Skip to content

පටුනට යන්න

“සමාදානය ලබා දෙන” යෙහෝවා දෙවි

“සමාදානය ලබා දෙන” යෙහෝවා දෙවි

“සමාදානය ලබා දෙන” යෙහෝවා දෙවි

“සමාදානය ලබා දෙන දෙවි ඔබ සියලුදෙනා සමඟ වේවා!”—රෝම 15:33.

1, 2. උත්පත්ති 32 සහ 33 පරිච්ඡේදවල සඳහන් ලෙස යාකොබ් මුහුණ දුන් දුෂ්කර තත්වය කුමක්ද? අවසානයේදී සිදු වුණේ කුමක්ද?

අවුරුදු ගණනාවක් එකිනෙකාව නොදුටු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හමු වීමට යන මොහොතක් ගැන සිතන්න. ඔවුන් යොර්දාන් ගඟට නැඟෙනහිරින් පිහිටි යබ්බොක් නිම්නය අසළ පෙනුයෙල් නම් ස්ථානය ආසන්නයේදී හමු වීමට නියමිතයි. ඔවුන් නම් යාකොබ් සහ ඒසව් යන දෙදෙනායි. මීට අවුරුදු 20කට පෙර ඒසව් තම කුලුඳුල්කම ආහාර වේලක් සඳහා යාකොබ්ට විකුණුවා. යාකොබ් නැවත තම උපන් ගමට හැරී එන බව දැනගත් ඒසව් මිනිසුන් 400ක් සමඟ ඔහුව හමු වීමට පිටත් වුණා. එය දැනගත් යාකොබ්, ඒසව් තමාව මරා දමයි යන බියෙන් පසු වූ නිසා ඔහු සමඟ සමාදාන වීමට තම සේවකයන්ව කණ්ඩායම් කිහිපයකට බෙදා ඔවුන් අත තෑගි ලෙස සතුන්ව යැව්වා. යාකොබ් යැවූ මුළු සතුන් සංඛ්‍යාව 550යි.

2 ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වන මොහොත පැමිණියා. එවිට යාකොබ් ධෛර්යවත්ව ඒසව් ඉදිරියට ගොස් ඉතා නිහතමානීව හත් වරක් හිස නමා ඔහුට ආචාර කළා. නමුත් ඒ සෑම දේකටම පෙර වඩාත් වැදගත්ම දේ එනම්, ආරක්ෂාව පතා දෙවිට යාච්ඤා කිරීමට යාකොබ් අමතක කළේ නැහැ. දෙවි ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා. ඒසව් යාකොබ් වෙත දුව ගොස් ඔහුව බදාගෙන සිපගැනීමෙන් ඒ බව පැහැදිලියි.—උත් 32:11-20; 33:1-4.

3. යාකොබ්ගේ හා ඒසව්ගේ සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

3 එම සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ ගැටලුවක් තිබෙන විට එය විසඳාගැනීමට අපට හැකි සියල්ල අප කළ යුතු බවයි. අප එසේ නොකරනවා නම් සභාවේ සාමයට හා එකමුතුකමට එය විශාල තර්ජනයක්. යාකොබ් ගැන සිතන්න. ඒසව්ගෙන් සමාව ඉල්ලන්න තරම් වරදක් ඔහු කර තිබුණේ නැහැ. කෑම වේලකට තමාගේ කුලුඳුල්කම විකිණීමෙන් වරද කළේ ඒසව් වුණත් ඔහු සමඟ සාමය ඇති කරගැනීමට යාකොබ් තමන්ට හැකි සියල්ල කළා. (උත් 25:31-34; හෙබ්‍රෙ 12:16) සෙසු සහෝදර සහෝදරියන් සමඟ සාමයෙන් සිටීමට අප මොන තරම් වෑයමක් දරන්න අවශ්‍යද කියා ඉන් පැහැදිලියි. අපේ වෑයමට දෙවිගේ උපකාරය ඉල්ලා සිටින විට දෙවි එය ලබා දෙන බව ස්ථිරයි. අන් අය සමඟ සාමයෙන් කටයුතු කළ තවත් බොහෝදෙනෙකුගේ ආදර්ශ බයිබලයේ අඩංගුයි. අප ඉන් කිහිපයක් දැන් සලකා බලමු.

විශිෂ්ටතම ආදර්ශය

4. මිනිසාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමට දෙවි කළේ කුමක්ද?

4 සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය යෙහෝවා දෙවියි. බයිබලයේ ඔහුව “සමාදානය ලබා දෙන දෙවි” ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. (රෝම 15:33) මනුෂ්‍ය වර්ගයාට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා දෙවි මොන තරම් දේවල් කර තිබෙනවාද කියා සිතා බලන්න. ආදම්ගෙන් පාපය උරුම වී තිබෙන නිසා අප සිටින්නේ මරණ දඬුවම ලැබිය යුතු තත්වයකයි. (රෝම 6:23) නමුත් දෙවිගේ ඉමහත් ප්‍රේමය නිසා අපව ඉන් ගලවාගැනීමට ඔහුට අවශ්‍ය වුණා. පරිපූර්ණ මිනිසෙකු ලෙස මේ පොළොවේ උපත ලබා අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට ඔහු තම ප්‍රේමණීය පුත්‍රයාව එව්වේ ඒ නිසයි. අප වෙනුවෙන් ජීවිතය පූජා කරමින් තම පියාගේ කැමැත්ත යේසුස් සතුටින් ඉටු කළා. (යොහ 10:17, 18) පසුව දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් වීමට නැවත නැඟිටෙව්වා. ඔහු ස්වර්ගයට ගිය විට මුළු මිනිස් වර්ගයාවම සදාකාලික මරණයෙන් මුදවාගැනීමට ගෙවිය යුතු වන්දිය ගෙවනු ලැබුවා. නමුත් ඉන් ප්‍රයෝජන ලැබෙන්නේ තම පව් ගැන අවංකවම පසුතැවිලි වන අයටයි.හෙබ්‍රෙව් 9:14, 24 කියවන්න.

5, 6. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට මිනිස් වර්ගයාට පුළුවන් කොහොමද?

5 උරුම වූ පාපය නිසා දෙවිගේ සතුරන් බවට පත් වූ මිනිස් වර්ගයාට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ඒ ගැන යෙසායා 53:5හි පවසන්නේ මෙසේයි. “ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය. ඔහු ලැබූ තුවාල නිසා අපි සුවය ලබන්නෙමු.” ඉන් අදහස් කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට කීකරු මිනිසුන්ට අවස්ථාව උදා වන බවයි. බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. ‘දෙවිගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන් අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. එමගින් අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට අපට හැකි වේ.’—එෆී 1:7.

6 “සෑම දෙයක්ම පූර්ණ ලෙස පිළිබිඹු කිරීමට ඔහුව යොදාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය” කියා යේසුස් ගැන පවසා ඇති දේ සැලකිල්ලට ගන්න. ඉන් අදහස් කරන්නේ දෙවි තම අරමුණ ඉටු කිරීම සඳහා යොදාගන්නේ යේසුස්ව බවයි. දෙවිගේ අරමුණ නම් යේසුස් ක්‍රිස්තුස්ගේ ‘රුධිරය මාර්ගයෙන් පොළොවේ හෝ ස්වර්ගයේ ඇති සියල්ල තමන් සමඟ සමාදාන’ කිරීමයි. දෙවි තමන් සමඟ සමාදාන වීමට හෝ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවස්ථාව ලබා දෙන “පොළොවෙහි” සහ “ස්වර්ගයෙහි” ඇති දේවල් මොනවාද?කොලොස්සි 1:19, 20 කියවන්න.

7. “ස්වර්ගයෙහි” හා “පොළොවෙහි” ඇති දේවල් කීමෙන් අදහස් කරන්නේ මොනවාද?

7 “ස්වර්ගයෙහි” ඇති දේවල් ලෙස හඳුන්වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. ඔවුන්ව එසේ හඳුන්වන්නේ ස්වර්ගයේ යේසුස් සමඟ පාලනය කිරීමට දෙවි ඔවුන්ව නැවත නැඟිටුවා තිබෙන නිසයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව “ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර තිබෙන” අතර දෙවිගේ පුත්‍රයන් ලෙස ඔවුන් ඔහු සමඟ ‘සමාදානය භුක්ති විඳිනවා.’ (රෝම 5:1 කියවන්න.) ඔවුන්ට “පොළොවේ රජකම” භාර දී තිබෙන අතර පූජකයන් ලෙසද ඔවුන් සේවය කිරීමට නියමිතයි. (එළි 5:10) “පොළොවෙහි” දේවල් ලෙස හඳුන්වන්නේ තම පව් ගැන අවංකව පසුතැවිලි වන මිනිසුන්වයි. ඔවුන් පොළොව මත සදාකාලයටම ජීවත් වීමට නියමිතයි.—ගීතා. 37:29.

8. සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ ගැටලුවක් ඇති වූ අවස්ථාවකදී අපට යෙහෝවා දෙවිව අනුකරණය කළ හැක්කේ කොහොමද?

8 යේසුස්ගේ ජීවිත පූජාව ගැන පාවුල් දෙවිට බොහෝ සේ ස්තුති කළා. ඒ බව ඔහු එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. දෙවි “දයාවෙන් පිරී” සිටින කෙනෙකු බව පවසමින් තවදුරටත් ඔහු මෙසේද සඳහන් කළා. ‘අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත් ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට අපව පත් කළා.’ අපට ‘ගැලවීම ලැබී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසා’ බවත් ඔහු පැවසුවා. (එෆී 2:4, 5) අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීම වුණත් දෙවිගේ ඉමහත් දයාව ගැන හා ඔහුගේ මහත් කරුණාව ගැන අප මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! මිනිසුන්ට දෙවි සමඟ සමාදාන වීම සඳහා ඔහු මොන තරම් පරිත්‍යාගයක් කළාද! සභාවේ සාමයට තර්ජනයක් වන ආකාරයේ ගැටලුවක් සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ අපට තිබෙන විට අපත් යෙහෝවා දෙවිව අනුකරණය කරමින් සාමය ඇති කිරීමට උත්සාහ කරමු.

ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ ආදර්ශය

9, 10. සාමයෙන් සිටීමට තමන් කැමති බව ආබ්‍රහම් පෙන්නුවේ කොහොමද?

9 බයිබලයේ ආබ්‍රහම් ගැන පවසන්නේ මෙසේයි. ‘“ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි.” එලෙසම ඔහුව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” ලෙසද හඳුන්වනු ලැබීය.’ (යාකො 2:23) ඔහු දෙවි කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වූ එක් ආකාරයක් නම් අන් අය සමඟ සාමයෙන් කටයුතු කිරීමයි. එක් අවස්ථාවක ආබ්‍රහම්ගේ එඬේරුන් හා ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා වන ලොත්ගේ එඬේරුන් අතර ආරවුලක් ඇති වුණා. (උත් 12:5; 13:7) ප්‍රදේශ දෙකක වාසය කිරීමට යෑම ඒ සඳහා තිබෙන හොඳම විසඳුම බව ආබ්‍රහම් සහ ලොත් තේරුම්ගත්තා. එම ප්‍රදේශ තෝරාගැනීමේදී ආබ්‍රහම් ක්‍රියා කළ ආකාරය බලන්න. ඔහු ලොත්ට වඩා වැඩිමල් නිසා හෝ ඔහුට දෙවි සමඟ විශේෂ බැඳීමක් තිබෙන නිසා ඔවුන් යන ප්‍රදේශ ගැන අවසන් තීරණය ගත යුත්තේ තමන් කියා ඔහු සිතුවේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ලොත් සමඟ දිගටම සාමයෙන් සිටීමටයි.

10 ආබ්‍රහම් ලොත්ට මෙසේ පැවසුවා. “අපි සහෝදරයන්! ඒ නිසා අපි දෙන්නා අතරෙත් අපේ එඬේරුන් අතරෙත් මේ විදිහට දිගින් දිගටම ආරවුල් ඇති වීමට ඉඩ නොදෙමු. අපි වෙන වෙනම ජීවත් වෙමු. ඔබට මේ දේශයෙන් ඕනෑම කොටසක් තෝරගන්න පුළුවන්. ඔබ වමට ගියොත් මම දකුණට යන්නම්. ඔබ දකුණට ගියොත් මම වමට යන්නම්.” ලොත් සශ්‍රීක ප්‍රදේශය තෝරාගත්තත් ආබ්‍රහම් ඒ ගැන අමනාප වුණේ නැහැ. (උත් 13:8-11) පසු අවස්ථාවකදී ලොත්ව පැහැරගෙන ගිය බව ආබ්‍රහම්ට ආරංචි වූ වහාම ඔහු ලොත්ව බේරාගැනීමට යුහුසුළුව ක්‍රියා කළ ආකාරයෙන් ඒ බව පැහැදිලියි.—උත් 14:14-16.

11. අසල්වැසි ෆිලිස්තිවරුන් සමඟ ආබ්‍රහම් සාමයෙන් සිටියේ කොහොමද?

11 දැන් අපි ආබ්‍රහම් ෆිලිස්තිවරුන් සමඟ සාමයෙන් කටයුතු කළ ආකාරය ගැන බලමු. බෙයර්-ෂෙබාහි ආබ්‍රහම්ගේ සේවකයන් හෑරු ළිඳක් ෆිලිස්තිවරුන් බලහත්කාරයෙන් අයිති කරගෙන තිබුණා. ඒ අවස්ථාවේදී ආබ්‍රහම් ඊට විරුද්ධව පියවර ගත්තේ නැහැ. පසු අවස්ථාවකදී ෆිලිස්තිවරුන්ගේ රජ ආබ්‍රහම් සමඟ සාම ගිවිසුමක් ඇති කරගැනීමට පැමිණියා. එම ගිවිසුමට අනුව රජගෙන් පැවතෙන්නන්ට ද්‍රෝහි ලෙස කටයුතු නොකරන්න ආබ්‍රහම් පොරොන්දු වුණා. බෙයර්-ෂෙබාහි බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙන ළිඳ ගැන රජට ආබ්‍රහම් පැවසුවේ එම ගිවිසුම ඇති කරගැනීමෙනුත් පසුවයි. ඒ ගැන ඇසූ රජ පුදුම වී එය නැවත භාර දීමට කටයුතු කළා. ආබ්‍රහම් ඔවුන් සමඟ දිගටම සමාදානයෙන් ජීවත් වුණා.—උත් 21:22-31, 34.

12, 13. (අ) ඊසාක් තම පියාගේ ආදර්ශය අනුකරණය කළේ කොහොමද? (ආ) සාමය පවත්වාගන්න ඊසාක් දැරූ වෑයමට දෙවි ආශීර්වාද කළේ කොහොමද?

12 ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ද තම පියා මෙන් අන් අය සමඟ සාමයෙන් කටයුතු කිරීමට ආශා කළා. ෆිලිස්තිවරු සමඟ සාමය පවත්වාගැනීමට ඔහු තමන්ට හැකි සියල්ල කළා. සාගතයක් ඇති වූ කාලයකදී ඊසාක් සහ ඔහුගේ පවුලේ අය නෙගෙබ් ප්‍රදේශයේ බෙයර්-ලහයි-රොයි දේශය අත්හැර වඩාත් සශ්‍රීක දේශයක් වන ගෙරාර් දේශයට ගියා. එය ෆිලිස්තිරුන්ට අයත් දේශයක්. යෙහෝවා දෙවි ඊසාක්ට ආශීර්වාද කිරීම නිසා ඔහුගේ වගාවන් සාර්ථක වූ අතර සත්ව රැළවල් බොහෝ සේ වැඩි වුණා. ඒ නිසා ෆිලිස්තිවරුන්ට ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වී ඊසාක්ට අයත් ළිං වැලි පුරවා වසා දැමුවා. අවසානයේදී “මේ ප්‍රදේශයෙන් යන්න” කියා ෆිලිස්ති රජ ඊසාක්ට පැවසූ අතර සාමය පවත්වාගන්න අවශ්‍ය නිසා ඊසාක් ඊට කීකරු වුණා.—උත්. 24:62; 26:1, 12-17.

13 ඔවුන් අලුතින් පදිංචි වූ ස්ථානයේ ඊසාක්ගේ සේවකයන් තවත් ළිඳක් හෑරුවා. ඒ ළිඳත් අයිති තමන්ට කියා ෆිලිස්තිය ජාතික එඬේරුන් ඊසාක්ගේ එඬේරුන් සමඟ වාද කරන්න පටන්ගත්තා. එහිදී ඊසාක් ඊට ප්‍රතිචාරය දැක්වුවේ ඔහුගේ පියා හා සමානවමයි. ආරවුලක් ඇති කරගන්නවා වෙනුවට තවත් ළිඳක් හාරන්න කියා ඊසාක් තම සේවකයන්ට පැවසුවා. ෆිලිස්තිවරු ඒ ගැනත් වාද කරන්න පටන්ගත්තා. නැවතත් සාමය පවත්වාගැනීමට තිබූ ආශාව නිසා ඊසාක් තමන්ට ඇති සියල්ල රැගෙන වෙනත් ස්ථානයක පදිංචියට ගියා. එහිදී ඔවුන් තවත් ළිඳක් හාරා ඊට රෙහොබොත් යන නම තැබුවා. පසුව ඔහු බෙයර්-ෂෙබා ප්‍රදේශයේ සශ්‍රීක ප්‍රදේශයක පදිංචියට ගියා. එහිදී දෙවි ඔහුට බොහෝ සේ ආශීර්වාද කර මෙසේ පැවසුවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. මගේ සේවකයා වන ආබ්‍රහම් නිසා මම ඔබට ආශීර්වාද කර ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”—උත්. 26:17-25.

14. ගිවිසුමක් ඇති කරගැනීමට ෆිලිස්තිය රජ පැමිණි අවස්ථාවේදී සාමය පවත්වාගන්න තමන් කැමති බව ඊසාක් පෙන්නුවේ කොහොමද?

14 තම සේවකයන් හැරූ ළිංවල අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඊසාක්ට හැකියාව තිබුණත් ඔහු එසේ කළේ නැහැ. ඊසාක්ට හැම අතින්ම දෙවි ආශීර්වාද කර ඇති බව ෆිලිස්තිය රජ දැන සිටියා. බෙයර්-ෂෙබාහි සිටි ඊසාක්ව හමු වී ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගැනීමට රජ තම නිලධාරීන් සමඟ පැමිණි අවස්ථාවේදී ඔහු මෙවැනි ප්‍රකාශයක් කළේ ඒ නිසයි. “යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට තිබෙන බව අපිට පැහැදිලිව පෙනෙනවා.” සාමය පවත්වාගැනීමට අවශ්‍ය නිසා අවස්ථා කිහිපයකදීම තම පදිංචිය වෙනස් කිරීමට ඊසාක්ට සිදු වී තිබුණත් ගිවිසුමක් ඇති කැරගැනීමට රජ පැමිණි අවස්ථාවේදී ඔහු ඔවුන් සමඟ ආරවුලක් ඇති කරගත්තේ නැහැ. ඔහු කටයුතු කළ ආකාරය ගැන මෙසේ සඳහන් වෙනවා. “ඊසාක් ඔවුන්ට භෝජනයක් පිළියෙල කළේය. ඔවුහුද කා බී තෘප්තිමත් වූහ. පසුවදා උදෑසන ඔවුහු පාන්දරින්ම නැඟිට එකිනෙකාට දිවුරුම් දුන්නෝය. ඉන්පසු ඊසාක් ඔවුන්ට යන්න හැරියේය. ඔවුහුද සමාදානයෙන් පිටත්ව ගියෝය.”—උත්. 26:26-31.

යෝසෙප්ගේ ආදර්ශය

15. යෝසෙප්ගේ සහෝදරයන්ට ඔහු සමඟ සමාදානයෙන් කතා කිරීමට නොහැකි වුණේ ඇයි?

15 ඊසාක්ගේ ආදර්ශය අනුගමනය කරමින් යාකොබ්ද සාමය පවත්වාගැනීමට දැඩි වෑයමක් දැරුවා. ඔහුව බයිබලයේ හඳුන්වන්නේ ‘ධර්මිෂ්ඨ මිනිසෙක්’ ලෙසයි. (උත්. 25:27) නමුත් යාකොබ්ගේ පුත්‍රයන් ඔහුගේ ආදර්ශය අනුගමනය කළාද? යාකොබ් තම පුත්‍රයන් 12දෙනාගෙන් වැඩියෙන්ම ආදරය කළේ යෝසෙප්ටයි. ඔහු ඉතා කීකරු, තම පියාට ගෞරව කළ සහ පියාගේ විශ්වාසය දිනාගෙන සිටි කෙනෙක්. (උත්. 37:2, 14) නමුත් යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට වෛර කරන්න පටන්ගත් නිසා ඔහු සමඟ සමාදානයෙන් කතා කරන්න ඔවුන්ට නොහැකි වුණ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් ඔහුට කොතරම් වෛර කළාද කියනවා නම් ඔහුව වහලෙකු ලෙස විකුණුවා. නමුත් ඔවුන් පියාට පැවසුවේ ඔහුව වන මෘගයෙක් මරා දමා ඇති බවයි.—උත්. 37:4, 28, 31-33.

16, 17. තමන් සාමය පවත්වාගැනීමට කැමති කෙනෙක් බව යෝසෙප් පෙන්නුවේ කොහොමද?

16 යෙහෝවා දෙවි යෝසෙප්ට බොහෝ සේ ආශීර්වාද කළා. කලක් ගත වූ පසු ඔහු ඊජිප්තුවේ පාලකයාට පමණක් දෙවෙනි වන තනතුරට පත් වුණා. ඒ කාලයේදී කානාන් දේශයේ දැඩි නියඟයක් පැවතුණු නිසා යෝසෙප්ගේ සහෝදරයන් ආහාර මිල දී ගැනීමට ඊජිප්තුවට පැමිණියා. ඔවුන්ට යෝසෙප්ව මුණගැසුණත් ඔහු ඇඳ සිටි වස්ත්‍රය නිසා ඔවුන් ඔහුව හඳුනා නොගන්න ඇති. (උත්. 42:5-7) තම සහෝදරයන් තමන්ටත් තම පියාටත් සැලකූ ලෙසම ඔවුන්ටත් සලකන්න යෝසෙප්ට කිසිම බාධාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු උත්සාහ කළේ ඔවුන් සමඟ සාමයෙන් කටයුතු කිරීමටයි. තමන්ට සැලකූ ආකාරය ගැන ඔවුන් ඇත්තටම කනගාටු වන බව දැනගත් විට යෝසෙප් තමන් කවුද කියා ඔවුන්ට හෙළි කරමින් මෙසේ පැවසුවා. ‘ඔබ මාව විකුණූ නිසා දැන් දුක් වෙන්නවත් ඔබටම දොස් කියාගන්නවත් එපා. ඔබේ ජීවිත ආරක්ෂා කරන්නයි දෙවි මාව මේ දේශයට ගෙනාවේ. ඔහු සහෝදරයන්ව සිපගෙන ඔවුන්ව බදාගෙන ඇඬුවේය.’—උත්. 45:1, 5, 15.

17 පියාගේ මරණින් පසු යෝසෙප් තමන්ගෙන් පළිගනියි කියා ඔහුගේ සහෝදරයන් සිතුවා. ඔවුන් ඒ ගැන යෝසෙප්ට පැවසූ අවස්ථාවේදී ඔහු “අඬන්න පටන්ගත්” අතර ඔවුන්ට මෙසේද පැවසුවා. “භය වෙන්න එපා. මම ඔබටත් ඔබේ දරුවන්ටත් දිගටම කෑම දෙන්නම්.” ඉන්පසු ඔහු ‘ඔවුන්ව සනසා ඔවුන්ගේ බිය සැක දුරු කළා.’ තමන් සාමය පවත්වාගැනීමට කැමැත්තෙන් සිටින කෙනෙක් බව යෝසෙප් මේ අවස්ථාවේදීත් පෙන්නුවා.—උත්. 50:15-21.

‘අපට යමක් ඉගෙනගත හැකි’ ආදර්ශ

18, 19. (අ) මෙම ලිපියේ සලකා බැලූ ආදර්ශවලින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද? (ආ) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක් ගැනද?

18 පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” (රෝම 15:4) සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය වන යෙහෝවා දෙවිගෙනුත් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප්ගෙනුත් අප ඉගෙනගත්තේ කුමක්ද?

19 යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු කළ සියලු පරිත්‍යාග ගැන කල්පනා කර බලන්න. එසේ කිරීමෙන් අන් අය සමඟ දිගටම සාමය පවත්වාගැනීමට අපට හැකි සියල්ල කිරීමට අප පෙලඹෙනවා. ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප්ගේ ආදර්ශ දෙමාපියන් අනුකරණය කරන විට ඔවුන්ගේ දරුවන්ද අන් අය සමඟ සාමය පවත්වාගැනීමට ඉගෙනගනියි. දිගටම සාමය පවත්වාගැනීමට වෑයම් කරන අයට දෙවි ආශීර්වාද කරන බව අප මෙම ලිපියෙන් ඉගෙනගත්තා. යෙහෝවා දෙවි “සමාදානය ලබා දෙන දෙවි” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (රෝම 15:33; 16:20 කියවන්න.) දිගටම සමාදානයෙන් සිටීම අවශ්‍ය ඇයි සහ එය කළ හැකි ක්‍රම ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ඒසව්ව මුණගැසීමට පෙර යාකොබ් කළේ කුමක්ද?

• දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු කළ සියලු පරිත්‍යාග ගැන කල්පනා කර බැලීම අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?

• ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝසෙප්ගේ ආදර්ශවලින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

ඒසව් සමඟ සමාදාන වීමට පෙර යාකොබ් කළ වැදගත්ම දේ කුමක්ද?