Skip to content

පටුනට යන්න

ත්‍යාගය ලබාගත හැකි ආකාරයෙන් දුවන්න

ත්‍යාගය ලබාගත හැකි ආකාරයෙන් දුවන්න

ත්‍යාගය ලබාගත හැකි ආකාරයෙන් දුවන්න

“ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින් දුවන්න.”—1 කොරි. 9:24.

1, 2. (අ) පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ව සමාන කළේ කාටද? (ආ) ඔහු පැවසුවේ අප කුමක් කළ යුතු බවද?

හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ ලිපියේ ඔහු ඔවුන්ව ධාවකයන්ට සමාන කළා. නමුත් ඔවුන් එම තරඟයේ යෙදෙන්නේ තනිවම නොවන බව පාවුල් පැවසුවා. ඒ වන විටත් තරඟය නිමා කළ පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් එනම්, ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ගැන සඳහන් කරමින් පාවුල් ඔවුන්ව දිරිගැන්නුවා. විවිධ තත්වයන් හමුවේ ඔවුන් විශ්වාසවන්තව ක්‍රියා කළ ආකාරය හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් මතක තබාගන්නවා නම් එම තරඟය සාර්ථකව නිමා කිරීමට ඔවුන්ටත් හැකි බව පාවුල් සඳහන් කළා.

2 පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ඔවුන් යෙදී සිටි ධාවන තරඟය සාර්ථකව නිමා කිරීමට හැකි වුණේ දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ විශ්වාසය නිසයි. අපටත් එය කළ හැකි ආකාරය ගැන පාවුල් මෙසේ පැහැදිලි කරනවා. “අපට බරක් විය හැකි සෑම දෙයක්ම හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.”—හෙබ්‍රෙ. 12:1.

3. ග්‍රීක තරඟකරුවන් ගැන පාවුල් පැවසූ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

3 ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමන්න’ කියා පාවුල් පැවසූ හේතුව අපි සලකා බලමු. පාවුල්ගේ කාලයේ සිටි ධාවකයන් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ග්‍රීක ජාතිකයන් ව්‍යායාම් කළේ සහ තරඟවල යෙදුණේ නිර්වස්ත්‍රවයි.” * ඒ ආකාරයට තරඟ වැදීම අද දිනට නොගැළපෙන දෙයක් වුණත් ඔවුන් එසේ කළේ ත්‍යාගය ලබාගැනීමෙන් ඔවුන්ව වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ නොදීම සඳහායි. ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමන්න’ කීමෙන් පාවුල් අදහස් කළේ සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබාගැනීමට බාධාවක් විය හැකි ඕනෑම දෙයක් ඉවත් කිරීමට ඔවුන් සූදානම් විය යුතු බවයි. අප යෙදෙන ධාවන තරඟයේදී අපට “බරක්” විය හැකි දේවල් මොනවාද?—එම පොත Backgrounds of Early Christianity.

‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමන්න’

4. නෝවාගේ කාලයේ සිටි ජනයා වැඩි අවධානයක් දුන්නේ කුමන දේවලටද?

4 තරඟය නිමා කිරීම සඳහා සම්පූර්ණ අවධානය දීමට අපට බාධා විය හැකි ඕනෑම දෙයක් එම ‘බරට’ අයත්. ඉන් සමහරක් තේරුම්ගැනීමට යේසුස්ගේ වදන් අපට උපකාරයක්. නෝවා ජීවත් වූ කාලය ගැන යේසුස් මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදු වූ දේවලට සමාන වෙයි.” (ලූක් 17:26) නෝවාගේ කාලයේ සිටි මිනිසුන් ජීවත් වූ ආකාරය අද සිටින මිනිසුන් ජීවත් වන ආකාරයට සමාන බව යේසුස් පැවසුවා. (මතෙව් 24:37-39 කියවන්න.) ඒ කාලයේ සිටි වැඩිදෙනෙක් දෙවිගේ පණිවිඩයට සවන් දුන්නේ නැහැ. දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමට කැමති වුණෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන් කමින්, බොමින්, විවාහ වෙමින් සිටියා. ඒවා ජීවිතයේ සාමාන්‍ය දේවල් වුණත් ඔවුන් ඒවා සැලකුවේ දෙවිට සවන් දෙනවාට වඩා වැදගත් දේවල් ලෙසයි. යේසුස් පැවසුවේ ඔවුන් දෙවිගේ පණිවිඩය ගැන “කිසි තැකීමක් කළේ නැහැ” කියායි.

5. නෝවා මෙන් දෙවි පවසා ඇති සියල්ල කිරීමට අපට පුළුවන් කොහොමද?

5 නෝවා සහ ඔහුගේ පවුලේ අයට මෙන් අපටත් කිරීමට බොහෝ දේ තිබෙනවා. පවුලේ අයව රැකබලා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අපට සිදු වෙනවා. ඒ සඳහා බොහෝ කාලයක් හා ශක්තියක් වැය වෙනවා. අගහිඟකම් ඇති වන විට එදිනෙදා අවශ්‍යතා සපයාගන්නේ කොහොමද කියා අප කනස්සලු විය හැකියි. අපට අමතර වගකීම්ද තිබෙනවා. ශුභාරංචිය ප්‍රකාශ කිරීම, රැස්වීම්වලට සූදානම් වී සහභාගි වීම, පවුලේ අය සමඟ මෙන්ම පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීම ඉන් කිහිපයක්. නෝවාට බොහෝ වැඩ තිබුණත් ඔහු දෙවි පැවසූ ‘සියල්ල එලෙසම ඉටු කළා.’ (උත්. 6:22) අපත් දෙවි පවසා ඇති සියල්ල කරමින් තරඟය නිමා කිරීමට නම් ඊට බාධාවක් විය හැකි සෑම දෙයක්ම අහක දැමීම ඉතා වැදගත්.

6, 7. අප නිතරම මතක තබාගත යුත්තේ යේසුස්ගේ කුමන වදන්ද?

6 ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමන්න’ කියා පැවසීමෙන් පාවුල් ඉල්ලා සිටියේ අපට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වෙන්න කියා නොවෙයි. සමහර වගකීම් අප අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුයි. නමුත් ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් ගැන පවා යේසුස් මෙසේ පැවසුවා. “‘කන්නේ බොන්නේ මොනවාද’ කියාවත් ‘අඳින්නේ මොනවාද’ කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ජනයා මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.” (මතෙ. 6:31, 32) අත්‍යවශ්‍ය දේවලට පවා අප වැඩි අවධානයක් දෙනවා නම් ඒවා අපට බරක් විය හැකි බව ඉන් පැහැදිලියි. අපව ධාවන තරඟයෙන් ඉවත් කිරීමට එය හේතුවක් විය හැකියි.

7 යේසුස්ගේ මේ වදන්ද මතක තබාගන්න. ‘ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නවා.’ ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන බවයි. නමුත් “ඒ සියල්ල” කීමෙන් අප කැමති සෑම දෙයක්ම අපට ලැබෙනවා කියා අදහස් කරන්නේ නැහැ. යේසුස් පැවසුවේ ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල් ගැන වුණත් කනස්සලු වීම නතර කරන්න කියායි. එසේ නොකළොත් අප සමාන වන්නේ එවැනි දේවල් පසුපස ‘මහත් උනන්දුවකින් හඹා යන’ මිනිසුන්ටයි. ඒ දේවල් ගැන කනස්සලු වීමේ ඇති අනතුර ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි.”—ලූක් 21:34, 35.

8. ‘බරක් විය හැකි සෑම දෙයක්ම අප අහක දැමිය’ යුත්තේ ඇයි?

8 අප සිටින්නේ දිනුම් කණුව පේන මානයේයි. ඒ නිසා තරඟය නිමා කිරීමට බාධා කරන කිසිම දේකට ඉඩහරින්න අප කැමති නැහැ. අපට ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දැමිය’ යුත්තේ ඒ නිසයි. අපට තිබෙන දේවලින් අප සෑහීමටද පත් විය යුතුයි. පාවුල්ද පැවසුවේ ‘දෙවිට භක්තියෙන් සේවය කරන කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත් විය යුතු’ බවයි. (1 තිමෝ. 6:6) එවිට තරඟය සාර්ථකව නිමා කර ත්‍යාගය ලබන්න අපට පහසුයි.

‘අපව පහසුවෙන් හසු කරගන්නා පාපය අහක දමමු’

9, 10. (අ) “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) කෙනෙකුට දෙවි කෙරෙහි ඇති විශ්වාසයට කුමක් සිදු විය හැකිද?

9 අප අහක දැමිය යුතු තවත් දෙයක් ගැන පාවුල් පැවසුවා. එනම් ‘අපව පහසුවෙන් හසු කරගන්නා පාපයයි.’ ඉන් අදහස් කරන්නේ කුමක්ද? “පහසුවෙන් හසු කරගන්නා” යන්නට යොදා ඇති ග්‍රීක වචනය බයිබලයේ සඳහන් වන්නේ එක් වතාවයි. එදා සිටි ධාවකයන් දෙපා පැටලී වැටිය හැකි ආකාරයේ ඇඳුම් ඇඳ නොසිටීමට වගබලා ගත් බව බයිබල් විශාරදයෙක් වන ඇල්බට් බාන්ස් පැවසුවා. ක්‍රිස්තියානීන්ද ඔවුන් යෙදී සිටින තරඟයට බාධා වීමට කිසි දේකට ඉඩ නොතැබිය යුතු බව ඔහු පැවසුවා. ඒ අනුව දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය දුර්වල වීමට හෝ නැති වීමට හේතු වන කිසිම දේකට ක්‍රිස්තියානීන් ඉඩ නොදිය යුතුයි.

10 කෙනෙකුගේ විශ්වාසය නැති විය හැක්කේ කොහොමද? එය සිදු වන්නේ ක්‍රමානුකූලවයි. කෙනෙකුට නොදැනිම දෙවි කෙරෙහි ඇති විශ්වාසය ටිකෙන් ටික දුර්වල විය හැකියි. ඒ ගැන පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. ‘සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව ගොස් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැකි නිසා පරෙස්සම් වන්න.’ (හෙබ්‍රෙ. 2:1; 3:12) තරඟයට නොගැළපෙන ඇඳුමක් ඇඳ සිටියොත් එය දෙපාවල පැටලී වැටෙන බව තරඟකරුවෙක් තේරුම්ගත යුතුයි. එම අනතුර ගණන් නොගෙන සිටීමට හේතු විය හැකි දේවල් මොනවාද? නොසැලකිලිමත්කම, තමන් ගැන පමණට වඩා විශ්වාසය තැබීම සහ මනස වෙනතකට යොමු කිරීමයි. පාවුල් දුන් එම අනතුරු ඇඟවීමෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

11. දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති වීමට හේතු විය හැකි දේවල් මොනවාද?

11 ක්‍රිස්තියානියෙකුට දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති වුණොත් ඊට වග කිව යුත්තේ ඔහුමයි. “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” ගැන තවත් බයිබල් විශාරදයෙක් අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ කෙනෙකුට මුහුණ දීමට සිදු වන දේවල්, ඔහු ඇසුරු කරන අය සහ ඔහුගේ වැරදි ආශාවන් නිසා ඔහු පහසුවෙන් පාපයට හසු විය හැකි බවයි. ඒ නිසා කෙනෙකුට දෙවි කෙරෙහි ඇති විශ්වාසය දුර්වල වීමට හෝ නැති වීමට ඉඩ තිබෙනවා.—මතෙ. 13:3-9.

12. දෙවි කෙරෙහි ඇති විශ්වාසය දිගටම පවත්වාගැනීමට නම් අප කීකරු විය යුත්තේ කුමන අනතුරු ඇඟවීම්වලටද?

12 අප නරඹන සහ සවන් දෙන දේවල් අප සිතන හා ආශා කරන දේවලට ප්‍රබල බලපෑමක් ඇති කරන නිසා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා නිතර නිතර අපට අනතුරු අඟවනවා. වැඩි වැඩියෙන් ධන සම්පත් රැස් කරගැනීමේ ඇති භයානකකම ගැනද ඔවුන් අනතුරු අඟවනවා. නුසුදුසු විනෝදාංශවල යෙදීමට හෝ සෑම නවීන උපකරණයක්ම මිල දී ගැනීමට අප ආශාවක් දක්වනවා නම් වඩා වැදගත් දේවල් සඳහා කාලය නැති වන තරමටම ඒවායේ නියැලීමට ඉඩ තිබෙනවා. එවැනි දේවල් ගැන ලැබෙන අනතුරු ඇඟවීම්වලින් අපේ නිදහස සීමා වන බව සිතමින් ඒවා නොසලකාහැරීම භයානකයි. ඒ වගේම අපට දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබෙන නිසා එවැනි උපදෙස් අදාළ වන්නේ අනික් අයට කියා අප නොසිතිය යුතුයි. සාතන් උත්සාහ කරන්නේ මේ ලෝකයේ බොහෝදෙනාගේ ආකල්ප හා ආශාවන් අප තුළ ඇති කර දාස පන්තිය අපට ලබා දෙන උපදෙස් නොසලකාහැරීමට අපව පෙලඹවීමටයි. ඔහුගේ අවසාන ඉලක්කය ධාවන තරඟයෙන් අපව ඉවත් කිරීමයි. සමහරුන් නොසැලකිලිමත්කම, තමන් ගැන පමණට වඩා විශ්වාස කිරීම හෝ මනස වෙනතකට යොමු කිරීම නිසා දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති කරගෙන තිබෙනවා. අපටත් එය සිදු වුණොත් අප සිටින්නේ සදාකාල ජීවනය නමැති ත්‍යාගය අහිමි වීමේ අවදානමකයි.—1 යොහ. 2:15-17.

13. මේ සමාජයේ මිනිසුන් සිතන ආකාරය අනුගමනය කිරීමෙන් වැළකීමට අප කුමක් කළ යුතුද?

13 සාතන්ගේ බලපෑමට හසු වී සිටින ජනයා නිතරම උත්සාහ කරන්නේ ඔවුන් හා සමානව සිතීමට හා ඔවුන් වැදගත්යයි සලකන දේවල් වැදගත්කොට සැලකීමට අපව පෙලඹවීමටයි. (එෆීස 2:1, 2 කියවන්න.) නමුත් මේ සමාජයේ මිනිසුන්ගේ බලපෑමට හසු වෙනවාද නැද්ද කියා තීරණය කිරීම අප සතුයි. එම බලපෑම පාවුල් සමාන කළේ හාත්පස පැතිර පවතින අප හුස්ම ගන්නා වාතයටයි. නමුත් එය ඉතා විෂ සහිතයි. විෂ සහිත වාතය ආශ්වාස කිරීමට අප කැමති නොවෙනවා හා සමානව මේ සමාජයේ මිනිසුන් සිතන ආකාරය අපේ ආකල්පවලට බලපෑම් කිරීමට අප කෙදිනකවත් ඉඩ නොදිය යුතුයි. එසේනම් දිගටම ධාවන තරඟයේ නියැලීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? යේසුස්ගේ ආදර්ශයයි. ධාවන තරඟය සාර්ථකව නිමා කිරීම සම්බන්ධයෙන් අපට අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය ඔහුයි. (හෙබ්‍රෙ. 12:2) පාවුල්වද අපට ආදර්ශයට ගත හැකියි. ඔහුද තරඟය සාර්ථකව නිමා කළ අතර තමන්ව ආදර්ශයට ගන්න කියා අන් අයවත් දිරිගැන්නුවා.—1 කොරි. 11:1; ෆිලි. 3:14.

ත්‍යාගය ‘ලබාගත හැකි ආකාරය’

14. පාවුල් යෙදී සිටි ධාවන තරඟය ඔහුට මොන තරම් වැදගත් වුණාද?

14 පාවුල් යෙදී සිටි ධාවන තරඟය ඔහු සැලකුවේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙසයි. ඒ බව එෆීසයේ සිට පැමිණි වැඩිමහල්ලන්ට ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි. මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු පැවරුමත් සාර්ථකව නිම කිරීමයි.” (ක්‍රියා 20:24) තරඟය නිමා කිරීමට ඔහු තම ජීවිතය වුණත් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටියා. ඔහු ඉතා වෙහෙස මහන්සි වී ශුභාරංචිය දේශනා කළා. නමුත් තරඟය සාර්ථකව නිමා කිරීමට තමාට නොහැකි වුණොත් තමන් දැරූ සියලු උත්සාහයන් නිෂ්ඵල වන බව ඔහු පැවසුවා. තරඟය අවසන් කර ඇති බව සිතනවා වෙනුවට අවසානය දක්වාම ඒ සඳහා විර්යය කිරීම අවශ්‍ය බව ඔහු තේරුම්ගත්තා. (ෆිලිප්පි 3:12, 13 කියවන්න.) කෙසේනමුත් ඔහුගේ මරණයට කෙටි කාලයකට පෙර ඔහුට මෙසේ පැවසීමට හැකි වුණා. “මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.”—2 තිමෝ. 4:7.

15. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවේ කුමක් කිරීමටද?

15 පාවුල්ට අවශ්‍ය වුණේ තම සහෝදරයන්ද ඔවුන් යෙදී සිටි ධාවන තරඟය නිමා කරනවා දකින්නයි. තම ගැලවීම සඳහා වෙහෙසී වැඩ කරන්න කියා ඔහු ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා. ඔහු මෙසේද පැවසුවා. “දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න. ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන් මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි.” (ෆිලි. 2:16) ඔහු කොරින්තියේ සිටි අයවද දිරිගන්වමින් මෙසේ පැවසුවා. “ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින් දුවන්න.”—1 කොරි. 9:24.

16. ත්‍යාගය අපට සැබෑ එකක් විය යුත්තේ ඇයි?

16 දිගු ධාවන තරඟයක යෙදෙන්නෙකුට දිනුම් කණුව ආසන්නයටම පැමිණෙන තෙක් එය පෙනෙන්නේ නැහැ. නමුත් සෑමවිටම දිනුම් කණුව ඔහුගේ මනසේ තිබෙන අතර තමා ඊට ළං වන බව ඔහු දන්නවා. තරඟයේ අවසානය ළඟා වෙනවාත් සමඟම එය නිමා කිරීමට ඔහු තුළ ඇති අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. අප යෙදෙන ධාවන තරඟයත් ඒ හා සමානයි. තරඟය අවසන් කිරීමට වූ අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වීමට නම් එම ත්‍යාගය අපට සැබෑ එකක් විය යුතුයි.

17. අප ඉදිරියේ තිබෙන ත්‍යාගය සැබෑ එකක් බව තේරුම්ගැනීමට විශ්වාසය උපකාරවත් වන්නේ කොහොමද?

17 පාවුල් පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.” (හෙබ්‍රෙ. 11:1) ආබ්‍රහම් සහ සාරා තම සුවපහසු නිවස අත්හැර “ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස” වෙනත් ප්‍රදේශයක ජීවත් වීමට කැමති වුණා. එසේ කිරීමට ඔවුන්ට හැකි වුණේ දෙවි දුන් පොරොන්දු සැබවින්ම ඉටු වන බව ඔවුන් විශ්වාස කළ නිසයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ ‘ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත්තා’ කියායි. මෝසෙස්ද ‘පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳීම හා ඊජිප්තුවේ වස්තුව’ ප්‍රතික්ෂේප කළා. එසේ කිරීමට තරම් දෙවි කෙරෙහි විශ්වාසයක් හා ශක්තියක් ඔහුට ලැබුණේ කොහොමද? “තමාට ලැබෙන ත්‍යාගය දෙස ඔහු ඕනෑකමින් බලා සිටි” නිසයි. (හෙබ්‍රෙ. 11:8-13, 24-26) ඒ සෑම කෙනෙක්ම ක්‍රියා කළේ දෙවි කෙරෙහි මහත් ‘විශ්වාසයක්’ ඇතුව බව පාවුල් පැවසුවා. එම විශ්වාසය නිසා ඔවුන් ඉදිරියේ තිබූ ත්‍යාගය නිතරම ඔවුන්ට සැබෑ දෙයක් වුණා. එය මතකයෙන් ගිලිහී යෑමට ජීවිතයේ කිසිම දේකට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. දෙවිගේ උපකාර තමන්ට තිබෙන බවත් දෙවිගේ පොරොන්දු අනාගතයේදී අනිවාර්යයෙන්ම ඉටු වන බවත් ඔවුන් දැන සිටියා.

18. තරඟය සාර්ථකව නිමා කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

18 හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් විශ්වාසවන්ත සේවකයන් ගැන ගැඹුරින් කල්පනා කර ඔවුන්ව ආදර්ශයට ගන්න අපි උත්සාහ කරමු. එවිට දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ඇති කරගැනීමටත් ‘අපව පහසුවෙන් හසු කරගන්නා පාපය අහක දැමීමටත්’ අපට හැකි වෙයි. (හෙබ්‍රෙ. 12:1) ඒ වගේම දෙවි කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගැනීමට උත්සාහ කරන අය සමඟ නිතර රැස් වීමෙන් “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු.”—හෙබ්‍රෙ. 10:24.

19. අප යෙදී සිටින ධාවන තරඟය අවසානය දක්වා දිවීම වැදගත් වන්නේ ඇයි?

19 දැන් අප සිටින්නේ දිනුම් කණුව ආසන්නයේයි. අපට දෙවිගේ උපකාරය තිබෙන නිසාත් ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙන නිසාත් ‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දැමීමට’ අපට හැකියි. ඒ නිසා අපේ ප්‍රේමණීය පියා වන යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙන ත්‍යාගය ලබාගැනීමේ අරමුණින් අපි දිගටම ධාවන තරඟයේ යෙදෙමු!

[පාදසටහන]

^ 3 ඡේ. පුරාණ යුදෙව්වන් සිතුවේ එය ඉතා පහත් ක්‍රියාවක් බවයි. බයිබලයට එක් කර ඇති ප්‍රබන්ධ පොතක් වන දෙවන මකබිවරුන්ගේ පොතේ පවසන්නේ උත්තම පූජක ජේසන් ග්‍රීකවරුන්ට තිබුණා හා සමාන සරඹ ශාලාවක් යෙරුසලමේ ඉදි කිරීමට ගත් පියවර ගැන බොහෝ යුදෙව්වන් විරෝධය පළ කළ බවයි.—මකබිවරු 2, 4: 7-17

ඔබට මතකද?

• “අපට බරක් විය හැකි සෑම දෙයක්ම” අහක දමන්නේ කොහොමද?

• දෙවි කෙරෙහි ඇති විශ්වාසය නැති වීමට හේතු විය හැකි දේවල් මොනවාද?

• ත්‍යාගය අපට සැබෑ එකක් විය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

“අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” කුමක්ද? එය අපව හසු කරගන්නේ කොහොමද?