Skip to content

පටුනට යන්න

ඔබ බදු ගෙවිය යුතුද?

ඔබ බදු ගෙවිය යුතුද?

ඔබ බදු ගෙවිය යුතුද?

කැමැත්තෙන්ම බදු ගෙවන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. බොහෝදෙනා සිතන්නේ තමන් ගෙවන බදු මුදල් යටිමඩි ගැසීම, නාස්තිය හා වංචාව නිසා අපතේ යන බවයි. ආණ්ඩුව නියම ආකාරයට බදු මුදල් පාවිච්චි නොකරන නිසා තවත් අය බදු ගෙවීමට අකමැත්තක් දක්වනවා. බදු නොගෙවා සිටීමට හේතු දක්වමින් මැද පෙරදිග රටක වැසියන් පිරිසක් මෙසේ පැවසුවා. “අපි ගෙවන බදු, යුද්ධයට වියදම් කරනවා. මැරෙන්නේ අපේ ළමයි. ඒකට අපි කැමති නැහැ.”

එවැනි අදහස් අලුත් ඒවා නොවෙයි. බදු ගෙවීම තමාගේ සිතට එකඟ නොවීමට හේතුව ගැන මොහන්දාස් කේ. ගාන්ධි මෙසේ පැවසුවා. “හමුදාවක් සතු ආණ්ඩුවකට බදු ගෙවන කෙනෙක් කරන්නේ වරදක්.”

එවැනිම අදහසක් දැරූ 19වන සියවසේ සිටි දාර්ශනිකයෙක් වන හෙන්රි ඩේවිඩ් තොරෝද මෙසේ පැවසුවා. “තමාගේ හෘදය සාක්ෂියට අනුව ගන්න අවශ්‍ය තීරණයක් ගන්න වෙන කෙනෙකුට ඉඩ දෙන එක හරිද? එහෙම කරනවා නම් හෘදය සාක්ෂියක් අවශ්‍ය නැහැ.”

නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටිය යුතු බව බයිබලයේ පවසා ඇති නිසා ක්‍රිස්තියානීන්ද බදු ගෙවීම ගැන සැලකිලිමත් වෙනවා. (2 තිමෝති 1:3) බදු අය කරගැනීමට ආණ්ඩුවලට අයිතියක් තිබෙන බව බයිබලයේද පවසා තිබෙනවා. ඒ ගැන එහි මෙසේ සඳහන් වෙනවා. ‘සියලුදෙනාම උසස් බලධාරීන්ට [එනම් ආණ්ඩුවලට] යටත් විය යුතුයි. සියලුම බලතල දෙවි සතු නිසා එම බලධාරීන්ට යම් බලතල ලබා දී තිබෙන්නේ දෙවිය. එහෙයින් ඔබ ඔවුන්ට අනිවාර්යයෙන්ම යටත් විය යුතුයි. එසේ සිටිය යුත්තේ ඔවුන් දෙන දඬුවමට ඔබ බිය වන නිසා පමණක් නොව ඔබේ හෘදය සාක්ෂිය නිසාය. ඔබ බදු ගෙවන්නෙත් ඒ නිසාය. මන්ද එම බලධාරීහු තම රාජකාරිය ඉටු කරමින් මහජනයා සඳහා දෙවි වෙනුවෙන් වටිනා සේවයක් ඉටු කරති. සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද දෙන්න.’—රෝම 13:1, 5-7.

ඊට එකඟව ක්‍රියා කළ පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් මෙන්ම වර්තමානයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නියමිත බදු ගෙවීම සම්බන්ධයෙන් නම් දරා සිටිනවා. * බදුවලින් යම් කොටසක් යුධ කටයුතුවලට යොදවන බව දැන සිටියත් ඔවුන් නියමිත බදු ගෙවනවා. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඉන් අදහස් කරන්නේ බදු ගෙවන විට ක්‍රිස්තියානීන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධව කටයුතු කරන බවද?

හෘදය සාක්ෂිය සමඟ ගැටීමක් නැහැ

පළමු ශතවර්ෂයේ සිටි අය ගෙවූ බදුවලින් යම් ප්‍රමාණයක් හමුදාව වෙනුවෙන් වැය කළා. ඒ වුණත් ඔවුන් හෘදය සාක්ෂියට එකඟව බදු ගෙව්වා. ඉහත සඳහන් පරිදි මොහන්දාස් කේ. ගාන්ධි හා හෙන්රි ඩේවිඩ් තොරෝ බදු ගෙවීමට අකමැති වුණෙත් ආණ්ඩු එම මුදල් හමුදාවේ කටයුතු වෙනුවෙන් වැය කළ නිසයි.

ක්‍රිස්තියානීන් බදු ගෙවිය යුත්තේ දඬුවමට ඇති බිය නිසා පමණක් නොව ‘හෘදය සාක්ෂියට’ එකඟව ක්‍රියා කළ යුතු නිසයි. (රෝම 13:5) ඒ නිසා ආණ්ඩු තමන් අකමැති දේවලට බදු මුදල් වැය කළත් ක්‍රිස්තියානීන් බදු ගෙවීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකනවා. එයට හේතුව කුමක්ද?

දෙවිගේ සිතුවිලි තමන්ගේ සිතුවිලිවලට වඩා උසස් බව තේරුම්ගෙන සිටින නිසා ක්‍රිස්තියානීන් තම හෘදය සාක්ෂිය දෙවිගේ ප්‍රමිතිවලට අනුව පුහුණු කර තිබෙනවා. (ගීතාවලිය 19:7) ඒ නිසා ඔවුන් තමන්ට හරියි කියා සිතන දේට අනුව තීරණ ගන්නේ නැහැ. ආණ්ඩු සම්බන්ධයෙන් දෙවි සිතන ආකාරය අපි සලකා බලමු.

ආණ්ඩු බලධාරීන් “දෙවි වෙනුවෙන් වටිනා සේවයක්” ඉටු කරන බව බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 13:6) ඉන් අදහස් වන්නේ බලධාරීන් රටක නීති ක්‍රියාත්මක කරන අතර මහජනයාට විවිධ සේවාවන් ඉටු කර දෙන බවයි. දූෂිත යැයි සැලකෙන ආණ්ඩු පවා තැපැල් සේවය, පාසැල්, ගිනි නිවීම් හා නීති ක්‍රියාත්මක කිරීම වැනි දේවල් සිදු කරනවා. ආණ්ඩුවල බලධාරීන් සිදු කරන දූෂිත ක්‍රියා දෙවි දුටුවත් ආණ්ඩු පැවතීමට දෙවි ඉඩ දී තිබෙනවා. එම ආණ්ඩුවලට බදු ගෙවන්න කියා අපට ආඥාවක්ද දී තිබෙනවා. අප බදු ගෙවීම තුළින් සිදු කරන්නේ දෙවි ඇති කර තිබෙන සැලැස්මට ගරු කිරීමයි.

දෙවි මිනිස් ආණ්ඩුවලට පාලනය කිරීමට ඉඩ දෙන්නේ තව කෙටි කලකට පමණයි. ශතවර්ෂ ගණනාවක් පුරා මිනිස් ආණ්ඩු විසින් සිදු කර ඇති සියලුම හානි නැති කර දැමීමට දෙවි පියවර ගන්නවා. ඒ සඳහා දෙවි ස්වර්ගයේ ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. (දානියෙල් 2:44; මතෙව් 6:10) කෙසේවෙතත් අද පවතින ආණ්ඩුවලට විරුද්ධ වෙමින් බදු ගෙවීම පැහැරහරින්න දෙවි තම සේවකයන්ට අවසර දී නැහැ.

නමුත් ආණ්ඩුවලට බදු ගෙවීම තුළින් සිදු වන්නේ යුද්ධයට සහය වීමක් යන ආකල්පය ඔබට තවමත් තිබෙනවා නම් කුමක් කළ හැකිද? දෙවි සිතන ආකාරයට ඔබේ සිතුවිලි සකස් කරගත යුතුයි. දෙවිගේ සිතුවිලි ඔබේ සිතුවිලිවලට වඩා කොතරම් උසස්ද කියා තේරුම්ගැනීම ඒ සඳහා ඔබට උපකාරවත් වේවි. දෙවිම පවසා තිබෙන මේ දේ සලකා බලන්න. “පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන් මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය. මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.”—යෙසායා 55:8, 9.

සෑම දෙයකටම කීකරු විය යුතුද?

ආණ්ඩුවලට බදු ගෙවිය යුතුයි කියා බයිබලයේ සඳහන් වී තිබුණත් ආණ්ඩු විසින් දමන සෑම නීතියකටම මහජනයා යටත් විය යුතුයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව යේසුස් පැවසූ ආකාරයට දෙවි ඔවුන්ට ලබා දී තිබෙන්නේ සීමිත අධිකාරියක් පමණයි. රෝම ආණ්ඩුවට බදු ගෙවීම සුදුසුද කියා යේසුස්ගෙන් ඇසූ විට ඔහු ඊට ලබා දුන් මෙම පිළිතුරෙන් එය පැහැදිලි වෙනවා. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.”—මාක් 12:13-17.

‘සීසර්ගෙන්’ නියෝජනය කරන්නේ ආණ්ඩුයි. කාසි හා මුදල් නෝට්ටු නිෂ්පාදනය කරන්නේත් ඒවායේ වටිනාකම තීරණය කරන්නේත් ආණ්ඩු විසිනුයි. ඒ නිසා බදු මාර්ගයෙන් ඉන් යම් ප්‍රමාණයක් නැවත ලබාගැනීමට ආණ්ඩුවලට අයිතියක් තිබෙන බව දෙවි දන්නවා. කෙසේවෙතත් “දෙවිට අයිති දේ” එනම් අපගේ නමස්කාරය ලැබීමට දෙවිට තිබෙන අයිතිය පැහැරගැනීමට ආණ්ඩුවලට කිසිම අයිතියක් නැහැ. මිනිසුන් විසින් ඇති කර තිබෙන නීති දෙවිගේ නීති සමඟ ගැටෙන අවස්ථාවලදී ක්‍රිස්තියානීන් “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.

ආණ්ඩු බදු මුදල් යොදාගෙන කරන ඇතැම් දේවලට ක්‍රිස්තියානීන් එකඟ නොවුණත් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කිරීමට හෝ බදු මුදල් ගෙවීම පැහැරහැරීමට ඔවුන් එය හේතුවක් කරගන්නේ නැහැ. ඔවුන් එසේ කළොත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට දෙවි දී තිබෙන පොරොන්දුව කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් නැති බව පෙන්වනවා. ඒ වෙනුවට දෙවි ඒ සඳහා පියවර ගන්නා තෙක් ඔවුන් බලා සිටිනවා. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා පැවසූ යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි මිනිසුන්ගේ ප්‍රශ්නවලට නිමාවක් ගෙනෙන බව ඔවුන් හොඳින්ම දන්නවා.—යොහන් 18:36.

බයිබල් ප්‍රමිති පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන

බදු ගෙවීම සම්බන්ධයෙන් බයිබලයේ ප්‍රමිති පිළිපදිනවා නම් නීතිය කඩ කරන අයට ලැබෙන දඬුවමින් සහ අත්අඩංගුවට ගනියි යන බියෙන් නිදහස් විය හැකියි. (රෝම 13:3-5) නීතිගරුක පුද්ගලයෙක් වීම තුළින් දෙවිට ගෞරවයක් ලැබෙන අතර නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටද හැකි වෙනවා. බදු ගෙවීම නිසා ඔබ සතුව තිබෙන මුදල් යම් ප්‍රමාණයකින් අඩු වුණත් දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගන්නා බවට පොරොන්දු වී තිබෙන බව අමතක කරන්න එපා. එය සැබෑවක් බව අද්දුටු පුරාණයේ සිටි දාවිත් රජ මෙසේ පැවසුවා. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.”—ගීතාවලිය 37:25.

බයිබලයේ සඳහන් නීති නිවැරදිව තේරුම්ගෙන ඒවා පිළිපැදීමෙන් අපට මහත් සහනයක් අද්දැකිය හැකියි. නිවසක කුලීකරුවන්ගෙන් අය කරගන්නා මුදල්වලින් නිවෙස් හිමියා කරන දේවලට කුලීකරුවන් වග කිව යුතු නැහැ. ඒ හා සමානව ඔබ ලබා දෙන බදු මුදල් යොදාගෙන ආණ්ඩුව කරන දේවලට වග කිව යුත්තේ ඔබ බව දෙවි සිතන්නේ නැහැ. එය දැන සිටීම මොන තරම් සහනයක්ද! එය අද්දුටු ස්ටෙල්වියෝගේ අද්දැකීම සලකා බලන්න. ඔහු දකුණු යුරෝපයේ දේශපාලනික වෙනස්කමක් සිදු වන තුරු බලා සිටියා. නමුත් බයිබලයේ ඇති තොරතුරු ඉගෙනගත් පසු තම අදහස වෙනස් කරගත්තා. ඊට හේතුව ඔහු පැහැදිලි කළේ මෙසේයි. “යුක්තිය, සාමය හා සහෝදරත්වයෙන් පිරි ලෝකයක් ඇති කරන්න මිනිසුන්ට බැහැ කියලා මම තේරුම්ගත්තා. යහපත් සමාජයක් ඇති කිරීමට හැකියාව තියෙන්නේ දෙවිගේ රාජ්‍යයට විතරයි.”

ඔහු මෙන් ඔබත් ‘දෙවිට අයිති දේ දෙවිට’ දෙනවා නම් දෙවි ධර්මිෂ්ඨ පාලනයක් ඇති කරමින් මිනිසුන්ගේ පාලනයන් මගින් සිදු කළ සියලුම අකටයුතුකම් නැති කරන ආකාරය දැකගැනීමට ඔබටත් හැකි වෙයි.

[පාදසටහන]

^ 6 ඡේ. වැඩි විස්තර දැනගැනීමට 2002 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 13වන පිටුවේ 15වන ඡේදයත් 1996 මැයි 1 කලාපයේ 17වන පිටුවේ 7වන ඡේදයත් බලන්න.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ සිතුවිලි අපගේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස් නිසා අපගේ සිතුවිලි සකසාගත යුතුයි

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බදු ගෙවීමෙන් ක්‍රිස්තියානීන් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින අතර තමන්ගේ අවශ්‍යතා ඉටු කරන්න දෙවිට හැකි බව ඔවුන් විශ්වාස කරන බව පෙන්වනවා

[22වන පිටුවේ පින්තූර]

“සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න”

[හිමිකම් විස්තර]

Copyright British Museum