Skip to content

පටුනට යන්න

බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා

බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා

බයිබලය කියවීම මට ලොකු ශක්තියක් වුණා

මාර්සෝ ලර්වා

“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියා සඳහන් වී ඇති බයිබලයේ මුල් පදයේ සිට මම බයිබලය කියවන්න පටන්ගත්තා. නමුත් මම ඒක කළේ කාටත් හොරෙන්. ඒකට හේතුව මගේ තාත්තා අදේවවාදියෙක්. මගේ අතේ බයිබලයක් තියෙනවට තාත්තා කොහොමටවත් කැමති වෙන්නේ නැහැ.

මම කලින් බයිබලය කියවලා තිබුණේ නැහැ. නමුත් බයිබලයේ සඳහන් ඒ මුල් වාක්‍ය මගේ හිතට තදින්ම කාවැදුණා. භෞතික නීති කිසිම ගැටීමක් නැතුව දිගටම ක්‍රියාත්මක වීම මට ලොකු පුදුමයක් වුණා. ඊට උත්පත්ති පොතේ මුල් පදයෙන් මට පිළිතුරු ලැබුණා. මම එදා රෑ අටේ සිට පාන්දර හතර වෙනකල් බයිබලය කියෙව්වා. එදා පටන් බයිබලය කියවීම මගේ දිනචර්යාවේ කොටසක්. එය මට ශක්තියක් වුණේ කොහොමද කියලා මම කියන්නම්.

“හැමදාම කියවන්න වෙයි”

මම ඉපදුණේ ප්‍රංශයේ ගල් අඟුරු ආකරවලට ප්‍රසිද්ධ ගම්මානයක් වන වර්මෙලිස්වල 1926දියි. දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී රටේ ආර්ථිකය නංවාලීමට ගල් අඟුරු ආකරවල වැඩ කිරීම අත්‍යවශ්‍ය සේවයක් වුණා. ඒ නිසා යුධ හමුදා සේවයෙන් මට නිදහස ලැබුණා. සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නිසා මම ගුවන්විදුලි කාර්මික ශිල්පය සහ විදුලි කාර්මික ශිල්පය ගැන හදාරන්න පටන්ගත්තා. භෞතික නීති කිසිම ගැටීමක් නැතුව මොන තරම් පිළිවෙළකට ක්‍රියා කරනවාද කියලා මම ඉගෙනගත්තේ ඒ කාලයේදියි. මට මුලින්ම බයිබලයක් ලැබුණේ අවුරුදු 21දියි. ඒක දුන්නේ මගේ පංතියේ යාළුවෙක්. ඔහු ඒක මට දීලා “මේක කියවන්න වටින පොතක්” කියලා කිව්වා. මම බයිබලය සම්පූර්ණයෙන් කියෙව්වට පස්සේ තේරුම්ගත්තා එය දෙවි මිනිසුන්ට ඔහුගේ පණිවිඩය දැනුම් දීමට දුන් පොතක් කියලා.

මගේ අසල්වැසියනුත් බයිබලය කියවන්න කැමති වෙයි කියලා හිතලා මම බයිබල් අටක් ගත්තා. නමුත් ඒ අය මට විහිළු කළා. මිථ්‍යා විශ්වාස තිබුණු මගේ සමහර නැදෑයෝ කිව්වේ “ඔයා ඕක කියවන්න පටන්ගත්තොත් ඔයාට හැමදාම කියවන්න වෙයි” කියලයි. ඔව්, මම ඇත්තටම හැමදාම ඒක කියවනවා. මම ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නැහැ. ඒක දැන් මගේ ජීවිතයේ කොටසක්.

මම බයිබලය කියවන්න උනන්දුයි කියලා දැනගත්ත සමහර අසල්වැසියෝ ඒ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දුන් පොත් පත් මට දුන්නා. මිනිසුන්ට ඇති එකම බලාපොරොත්තුව දෙවිගේ රාජ්‍ය කියා බයිබලයේ පවසා තියෙන්නේ ඇයි කියලා පැහැදිලි කරපු පොත * මට ලැබුණා. (මතෙ. 6:10) මම දැනගත්ත ඒ පණිවිඩය අනික් අයට කියන්න මම ස්ථිර අධිෂ්ඨානයක් ගත්තා.

මගෙන් මුලින්ම බයිබලයක් ගත්තේ මම කුඩා කාලයේ ඉඳන්ම හඳුනන නොයෙල් කියන මගේ යාළුවෙක්. ඔහු කතෝලික භක්තිකයෙක් නිසා පූජකයෙක් වෙන්න ඉගෙනගන්න කෙනෙක්ව මුණගැහෙන්න ඔහු සැලසුම් කළා. ඒ වගේ කෙනෙක්ව හමු වීම ගැන මට මුලින් පොඩි චකිතයක් තිබුණා. රූප නමස්කාරය හා පූජකයන්ට පදවි නාමවලින් ඇමතීම දෙවි හෙළා දකිනවා කියලා බයිබලයෙන් මම දැනගෙන හිටිය නිසා මම විශ්වාස කරන දේට පදනමක් සපයන්න ඒ දැනුම මට ප්‍රයෝජනවත් වුණා. (ගීතා. 115:4-8; මතෙ. 23:9, 10) ප්‍රතිඵලයක් ලෙස නොයෙල් සත්‍යය පිළිගත් අතර අද වන තුරු ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස විශ්වාසවන්තව සේවය කරනවා.

මම දවසක් මගේ අක්කව මුණගැහෙන්න ගියා. එයාගේ මහත්තයා ළඟ භූතවාදය ගැන ලියැවුණු පොත් තිබුණා. ඔහුට භූත බලපෑම්ද තිබුණා. ඒ වගේ කෙනෙකුට උදව් කරන්න මට ශක්තියක් නැහැ කියලා මුලින් හිතුණත් හෙබ්‍රෙව් 1:14 කියන විදිහට දෙවිගේ දූතයන්ගේ උපකාරය තියෙනවා කියන නිසැකකම මට තිබුණා. මගේ මස්සිනා බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගෙන භූතවාදයට සම්බන්ධ හැම දෙයකින්ම ඈත් වුණාට පස්සේ ඒ බලපෑම්වලින් නිදහස් වෙන්න ඔහුට පුළුවන් වුණා. පසුව එයාලා උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

ආතර් ඉමියොට් කියන ඇමෙරිකානු ජාතික සහෝදරයා 1947දී මාව හමු වෙන්න ආවා. මට එයාව දැක්කම ලොකු සතුටක් දැනුණා. මම ඇහුවා සාක්ෂිකරුවන් කොහෙද රැස්වීම් පවත්වන්නේ කියලා. ඔහු කිව්වා කිලෝමීටර් 10කට එහා තියෙන තැනක ඔවුන් රැස් වෙනවා කියලා. ඒ දවස්වල මිල දී ගන්න එතරම් බයිසිකල් තිබුණේ නැති නිසා මාස කිහිපයක් මම රැස්වීම් ගියේ පයින්. ප්‍රංශයේ සාක්ෂිකරුවන්ගේ වැඩ අවුරුදු අටක් තහනම් කරලා තිබුණා. ඒ කාලයේ මුළු රටේම සිටියේ සාක්ෂිකරුවන් 2,380ක් පමණයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පෝලන්තයෙන් පැමිණි අයයි. නමුත් 1947 සැප්තැම්බර් 1වෙනිදා නැවතත් සාක්ෂිකරුවන්ට ආගමික නිදහස ලැබුණා. ඔවුන්ගේ ශාඛා කාර්යාලය පැරිස් නුවරෙහි නැවත පිහිටෙව්වා. ඒ වෙද්දී ප්‍රංශයේ කිසිම පුරෝගාමියෙක් හිටියේ නැති නිසා 1947 දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවාවේ ස්ථාවර පුරෝගාමි සේවය කිරීමට ආරාධනා කර තිබුණා. ඒ කාලයේදී ස්ථාවර පුරෝගාමීන්ට පැය 150ක් වාර්තා කරන්න තිබුණා. (නමුත් 1949දී එය 100 දක්වා අඩු කළා.) යොහන් 17:17හි “[දෙවි] පවසන දේ සත්‍යය” කියා යේසුස් පැවසූ වචන තේරුම්ගත් නිසා 1948දී මම බව්තීස්ම වුණා. වර්ෂ 1949 දෙසැම්බර් මාසයේ සිට මම පුරෝගාමි සේවය ආරම්භ කළා.

සිර ගෙදරින් ඩන්කර්කුයි නගරයට

පුරෝගාමියෙක් ලෙස මට සේවය කිරීමට මුල්ම පැවරුම ලැබුණේ දකුණු ප්‍රංශයේ ඒසන් නම් ප්‍රදේශයේයි. මම එහේ සේවය කළේ ටික කාලයයි. ඒකට හේතුව ඒ වෙන කොට මම ගල් අඟුරු ආකරවල වැඩ කළේ නැති නිසා මාව හමුදා සේවයට බඳවාගන්න උත්සාහ කිරීමයි. ඒක ප්‍රතික්ෂේප කළ නිසා මාව හිරේ දැම්මා. මට බයිබලයක් ළඟ තියාගන්න දුන්නේ නැතත් ගීතාවලිය පොතේ පිටු කිහිපයක් සොයාගන්න මට පුළුවන් වුණා. ඒවා කියවීමෙන් මම ලොකු ශක්තියක් ලැබුවා. හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ පුරෝගාමි සේවය නතර කරලා මගේ දියුණුව සඳහා මොනවා හරි කරනවාද කියලා තීරණය කරන්න මට සිද්ධ වුණා. බයිබලය කියවලා රැස් කරගෙන තිබුණු දැනුම හරි තීරණයක් ගන්න මට උදව් වුණා. මම ෆිලිප්පි පොතේ සඳහන් පාවුල්ගේ මේ වදන් ගැන ගැඹුරින් කල්පනා කළා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලි. 4:11-13) මම දිගටම පුරෝගාමි සේවය කරන්න තීරණය කළා. මම කලින් සේවය කළ ඩන්කර්කුයි ප්‍රදේශයේ නැවතත් සේවය කරන්න 1950දී මට පැවරුමක් ලැබුණා.

දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී ඩන්කර්කුයි නගරය විනාශයට පත් වෙලා තිබුණා. ඒ නිසා මට නවාතැනක් සොයාගන්න පහසු වුණේ නැහැ. මීට කලින් මට එහෙදී හමු වූ පවුලක් මම බලන්න ගියා. මාව දැකලා ඒ ගෙදර කාන්තාව හුඟක් සතුටින් මෙහෙම කිව්වා. “ලර්වා මහත්මයා, ඔයා හිරෙන් නිදහස් වුණාද? මේ රටේ ඔයාලා වගේ අය තව ඉන්නවා නම් යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියලා මගේ මහත්තයා කිව්වා.” ඔවුන්ට පොඩි තානායමක් තිබුණා. අවුරුද්දේ ඒ කාලයේදී සංචාරකයන් එන්නේ නැති නිසා මට තාවකාලිකව එහේ නවාතැන් දුන්නා. එදාම සහෝදර ආතර් ඉමියොට්ගේ සහෝදරයා වන ඉවාන්ස් මට රැකියාවක් හොයලා දුන්නා. * ඔහු සේවය කළේ වරායේ. ඔහු වරායේ නිලධාරියෙකුට මාව හඳුන්වලා දීලා නැවක් මුර කිරීමේ රැකියාවක් මට හොයලා දුන්නා. මම කාලයක් හිරේ හිටපු නිසා මගේ ඇඟ හොඳටම වැහැරිලයි තිබුණේ. ඒකට හේතුව ඉවාන්ස් ඔහුට කිව්වට පස්සේ ඔහු මට ශීතකරණයේ තියෙන කෑම අරං කන්න කිව්වා. මට එකම දවසේ රැකියාවකුත් ඉන්න තැනකුත් කෑමත් ලැබුණා. මතෙව් 6:25-33හි යේසුස්ගේ වදන් මොන තරම් සත්‍යයක්ද!

සංචාරකයන් එන්න පටන්ගත්තාම මටයි මාත් එක්ක සේවය කළ සයිමන්ටයි තානායමෙන් යන්න සිදු වුණා. ඊටපස්සේ අපිට නවාතැන් ගන්න වුණේ අත්හැර දමා තිබුණු අශ්ව ගාලකයි. අපි නිදාගත්තේ පිදුරු ගොඩෙයි. අපි අශ්ව ගාල අයිතිකරුට සාක්ෂි දැරුවා. ඒ නගරයේ සත්‍යය පිළිගත් කිහිපදෙනා අතර ඔහුත් හිටියා. වැඩි කල් යන්න කලින් ඒ නගරයේ පළ වූ පත්තරයක එහි වැසියන්ට අනතුරු අඟවමින් ‘සාක්ෂිකරුවන් ගම්මානය වටලයි’ යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ වුණා. ඒ වෙන කොට එහේ හිටියේ මම, සයිමන් සහ තවත් සාක්ෂිකරුවන් අතලොස්සක් විතරයි. අපි අසීරු අවස්ථාවලට මුහුණ දෙද්දී දෙවිගේ පොරොන්දු ගැනත් ඔහු අපට කර තිබෙන ආශීර්වාද ගැනත් කල්පනා කළා. මම ඒ නගරයේ කළ සේවය 1952 අවසන් කරද්දී එහේ ස්ථාවර පුරෝගාමීන් 30ක් විතර හිටියා.

අලුත් වගකීම්

ටික කාලයක් අමීන්ස් ප්‍රදේශයේ සේවය කිරීමෙන් පසු පැරිස් නුවරේ ගම්බද ප්‍රදේශයක විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මට හුඟක් බයිබල් පාඩම් තිබුණා. පසු කාලයකදී ඔවුන්ගෙන් සමහර අය පුරෝගාමි සේවය සහ මිෂනාරි සේවය තෝරාගත්තා. ඉන් එක් කෙනෙක් චාරිකා සේවකයෙකු ලෙසත් පසුව දිස්ත්‍රික් සේවකයෙකු ලෙසත් සේවය කළා. පසු කාලයකදී ඔහු බෙතෙල් ගෘහයට අයත් මුද්‍රණ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ වැඩකටයුතුද අධීක්ෂණය කළා. සේවයේදී හමු වන අය සමඟ බයිබලයේ ඇති සත්‍යයන් සාකච්ඡා කරන විට ඒවා මගේ මතකයේ තදින් කාවැදුණා. ඒ නිසා මට ලොකු සතුටක් දැනුණා. දක්ෂ ලෙස උගන්වන්නත් හැකි වුණා.

මම හිතපු නැති විදිහේ පැවරුමක් මට ලැබුණා. එය නම් ජර්මනිය විසින් 1871 හා 1945 යන අවුරුදුවල යටත් කරගත් ප්‍රාන්තයක 1953දී චාරිකා සේවයේ යෙදීමයි. ඒ නිසා ජර්මානු භාෂාව ඉගෙනගන්න මට සිද්ධ වුණා. මම ඒ ප්‍රදේශයේ වැඩ පටන්ගන්න කොට එහේ තිබුණේ කාර් කිහිපයක්, රූපවාහිනි යන්ත්‍ර කිහිපයක් හා යතුරු ලියන යන්ත්‍ර කිහිපයක් පමණයි. කාටවත් ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ පරිගණකයක් තිබුණේ නැහැ. නමුත් මට ජීවිතය නිරස වුණේ නැහැ. ඇත්තටම මගේ ජීවිතයේ සුන්දරම කාලය එයයි. බයිබලයේ කියනවා වගේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් වෙත යොමු කර තබාගන්න අදට වඩා එදා හුඟක් පහසු වුණා.—මතෙ. 6:19-22.

ප්‍රංශයේ 1955දී පැවැත්වූ එක්රැස්වීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට ඉරේන් කොලන්ස්කිව හමු වුණේ එහෙදියි. ඇය පූර්ණකාලීන සේවය පටන්ගෙන තිබුණේ මට වඩා අවුරුද්දකට කලිනුයි. ඇගේ පෝලන්ත ජාතික දෙමාපියන් දෙදෙනා බොහෝ කාලයක් පුරා උද්‍යෝගයෙන් දෙවිට සේවය කළ සාක්ෂිකරුවන්. සහෝදර රසල්ගේ වත්තේ වැඩ කළ, පසුව යුරෝපයේ සාක්ෂි දැරීමේ කාර්යයෙහි නිරත වූ ඇඩොල්ෆ් වෙබර්ව ඔවුන්ට මුණගැසී තිබුණා. ඉරේන් හා මම 1956දී විවාහ දිවියට පිවිසුණා. ඉන්පසු ඇයත් මාත් සමඟ චාරිකා සේවයේ හවුල් වුණා. ඇය මේ දක්වාම මට පූර්ණ සහයෝගය දක්වමින් සිටිනවා.

අවුරුදු දෙකකට පස්සේ මට දිස්ත්‍රික් සේවයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. චාරිකා සේවයේ යෙදෙන සහෝදරයන්ගේ අඩුව පිරවිය යුතු නිසා මට ඒ සේවයේත් හවුල් වෙන්න සිදු වුණා. මාසයකට පැය 100ක් කරනවාට අමතරව සෑම සතියකම කතා දෙන්නත් පොත් පාඩම් තුනකට සහභාගි වෙන්නත් වාර්තා පරීක්ෂා කරන්නත් වාර්තා පිළියෙල කරන්නත් තිබුණා. ඒ කාලය ඉතා කාර්යබහුල කාලයක්. මෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරන අතරතුරදී බයිබලය කියවන්න කාලය හොයාගන්න ක්‍රමයක් මට හම්බ වුණා. මම පරණ බයිබලයක පිටු කිහිපයක් ඉරලා ළඟ තියාගත්තා. කවුරු හරි එනකල් බලා සිටින අතරතුර මම ඒ පිටු කියෙව්වා. ඒ වගේ කෙටි වේලාවක් හෝ බයිබලය කියවීම නිසා දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය ශක්තිමත් වූ අතර දිගටම මගේ පැවරුමේ රැඳී ඉන්න මට ඒක විශාල අත්වැලක් වුණා.

මටයි ඉරේන්ටයි 1967දී බෙතෙල් ගෘහයේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. මම සේවා අංශයේ වැඩ පටන්ගත් අතර අවුරුදු 40ක් ගත වුණත් අදටත් මම ඒ වරප්‍රසාදය භුක්ති විඳිනවා. මගේ සේවයෙන් මම වැඩියෙන්ම ප්‍රීතියක් ලබන්නේ බයිබලයේ ඇති සත්‍යයන් ගැන අහලා එවන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙනුයි. දේවවචනයේ ඇති ගැඹුරු සත්‍යයන් සොයා ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න’ ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනවා. (ෆිලි. 1:7) බෙතෙල් එකේ උදෑසන නමස්කාරයේ සභාපති ලෙස කටයුතු කරද්දී බයිබලයේ සඳහන් කාරණා සාකච්ඡා කිරීමෙනුත් මම ලොකු සතුටක් ලබනවා. වර්ෂ 1976දී මාව ප්‍රංශයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් ලෙස පත් කළා.

ජීවිතය ගෙවන්න පුළුවන් හොඳම ක්‍රමය

මම ජීවිතයේ බොහෝ දුෂ්කරතා අද්දැක්කත් දැන් මමයි ඉරේනුයි අද්දකින්නේ ඊට වෙනස් ආකාරයේ දුෂ්කරතායි. මහලු වයස හා සෞඛ්‍ය ගැටලු නිසා මටයි ඉරේන්ටයි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් බයිබලය එකට කියවීම හා අධ්‍යයනය කිරීම නිසා අපේ බලාපොරොත්තුව ස්ථිරව තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බස් එකේ අපිට අදාළ ප්‍රදේශයට සේවය සඳහා යන්නේ ඉතා සතුටින්. අපි දෙන්නම පූර්ණ කාලීන සේවයේ යෙදුණු අවුරුදු ගණනේ මුළු එකතුව අවුරුදු 120යි. ජීවිතය සතුටින්, තෘප්තියෙන් හා අර්ථවත්ව ගෙවන්න කැමති ඕනෑම කෙනෙකුට අපි කියන්නේ පූර්ණකාලීන සේවය තෝරාගන්න කියලයි. දාවිත් රජ ගීතාවලිය 37:25 ලියද්දී ඔහු සිටියේ මහලු වයසේයි. මමත් දැන් සිටින්නේ මහලු වයසේයි. මමත් දෙවි ‘ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් දැක නැහැ.’

මගේ මුළු ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවි මට ශක්තියක් වුණා. මීට අවුරුදු 60කට කලින් මගේ නැදෑයෝ කිව්වේ බයිබලය කියවන්න පටන්ගත්තොත් මුළු ජීවිත කාලයම කියවන්න වෙයි කියලයි. ඇත්තටම ඔවුන් හරි!

[පාදසටහන්වල]

^ 8 ඡේ. One World, One Government නම් පොත 1944දී ප්‍රකාශයට පත් කළ නමුත් දැන් මුද්‍රණය නොකෙරේ.

^ 14 ඡේ. ඉවාන්ස් ඉමියොට් ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා 1999 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ පිටු 22-23 බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

සයිමන් සහ මම

[5වන පිටුවේ පින්තූරය]

මා ළඟ මුලින්ම තිබුණු බයිබලයට සමාන බයිබලයක්

[5වන පිටුවේ පින්තූරය]

දිස්ත්‍රික් සේවක ලෙස සේවය කරන කාලයේ

[6වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වූ දා

[6වන පිටුවේ පින්තූරය]

ඉරේන් හා මම බයිබලය කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් සතුටක් ලබනවා