Skip to content

පටුනට යන්න

හර්–මගෙදොන් කියන්නේ කුමක්ද?

හර්–මගෙදොන් කියන්නේ කුමක්ද?

පාඨකයන් අසයි

හර්–මගෙදොන් කියන්නේ කුමක්ද?

▪ හර්–මගෙදොන් යන වචනය බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වී තිබෙනවා. සමහර අය සිතන්නේ න්‍යෂ්ටික යුද්ධයක් හෝ මහා පරිමාණයෙන් සිදු විය හැකි ස්වාභාවික විපතක් හෝ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇති විය හැකි මහා විනාශයක් ඉන් අඟවන බවයි. නමුත් හර්–මගෙදොන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

බයිබලයේ හර්–මගෙදොන් යන වචනය යොදාගෙන තිබෙන්නේ “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” හැඳින්වීමටයි. එම යුද්ධයේදී “ලොව පුරාම සිටින රජුන්” යෙහෝවා දෙවි සමඟ යුද්ධ කිරීමට නියමිතයි. එම යුද්ධයට සම්බන්ධ තොරතුරු බයිබලයේ පොත් කිහිපයකම සඳහන් වෙනවා.—එළිදරව් 16:14–16; එසකියෙල් 38:22, 23; යෝවෙල් 3:12–14; ලූක් 21:34, 35; 2 පේතෘස් 3:11, 12.

එම යුද්ධයේදී සිදු වන්නේ කුමක්ද? ඒ ගැන බයිබලයේ සංකේතාත්මක භාෂාවෙන් මෙසේ විස්තර කර තිබෙනවා. “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.” (එළිදරව් 19:11–16, 19–21) එහි “අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තා” ලෙස හඳුන්වා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. දේවදූත සේනාවක් මෙහෙයවමින් දෙවිගේ සතුරන්ව පැරදවීමේ වගකීම දෙවි භාර දී තිබෙන්නේ ඔහුටයි. එම යුද්ධයේදී ‘යෙහෝවා දෙවිගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙරෙමියා 25:33) ඉන් පැහැදිලි වෙන්නේ එදාට දෙවිගේ සතුරන් සියලුදෙනාම විනාශ වන බවයි.

එවැනි යුද්ධයක් කිරීමට දෙවි තීරණය කළේ ඇයි? ඊට හේතුව පොළොව පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට බව මිනිස් පාලකයන් පිළි නොගැනීමයි. ඔවුන් කියා සිටින්නේ ඒ සඳහා තමන්ට අයිතිය තිබෙන බවයි. (ගීතාවලිය 24:1) එම අයිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් කරන දේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව පොළොවේ රජවරු නැඟී සිටිති. පාලකයෝද එකට රැස්ව සිටිති.”—ගීතාවලිය 2:2.

ඇත්තෙන්ම ඔවුන් කරන්නේ අයිතියක් නැති දෙයකට අයිතිවාසිකම් කීමක්. ඔවුන් පොළොවට අයිතිවාසිකම් කිව්වත් ඔවුන් කරන දේවල් නිසා පොළොවට හානි වී තිබෙනවා. ඔවුන් පොළොවේ තිබෙන ස්වාභාවික සම්පත් විනාශ කරන අතර පරිසරයද දූෂණය කරනවා. “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට” දෙවි පියවර ගන්නා බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 11:18) මිනිසුන්ව පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද යන ප්‍රශ්නය දෙවි නිරාකරණය කරන්නේ හර්–මගෙදොන් යුද්ධය මාර්ගයෙනුයි.—ගීතාවලිය 83:18.

හර්–මගෙදොන් යුද්ධය සිදු වෙන්නේ කවදාද? “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:36) කෙසේවෙතත් හර්–මගෙදොන් යුද්ධය ගැන සඳහන් කළ පසු යේසුස් මෙසේද පැවසුවා. ‘බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය. සෝදිසියෙන් සිටින තැනැත්තා සන්තෝෂවත්ය.’ (එළිදරව් 16:15) අද අප ජීවත් වෙන්නේ යේසුස් පැමිණ සිටින කාලය අතරතුරයි. ඉන් පැහැදිලි වෙන්නේ ඉතා ඉක්මනින් හර්–මගෙදොන් යුද්ධය ආරම්භ වන බවයි.

පසුතැවිලි නොවී දුෂ්ටකම් කරන මිනිසුන්ව හර්–මගෙදොන් යුද්ධයෙන් විනාශ වෙන අතර “මහත් සමූහයක්” ඉන් බේරෙනවා. (එළිදරව් 7:9–14) යේසුස් පැවසූ මෙම වදන් ඉටු වෙන ආකාරය දැකගැනීමට එම මහත් සමූහයට අවස්ථාව ලැබෙනවා. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය”