳහන් කරද්දී පාවුල්ගේ මනසේ තිබුණේ මිනිසුන් විසින් පැරණි සිදුවීම් ආශ්‍රිතව ගොතපු ආගමික කතන්දරයි. ඒවා මිනිසුන්ගේ කුතුහලය ඇවිස්සුවා. * එම කතන්දර මොන තරම් භයානකද කියනවා නම් ඒවාට ඇහුම්කන් දීමෙන් “කාලය කා දමන ප්‍රශ්න ඉස්මතු” වන බව පාවුල් පැවසුවා. වඩා වැදගත් දේවල් මොනවාද කියා මිනිසුන්ට අමතක කරවීම සඳහා සාතන් එවැනි කතන්දර සහ බොරු ආගමික අදහස් ප්‍රයෝජනයට ගන්නවා. අසත්‍ය කථාවලට ඇහුම්කන් නොදෙන්න කියා පාවුල් උපදෙස් දුන්නේ ඒ නිසයි.

11. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් යොදාගෙන සාතන් මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද? අප කීකරු විය යුතු අනතුරු ඇඟවීම කුමක්ද?

11 අප පරෙස්සම් නොවුණොත් නොමඟ යා හැකි සමහර බොරු කතන්දර මොනවාද? අපව ‘සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත් කරන’ ඕනෑම ආගමික ඉගැන්වීමක් බොරු කතන්දරයක් කියා පැවසිය හැකියි. (2 තිමෝ. 4:3, 4) සාතන් ඉතා කපටි ලෙස දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් යොදාගෙන මිනිසුන්ව නොමඟ යවනවා. සාතන්ව “ආලෝකය ලබා දෙන දූතයෙකු” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (2 කොරි. 11:14) උදාහරණයකට, ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් ක්‍රිස්තුස්ව අනුගමනය කරන බව පැවසුවත් ඔවුන් ත්‍රිත්වය සහ නිරාගින්න වැනි බොරු ඉගැන්වීම් පතුරුවනවා. මිනිසාට අමරණීය ආත්මයක් තිබෙන බවත් ඔවුන් උගන්වනවා. බොහෝදෙනා සිතන්නේ නත්තල හා පාස්කුව දෙවි අනුමත කරන බවයි. නමුත් මිනිසුන් එවැනි උත්සවවලදී කරන සිරිත් විරිත් සෑම එකක්ම ආරම්භ වුණේ මිථ්‍යා විශ්වාස පදනම් කරගෙනයි. “අපවිත්‍ර දේවලට අත නොගසන්න” කියා දෙවි ලබා දී තිබෙන අනතුරු ඇඟවීමට කීකරු වුණොත් අසත්‍ය කථාවලින් අප නොමඟ යන්නේ නැහැ.—2 කොරි. 6:14-17.

12, 13. (අ) සාතන් පතුරුවන බොරු අදහස් තුන මොනවාද? (ආ) අසත්‍ය කථාවලින් නොමඟ යෑමෙන් වැළකී සිටීමට අප කුමක් කළ යුතුද?

12 අපව නොමඟ යැවීමට සාතන් පතුරුවන අනිකුත් බොරු අදහස් මොනවාද? එවැනි අදහස් තුනක් අපි සලකා බලමු. (1) ‘ඔයාට කැමති දේ ඔයා කරන්න. හරි වැරැද්ද මොකක්ද කියලා ඔයාම තීරණය කරන්න.’ රූපවාහිනියෙන්, චිත්‍රපටවලින්, සඟරාවලින්, පුවත්පත්වලින් හා අන්තර්ජාලයෙන් අප එම අදහස නිතර නිතර අසනවා. ඒ නිසා ඒ අනුව සිතන්නත් ඒ අනුව ක්‍රියා කරන්නත් අප පහසුවෙන්ම පෙලඹෙන්න පුළුවන්. නමුත් හරි දේ හා වැරදි දේ කුමක්ද කියා පැවසීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. (යෙරෙ. 10:23) (2) ‘දෙවි නම් කවදාවත් මේ පොළොවේ වෙනසක් සිදු කරන්නේ නැහැ.’ එම අදහස පිළිගන්න කෙනෙක් සිතන්නේ අද ගැන පමණයි. එවැනි කෙනෙක් අනාගතය ගැනවත් දෙවිගේ කැමැත්ත කිරීම ගැනවත් සැලකිලිමත් වන්නේ නැහැ. අපත් එම අදහස පිළිගත්තොත් දෙවිගේ සේවය සම්බන්ධයෙන් “අක්‍රියාශීලී හෝ පල නොදරන තත්වයකට” පත් විය හැකියි. (2 පේතෘ. 1:8) නමුත් යෙහෝවා දෙවි ඉතා ඉක්මනින් මේ පොළොවේ වෙනසක් සිදු කරනවා. එය අනිවාර්යයෙන් සිදු වන බව අපට විශ්වාසයි. එය විශ්වාස කරන බව අප ජීවත් වන ආකාරයෙන් පෙන්වමු. (මතෙ. 24:44) (3) ‘දෙවි ඔබ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ.’ දෙවි අපට ප්‍රේම කරන්න තරම් අප වටින්නේ නැති බව අප විශ්වාස කරනවාට සාතන් කැමතියි. අප එසේ කළොත් යෙහෝවා දෙවිට සේවය කිරීම නැවැත්වීමට ඉඩ තිබෙනවා. නමුත් යෙහෝවා දෙවි අප එක් එක් කෙනාට ප්‍රේම කරන බවත් අප සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට වටින බවත් අප කවදාවත් අමතක නොකළ යුතුයි.—මතෙ. 10:29-31.

13 දෙවි කෙරෙහි විශ්වාසයක් නැති මිනිසුන් කල්පනා කරන ආකාරයට අප කවදාවත් කල්පනා නොකළ යුතුයි. ඔවුන් කරන දේ හරි කියා සමහරවිට අපට සිතෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ව නොමඟ යවන්න සාතන් තරම් දක්ෂ පුද්ගලයෙක් තවත් නැති බව මතක තබාගන්න. අසත්‍ය කථාවලින් නොමඟ යෑමෙන් වැළකී සිටීමට අප බයිබලයේ ඇති අනතුරු ඇඟවීම්වලට අවධානය දිය යුතුයි.—2 පේතෘ. 1:16.

“සාතන් පසුපස” නොයන්න

14. යෞවන වැන්දඹුවන්ට පාවුල් දුන් අනතුරු ඇඟවීම කුමක්ද? අප සියලුදෙනාම ඒ ගැන අවධානය යොමු කළ යුත්තේ ඇයි?

14 යම් මාර්ගයක “සාතන්ගේ මාර්ගය” කියා පුවරුවක් තිබෙනවා කියා සිතන්න. දෙවිගේ කිසිම සේවකයෙක් එම මාර්ගයේ නොයන බව ස්ථිරයි. නමුත් සමහරවිට ක්‍රිස්තියානියෙකු නොදැනුවත්වම “සාතන් පසුපස” යා හැකි බව පාවුල් සඳහන් කළා. (1 තිමෝති 5:11-15 කියවන්න.) පාවුල් එහි කතා කරන්නේ සමහර “යෞවන වැන්දඹුවන්” ගැන වුණත් අප සියලුදෙනාටම ඔහු පැවසූ දෙයින් යමක් ඉගෙනගත හැකියි. තමන් සාතන් පසුපස යන බව එම වැන්දඹුවන් නොදැන සිටියත් ඔවුන්ගේ ක්‍රියාවෙන් හා කතාවෙන් ඔවුන් එසේ කළ බව පැහැදිලියි. අපත් නොදැනුවත්වම සාතන් පසුපස යෑමට ඉඩ ඇති බැවින් ඉන් වැළකී සිටිය හැක්කේ කොහොමද? එය දැනගැනීමට පාවුල් ඕපාදූප ගැන දුන් අනතුරු ඇඟවීම ගැන සලකා බලමු.

15. සාතන්ට අවශ්‍ය වන්නේ කුමක්ද? පාවුල් පැවසුවේ සාතන් මොන වගේ උපායන් යොදන බවද?

15 අප අපගේ විශ්වාසයන් ගැන කතා කරනවාට සාතන් කැමති නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ අප ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර කරනවා දකින්නයි. (එළි. 12:17) මතභේද ඇති කරන්න හෝ අඥාන දේවල් කරන්න දෙවිගේ සෙනඟ ඔවුන්ගේ කාලය වැය කරනවා දකින්න ඔහු කැමතියි. තමා කැමති දේ අප ලවා කරවාගන්න සාතන් යොදන උපායන් ගැන පාවුල් සඳහන් කළා. අපි දැන් ඒ ගැන සලකා බලමු. පාවුල්ගේ කාලයේ සිටි වැන්දඹුවන් ‘නිකරුණේ තම කාලය නාස්ති කිරීමට’ පුරුදු වී සිටියා. එතරම් වැදගත් නොවන දේවල් ගැන ඔවුන් අන් අය සමඟ කතා කිරීමට බොහෝ කාලයක් වැය කළා. අප එසේ ක්‍රියා නොකිරීමට වගබලා ගත යුතුයි. උදාහරණයකට, එතරම් වැදගත් නොවන සහ බොරු තොරතුරු ඇතුළත් ඊ-මේල් පණිවිඩ කියවීමෙන් සහ ඒවාට පිළිතුරු යැවීමෙන් අපේ කාලයත් අන් අයගේ කාලයත් නාස්ති විය හැකියි. ඒ වගේම එම වැන්දඹුවන් “ඕපාදූප කීමට” පුරුදු වී සිටි බවත් පාවුල් පැවසුවා. අන් අයට අපහාස කිරීම තරම් එය දුර දිග යා හැකි නිසා එය ඉතා භයානකයි. ඒවා අඬදබරවලට පවා මඟ පෑදිය හැකියි. (හිතෝ. 26:20) අන් අයට අපහාස කරන අය නොදැනුවත්වම කරන්නේ සාතන්ව අනුකරණය කිරීමයි. * ඒ විතරක් නොවෙයි වැන්දඹුවන් “අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමටත් පුරුදු වී” සිටි බව පාවුල් පැවසුවා. අප කිසි කෙනෙකුට අන් අයගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමට අයිතියක් නැහැ. අප එම නරක පුරුදුවල නියැලෙනවා නම් යෙහෝවා දෙවි ලබා දුන් වැදගත් කාර්යයෙහි නියැලීමට ඒවා අපට බාධාවක්. ඒ වෙනුවට අප කාලය වැය කළ යුත්තේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමටයි. දෙවි අපට දී තිබෙන එම කාර්යය අප නතර කරනවා නම් අප කරන්නේ සාතන්ව අනුකරණය කිරීමයි. ඒ නිසා අප සිටින්නේ කාගෙ පැත්තේද කියා තීරණය කිරීම වැදගත්.—මතෙ. 12:30.

16. සාතන් පසුපස යෑමෙන් වැළකී සිටීමට අප කුමක් කළ යුතුද?

16 බයිබලයේ පවසන දේවලට අවධානය යොමු කරනවා නම් අපට සාතන් පසුපස යෑමෙන් වැළකී සිටිය හැකියි. ඒ සඳහා අපට උපකාරවත් වන දේවල් කිහිපයක් පාවුල් පැවසුවා. “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා” කළ යුතු බව පාවුල් සඳහන් කළා. (1 කොරි. 15:58) අප යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරනවා නම් අපට හානියක් සිදු විය හැකි හා වැදගත්කමින් අඩු දේවල් කිරීමට අපට කාලයක් ඉතුරු වන්නේ නැහැ. (මතෙ. 6:33) ඒ වගේම “දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” කියාත් පාවුල් උනන්දු කළා. (එෆී. 4:29) එසේනම් ඕපාදූප නොකියන්නත් ඒවාට සවන් නොදෙන්නත් අපි අදිටන් කරගනිමු. * සහෝදර සහෝදරියන්ට ඔබ ගෞරව කරනවා නම් ඔබ ඔවුන් ගැන ඕපාදූප කියන්නේ නැහැ. අනික් අතට අප “අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා” සිටිය යුතු බවද පාවුල් සඳහන් කළා. (1 තෙස. 4:11) අන් අය ගැන සැලකිලිමත් වන බව පෙන්වන්න. නමුත් එසේ කරන විට ඔවුන් කතා කිරීමට අකමැති දේවල් ගැන හාරාඅවුස්සන්න එපා. එමෙන්ම ඔවුන් ගත යුතු තීරණවලට බලපෑම් කරන ආකාරයෙන් ඔබේ අදහස් ඔවුන්ට පවසන්න එපා.—ගලා. 6:5.

17. (අ) යෙහෝවා දෙවි අපට අනතුරු ඇඟවීම් ලබා දෙන්නේ ඇයි? (ආ) අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

17 අප වැළකී සිටිය යුතු දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීම ගැන අප යෙහෝවා දෙවිට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! අප සාකච්ඡා කළ අනතුරු ඇඟවීම් දෙවි අපට ලබා දී තිබෙන්නේ ඔහු අපට බොහෝ සෙයින් ප්‍රේම කරන නිසයි. අප සාතන්ට රැවටී දුක් විඳිනවාට ඔහු කැමති නැහැ. අපට තෝරාගන්න කියා දෙවි පවසන මාර්ගය අපහසු එකක් වුණත් සදාකාල ජීවනයට යන එකම මාර්ගය එයයි. (මතෙ. 7:14) “යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න” කියා දෙවි පවසන විට එහි ගමන් කිරීමට අපි අදිටන් කරගනිමු.—යෙසා. 30:21.

[පාදසටහන්වල]

^ 10 ඡේ. තෝබිත් පොත බයිබලයට අයත් පොතක් කියා සමහර අය සිතනවා. එම පොතේ තිබෙන කතන්දර පාවුල්ගේ කාලයේ බොහෝදෙනා දැන සිටි බොරු කතන්දරවලට හොඳ උදාහරණයක්. ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේදී පමණ ලියනු ලැබූ එම පොතේ බොරු විශ්වාසයන් හා අද්භූත කතන්දර බොහොමයක් අඩංගු වී තිබෙනවා. නමුත් ඒවා ලියා තිබෙන්නේ සත්‍ය කතන්දර ලෙසයි.—Insight on the Scriptures, 1වෙනි වෙළුමේ 122 පි.

^ 15 ඡේ. “යක්ෂයා” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයට “අපහාස කරන්නා” යන අදහස ඇතුළත්. මුල්ම බොරුව කියූ සාතන්ට එය පදවි නාමයක් ලෙස යොදා තිබෙනවා.—යොහ. 8:44; එළි. 12:9, 10.

ඔබේ පිළිතුර කුමක්ද?

පහත සඳහන් බයිබල් පදවලින් ලබා දෙන අනතුරු ඇඟවීම්වලට ඔබ අවධානය යොමු කරන බව පෙන්වන්නේ කොහොමද?

2 පේතෘස් 2:1-3

1 තිමෝති 1:3, 4

1 තිමෝති 5:11-15

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

සුළඟේ පාවෙන පිහාටු

  ඕපාදූපවලින් මොන තරම් හානියක් සිදු වෙනවාද කියා පෙන්වා දෙන පැරණි යුදෙව් කතන්දරයක් තිබෙනවා.

තම ගමේ පදිංචි වී සිටින ඥානවන්ත පුද්ගලයෙක් ගැන කෙනෙක් බොරු පැතිරුවා. පසුව ඔහුට ඒ ගැන සමාව ගන්න අවශ්‍ය වුණා. ඔහු එම ඥානවන්ත මිනිසා ළඟට ගොස් මෙසේ පැවසුවා. “මම ඔයා ගැන කිව්ව දේවල් නිසා ගොඩක් කනගාටු වෙනවා. මම දැන් මොනවද කරන්න ඕනේ?” ඥානවන්ත මිනිසා ඊට මෙසේ පිළිතුරු දුන්නා. “පිහාටු පුරවලා තියෙන කොට්ටයක් අරගෙන ඒකේ තියෙන පිහාටු හුළඟේ පා කරලා යවන්න.” ඔහු එසේ පැවසුවේ ඇයි කියා එම මිනිසා නොදැන සිටියත් ඔහු කියූ දේ කළා. පසුව එම මිනිසා ඥානවන්ත මිනිසා ළඟට ඇවිත් මෙසේ ඇසුවා.

“දැන් ඔයා මට සමාව දෙනවාද?” ඥානවන්ත මිනිසා මෙසේ පිළිතුරු දුන්නා.

“ඉස්සෙල්ලාම ගිහිල්ලා හුළඟේ පා කරපු පිහාටු ටික ඇහිඳගෙන එන්න.”

“ඒවා දැන් එකතු කරන්න බැහැ. හුළඟට ඒ පිහාටු හැම තැනටම විසිරිලා ගිහිල්ලා” කියා එම මිනිසා පැවසුවා.

එවිට ඥානවන්ත මිනිසා මෙසේ පැවසුවා. “පිහාටු විසිරිලා ගියා වගේ ඔයා මං ගැන කියපු බොරුත් ගොඩක් අය අතරේ පැතිරිලා ගිහිල්ලා. ඒවා මිනිසුන්ගේ මතකයෙන් ඉවත් කරන්න බැහැ.”

අපට ගත හැකි පාඩම ඉතා පැහැදිලියි. කෙනෙක් ගැන බොරුවක් පැවසුවොත් ඉන් ඇති වන හානිය වැළැක්වීම ලෙහෙසි නැහැ. ඒ නිසා කෙනෙක් ගැන යම් බොරුවක් පවසන්න පෙර මෙය මතක තබාගන්න. අපගේ වචන සුළඟේ පාවෙන පිහාටු හා සමානයි.

[16වන පිටුවේ පින්තූරය]

සමහර අය බොරු ගුරුවරුන්ව ඇසුරු කරන්නේ කොහොමද?