Skip to content

පටුනට යන්න

පලවලින් බර වූ සාරවත් දේශයක් කඳු, මිටියාවත්,

පලවලින් බර වූ සාරවත් දේශයක් කඳු, මිටියාවත්,

පලවලින් බර වූ සාරවත් දේශයක් කඳු, මිටියාවත්,

වෙරළබඩ තීරයන්, සමභූමි හා ජල උල්පත්වලින් ගහන ඊශ්‍රායෙල් දේශය විවිධ බෝග වගාවන් සඳහා සුදුසු පරිසරයක් ලෙස නම් දරා තිබෙනවා. කාන්තාර, හිමෙන් වැසුණු කඳු වැනි විවිධ දේශගුණික කලාප හා විවිධ පස් වර්ග නිසා එහි වගා කරන බෝග සරුසාරව වැඩෙනවා. එම සරුසාර දේශයේ ‘තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්ද තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්ද පැණිද ඇති තරම් තිබුණු’ බව බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 8:7, 8.

ඊශ්‍රායෙල් දේශයේ සශ්‍රීකත්වය සංකේතවත් කරමින් කාසි හා මුද්දර නිකුත් කර තිබෙනවා. පුරාණයේදී ඊශ්‍රායෙලයේ බෝග වගා කළේ කෙසේද සහ ඒවා මිනිසුන්ට ප්‍රයෝජනවත් වුණේ කෙසේද කියා දැන් අපි බලමු.

‘තිරිඟු හා බාර්ලි.’ තිරිඟු හා බාර්ලි යන බෝග එකම කාලයේදී වගා කළත් තිරිඟු අස්වැන්න නෙළීමට මාසයකට කලින් බාර්ලි අස්වැන්න නෙළීම ඇරඹෙනවා. ඊශ්‍රායෙල්වරුන් බාර්ලි අස්වැන්නෙන් කපාගන්නා පළමු මිටිය මාර්තු හෝ අප්‍රියෙල් මාසයේ පැවැත්වූ මුහුන් නොදැමූ රොටි උත්සවයේදී යෙහෝවා දෙවිට පූජා කරනු ලැබුවා. තිරිඟුවලින් සෑදූ රොටි, සති උත්සවයේදී (එනම් පෙන්තකොස්ත උත්සවයේදී) දෙවිට පූජා කළා. එම උත්සවය පැවැත්වූයේ මැයි මාසයේදීයි.—ලෙවී කතාව 23:10, 11, 15-17.

මෑතක් වන තුරුම ඊශ්‍රායෙලයේ ගොවීන් බාර්ලි හා තිරිඟු වැනි බෝග වගා කළේ එම බීජ වැපිරීම මගිනුයි. බීජ තබාගැනීම සඳහා ඔවුන්ගේ ඇඳුමේ ඒ සඳහාම සෑදූ මල්ලක් තිබුණා. ඔවුන් ඉසූ බාර්ලි ඇට එසේම තිබෙන්න හැරිය අතර තිරිඟු ඇට පස්වලින් වසනු ලැබුවා. ඔවුන් ඒ දේ කළේ සතුන්ව යොදාගෙන බීජ පෑගීමෙන් හෝ නැවත සීසෑමෙනුයි.

බීජ වැපිරීම, අස්වැන්න නෙළීම, ධාන්‍ය පෙළීම සහ ඇඹරීම සඳහා ඔවුන්ට බොහෝ සේ වෙහෙසෙන්න සිදු වුණා. උදාහරණයකට ඔවුන් ධාන්‍ය, පිටි බවට පත් කළේ ඒවා නිවසේදී අඹරාගැනීමෙනුයි. ඔවුන් එම පිටි යොදාගෙන රොටි සාදාගත්තා. යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ අවස්ථාවේදී ‘දිනපතා අපට අවශ්‍ය රොටි අපට ලබා දෙන’ මෙන් ඉල්ලන්න කියා පැවසුවා. (මතෙව් 6:11, පාදසටහන) බාර්ලි සහ තිරිඟු පිටිවලින් සෑදූ රොටි ඒ කාලයේ සිටි අයගේ ප්‍රධාන ආහාරයක් වූ බව ඉන් පැහැදිලි වෙනවා.—යෙසායා 55:10.

‘මිදි, අත්තික්කා හා දෙළුම්.’ වසර 40ක් පුරා ඊශ්‍රායෙල්වරුන් පාළු ප්‍රදේශයක් හරහා පැමිණි පසු ඔවුන්ට භුක්ති විඳීමට නියමිතව තිබෙන ප්‍රීතිමත් කාලයක් ගැන මෝසෙස් ඔවුන්ට මතක් කළා. එනම් ඔවුන්ට උරුම කර දෙන බවට දෙවි පොරොන්දු වී තිබූ දේශයේදී ප්‍රණීත ආහාර භුක්ති විඳින්න ලැබෙන බව මතක් කළා. ඊට වසර ගණනාවකට පෙර එම දේශයේ තොරතුරු සොයා බැලීමට ගිය අය රැගෙන ආ දේවලින් එම දේශය මොන තරම් සරුසාරද කියා පැහැදිලි වුණා. උදාහරණයකට ඔවුන් රැගෙන ආ මිදි පොකුර කොතරම් විශාලද කියනවා නම් එය ‘පොල්ලක ගැටගසාගෙන දෙදෙනෙකුට උසුලාගෙන’ ඒමට සිදු වුණා. ඔවුන් අත්තික්කා සහ දෙළුම්ද රැගෙන ආවා. ඒවා දුටු විට කාන්තාරයක් හරහා ගමන් කරමින් සිටි ඊශ්‍රායෙල්වරුන්ගේ කටට කෙළ ඉනූ බවට නම් කිසිම සැකයක් නැහැ.—ගණන් කතාව 13:20, 23.

මිදිවැල්වලින් නියම පලදාව ලබාගැනීම සඳහා ඒවා කප්පාදු කිරීම, ජලය සැපයීම සහ නිසි කාලයේදී පල නෙළීම අත්‍යවශ්‍ය වුණා. හොඳින් නඩත්තු කළ මිදිවත්තක් වටා ශක්තිමත් වැටක් තිබෙන අතර මිදිවැල් පිළිවෙළකට සිටුවා තිබෙනවා. ඊට අමතරව එවැනි වත්තක මුරකුටියක්ද දක්නට ලැබෙනවා. මිදිවත්තක සිදු කළ යුතු කාර්යයන් ගැන ඊශ්‍රායෙල්වරුන් හොඳින් දැන සිටි අතර එම කාර්යයන් ඉටු නොකළොත් සිදු වන දෙයත් ඔවුන් දැන සිටියා.—යෙසායා 5:1-7.

මිදිපල නෙළන කාලයේදීම වයින් සෑදීම ඇරඹුණා. ඒ සඳහා ඔවුන් මුලින්ම මිදිපොකුරු විශාල භාජනයකට දමා පෑගීමෙන් හෝ යන්ත්‍ර උපයෝගී කරගෙන ඒවා මිරිකාගත්තා. එසේ ලබාගන්නා මිදියුෂ රත් කිරීමෙන් සීනි ලබාගත් අතර මිදියුෂ පැසවීමෙන් වයින් සාදාගනු ලැබුවා. මිදි වැවීමට සහ වයින් සෑදීමට සුදුසු දේශගුණයක් ඊශ්‍රායෙල් දේශයේ තිබුණා. *

සමහරවිට ඔබ දැක ඇත්තේ වියළන ලද හෝ කුට්ටි කරන ලද අත්තික්කා පමණක් විය හැකියි. ඇත්තෙන්ම හොඳින් ඉදුණු අත්තික්කා ගෙඩියක බොහෝ යුෂ තිබෙන අතර එය ඉතාමත් ප්‍රණීත රසයකින් යුක්තයි. අත්තික්කා කල් තබාගැනීම සඳහා ඒවා අව්වේ වියළාගනු ලැබුවා. “වියළි අත්තික්කා කුට්ටි” ගැන බයිබලයේද බොහෝ තැන්වල සඳහන් වෙනවා.—1 සාමුවෙල් 25:18.

දෙළුම් ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී පලතුරක්. පුරාණයේ සිටි අය එය ඉතා වටිනා දෙයක් ලෙස සැලකුවා. උදාහරණයකට ඊශ්‍රායෙල් පූජකයන්ගේ ඇඳුමේ වාටියේ නූල්වලින් සෑදූ දෙළුම් ගෙඩි මසා තිබූ අතර සලමොන් රජ සෑදූ දේවමාලිගාවේ කුලුනුවලත් දෙළුම් ගෙඩි කැටයම් කර තිබුණා.—නික්මයාම 39:24; 1 රාජාවලිය 7:20.

‘ඔලීව සහ පැණි.’ ආහාර ලෙසත් තෙල් ලෙසත් භාවිතයට ගන්නා ඔලීව ගැන බයිබලයේ 60 වතාවක් පමණ සඳහන් වෙනවා. එදා මෙන් අදත් ඊශ්‍රායෙලයේ ඔලීව බහුලව වගා කෙරෙනවා. (ද්විතීය කතාව 28:40) ඒ වගේම ඔක්තෝබර් මාසයේ අස්වැන්න නෙළන විට මුළු පවුලම ඊට හවුල් වෙනවා. ඔවුන් ඔලීව ගසේ අතු සොලවා බිමට වැටෙන ගෙඩි එකතු කරගෙන ඒවා නරක් නොවන ලෙස අසුරාගත්තා. වසර පුරාම ආහාර සඳහා ඔවුන් ඒවා යොදාගන්නා අතර ඔලීවවලින් තෙල්ද ලබාගන්නවා. එසේ තෙල් ලබාගැනීමට භාවිත කළ යන්ත්‍ර සිය ගණනක් මෑතකදී කරන ලද කැනීම්වලින් සොයාගෙන තිබෙනවා. අද පවා ලා කොළ පැහැති ඔලීව තෙල් පවුලේ අයගේ ප්‍රයෝජනය සඳහා හෝ විකිණීම සඳහා සකසාගන්නවා. ඔලීව තෙල් ආහාර සඳහා භාවිත කරනවාට අමතරව රූපලාවන්‍ය ද්‍රව්‍යයක් ලෙසත් පහන් දැල්වීම සඳහාත් යොදාගන්නවා.

මෝසෙස් සඳහන් කරන පැණි මීමැස්සන්ගෙන් ලබාගත් ඒවා හෝ රටඉඳි නැත්නම් මිදිවලින් ලබාගත් යුෂ විය හැකියි. මෙම පලතුරුවලින් ලබාගන්නා පැණි වර්තමානයේදීත් ආහාර රසගැන්වීමට භාවිත කරනවා. ඊට අමතරව මීමැස්සන්ගෙන් ලබාගත් පැණි ගැනද බයිබලයේ සඳහන් වෙනවා. (විනිශ්චයකරුවෝ 14:8, 9; 1 සාමුවෙල් 14:27) මෑතකදී ඊශ්‍රායෙලයේ ටෙල් රෙහොව් ප්‍රදේශයෙන් මීමැසි පාලනය සඳහා යොදාගත් භාජන 30ක් පමණ සොයාගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 11වන සියවස තරම් ඈත අතීතයේදී මීමැසි පාලනය සිදු වූ බව ඉන් පැහැදිලි වෙනවා.

අද පවා ඊශ්‍රායෙලයේ කඩ සාප්පු තිබෙන පාරක නිවිහැනහිල්ලේ ගමන් කරන කෙනෙකුට අප මෙතෙක් සලකා බැලූ ආහාර වර්ග දැකගත හැකියි. ඊශ්‍රායෙලයේ නිෂ්පාදනය කරන ආහාර අතරින් අප සලකා බැලුවේ කිහිපයක් පමණයි. අද තිබෙන දියුණු කෘෂිකාර්මික ක්‍රම නිසා වෙනත් රටවලට ආවේණික වූ ආහාර වර්ගද එහි වගා කිරීමට හැකි වී තිබෙනවා. බයිබලයේ ඊශ්‍රායෙල් දේශය ‘සාරවත් දේශයක්’ ලෙස සඳහන් කර තිබීම මොන තරම් යෝග්‍යද කියා අපි මෙතෙක් සලකා බැලූ කරුණුවලින් පැහැදිලියි!—ගණන් කතාව 14:7.

[පාදසටහන]

^ 9 ඡේ. මිදි කල් තබාගැනීම සඳහා ඔවුන් ඒවා වියළාගත්තා.—2 සාමුවෙල් 6:19.

[11වන පිටුවේ පින්තූරය]

තිරිඟු

[11වන පිටුවේ පින්තූරය]

බාර්ලි

[12වන පිටුවේ පින්තූරය]

මිදි

[12වන පිටුවේ පින්තූරය]

අත්තික්කා

[12වන පිටුවේ පින්තූරය]

දෙළුම්

[13වන පිටුවේ පින්තූරය]

ඔලීව

[13වන පිටුවේ පින්තූරය]

පැණි