Skip to content

පටුනට යන්න

4 දෙවි අසාධාරණ කෙනෙක් එය සත්‍යයක්ද?

4 දෙවි අසාධාරණ කෙනෙක් එය සත්‍යයක්ද?

4 දෙවි අසාධාරණ කෙනෙක් එය සත්‍යයක්ද?

සමහරවිට ඔබ මෙසේ අසා ඇති: “මේ ලෝකය පාලනය කරන්නේ දෙවි නිසා සෑම දෙයක්ම සිදු වෙන්නේ ඔහුගේ කැමැත්තට එකඟවයි. උස් පහත් භේද, අයුක්තිය සහ දුෂ්ටකම වැනි දේවලට වග කිව යුත්තේ දෙවියි.”

බයිබලයේ උගන්වන දේ: ලෝකයේ සිදු වන අයුක්තිසහගත දේවලට වග කිව යුත්තේ දෙවි නොවෙයි. බයිබලයේ දෙවි ගැන මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.’—ද්විතීය කතාව 32:4.

දෙවි, උස් පහත් භේදයකින් තොරව සියලුදෙනාටම එක හා සමානව සලකනවා. උදාහරණයකට, ‘ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් හිරු උදා කර දෙනවා. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙනවා.’ (මතෙව් 5:45) ඒ බව ක්‍රියා 10:34, 35හි සඳහන් මේ දෙයින්ද පැහැදිලි වෙනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’

එසේනම් අයුක්තිසහගත දේවල් සිදු වෙන්නේ ඇයි? ඊට එක් හේතුවක් වෙන්නේ බොහෝ මිනිසුන් අසාධාරණ ලෙස ක්‍රියා කිරීමයි. (ද්විතීය කතාව 32:5) යක්ෂයා මේ ලෝකය පාලනය කිරීම ඊට තවත් හේතුවක්. * (1 යොහන් 5:19) කෙසේවෙතත් දෙවි ඉක්මනින්ම යක්ෂයාගේ අයුක්තිසහගත පාලනය අවසන් කිරීමට නියමිතයි. “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමට” අවශ්‍ය මූලික පියවර දෙවි දැනටමත් ගෙන තිබෙනවා.—1 යොහන් 3:8.

සත්‍යය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: දූෂිත දේවල්, අයුක්තිසහගත ක්‍රියා හා ප්‍රශ්න ගැටලු ගැන වාර්තා නිතර නිතර අසන්න ලැබීම නිසා ඔබ කැලඹී ඇති. දුෂ්ටකමට හේතුව කුමක්ද කියා අවබෝධ කරගැනීමෙන් මේ ලෝකය මෙතරම් නරක අතට හැරී තිබෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමටත් ලෝකය ලස්සන තැනක් කරන්න මිනිසුන් ගෙන තිබෙන උත්සාහයන් අසාර්ථක වෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමටත් ඔබට හැකි වෙනවා. (ගීතාවලිය 146:3) තාවකාලිකව ප්‍රයෝජනයක් ලැබෙන දෙයක් වෙනුවෙන් හෝ කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන දෙයක් වෙනුවෙන් ඔබේ කාලය හා ශක්තිය වැය කරනවා වෙනුවට දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමෙන් අනාගතය සඳහා ඔබට හොඳ බලාපොරොත්තුවක් ඇතුව සිටිය හැකියි.—එළිදරව් 21:3, 4.

අයුක්තියට හා අසාධාරණයට හේතුව කුමක්ද කියා දැන සිටීම එවැනි තත්වයන්ට හොඳින් මුහුණ දීමට අපට උපකාරවත් වෙනවා. කෙනෙක් අපට අසාධාරණ ලෙස සලකන විට පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වන හබක්කුක්ට හැඟුණු ලෙස ‘යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැහැ’ කියා අපටත් හැඟෙන්න පුළුවන්. (හබක්කුක් 1:4) හබක්කුක් එසේ සිතූ නිසා දෙවි ඔහුට දඬුවම් කළේ නැහැ. ඒ වෙනුවට සියලුම අසාධාරණකම්වලට ළඟදීම නිමාවක් ගෙනෙන බවට සහතික වූ දෙවි ප්‍රශ්න හමුවේ පවා ප්‍රීතියෙන් සිටීමට ඔහුට උපකාර කළා. (හබක්කුක් 2:2-4; 3:17, 18) ලෝකයේ සිදු වන අසාධාරණකම් අවසන් කරන බවට දෙවි දී ඇති පොරොන්දුව විශ්වාස කිරීම තුළින් සන්සුන් හා සාමකාමී මනසක් ඇතුව සිටීමට අපටත් හැකියි.

[පාදසටහන]

^ 5 ඡේ. යක්ෂයාගේ ආරම්භය ගැන දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 3වන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අයුක්තිය හා දුක් වේදනාවලට වග කිව යුත්තේ දෙවිද?

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Sven Torfinn/​Panos Pictures