Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි මාගේ උරුමයයි

යෙහෝවා දෙවි මාගේ උරුමයයි

යෙහෝවා දෙවි මාගේ උරුමයයි

‘ඔවුන් අතරේ ඔබේ උරුමය හා ඔබේ කොටස මම වෙමි.’—ගණන්. 18:20.

1, 2. (අ) ලෙවීවරුන්ට පොරොන්දු දේශයේ කොටසක් නොලැබුණේ ඇයි? (ආ) දෙවි ලෙවීවරුන්ට දුන් පොරොන්දුව කුමක්ද?

ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ විශාල ප්‍රදේශයක් අත්පත් කරගැනීමෙන් පසු උත්තම පූජක එලියාසර් සහ ගෝත්‍රවල ප්‍රධානීන්ගේ මූලිකත්වය යටතේ යොෂුවා එම ප්‍රදේශය ගෝත්‍රවලට බෙදා දුන්නා. (ගණන්. 34:13-29) නමුත් ලෙවී ගෝත්‍රයට යෙහෝවා දෙවි කොටසක් ලබා දුන්නේ නැහැ. (යොෂු. 14:1-5) ඒ ඇයි?

2 ඊට පිළිතුර දෙවි ඔවුන්ට පැවසූ මේ දෙයින් අපට තේරුම්ගත හැකියි. “ඊශ්‍රායෙල් සෙනඟට හිමි වන දේශයේ ඔබට උරුමයක්වත් කොටසක්වත් ලැබෙන්නේ නැත. ඔවුන් අතරේ ඔබේ උරුමය හා ඔබේ කොටස මම වෙමි.” (ගණන්. 18:20) ‘ඔබේ උරුමය මම වෙමි’ කියා පැවසීමෙන් දෙවි ලෙවීවරුන්ට අනර්ඝ පොරොන්දුවක් ලබා දුන්නා. දෙවි එවැනි පොරොන්දුවක් ඔබට දුන්නා නම් ඔබට කෙසේ හැඟෙයිද? ඔබ මෙසේ සිතයි. “දෙවි ඒ වගේ පොරොන්දුවක් දෙන්න තරම් මම වටිනවාද? පව්කාරයන් වන අපේ උරුමය වීමට යෙහෝවා දෙවිට පුළුවන්ද?” එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත් වන්නේ එය අපටත් අප ප්‍රේම කරන අයටත් බලපාන නිසයි. යෙහෝවා දෙවි, කෙනෙකුගේ උරුමය බවට පත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා අපි සලකා බලමු. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීම වුණත් දෙවි අපේ උරුමය වන්නේ කොහොමද යන්න තේරුම්ගැනීමට ඉන් අපට හැකියි.

දෙවි ලෙවීවරුන්ව රැකබලා ගත්තා

3. තමන්ට සේවය කිරීම සඳහා දෙවි ලෙවීවරුන්ව තෝරාගත්තේ ඇයි?

3 දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට නීතිය ලබා දීමට පෙර එක් එක් පවුලේ මූලිකයන් ඔවුන්ගේ පවුල් සඳහා පූජකයන් ලෙස කටයුතු කළා. නමුත් නීතිය ලබා දීමෙන් පසු පූජකයන් සහ ඔවුන්ගේ සහායකයන් ලෙස ලෙවී ගෝත්‍රයෙන් සමහරුන්ව දෙවි තෝරාගත්තා. එය සිදු වුණේ මෙලෙසයි. දෙවි ඊජිප්තුවේ සියලුම කුලුඳුලන්ව විනාශ කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ සියලුම කුලුඳුලන්ව තමන්ට “කැප” කරන ලෙස අණ කළා. ඉන් අදහස් කළේ ඔවුන් දෙවිට අයිති බව හා ඔවුන්ව දෙවිගේ සේවය සඳහා වෙන් කර ඇති බවයි. නමුත් පසුව “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුලන් වෙනුවට” ලෙවීවරුන්ව පමණක් තම සේවය සඳහා තෝරාගන්න දෙවි තීරණය කළා. ඊට හේතුව ඊශ්‍රායෙලයේ අනික් ගෝත්‍රවල සිටි කුලුඳුලන්ගේ සංඛ්‍යාවට වඩා ලෙවී ගෝත්‍රයේ සංඛ්‍යාව අඩු වීමයි. “ලෙවීවරුන්ගේ ගණනට වඩා” වැඩිපුර සිටින අනික් ගෝත්‍රවල කුලුඳුලන් සංඛ්‍යාව වෙනුවෙන් මිලක් ගෙවන ලෙස දෙවි අණ කළා. (ගණන්. 3:11-13, 41, 46, 47) ලෙවීවරුන්ට තම සේවය ආරම්භ කිරීමට හැකි වුණේ ඉන් අනතුරුවයි.

4, 5. (අ) යෙහෝවා දෙවි ලෙවීවරුන්ගේ උරුමය බවට පත් වුණේ කොහොමද? (ආ) දෙවි ලෙවීවරුන්ව රැකබලා ගත්තේ කොහොමද?

4 දෙවි තම සේවය සඳහා ලෙවීවරුන්ව තෝරාගත් අවස්ථාවේදී ඔහු ඔවුන්ගේ උරුමය බවට පත් වුණේ කොහොමද? පොරොන්දු දේශයෙන් බිම් කොටසක් ලබා දෙනවාට වඩා අනර්ඝ දෙයක් දෙවි ඔවුන්ට ලබා දුන්නා. එය නම් “යෙහෝවා දෙවිගේ ගෘහයේ පූජකයන්” ලෙස සේවය කිරීමේ වරප්‍රසාදයයි. (යොෂු. 18:7) දෙවි ඔවුන්ගේ අනිකුත් අවශ්‍යතාද සැපයූ බව ගණන් කතාව 18වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. (ගණන් කතාව 18:19, 21, 24 කියවන්න.) ‘ලෙවීවරුන් සම්මුඛ වීමේ කූඩාරමේ කරන සේවය වෙනුවෙන් දහයෙන් කොටසක්’ ඔවුන්ට ලැබුණා. ඉන් අදහස් කළේ අනික් ගෝත්‍රවල වගාවලින් සහ සතුන්ගෙන් දහයෙන් කොටසක් ඔවුන්ට ලැබුණු බවයි. එසේ ලෙවීවරුන්ට ලැබුණු දෙයින් දහයෙන් කොටසක් එනම්, “හොඳම කොටස” ඔවුන් පූජකයන්ගේ අවශ්‍යතා සඳහා ලබා දුන්නා. * (ගණන්. 18:25-29) ඒ වගේම ඊශ්‍රායෙල් පුත්‍රයන් දෙවි වෙනුවෙන් ගෙනා “සෑම ශුද්ධ පරිත්‍යාගයක්ම” ලැබුණේ එම පූජකයන්ටයි. ඒ අනුව දෙවි තම අවශ්‍යතා සපුරාලන බවට පූර්ණ විශ්වාසයක් තබන්න පූජකයන්ට හොඳ හේතු තිබුණා.

5 ඊශ්‍රායෙල්වරු තවත් දහයෙන් කොටසක් වෙන් කළා. ඔවුන් එය භාවිත කළේ සෑම වසරකම පැවැත්වූ ශුද්ධ එක්රැස්වීම්වලදී කා බී ප්‍රීති වීම සඳහායි. (ද්වි. 14:22-27) එම දහයෙන් කොටස තවත් අරමුණක් සඳහාද ඔවුන් භාවිත කළා. සෑම අවුරුදු හතකට වරක් ඔවුන් සබත් අවුරුද්දක් පැවැත්වුවා. මුල් අවුරුදු තුන අවසානයේදී හා හයවන අවුරුද්ද අවසානයේදී ඔවුන් අතර සිටි දිළිඳුන් හා ලෙවීවරුන් සඳහා එම දහයෙන් කොටස ලබා දුන්නා. එම සැලැස්මෙන් ප්‍රයෝජන ගැනීමට ලෙවීවරුන්ටද අවස්ථාව ලබා දී තිබුණා. ඊට හේතුව ඔවුන්ට ‘දේශයෙන් උරුමයක් නොලැබීමයි.’—ද්වි. 14:28, 29.

6. ලෙවීවරුන්ට පොරොන්දු දේශයේ කොටසක් ලැබුණේ නැත්නම් ඔවුන් ජීවත් වුණේ කොහේද?

6 ලෙවීවරුන්ට පොරොන්දු දේශයේ කොටසක් ලැබුණේ නැත්නම් ඔවුන් ජීවත් වුණේ කොහේද? යෙහෝවා දෙවි ඒ සඳහා ඔවුන්ට “ආරක්ෂිත නුවරවල් හයක්” ඇතුළු තණබිම් සහිත නුවරවල් 48ක් ලබා දුන්නා. (ගණන්. 35:6-8) ඒ අනුව ශුද්ධස්ථානයේ සේවය නොකරන අවස්ථාවලදී ලෙවීවරුන්ට ජීවත් වීමට තැනක් තිබුණා. දෙවිට සේවය කළ අයගේ අවශ්‍යතා ඔහු සැපයුවා. අනික් අතට දෙවි තම උරුමය බව පෙන්වීමට ලෙවීවරුන් කළ යුතු වුණේ කුමක්ද? තම අවශ්‍යතා සපුරාලීමට දෙවිට හැකියාව තිබෙන බවටත් ඒ සඳහා ඔහු කැමැත්තෙන් සිටින බවටත් පූර්ණ විශ්වාසයක් ඔවුන්ට තිබිය යුතු වුණා.

7. ලෙවීවරුන්ට තිබිය යුතු වුණේ කුමන විශ්වාසයද?

7 කෙනෙක් දහයෙන් කොටස ලබා නොදුන්නා කියා දෙවි ඔහුට දඬුවම් කළේ නැහැ. නමුත් එම නීතියට ඊශ්‍රායෙල්වරුන් කීකරු නොවූ විට ලෙවීවරුන්ට හා පූජකයන්ට එය බලපෑවා. නෙහෙමියා ජීවත් වූ කාලයේදීත් එවැනි දෙයක් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට පවරා තිබූ සේවය නතර කර තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා තම කෙත්වතුවල වැඩ කිරීමට ඔවුන්ට සිදු වුණා. (නෙහෙමියා 13:10 කියවන්න.) ඊශ්‍රායෙල්වරුන් දහයෙන් කොටස ලබා දීමට අපොහොසත් වූ විට ලෙවීවරුන් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් කළ සේවයට බාධා ඇති වුණා. ලෙවීවරු ඒ කුමන තත්වයකට මුහුණ දුන්නත් දෙවි තම අවශ්‍යතා සපුරන බවට පූර්ණ විශ්වාසයක් ඔවුන්ට තිබිය යුතු වුණා.

දෙවිව තම උරුමය කරගත් ආදර්ශ

8. ආසාෆ් කලකිරුනේ ඇයි?

8 ගෝත්‍රයක් ලෙස පමණක් නොව පෞද්ගලිකවත් සමහර ලෙවීවරුන් තමන්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ගැන සඳහන් කරද්දී “මාගේ එකම උරුමය යෙහෝවා දෙවිය” කියා පවසා තිබෙනවා. (විලා. 3:24) උදාහරණයක් ලෙස ලෙවී ගෝත්‍රයට අයත් ගායකයෙක් හා ගීත රචකයෙක් ගැන සලකා බලන්න. සමහරවිට ඔහු දාවිත්ගේ කාලයේ සිටි ලෙවී ගෝත්‍රයේ ප්‍රධාන ගායකයා වන ආසාෆ් හෝ ඔහුගේ පවුලෙන් පැවත එන කෙනෙක් විය හැකියි. ඔහු ආසාෆ් කියා සිතමු. (1 ලේක. 6:31-43) හැත්තෑතුන්වන ගීතිකාව රචනා කළ ඔහු දුෂ්ටයන්ගේ දියුණුව දැක ඔවුන්ට ඊර්ෂ්‍යා කළ අතර ඔවුන් ඉහළින් වැජඹෙන හේතුව ඔහුට ප්‍රහේලිකාවක් වුණා. ඔහු මෙසේ කීමට පවා පෙලඹුණා. “නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය. මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.” දෙවි තමන්ට ලබා දී තිබුණේ මොන තරම් වටිනා පැවරුමක්ද යන්න ඔහුට අමතක වුණා විය හැකියි. තම උරුමය යෙහෝවා දෙවියි යන කාරණයද ඔහුට අමතක වුණා. ඔහුගේ එම ආකල්ප වෙනස් කරගැනීමට හැකි වුණේ ඔහු “දෙවිගේ ශුද්ධස්ථානය වෙතට” ගිය පසුවයි.—ගීතා. 73:2, 3, 12, 13, 17.

9, 10. ‘සදහටම හිමි තම උරුමය’ දෙවි බව ආසාෆ් ප්‍රකාශ කළේ ඇයි?

9 ආසාෆ් අද්දැක්කා හා සමාන දේකට සමහරවිට ඔබත් මුහුණ දී ඇති. යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබට ලැබී තිබෙන පැවරුම මොන තරම් අනර්ඝද කියා මොහොතකට අමතක වී ධන සම්පත් රැස් කරගැනීමට තිබුණා නම් මොන තරම් හොඳද කියා ඔබටත් සිතෙන්න ඇති. නමුත් නැවතත් බයිබලය අධ්‍යයනය කරන විට සහ රැස්වීම්වලට සහභාගි වන විට දෙවි සිතන ආකාරයට සිතන්න ඔබ පෙලඹෙන්න ඇති. දුෂ්ටයන්ට අවසානයේදී සිදු වන්නේ කුමක්ද කියා ආසාෆ් පසුව තේරුම්ගත්තා. දෙවිගේ සේවකයෙකු ලෙස තමන් භුක්ති විඳින යහපත් දේවල් ගැනත් ඔහු සිතන්න පටන්ගත්තා. දෙවි තමන්ව දකුණතින් අල්ලාගෙන තමන්ට මඟ පෙන්වන බවත් ඔහු පැවසුවා. ‘මට සතුටු වීමට පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට ඔබය’ කියාද ඔහු පැවසුවා. (ගීතා. 73:23, 25) “මාගේ සිතද මාගේ අවයවයන්ද අඩපණ වී ඇත” කියා ඔහු පැවසුවත් ‘සදහටම හිමි තම උරුමය’ දෙවි බව ඔහු ප්‍රකාශ කළා. (ගීතාවලිය 73:26 කියවන්න.) දෙවි තමාව සදහටම මිතුරෙකු මෙන් මතක තබාගන්නා බවත් තමන් දෙවිට විශ්වාසවන්තව කළ සේවය ඔහු කිසිදා අමතක නොකරන බවත් ආසාෆ් දැන සිටියා. (දේශ. 7:1) එය ඔහුට මහත් සැනසිල්ලක් වූ බව ඔහුගේ මෙම වදන්වලින් පැහැදිලියි. ‘දෙවිට ළං වී සිටීම මට යහපතකි. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයය.’—ගීතා. 73:28.

10 තම උරුමය දෙවි බව පැවසූ විට ආසාෆ් ඉන් අදහස් කළේ ලෙවීවරයෙක් ලෙස තම අවශ්‍යතා පිරිමසාගැනීමට ලැබුණු දේවල් ගැන පමණක් නොවෙයි. විශේෂයෙන්ම ඔහු ඉන් අදහස් කළේ දෙවිට සේවය කිරීමට ලැබුණු වරප්‍රසාදය හා ශ්‍රේෂ්ඨතම තැනැත්තා සමඟ ඔහුට තිබූ මිත්‍රත්වය ගැනයි. (යාකො. 2:21-23) එම මිත්‍රත්වය දිගටම පවත්වාගැනීම සඳහා ඔහු දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය යුතු වුණා. ඒ වගේම දෙවිට කීකරු වුණොත් දෙවි තමන්ට ප්‍රීතිමත් අනාගතයක් භුක්ති විඳින්න අවස්ථාව දෙන බවත් විශ්වාස කළ යුතු වුණා. අපටද එම නිසැකකම ඇතුව සිටිය හැකියි.

11. යෙරෙමියා යෙහෝවා දෙවිගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්ද? දෙවි ඊට පිළිතුරු දුන්නේ කොහොමද?

11 දෙවි තම උරුමය කියා පැවසූ තවත් ලෙවීවරයෙක් ඉන් අදහස් කළේ කුමක්ද කියා අපි බලමු. ඔහු අනාතොත්හි ජීවත් වූ යෙරෙමියායි. (යෙරෙ. 1:1) දුෂ්ටයන් දියුණු වන්නේත් ධර්මිෂ්ඨයන් දුක් විඳින්නේත් ඇයි කියා යෙරෙමියාද දෙවිගෙන් ඇසුවා. (යෙරෙ. 12:1) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ බව ඔහු දැන සිටියත් යෙරුසලමේ හා යූදාහි සිදු වෙමින් තිබූ දේවල් දුටු විට ඔහු ඒ ගැන දෙවිට පැමිණිලි කළා. යෙරුසලමට සිදු වීමට නියමිත විනාශය ගැන පණිවිඩයක් ප්‍රකාශ කිරීමට ඔහුට පැවරුමක් ලබා දීමෙන් සහ එය එලෙසම ඉටු කිරීමෙන් දෙවි යෙරෙමියාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. අවසානයේදී දෙවිට කීකරු වූ අය තම ජීවිත ගලවාගත් අතර දුෂ්ටයන් විනාශ වුණා.—යෙරෙ. 21:9.

12, 13. (අ) “මාගේ එකම උරුමය යෙහෝවා දෙවිය” කියා පැවසීමට යෙරෙමියා පෙලඹුණේ ඇයි? ඔහු පෙන්වූ ආකල්පය කුමක්ද? (ආ) යෙරෙමියා මෙන් ‘ඉවසිලිවන්තව බලා සිටින්න’ සියලුම ඊශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය වුණේ ඇයි?

12 තම උපන් දේශය නටඹුන් ගොඩක් බවට පත් වී තිබෙන බව දුටු යෙරෙමියාට දැනුණේ ඔහු ඝණ අඳුරේ ගමන් කරනවා වගෙයි. යෙහෝවා දෙවි තමාව “බොහෝ කාලයකට පෙර මිය ගිය කෙනෙකු” හා සමාන තත්වයකට පත් කර තිබෙනවා කියාද ඔහුට සිතුණා. (විලා. 1:1, 16; 3:6) කෙසේවෙතත් දෙවි වෙතට නැවත හැරෙන්න කියා යෙරෙමියා ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබුණා. නමුත් ඔවුන් තම දුෂ්ට ක්‍රියාවල දිගටම නියැලුණු නිසා දෙවි ඔවුන්ව විනාශ කළා. යෙරෙමියා කළේ නිවැරදි දේ වුණත් ඔවුන්ගේ විනාශය ගැන ඔහුට විශාල දුකක් දැනුණා. ඒ වුණත් ඔහු මෙසේ පැවසුවා. ‘අපේ පණ රැකුණේ ඔබේ අතිමහත් ප්‍රේමය ඔබ අපට පෙන්වූ නිසාය. ඔබ සෑම උදෑසනකම ඔබේ දයාව පෙන්වන්නෙහිය.’ “මාගේ එකම උරුමය යෙහෝවා දෙවිය” යන ප්‍රකාශය ඔහු කළේ ඉන්පසුවයි. ඔහු දෙවිගේ අනාගතවක්තෘවරයෙකු ලෙස ඉන්පසුව දිගටම සේවය කළා.විලාප ගී 3:22-24 කියවන්න.

13 ඊශ්‍රායෙල් දේශය අවුරුදු 70ක් පාළුව පවතින බව යෙරෙමියා දැන සිටියත් ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. “මාගේ එකම උරුමය යෙහෝවා දෙවිය” කියා පැවසීමෙන් ඒ බව පැහැදිලියි. (යෙරෙ. 25:11) ඒ නිසා දෙවි ඔහුගේ නියමිත කාලයේදී ක්‍රියා කරන තෙක් යෙරෙමියා ‘ඉවසිලිවන්තව බලා සිටියා.’ ඊශ්‍රායෙල් වැසියන්ට ඔවුන්ගේ සියලු උරුමයන් අහිමි වී තිබූ නිසා ඔවුන්ද යෙරෙමියා මෙන් ඉවසිලිවන්තව බලා සිටීම අවශ්‍ය වුණා. ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව යෙහෝවා දෙවි පමණයි. ඔවුන් අවුරුදු 70කට පසුව නැවත යෙරුසලමට පැමිණ දෙවිට සේවය කිරීමට පටන්ගත්තා.—2 ලේක. 36:20-23.

දෙවිව තම උරුමය කරගත් තවත් අය

14, 15. ලෙවීවරුන්ට අමතරව යෙහෝවා දෙවිව තම උරුමය කරගත්තේ කවුද? ඒ ඇයි?

14 ආසාෆ් හා යෙරෙමියා ලෙවී ගෝත්‍රයට අයත් අය වුණත් එසේ නොවූ පුද්ගලයන්ටද දෙවිට සේවය කිරීමේ ප්‍රස්තාව තිබුණා. ඊශ්‍රායෙලයේ අනාගත රජු වීමට සිටි දාවිත් ඉන් කෙනෙක්. “මිහිපිට මට ඇති උරුමය [දෙවිය]” කියා ඔහුද පැවසුවා. (ගීතාවලිය 142:1, 5 කියවන්න.) ඔහු එම ගීතිකාව රචනා කළේ රජ මාලිගාවක හෝ නිවසකදී නොවෙයි. ඒ වන විට ඔහු සිටියේ සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගල්ගුහාවක සැඟවිලයි. අඩුම තරමින් අවස්ථා දෙකකදීවත් එසේ සැඟවී සිටීමට ඔහුට සිදු වන්න ඇති. ඉන් එක් අවස්ථාවකදී ඔහු සැඟවී සිටියේ අදුල්ලාම් ප්‍රදේශය ආසන්නයේ වූ අතර අනික් අවස්ථාවේදී ඒන්-ගෙදී නම් පාළුකරයේ සැඟවී සිටියා. ඔහු 142වන ගීතිකාව රචනා කළේ එහිදී විය හැකියි.

15 ඔහු එය රචනා කළේ ගල් ගුහාවක නම් ඊට හේතුව ඔහු සාවුල්ගෙන් පලා යෑමයි. ආරක්ෂාව පතා ඔහු සැඟවුණේ සතුරන්ට පැමිණීමට ඉතා දුෂ්කර ගුහාවකයි. (1 සාමු. 22:1, 4) තමාට පිහිට වීමට කිසිම මිතුරෙක් තමන් ළඟ නැහැ කියා ඒ හුදෙකලා ස්ථානයේදී දාවිත්ට දැනුණා විය හැකියි. (ගීතා. 142:4) ඔහු දෙවිගේ උපකාර පැතුවේ ඒ අවස්ථාවේදියි.

16, 17. (අ) තමාට උපකාර කිරීමට කිසිම කෙනෙක් නැහැ කියා දාවිත්ට හැඟුණේ ඇයි? (ආ) ඔහු උපකාර පැතුවේ කාගෙන්ද?

16 දාවිත් 142වන ගීතිකාව රචනා කිරීමට පෙර උත්තම පූජක අහිමෙලෙක්ට සිදු වූ දේ සමහරවිට ඔහු දැනගන්න ඇති. දාවිත් සාවුල්ගෙන් පලා ආ කෙනෙක් බව නොදැන ඔහුට උපකාර කිරීම නිසා අහිමෙලෙක් සහ ඔහුගේ මුළු පවුලම මරා දමන ලෙස දුෂ්ට සාවුල් රජ අණ කළා. (1 සාමු. 22:11, 18, 19) ඔවුන්ගේ ජීවිතවලට වග කිව යුත්තේ තමන් කියා දාවිත්ට හැඟුණා. එය හරියට තමන්ට උපකාර කළ පූජකයාව තමන් විසින්ම මැරුවා හා සමානයි. ඔබ දාවිත්ගේ තත්වයේ සිටියා නම් ඔබටත් එසේ හැඟෙයිද? ඒ වන විටත් සාවුල් රජ තමාව ලුහුබඳිමින් සිටි නිසා ඔහු මුහුණ දුන් තත්වය තවත් දුෂ්කර වුණා.

17 අහිමෙලෙක්ගේ මරණයෙන් වැඩි කල් යෑමට පෙර දාවිත්ව අනාගත රජු ලෙස අභිෂේක කළ අනාගතවක්තෘ සාමුවෙල්ද මිය ගිය බව දාවිත්ට දැනගන්න ලැබුණා. (1 සාමු. 25:1) තමාට උපකාර කිරීමට කිසිම කෙනෙක් නැහැ යන හැඟීම ඔහුට තවත් තදින් දැනෙන්න ඇති. නමුත් ඔහුට උපකාර කිරීමට යෙහෝවා දෙවි සිටින බව ඔහු අමතක කළේ නැහැ. ලෙවීවරුන්ට මෙන් විශේෂ සේවයක් තමන්ට පැවරී නොතිබුණත් දෙවිගේ සෙනඟව පාලනය කිරීමට ඔහුව අභිෂේක කර තිබුණා. එය ඔහුට ලැබී තිබුණු විශේෂ වරප්‍රසාදයක්. (1 සාමු. 16:1, 13) ඒ නිසා තම සිතේ තිබූ සෑම දෙයක්ම නොසඟවා දෙවිට පැවසූ ඔහු දිගටම දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළා. ඔහු මෙන් දෙවිව ඔබේ උරුමය කරගන්න ඔබටත් හැකියි. දෙවිට කරන සේවයේ හැකි උපරිමයෙන් හවුල් වෙමින් ඔහු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න ඔබටත් පුළුවන්.

18. අප මෙම ලිපියෙන් සලකා බැලූ දෙවිගේ සේවකයන් දෙවිව ඔවුන්ගේ උරුමය කරගත්තේ කොහොමද?

18 අප මෙතෙක් සලකා බැලූ ලෙස යෙහෝවා දෙවිගේ සේවකයන් දෙවි තම උරුමය කියා පැවසූ විට ඔවුන් ඉන් අදහස් කළේ කුමක්ද? එය නම් ඒ සෑම සේවකයෙකුටම දෙවිට සේවය කිරීම සඳහා දෙවිගෙන් පැවරුමක් ලැබුණු බවයි. ඒ වගේම දෙවි තමන්ව රැකබලා ගන්නවා යන පූර්ණ විශ්වාසයද ඔවුන්ට තිබුණා. ලෙවී ගෝත්‍රයේ අයට පමණක් නොව දාවිත් මෙන් අනික් ගෝත්‍රවලට අයත් අයටද දෙවිව තම උරුමය කරගැනීමට අවස්ථාව තිබුණා. ඔවුන් මෙන් දෙවිව අපේ උරුමය කරගැනීමට අපට හැක්කේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 4 ඡේ. දෙවි පූජකයන්ගේ අවශ්‍යතා සැපයූ ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Insight on the Scriptures, 2වන වෙළුමේ 684වන පිටුව බලන්න.

ඔබේ පිළිතුර කුමක්ද?

• යෙහෝවා දෙවි ලෙවීවරුන්ගේ උරුමය බවට පත් වුණේ කොහොමද?

• තම උරුමය යෙහෝවා දෙවි බව ආසාෆ්, යෙරෙමියා සහ දාවිත් පෙන්නුවේ කොහොමද?

• දෙවිව ඔබේ උරුමය කරගැනීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෙවීවරුන්ට උරුමයක් ලෙස පොරොන්දු දේශයෙන් කොටසක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි ඔවුන්ගේ උරුමය වුණා. ඒ, විශේෂ පැවරුමක් ඔවුන්ට ලබා දීමෙනුයි

[7වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි පූජකයන්ගේ සහ අනික් ලෙවීවරුන්ගේ උරුමය වුණේ කොහොමද?

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිව දිගටම තම උරුමය කරගැනීමට ආසාෆ්ට උපකාරවත් වුණේ කුමක්ද?