Skip to content

පටුනට යන්න

ගිනි කන්දක් අද්දර හිටියත් සතුටින්

ගිනි කන්දක් අද්දර හිටියත් සතුටින්

කොංගෝවෙන් ලිපියක්

ගිනි කන්දක් අද්දර හිටියත් සතුටින්

ගෝමා නගරයට හිරු නැඟ එත්ම මුළු නගරයම රෝස පැහැයෙන් සහ තැඹිලි පැහැයෙන් වර්ණවත් වූ අලංකාර පින්තූරයක් වගෙයි. ලෝකයේ තියෙන ක්‍රියාශීලී ගිනි කඳු අතරින් එකක් වන අලංකාරවත් නිරැගොංගෝ කන්ද පිහිටා තිබෙන්නේ එම නගරය ආසන්නයේයි. ඒ කඳු මුදුනෙන් නිරන්තරයෙන් නැඟෙන දුම් වලාවන්වල රත් පැහැය රාත්‍රියේදී හොඳින්ම දැකගත හැකියි.

මෙම කන්ද අවසන් වතාවට පුපුරා ගියේ 2002දීයි. එදා අපේ අසල්වැසියන්ට සහ යාළුවෝ හුඟදෙනෙක්ට තිබුණු හැම දෙයක්ම වගේ නැති වුණා. නමුත් මෙහේ ඉන්න මිනිස්සු නම් හරිම ගුණ යහපත්. බයිබලයේ සඳහන් වෙලා තියෙන ශුභාරංචිය ගැන කියන කොට ඒ අය හරිම උනන්දුවෙන් ඒකට ඇහුම්කන් දෙනවා. ගිනි කන්දක් අද්දර හිටියත් සතුටින් සේවය කරන්න අපිට පුළුවන් වුණා.

මමයි මගේ මහත්තයයි අපිව බලන්න ආව අපේ යාළුවනුයි එකතු වෙලා මුගුන්ගාවල තිබුණු අවතැන් කඳවුරට ගිහින් සෙනසුරාදා දවසේම එහේ දේශනා කරන්න සැලසුම් කරලා තිබුණා. ඒ නිසා සෙනසුරාදා උදේ මම නැඟිට්ටේ හරිම ප්‍රබෝධයකින්. කඳවුරේ ඉන්න හුඟක් අය ගැටුම් නිසා තම ගම්බිම්වලින් පලා ආව අය බව අපිට ආරංචි වුණා.

අපි මුලින්ම ප්‍රංශ, කීශ්වාහීලී සහ කින්යාර්වන්ඩා යන භාෂාවලින් තියෙන බයිබලය මත පදනම් පොත් පත් අපේ ට්‍රක් රථයට දාගත්තා. ඊටපස්සේ අපේ ගමන ආරම්භ කළා. ටික දුරක් ගියාට පස්සේ අපි නගරෙට ආවා. ඒක හරියට ඇවිස්සුණු කූඹි ගුලක් වගෙයි. බයිසිකලයක් විදිහට හදාගත් කරත්තවල බඩු පුරවගෙන තරුණ අය ඒවා තල්ලු කරගෙන යනවා. කාන්තාවන් ලොකු පොට්ටනි ඔළුවේ තියාගෙන පාරේ අයිනේ ඇවිදගෙන යනවා. මිනිසුන්ව රැකියා ස්ථානවලටයි වෙළඳපොළටයි ගෙනියන ටැක්සි වේගයෙන් එහාටයි මෙහාටයි යනවා. දුඹුරු පාට, කළු පාට තීන්ත ගාපු ලෑලි ගෙවල් හැම තැනම තියෙනවා.

අපි එන්ඩෝෂෝවල සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස්වෙන තැනට ගියා. අපිත් එක්ක දේශනා සේවයේ හවුල් වෙන්න තවත් අය එතනට ඇවිත් තිබුණා. ඒ අය අතරේ යෞවනයන්, වැන්දඹුවන්, දෙමාපියන් අහිමි වූ දරුවන් වගේම ශාරීරික ආබාධ තිබුණු අයත් හිටියා. ඒ අය අතරින් හුඟදෙනෙක් විවිධ දුක් ගැහැටවලට මුහුණ දීලා තිබුණත් බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත් නිසා දැන් සතුටින් ඉන්නවා. බයිබලයේ සඳහන් වෙලා තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව ඒ අයගේ හදවත්වලට තදින්ම කාවැදිලා තියෙන නිසා ඒ ගැන අනිත් අයටත් කියන්න ඒගොල්ලන්ට ලොකු උවමනාවක් තියෙනවා. මිනිසුන්ගේ හදවත්වලට කාවදින විදිහට ශුභාරංචිය කියන්න උපකාරවත් වෙන බයිබල් පද ගැන අපි හැමෝම එකතුවෙලා කෙටියෙන් සාකච්ඡා කළා. දේශනා සේවයේ යන්න 130දෙනෙක් ඇවිත් හිටිය නිසා අපි ආව ට්‍රක් රථයට අමතරව තවත් කුඩා බස් රථ පහකින් යන්න අපිට සිද්ධ වුණා.

විනාඩි 30කින් විතර අපි කඳවුරට ආවා. ගල් වෙලා තිබුණු ලාවා මත එක ළඟ එක හදලා තිබුණු සුදු පාට කූඩාරම් සිය ගණනක් අපි දැක්කා. කඳවුරේ මැද හරියට වෙන්න පිළිවෙළට හදලා තිබුණු වැසිකිළිත් රෙදි හෝදන්න පුළුවන් තැනුත් තිබුණා. බලන බලන හැම තැනම මිනිස්සු. සමහර අය රෙදි හෝදනවා. තවත් අය උයනවා. තවත් අය අතුගානවා.

කඳවුරේ කොටසක් භාරව හිටිය පුද්ගලයෙක්ව අපිට මුණගැහුණා. එයාගේ නම ස්හාක්. කඳවුරේ හිටියත් දරුවන්ව හොඳින් හදා වඩා ගන්න පුළුවන් විදිහ ගැන එයා හුඟක් සැලකිලිමත් වුණ නිසා අපි එයාට යෞවනයන් අසන ප්‍රශ්න කියන පොත දුන්නා. ඒක දැක්කම එයා හුඟක් සතුටු වුණා. එයා ඒ පොත කියෙව්වට පස්සේ කඳවුරේ ඉන්න අනිත් අයටත් ඒ දේවල් ගැන කියලා දෙනවා කිව්වා.

පස්සේ අපිට කාන්තාවක්ව මුණගැහුණා. එයාගේ නම බියට්‍රිස්. එයා අපෙන් ඇහුවා දෙවි දුක් වේදනා ඇති වෙන්න ඉඩ දෙන්නේ ඇයි කියලා. යුද්ධයකදී එයාගේ ස්වාමිපුරුෂයා මැරිලා. දුව තනියම දරුවව හදා වඩා ගන්න ලොකු සටනක් කරනවා. එයාගේ පුතාවත් මාස කිහිපයකට කලින් පැහැරගෙන ගිහිල්ලා තිබුණා. මේ හැම හේතුවක්ම නිසා එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ දෙවි එයාට දඬුවම් කරලා කියලයි.

එයා මුහුණ දීලා තියෙන දේවල් ගැන ඇහුවම බයිබල් චරිතයක් වන යෝබ් තමන්ට මුහුණ දෙන්න සිද්ධ වුණ දේවල් කොහොම දරාගන්න ඇතිද කියලා මට හිතුණා. අද මේ තරම් දුක් වේදනා ඇති වෙන්නේ ඇයි කියලත් එයාට ඒ දේවලට මුහුණ දෙන්න සැලැස්සුවේ දෙවි නෙවෙයි කියලත් අපි එයාට බයිබලයෙන් පැහැදිලි කළා. (යෝබ් 34:10-12; යාකොබ් 1:14, 15) ඒ වගේම ඉතාමත් ළඟදීම දෙවිගේ රාජ්‍යය තුළින් මේ පොළොවට කරන්න යන වෙනස්කම් ගැනත් අපි එයාට පෙන්නුවා. ඒ දේවල් ඇහුවට පස්සේ එයාගේ මූණ මලක් පිපුණා වගේ වුණා. දිගටම බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතියි කියලත් උපකාර ඉල්ලලා දෙවිට යාච්ඤා කරනවා කියලත් එයා අපිට කිව්වා.

කඳවුරේ හිටිය අයට බයිබලයේ සඳහන් බලාපොරොත්තුව ගැන කියන්නත් ඒ අයව දිරිගන්වන්නත් යෙහෝවා දෙවි අපට උපකාර කළ බව අපිට හොඳටම පැහැදිලි වුණා. ඒ නිසා එදා දේශනා සේවයේ හවුල් වුණ හැමෝම හුඟක් සතුටු වුණා.

අපි ගෙදර එන ගමන් එදා දවසේ වුණ දේවල් ගැන මතක් කරගත්තා. ස්හාක් අපේ පණිවිඩය අගය කළ විදිහ, බියට්‍රිස්ගේ මුහුණේ ඇති වුණු සිනාව, තවත් මහලු කාන්තාවක් මට අතට අත දීලා අත තද කරගෙන මාත් එක්ක හිනා වුණ විදිහ මේ දේවල් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒ වගේම යෞවන දරුවන් බුද්ධිමත් විදිහට ප්‍රශ්න ඇහුවම මට පුදුම හිතුණා. කොයි තරම් දුක් කම්කටොලුවලට මුහුණ දුන්නත් හුඟක් අය සිනාමුසු මුහුණෙන් ඉන්න එක ඇත්තටම අගය කරන්න වටිනවා.

දුක් වේදනා විඳින අයව සනසවන්න අද හුඟදෙනෙක් උත්සාහ කරනවා. ඇත්තටම අද පවතින හැම ප්‍රශ්නයකටම නිමාවක් ලැබෙන ආකාරය ගැන බයිබලයෙන් මිනිසුන්ට පහදා දීමට හැකි වීම ලොකු වරප්‍රසාදයක්. ඒ සේවයේ හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබුණු එක ගැන මට දැනෙන සතුට කියා නිම කරන්න බැරි තරම්!