Skip to content

පටුනට යන්න

නිහතමානී පරිවර්තකයෙක් වූ ඔලිවාටාන්

නිහතමානී පරිවර්තකයෙක් වූ ඔලිවාටාන්

නිහතමානී පරිවර්තකයෙක් වූ ඔලිවාටාන්

වර්ෂ 1540 සැප්තැම්බර් 13වෙනිදා පොලිසිය විසින් කොලන් පෙලාන්ක්ගේ නිවස සෝදිසි කළ අතර රහස් කාමරයක තිබූ සැක කටයුතු ලියකියවිලි කිහිපයක් සොයාගනු ලැබුවා. එම ලියවිලි අතර තිබූ විශාල පොතක දෙවෙනි පිටුවේ මෙසේ සඳහන් වුණා. “නිහතමානී පරිවර්තකයෙක් වන පී. රොබේ ඔලිවාටානුස්.” එය ප්‍රංශ බසින් පළ වූ බයිබලයක්. මිථ්‍යා අදහස් දැරීම යන වරදට කොලන් පෙලාන්ක්ව අත්අඩංගුවට ගෙන ඔහුව පණපිටින්ම පුළුස්සා දැමුවා.

යුරෝපයේ වෙනත් රටවල සිදු වුණාක් මෙන් ප්‍රංශයේද කතෝලික පල්ලිවල ඉගැන්වීම්වලට විරුද්ධව නැඟී සිටි අයව මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් දියත් වුණා. ගියෝම් ෆැරල්, පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධව නැඟී සිටි නිර්භීත කෙනෙක්. රෙපරමාදු භක්තිකයන් අතර ප්‍රසිද්ධ කෙනෙක් වූ මාටින් ලූතර්ගේ අදහස් ප්‍රංශ භාෂාව කතා කරන අය අතර ජනප්‍රිය කිරීමට ඔහු උත්සාහ කළා. එය කළ හැකි හොඳම ක්‍රමය එම අදහස් මුද්‍රණය කර බෙදාහැරීම බව ෆැරල් දැන සිටියා. නමුත් ඒවා මුද්‍රණය කිරීමට යන වියදම් දරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වුණා. ඒ නිසා බයිබලය ගැන දේශනා කිරීමට කාලය වැය කළ කණ්ඩායමක් වූ වොල්ඩෝගේ අනුගාමිකයන්ගෙන් උපකාර ලබාගැනීමට ෆැරල් තීරණය කළා.

ෂාන්ෆොරාන්වල පැවැත්වූ සම්මන්ත්‍රණයක්

වර්ෂ 1532 සැප්තැම්බර් මාසයේදී වොල්ඩෝගේ අනුගාමිකයන් අතර සිටි ප්‍රධානීන් සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. එය පැවැත්වූයේ ඉතාලියේ ෂාන්ෆොරාන් ගම්මානයේයි. ඔවුන් වසර කිහිපයක් තිස්සේ රෙපරමාදු නායකයන් සමඟ සාකච්ඡාවලද නියැලී තිබුණු නිසා ෆැරල් ඇතුළු තවත් කිහිපදෙනෙකුටත් එම සම්මන්ත්‍රණයට ආරාධනා කළා. වොල්ඩෝ කණ්ඩායමේ අයට අවශ්‍ය වුණේ ඔවුන්ගේ ඉගැන්වීම්, ලූතර් සහ ඔහුගේ අනුගාමිකයන් ඉගැන්වූ දේවලට එකඟද කියා දැනගැනීමටයි. *

එම සම්මන්ත්‍රණයේදී ෆැරල් ඉතා දක්ෂ ලෙස කතා කළා. වොල්ඩෝ කණ්ඩායමේ අය ඔවුන්ගේ භාෂාවෙන් අතින් ලියූ බයිබලයක් ෆැරල්ට පෙන්වූවා. එවිට ප්‍රංශ භාෂාවෙන් බයිබලයක් මුද්‍රණය කරන්න මුදල් සොයාගන්න කියා ඔහු ඔවුන්ට උනන්දු කළා. කොහොමවුණත් ඒ වන විට ප්‍රංශ භාෂාවෙන් බයිබලයක් තිබුණා. එය පරිවර්තනය කර තිබුණේ 1523දී ලෙෆාව්ර් දෙතාප්ල විසිනුයි. නමුත් එය පරිවර්තනය කිරීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ ලතින් භාෂාවෙන් තිබූ බයිබලයයි. කොහොමවුණත් හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලිවලින් ප්‍රංශ භාෂාවට බයිබලය පරිවර්තනය කළ හැක්කේ කාටද යන ප්‍රශ්නය මතු වුණා.

එය කළ හැකි කෙනෙකුව ෆැරල් දැන සිටියා. ඔහුගේ නම පියේ රොබේ. අන් අය ඔහුව දැන සිටියේ ඔලිවාටාන් * යන නමිනුයි. ඔහු ගුරුවරයෙක්. ජෝන් කැල්වින්ගේ ඥාතියෙක් වූ ඔලිවාටාන්, කැල්වින්ගේ ප්‍රතිසංස්කරණවලට හවුල් වූ විශ්වාසවන්ත කෙනෙක්. ඔහු වසර කිහිපයක් ස්ට්‍රාස්බෝර්ග් නගරයේදී ඉතා උනන්දුවෙන් බයිබලය ලියැවී තිබූ භාෂා ගැන අධ්‍යයනය කළා.

ෆැරල් සහ තවත් බොහෝදෙනා මෙන් ඔලිවාටාන්ද ස්විට්සර්ලන්තයේ ජීවත් වුණේ සරණාගතයෙක් ලෙසයි. බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය භාරගන්න කියා ඔහුගේ මිතුරන් ඔහුගෙන් ඉල්ලා සිටියත් මුලදී ඔහු කිහිපවිටක්ම එය ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේදී හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවෙන් තිබෙන බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීමට ඔහු කැමති වුණා. ඔහු ඒ සඳහා කැමැත්ත පළ කළ මොහොතේදීම එය මුද්‍රණය කිරීම සඳහා වොල්ඩෝ කණ්ඩායමට අයත් අය විශාල මුදලක් වෙන් කළා.

අපහසු කාර්යයක්

ඔලිවාටාන් 1534දී පරිවර්තන කටයුතු සඳහා ඇල්ෆ් කඳුකරයට ගියා. ඔහුට විශාල පුස්තකාලයක් තිබුණා. එහි සිරියානු, ග්‍රීක සහ ලතින් භාෂාවලින් ලියැවුණු බයිබල් පිටපත්, රබ්බිවරුන්ගේ අදහස් ඇතුළත් පොත්, කල්දීය භාෂාවේ ව්‍යාකරණ ඇතුළත් පොත් ඇතුළු තවත් පොත් රැසක් තිබුණා. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් ඉතාලි භාෂාවට පරිවර්තනය කර තිබූ බයිබලයක්ද එහි තිබුණා.

බයිබලයේ ග්‍රීක භාෂාවෙන් ඇතුළත් කොටස පරිවර්තනය කිරීමේදී ඔහු ලෙෆාව්ර් දෙතාප්ල විසින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර තිබූ බයිබලය මූලිකව යොදාගත්තත් ඕලන්ද ජාතික විශාරදයෙක් වූ ඉරැස්මස් පිළියෙල කර තිබූ ග්‍රීක සම්මත ග්‍රන්ථයද ප්‍රයෝජනයට ගත්තා. ඔහු රෝමානු කතෝලික ඉගැන්වීම්වලට සහාය දුන් යෙදුම් භාවිත නොකිරීමට වගබලා ගත්තා. උදාහරණයකට “බිෂොප්” වෙනුවට “සභාව රැකබලා ගන්නා,” “අභිරහස” වෙනුවට “රහස” සහ “පල්ලිය” වෙනුවට “සභාව” යන වචන භාවිත කළා.

හෙබ්‍රෙව් බසින් ඇති කොටස පරිවර්තනය කිරීමේදී ඔහු එහි සඳහන් වචන එලෙසින්ම ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. අලංකාර හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම ගැන ඔහු විහිළුවට මෙන් පැවසුවේ එය හරියට මිහිරි කටහඬක් තිබෙන නයිටිංගේල්ට ගොරහැඬි කටහඬකින් ගීතයක් කීමට පුහුණු කරනවා හා සමාන වැඩක් කියායි.

හෙබ්‍රෙව් ලියවිල්ලෙහි ස්ථාන දහස් ගණනක දෙවිගේ නාමය සඳහන් වී තිබෙන ආකාරය ඔහු දුටුවා. එම නාමය තිබෙන තැන්වල ‘සදාකාල තැනැත්තාණන්’ ලෙස පරිවර්තනය කිරීමට ඔහු තීරණය කළා. පසුව එම යෙදුම ප්‍රංශ භාෂාවෙන් ඇති බයිබල්වල නිතර නිතර දක්නට ලැබුණා. කොහොමවුණත් නික්මයාම 6:3 ඇතුළු තවත් ස්ථාන කිහිපයක ඔහු “යෙහෝවා” යන දෙවිගේ නාමය ඇතුළත් කළා.

වසරකට පමණ පසු එනම් 1535 පෙබරවාරි 12වෙනිදා ඔහු තම පරිවර්තන කටයුතු නිම කළා. ඒ ගැන ඔහු පැවසුවේ “මම හරිම බාරදූර වැඩක් සම්පූර්ණ කළා” කියායි. කොහොමවුණත් ඔහු කිසිවිටෙක ඒ ගැන උඩඟු ලෙස කතා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “මම මගේ උපරිමය කළා” කියායි. හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාවලින් යුත් බයිබලය මූලික ලෙස පදනම් කරගෙන ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර තිබෙන මුල්ම බයිබලය දැන් මුද්‍රණය කිරීමට සූදානම්.

පිරෝගේ මුද්‍රණාලයේදී

ෆැරල්ගේ මිතුරෙක් වන පියේ ඩි වෙන්ගල්, මුද්‍රණ ශිල්පියෙක්. ඔහුව බොහෝදෙනා හැඳින්වූයේ පිරෝ පිකාර් යන නමිනුයි. කතෝලික පූජකයන් විසින් ඔහුවත් පන්නා දැමූ නිසා ඔහුත් 1533දී ස්විට්සර්ලන්තයේ පදිංචි වුණා. වොල්ඩෝගේ අනුගාමිකයන්ගේ මුදල් යොදාගෙන ඔහු කතෝලික පූජකයන්ගේ ඉගැන්වීම් හෙළාදකිමින් විවිධ පත්‍රිකා මුද්‍රණය කළා. පූජාවන් හෙළාදකිමින් ඔහු නිකුත් කළ පත්‍රිකා කිහිපයක් ප්‍රංශයේ රජු වූ පළමුවන ෆ්‍රැන්සිස් අතටත් පත් වුණා.

බයිබලය මුද්‍රණය කිරීම ඉක්මන් කිරීමේ අරමුණින් වෙන්ගල් මුද්‍රණ යන්ත්‍ර දෙකක් යොදාගත් අතර ඒවායේ වැඩ කිරීමට හතරදෙනෙක් හෝ පස්දෙනෙකුගෙන් යුත් කාණ්ඩායම් දෙකක් යොදාගත්තා. එක කණ්ඩායමක් අකුරු ඇමිණූ අතර අනික් කණ්ඩායම මුද්‍රණ කටයුතු කළා. ඔලිවාටාන් විසින් පරිවර්තනය කළ බයිබලයේ මුද්‍රණ කටයුතු 1535 ජූනි 4වෙනිදා අවසන් වුණා. මෙම බයිබලය විශේෂයෙන්ම ලියැවී තිබෙන්නේ “කිසි තේරුමක් නැති සම්ප්‍රදායන් නිසා තැළී පොඩි වී සිටින අයට” බව ඔලිවාටාන් එහි පෙරවදනේ සඳහන් කළා.

එම බයිබලයේ සඳහන් වූ තොරතුරු ඉතා නිවැරදි වුණා. පහසුවෙන්ම තේරුම්ගැනීමටත් හැකි වුණා. එය පරිච්ඡේද සහ ඡේදවලට වෙන් කර තිබූ අතර සෑම පිටුවක්ම තීරු දෙකකට වෙන් කර මුද්‍රණය කර තිබුණා. එහි සඳහන්ව තිබූ අමතර යොමු දැක්වීම් දෙස බලන විට එහි පරිවර්තකයා කොතරම් දක්ෂ ලෙස තම කාර්යය කර තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. ඊට අමතරව හැඳින්වීමක්, උපග්‍රන්ථ, වගු සහ කාව්‍යමය කොටස් නිසාත් එහි අගය තවත් වැඩි වුණා. එහි අවසන් පිටුවේ මෙසේ සඳහන් වෙනවා. “මෙම බයිබලය මහජනයා අතට පත් කර ඇත්තේ ශුභාරංචිය ප්‍රචාරය කරන්නන් වන වොල්ඩෝගේ අනුගාමිකයන් විසිනුයි.”

දක්ෂ වැඩක අසාර්ථක පැත්ත

මුලදී එම බයිබලය විවේචනයට ලක් වුණත් අද වන විට එය පිළිගත් බයිබලයක් ලෙස නම් දරා තිබෙනවා. සියවස් තුනක් පුරාවටම රෙපරමාදු බයිබල් සඳහා පදනම ලෙස මෙම බයිබලය යොදාගැනුණා.

මෙම බයිබලයේ පිටපත් දහසක් පමණ මුද්‍රණය කළත් ඒවායින් වැඩි හරියක් විකුණුනේ නැහැ. ඊට හේතු නම් ඒවා බෙදාහැරීමට නිසි ක්‍රමයක් නොතිබීම සහ එවකට ප්‍රංශ භාෂාවේ බොහෝ වෙනස්කම් සිදු වීමයි. ඊට අමතරව එය කිලෝග්‍රෑම් පහක් පමණ බර නිසා දේශනා සේවයේ ගිය අයට එය රැගෙන යෑම අපහසු වුණා. එය රහසිගතව තබාගැනීමත් පහසු වුණේ නැහැ.

මෙම ලිපියේ මුලින් සඳහන් කළ ප්‍රංශයේ විසූ කොලන් පෙලාන්ක්ගේ නිවසටත් එහි පිටපතක් ලැබී තිබුණත් ඔලිවාටාන්ගේ බයිබලයේ පිටපත් විකුණා ගැනීම පහසු වුණේ නැහැ. එය මුද්‍රණය කර සියවස් එකහාමාරකට පසුවත් එනම් 1670වන විටත් ජිනීවා නුවරේ තිබූ එක් පොත් සාප්පුවක එහි පිටපතක් විකිණීමට තිබුණා.

“ලියූ කෙනෙක් නැහැ”

ඔලිවාටාන්, බයිබලය පරිවර්තනය කර අවසන් වූ පසු කාත් කවුරුත් නොදන්නා පළාතක ජීවත් වුණා. ඔහු ප්‍රංශ භාෂාවෙන් පරිවර්තනය කළ ඔහුගේ බයිබලය සංශෝධනය කළා. ඒ කාලයේදී ඔහු ගුරු වෘත්තියේද නියැලුණා. ඊට අමතරව දරුවන් වෙනුවෙන් ලියා තිබූ ඔහුගේම පොතක් නැවත සංශෝධනය කළ ඔහු බයිබල් පද ඇසුරෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට යෞවනයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරුත් ප්‍රංශ භාෂාව කියවීමට උපකාරවත් වන තොරතුරුත් එහි ඇතුළත් කළා. තම නාමය යොදනවා වෙනුවට ඔහු යොදාගත් වෙනත් නම් අතරේ බෙලිසෙම් ඩි බෙලිමාකොම් යන නම ඇතුළත් වුණා. එහි තේරුම “ලියූ කෙනෙක් නැහැ” යන්නයි.

ඔහු 1538දී මිය ගියා. ඒ වන විට වයස අවුරුදු 30ස් ගණන්වල පසු වූ ඔහු රෝමයේ සිටින්න ඇති කියා විශ්වාස කරනවා. තරුණ පරිවර්තකයෙක් වූ ඔහු බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා දැරූ වෙහෙස ගැන දන්නේ අද සිටින අය අතරින් සුළුතරයක් පමණයි. ඔහුගේ නම සඳහන් වන්නේත් ශබ්දකෝෂ අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක පමණයි. “නිහතමානී පරිවර්තකයෙක් වූ ඔලිවාටාන්” ලෙස හැඳින්වූ පියේ රොබේ නිහතමානී කෙනෙක් නිසා එතරම් ප්‍රසිද්ධ නොවීම ගැන අපි පුදුම විය යුතු නැහැ.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වොල්ඩෝගේ අනුගාමිකයන් (වොල්ඩෙන්සෙස්) ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2002 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 20 සිට 23 දක්වා පිටු බලන්න.

^ 7 ඡේ. ඔහු උපන් විට ඔහුට තැබුවේ ලුවී රොබේ යන නමයි. පසුව ඔහු පියේ යන මුල් නම යොදාගත්තා. ඔහුව ඔලිවාටාන් යන නමින් හැඳින්වීමට හේතුව විය හැක්කේ ඔහු අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ආලෝකය ලබාගැනීමට ඔලීව තෙල් විශාල ප්‍රමාණයක් ගැනීමයි.

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Archives de la Ville de Neuchâtel, Suisse/​Photo: Stefano Iori

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

වම්පස ඡායාරූපය: Alain Leprince - La Piscine-musée, Roubaix/​Courtesy of the former Bouchard Museum, Paris

මැද හා දකුණුපස: Société de l’Histoire du Protestantisme Français, Paris

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Société de l’Histoire du Protestantisme Français, Paris