Skip to content

පටුනට යන්න

ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

“තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය.”—2 තිමෝ. 2:19.

1, 2. (අ) යේසුස් වඩාත් සැලකිලිමත් වුණේ කුමක් ගැනද? (ආ) අප සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

දිනක් නීතිය ගැන මනා දැනුමක් ඇති කෙනෙක් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද?” එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙ. 22:35-37) දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් තිබූ ඔහු නිතරම සැලකිලිමත් වුණේ දෙවිගේ අනුමැතිය ලැබෙන ආකාරයෙන් ජීවත් වීමටයි. තම මරණයට ටිකකට පෙර මෙසේ පැවසීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි. “මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා.”—යොහ. 15:10.

2 තමන් දෙවිට ප්‍රේම කරන බව බොහෝදෙනෙක් පවසනවා. අපත් එසේ පවසනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අප මෙවැනි ප්‍රශ්න සලකා බැලීම ඉතා වැදගත්. ‘යෙහෝවා දෙවි මා ගැන දරන ආකල්පය කුමක්ද? මට දෙවිගේ අනුමැතිය තිබෙනවාද? දෙවි මාව සලකන්නේ ඔහුගේ අනුමැතිය ලැබූ කෙනෙක් හැටියටද?’ (2 තිමෝ. 2:19) මුළු විශ්වයටම අධිපති තැනැත්තාගේ අනුමැතිය ලබාගැනීමට අපට හැකි බව දැන සිටීම මොන තරම් සතුටක්ද!

3. දෙවිගේ අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් සමහරුන් සිතන්නේ කුමක්ද? එම ආකල්පයෙන් මිදෙන්න ඔවුන්ට උපකාරවත් වන්නේ කුමක්ද?

3 දෙවිගේ අනුමැතිය තමන්ට තිබෙන බව විශ්වාස කිරීම දෙවිට ප්‍රේම කරන සමහර අයට පවා අපහසුයි. තවත් අයට හැඟෙන්නේ තමන් කිසි වටිනාකමක් නැති අය හැටියටයි. ඒ නිසා තමන්ට දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ කියා ඔවුන් සිතනවා. නමුත් දෙවි අපව සලකන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. (1 සාමු. 16:7) මේ ගැන සිතා බලන්න. ඔබ මේ සඟරාව කියවන්නේ ඇයි? ඔබේ මුළු හදවතින්, ජීවිතයෙන්, මනසින් හා ශක්තියෙන් දෙවිට සේවය කිරීමට මෙතරම් වෑයම් කරන්නේ ඇයි? ඔබ දෙවිට කැප වී බව්තීස්ම වූ කෙනෙක් නම් ඔබ එසේ කළේ ඇයි? දෙවි මිනිසුන්ගේ සිත් දන්නා බව හා ඔහුට “වටිනා” අයව ඔහු සොයමින් සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවි එවැනි අයව තමන් වෙතට ළං කරගෙන තම මිතුරන් කරගන්නවා. (හග්ගයි 2:7; යොහන් 6:44 කියවන්න.) ඒ නිසා දෙවිට සේවය කිරීමට ඔහු ඔබව තෝරාගෙන ඇති බව ඔබට නිසැක විය හැකියි. තම මිතුරන් ලෙස ළං කරගත් අය තමාට විශ්වාසවන්තව සිටින තාක් කල් ඔහු කෙදිනකවත් ඔවුන්ව අත්හරින්නේ නැහැ. ඔවුන් දෙවිට ඉතා වටිනා නිසා දෙවි ඔවුන්ට බොහෝ සේ ප්‍රේම කරනවා.—ගීතා. 94:14.

4. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය මොන තරම් අනර්ඝද කියා අප මතක තබාගත යුත්තේ ඇයි?

4 දෙවි අපව ඔහු වෙතට ළං කරගෙන තිබෙන නිසා දිගටම ඔහුගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ කිරීම අවශ්‍යයි. (යූද් 20, 21 කියවන්න.) අප දෙවිගෙන් ඈත් වීමටද ඉඩ තිබෙන බව අමතක නොකරන්න. (හෙබ්‍රෙ. 2:1; 3:12, 13) කලක් දෙවිට සේවය කළ හිමනේයස්ට සහ ෆිලේටස්ට එවැනි දෙයක් සිදු වූ බව පාවුල් සඳහන් කළා. ඔවුන් සත්‍යය අත්හැර ගියා. (2 තිමෝ. 2:16-18) ගලාති සභාවේ සිටි සමහරුන්ද දෙවිගෙන් ඈත් වුණා. (ගලා. 4:9) එවැනි දෙයක් සිදු නොවීමට නම් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය මොන තරම් අනර්ඝද කියා අප නිතරම මතක තබාගත යුතුයි.

5. (අ) දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) දැන් අප සලකා බලන ආදර්ශ මොනවාද?

5 දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් කිහිපයක් තිබෙනවා. (ගීතා. 15:1-5; 1පේතෘ. 3:4) දෙවි කෙරෙහි විශ්වාසය තැබීම සහ නිහතමානිකම ඒ අතර වෙනවා. එම සුදුසුකම්වලට අනුව ජීවත් වූ දෙදෙනෙකු ගැන අපි සලකා බලමු. උඩඟුකම නිසා දෙවිගේ අනුමැතිය අහිමි වූ කෙනෙක් ගැනත් අප සලකා බලනවා. අපට ඔවුන්ගෙන් වැදගත් පාඩම් ඉගෙනගත හැකියි.

ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා

6. (අ) ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නිසා ඔහු කළේ කුමක්ද? (ආ) දෙවි ආබ්‍රහම්ව හොඳින් දැන හඳුනා ගෙන සිටියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

6 ආබ්‍රහම් ‘යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ’ නිසා ඔහුව ‘ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා’ ලෙස හැඳින්වීම ඉතා උචිතයි. (උත්. 15:6; රෝම 4:11) ඔහුට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නිසා තම නිවස, නෑදෑ හිතමිතුරන්, ජීවන මාර්ගය වැනි සෑම දෙයක්ම අත්හැර දුර රටකට යෑමට පවා ඔහු කැමති වුණා. (උත්. 12:1-4; හෙබ්‍රෙ. 11:8-10) එහිදීත් ඔහුට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ බව පසු කාලයක ඔහුගේ පුත්‍රයාව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා දෙවි දුන් අණට කීකරු වීමෙන් පැහැදිලි වෙනවා. (හෙබ්‍රෙ. 11:17-19) ආබ්‍රහම්ට තිබූ විශ්වාසය නිසා ඔහු දෙවිට විශේෂ පුද්ගලයෙක් වුණා. දෙවි ඔහුව හොඳින් දැන හඳුනා ගෙන සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 18:19 කියවන්න.) ඉන් අදහස් කරන්නේ ආබ්‍රහම්ව නිකම්ම දැන සිටියා යන්න පමණක් නොව දෙවි ඔහුව තම මිත්‍රයා කරගෙන ඔහුට ප්‍රේම කළ බවයි.—යාකොබ් 2:22, 23.

7. දෙවිගේ පොරොන්දු ගැන ආබ්‍රහම්ට තිබූ විශ්වාසය කුමක්ද? ඔහු එය පෙන්නුවේ කොහොමද?

7 ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් ඔවුන්ගේ සතුරන්ගේ ‘නුවර අයිති කරගන්නා’ බවත් ඔවුන් “මුහුදු වෙරළේ වැලි මෙන්” බොහෝ සේ වැඩි වන බවත් දෙවි ඔහුට පොරොන්දු වුණා. (උත්. 22:17, 18) එම පොරොන්දු ආබ්‍රහම්ගේ ජීවිත කාලය තුළදී ඉටු නොවුණත් දෙවි ඒවා අනිවාර්යයෙන්ම ඉටු කරයි යන විශ්වාසය ඔහුට තිබුණා. එය ඔහු ජීවත් වූ ආකාරයෙන් පැහැදිලි වුණා. (හෙබ්‍රෙව් 11:13 කියවන්න.) දෙවි අපව සලකන්නේත් ආබ්‍රහම් හා සමාන විශ්වාසයක් ඇති අය ලෙසද?

දෙවි පියවර ගන්නා තෙක් විශ්වාසවන්තව සිටින්න

8. බොහෝදෙනෙක් ආශාවෙන් සිටින දේවල් මොනවාද?

8 විවාහය, දරුවන් ඇතිදැඩි කිරීම හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම වැනි අප ආශා කරන දේවල් තිබෙනවා. ඒවායේ කිසිම වරදක් නැහැ. නමුත් වර්තමානයේ ඒවා අපට නොලැබීමට ඉඩ තිබෙනවා. එවිට අප කරන්නේ කුමක්ද? එවැනි අවස්ථාවලදී අප ගන්නා තීරණවලින් පැහැදිලි වන්නේ අපට දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබෙනවාද යන්නයි.

9, 10. (අ) සමහරුන් තමන් ආශා කරන දේවල් ලබාගෙන තිබෙන්නේ කොහොමද? (ආ) දෙවිගේ පොරොන්දු ඉටු වීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

9 දෙවිගේ මඟ පෙන්වීම්වලට පිටුපාමින් අප ආශා කරන දේවල් ලබාගැනීම මොන තරම් අඥානද! සමහරුන් බයිබල් ප්‍රමිතිවලට පටහැනි ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. තවත් අය නමස්කාරය සඳහා හෝ පවුලේ අය සඳහා කාලයක් නොලැබෙන ආකාරයේ රැකියාවල නිරත වීමට තෝරාගෙන තිබෙනවා. තවත් සමහරු දෙවිට නමස්කාර නොකරන කෙනෙකු සමඟ ප්‍රේම සබඳතා පටන්ගෙන තිබෙනවා. එසේ කරන කෙනෙකු දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරන කෙනෙකු කියා පැවසිය හැකිද? ආබ්‍රහම් ගැන සිතන්න. දෙවි පොරොන්දු ඉටු කරන තෙක් ආබ්‍රහම් ඉවසීමෙන් බලා නොසිටියා නම් දෙවිට ඔහු ගැන කෙසේ හැඟෙයිද? දෙවිගේ අණට අකීකරු වෙමින් විශාල නිවසක් මිල දී ගත්තා නම් ඔහුට කුමක් වෙන්න තිබුණාද? දෙවි කෙරෙහි විශ්වාසය නොතබා තමාටම නමක් සාදාගැනීමට ඔහු උත්සාහ කළා නම් කුමක් සිදු වෙයිද? (උත්පත්ති 11:4 බලන්න.) ඔහු එසේ කළා නම් තම මිතුරා ලෙස දෙවි ඔහුව සලකයිද?

10 ඔබ වඩාත් ආශා කරන දේවල් මොනවාද? යෙහෝවා දෙවි එය ඔබට ලබා දෙන තෙක් බලා සිටීමට තරම් විශ්වාසයක් ඔබට තිබෙනවාද? “ජීවමාන සියල්ලන්ගේ ආශාව” ඉටු කරන බව දෙවි පොරොන්දු වී තිබෙනවා. (ගීතා. 145:16) දෙවිගේ සමහර පොරොන්දු අප සිතන තරම් ඉක්මනින් ඉටු නොවිය හැකියි. එවැනි අවස්ථාවලදී අප ආබ්‍රහම් හා සමාන විශ්වාසයකින් යුතුව ජීවත් වෙනවා නම් දෙවි අපව අමතක නොකර අපට ආශීර්වාද කරන බව ස්ථිරයි!—හෙබ්‍රෙ. 11:6.

නිහතමානිකම හා උඩඟුකම පිළිබඳ පාඩම්

11. කෝරා භුක්ති විඳි වරප්‍රසාද මොනවාද?

11 එකිනෙකට විරුද්ධ ගුණාංග දෙකක් තිබූ පුද්ගලයන් දෙදෙනෙක් වන මෝසෙස් සහ කෝරා ගැන දැන් අපි සලකා බලමු. යෙහෝවා දෙවිගේ අනුමැතිය කෙනෙකුට ලැබෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඔහු දෙවිගේ තීරණවලට හා ඔහුගේ සැලසුම්වලට දක්වන ප්‍රතිචාරය අනුව බව ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකියි. ලෙවී ගෝත්‍රයට අයත් කොහාත්වරයෙක් වූ කෝරා රතු මුහුද හරහා ගමන් කළ අවස්ථාවේදී දෙවිගේ බලය දකින්න ඔහුට අවස්ථාව ලැබෙන්න ඇති. සීනයි කන්ද අසල ඊශ්‍රායෙල්වරුන් කැරළිගැසූ අවස්ථාවේදී දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමට ඔහුද සහභාගි වුණා. ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යෑමටද ඔහු හවුල් වුණා. (නික්. 32:26-29; ගණන්. 3:30, 31) ඔහු දෙවිට වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව සිටි බවත් ඔහු බොහෝදෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බවත් ඒ සියල්ලෙන් පැහැදිලියි.

12. මෙහි 28වෙනි පිටුවේ දක්වා තිබෙන ලෙස කෝරාගේ උඩඟුකම නිසා දෙවි සමඟ ඔහුට තිබූ මිත්‍රත්වයට සිදු වුණේ කුමක්ද?

12 පොරොන්දු දේශයට යන ගමනේදී දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන ආකාරයේ වරදක් තිබෙන බව කෝරා සිතන්න පටන්ගත්තා. එහි යම් වෙනසක් කිරීමට ඔහුට අවශ්‍ය වූ අතර තවත් ඊශ්‍රායෙල්වරුන් 250ක් ඔහුට එකතු වුණා. ඔවුන් සිතුවේ ඔවුන්ට දෙවිගේ අනුමැතිය තිබෙන බවයි. ඒ නිසා ඔවුන් මෝසෙස්ට මෙසේ පැවසුවා. ‘මේ මුළු සෙනඟම සිටින්නේ ශුද්ධ තත්වයකයි. යෙහෝවා දෙවිත් ඔවුන් අතරේ සිටිනවා. අපිට දැන් නුඹලාව හොඳටම ඇති වෙලයි තියෙන්නේ.’ (ගණන්. 16:1-3) එය මොන තරම් උඩඟුකමක්ද! ඔවුන්ට අවශ්‍ය වුණේ ඔවුන් කැමති ආකාරයට දේවල් කිරීමටයි. ඒ අවස්ථාවේදී මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසුවා. ‘දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවිම දන්වයි.’ (ගණන් කතාව 16:5 කියවන්න.) පසු දින කෝරාත් ඔහු සමඟ සිටි සියලුදෙනාත් මිය ගිය අතර ඔවුන්ට තම අනුමැතිය නැති බව දෙවි පැහැදිලිව පෙන්නුවා.—ගණන්. 16:31-35.

13, 14. තමා නිහතමානී කෙනෙකු බව මෝසෙස් පෙන්නුවේ කුමන ආකාරවලින්ද?

13 කෝරාට හාත්පසින්ම වෙනස් කෙනෙක් වූ මෝසෙස්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ‘පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති කෙනෙක්’ ලෙසයි. (ගණන්. 12:3) දෙවි ඔහුට අණ කළ සියල්ල එලෙසම ඉටු කිරීමෙන් ඔහු ඒ බව පෙන්නුවා. (නික්. 7:6; 40:16) මෝසෙස් නිතරම දෙවිගේ අදහස්වලට පටහැනිව තමන් කැමති ආකාරයට දේවල් කිරීමට උත්සාහ කළේවත් දෙවි දුන් මඟ පෙන්වීම් ගැන නුරුස්නා ස්වභාවයකින් කටයුතු කළේවත් නැහැ. උදාහරණයකට ශුද්ධ කූඩාරම සාදන ආකාරය ගැන දෙවි ඔහුට සෑම පුංචි තොරතුරක්ම ලබා දුන්නා. භාවිත කරන නූල්වල පාට හා තිර රෙද්ද සම්බන්ධ කිරීමට සෑදිය යුතු මුදු ප්‍රමාණය ඊට ඇතුළත් වුණා. (නික්. 26:1-6) අද දින දෙවිගේ සංවිධානයේ පෙරමුණ ගෙන ක්‍රියා කරන සහෝදරයෙක් යම් දෙයක් කරන ආකාරය ගැන සෑම පුංචි තොරතුරක්ම පවසන විට සමහර අවස්ථාවලදී අපට කලකිරීමක් ඇති විය හැකියි. නමුත් යෙහෝවා දෙවි පරිපූර්ණ මඟ පෙන්වන්නෙක්. යම් කාර්යයක් කළ යුතු ආකාරය ගැන සෑම පුංචි තොරතුරක්ම අපට ලබා දෙන්න දෙවිට හොඳ හේතු තිබෙනවා. දෙවි මෝසෙස්ට බොහෝ තොරතුරු ලබා දුන් විට තම නිදහස සීමා කරනවා කියාවත් තමාට අගෞරව කරනවා කියාවත් ඔහු සිතුවේ නැහැ. ඒ වෙනුවට ශුද්ධ කූඩාරම සෑදීම සම්බන්ධයෙන් දෙවි සැපයූ සෑම පුංචි තොරතුරක්ම ඉදි කරන්නන්ට මෝසෙස් ලබා දුන්නා. (නික්. 39:32) එය මොන තරම් නිහතමානිකමක්ද! යෙහෝවා දෙවිගේ කාර්යයේ තමන් ඉටු කරන්නේ පුංචි කොටසක් බව ඔහු නිහතමානීව පිළිගත්තා.

14 මෝසෙස් කලකිරුණු අවස්ථාලදී පවා නිහතමානීව ක්‍රියා කළා. මේ උදාහරණය සලකා බලන්න. බීමට ජලය නැහැ කියා ඊශ්‍රායෙල්වරු කෙඳිරූ අවස්ථාවේ මෝසෙස් බොහෝ සෙයින් කෝප වූ නිසා ඔහු දෙවිට හිමි ගෞරවය ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔහුට පොරොන්දු දේශය අහිමි වුණා. (ගණන්. 20:2-12) මෝසෙස් අවුරුදු ගණනාවක් පුරා ඊශ්‍රායෙල්වරුන් කළ දේවල් දරාගෙන දෙවිට විශ්වාසවන්තව සිටියත් ඔහු අතින් සිදු වූ එක වරදක් නිසා අවුරුදු ගණනාවක් ආශාවෙන් බලා සිටි දේ ඔහුට අහිමි වුණා. එවිට මෝසෙස් කළේ කුමක්ද? ඔහු කලකිරුණු බව නම් නිසැකයි. නමුත් ඔහු තුළ තිබූ නිහතමානිකම නිසා දෙවිගේ තීරණයට ඔහු එකඟ වුණා. දෙවි ධර්මිෂ්ඨ බවත් ‘ඔහු අතින් කිසිම අසාධාරණයක් සිදු නොවන’ බවත් මෝසෙස් දැන සිටියා. (ද්වි. 3:25-27; 32:4) අද අපට මෝසෙස්ව මතකයට නැඟෙන්නේ දෙවි හොඳින් දැන හඳුනා ගත්, ඔහුගේ අනුමැතිය ලැබූ කෙනෙකු ලෙසයි.නික්මයාම 33:12, 13 කියවන්න.

කීකරු වීමට නිහතමානිකම අත්‍යවශ්‍යයි

15. කෝරා ක්‍රියා කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

15 අපට දෙවිගේ අනුමැතිය ලැබිය හැක්කේ දෙවි තම සංවිධානය මාර්ගයෙන් කරන යම් සකස් කිරීම්වලට හැඩගැසීමට කැමති නම් පමණයි. දෙවි තම සෙනඟට මඟ පෙන්වීම සඳහා පත් කර ඇති අයට අප ගෞරව කිරීමත් අවශ්‍යයි. තමන් කැමති ආකාරයට දේවල් කිරීම නිසා කෝරා සහ ඔහුට එකතු වූ අයට දෙවිගේ අනුමැතිය අහිමි වූ බව අප ඉගෙනගත්තා. ඔවුන් උඩඟුකමින් ක්‍රියා කළ අතර දෙවි කෙරෙහි විශ්වාසයක් ඔවුන්ට තිබුණේ නැහැ. මෝසෙස් නිකම්ම මහලු මිනිසෙක් බවත් ඔහු කරන්නේ ඔහුට අවශ්‍ය දේ බවත් කෝරා සිතුවා. නමුත් මෝසෙස් මාර්ගයෙන් ජාතියට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවි බව ඔහු අමතක කළා. ඒ නිසා තම සෙනඟට මඟ පෙන්වීමට දෙවි යොදාගන්නා අයට ගෞරව කිරීමට ඔහු අසමත් වුණා. මෝසෙස් අතින් යම් අඩුවක් සිදු වුණා නම් කෝරා කළ යුතුව තිබුණේ දෙවි එය නිවැරදි කරන තෙක් බලා සිටීමයි. කෝරා එසේ කළා නම් ඔහුට කාරණා අවබෝධ කර දීමට දෙවිට අවස්ථාව තිබුණා. නමුත් කෝරා ඉක්මන් වී ක්‍රියා කළ නිසා අද අප ඔහුව මතකයට නඟන්නේ දෙවිට අකීකරු වූ උඩඟු පුද්ගලයෙකු ලෙසයි.

16. මෝසෙස් මෙන් අපටත් නිහතමානී අය වෙන්න පුළුවන් කොහොමද?

16 දෙවි පියවර ගන්නා තෙක් බලා සිටීමට සහ ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම සඳහා යොදාගන්නා අයට කීකරු වීමට නිහතමානිකම අත්‍යවශ්‍යයි. කෝරාට සිදු වූ දෙයින් වැඩිමහල්ලන් ඇතුළු අප සියලුදෙනාට ඉගෙනගත හැකි වැදගත් පාඩම එයයි. අපත් මෝසෙස් මෙන් නිතහමානී, මෘදු ගුණැති අය බව ක්‍රියාවෙන් පෙන්වනවාද? දෙවි තම සෙනඟට මඟ පෙන්වීම සඳහා යොදාගන්නා අයට අප ගෞරව කරනවාද? අප ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවාද? කලකිරීමක් ඇති වන අවස්ථාවලදී අප අපවම පාලනය කරගන්නවාද? අප එසේ කරනවා නම් දෙවිගේ අනුමැතිය අපට ලැබෙන බව ස්ථිරයි! අප නිහතමානී සහ කීකරු අය වන විට දෙවි අපට දක්වන ආදරය තවත් වැඩි වෙනවා.

දෙවිගේ අනුමැතිය ලැබෙන අය

17, 18. දිගටම දෙවිගේ අනුමැතිය ලැබීම සඳහා අප කුමක් කළ යුතුද?

17 දෙවිගේ අනුමැතිය ලබා ඔහුගේ මිත්‍රයන් වීමට ආරාධනා ලැබූ අය ගැන ගැඹුරින් කල්පනා කිරීම අපට ඉතා ප්‍රයෝජනවත්. ආබ්‍රහම් සහ මෝසෙස් අප වැනි දුර්වල, අසම්පූර්ණ අයයි. නමුත් යෙහෝවා දෙවි ඔවුන්ව සැලකුවේ ඔහුගේ අනුමැතිය ඇති මිතුරන් ලෙසයි. නමුත් කෝරා ක්‍රියා කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටයි. අප කල්පනාකාරී නොවුණොත් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අහිමි වීමට ඉඩ තිබෙන බව අපට කෝරාගෙන් ඉගෙනගත හැකියි. එමනිසා අප එක් එක් කෙනා මෙසේ කල්පනා කිරීම සුදුසුයි. යෙහෝවා දෙවි මා ගැන සිතන්නේ කුමක්ද? මේ ලිපියේ සඳහන් චරිතවලින් මම ඉගෙනගන්නේ මොනවාද?

18 දෙවිට විශ්වාසවන්තව සිටින අයට ඔහුගේ අනුමැතිය තිබෙන බව දැනගැනීම අපට මහත් සහනයක්. ඒ නිසා අප දිගටම දෙවිට විශ්වාසවන්තව සිටින අය බවත් නිහතමානි අය බවත් ක්‍රියාවෙන් පෙන්වමු. එවිට අප දෙවිට වඩාත් වටිනා අය බවට පත් වෙයි. ඇත්තෙන්ම දෙවිගේ අනුමැතිය ලැබීම අපට මොන තරම් ගෞරවයක්ද! දෙවිගේ අනුමැතිය හිමි සියලුදෙනාටම දැන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අතර ඉදිරියේදී බහුල ආශීර්වාදවලටද උරුමකම් කිව හැකියි.—ගීතා. 37:18.

ඔබට මතකද?

• ඔබට භුක්ති විඳිය හැකි අනර්ඝ වරප්‍රසාදය කුමක්ද?

• ආබ්‍රහම්ට තිබුණා හා සමාන විශ්වාසයක් ඇති කරගන්න ඔබට පුළුවන් කොහොමද?

• කෝරා සහ මෝසෙස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පොරොන්දු ඉටු වන බවට ආබ්‍රහම්ට මෙන් විශ්වාසයක් ඔබටත් තිබෙනවාද?

[28වන පිටුවේ පින්තූරය]

දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමට කෝරා නිහතමානී වුණේ නැහැ

[29වන පිටුවේ පින්තූරය]

ඔබ දෙවිගේ අනුමැතිය ලැබූ නිහතමානී, කීකරු කෙනෙක්ද?