Skip to content

පටුනට යන්න

පවුලක් ලෙස සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

පවුලක් ලෙස සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

පවුලක් ලෙස සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. විවාහ වී සිටීම ප්‍රීතිමත් පවුල් ජීවිතයකට දායක වන්නේ කෙසේද?

විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. විවාහය නිසා ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර කිට්ටු බැඳීමක් ඇති වෙනවා පමණක් නොව දරුවන්ට සුරක්ෂිතභාවයක්ද දැනෙනවා. යෙහෝවා දෙවි විවාහය සලකන්නේ කොහොමද? විවාහය නීත්‍යනුකූලව සිදු කිරීමත් එය සැමදා පවතිනවා දකින්නත් යෙහෝවා දෙවි කැමතියි. (ලූක් 2:1-5) ඒ වගේම දෙවිගේ ආශාව වන්නේ භාර්යාව හා ස්වාමිපුරුෂයා එකිනෙකාට විශ්වාසවන්තව සිටිනවා දැකීමයි. (හෙබ්‍රෙව් 13:4) දික්කසාද වී නැවත විවාහයක් සිදු කරගැනීමට දෙවි අවසර දී තිබෙන්නේ දෙදෙනාගෙන් එක් කෙනෙක් වේශ්‍යාකම් කළොත් පමණයි.—මතෙව් 19:3-6, 9 කියවන්න.

2. භාර්යාව සහ ස්වාමිපුරුෂයා එකිනෙකාට සැලකිය යුත්තේ කෙසේද?

විවාහ වී එකිනෙකාට සහයෝගය දැක්වීම දෙවි ස්ත්‍රියකගෙන් හා පුරුෂයෙකුගෙන් බලාපොරොත්තු වෙනවා. (උත්පත්ති 2:18) පවුලේ අයගේ අවශ්‍යතා සපුරන්නත් දෙවි ගැන උගන්වන්නත් මූලික වගකීම තිබෙන්නේ ස්වාමිපුරුෂයාටයි. ඔහු තමාට ප්‍රේම කරනවා හා සමානව තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. භාර්යාව සහ පුරුෂයා එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දැක්විය යුතුයි. දෙදෙනාගේම අතින් වැරදි සිදු වෙන නිසා සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කිරීමට නම් සමාව දීම අත්‍යවශ්‍යයි.—එෆීස 4:31, 32; 5:22-25, 33; 1 පේතෘස් 3:7 කියවන්න.

3. ඔබේ සහකරුව හෝ සහකාරියව අත්හැරිය යුතුද?

භාර්යාව සහ පුරුෂයා අතර ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවා ප්‍රේමයෙන් විසඳාගත යුතුයි. (1 කොරින්ති 13:4, 5) දෙදෙනා අතර ඇති වන ප්‍රශ්නවලට විසඳුමක් ලෙස වෙන් වීම බයිබලයේ අනුමත කරන්නේ නැහැ. නමුත් ඉතා බරපතළ තත්වයක් මතු වෙන අවස්ථාවලදී වෙන් වෙනවාද නැද්ද කියා පෞද්ගලිකව තීරණය කළ හැකියි.—1 කොරින්ති 7:10-13 කියවන්න.

4. දරුවෙනි, දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

ඔබ සන්තෝෂයෙන් ඉන්නවා දකින්න දෙවි කැමතියි. ඒ නිසා දෙවි බොහෝ මඟ පෙන්වීම් දී තිබෙනවා. ඔබේ දෙමාපියන් සතු අවබෝධය හා අද්දැකීම්වලින් ඔබ ප්‍රයෝජන ගන්නවා දකින්නත් දෙවි කැමතියි. (කොලොස්සි 3:20) ඔබ දෙවිගේ මඟ පෙන්වීම් පිළිපදින විට ඔහු ඒ ගැන සතුටු වෙනවා.—දේශනාකාරයා 11:9–12:1; මතෙව් 19:13-15; 21:15, 16 කියවන්න.

5. දෙමාපියෙනි, දරුවන්ගේ සතුට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද?

දරුවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ඉඳුම්හිටුම් හා ආහාර ලබා දීම සඳහා ඔබ වෙහෙසී වැඩ කළ යුතුයි. (1 තිමෝති 5:8) කෙසේවෙතත් ඔවුන්ට සැබෑ සතුට අද්දැකීමට හැකි වන්නේ ඔබ, දෙවිට ප්‍රේම කරන්නත් ඔහුගෙන් ඉගෙනගන්නත් දරුවන්ව පුහුණු කළොත් පමණයි. (එෆීස 6:4) ඔබ දෙවිට ප්‍රේම කරන බව ඔබේ ආදර්ශයෙන් පෙන්වන විට එය දරුවන්ගේ සිත් තුළට බොහෝ සෙයින් කාවදිනවා. ඔබ දෙවිගේ වචනය පදනම් කරගෙන දරුවන්ව හික්මවනවා නම් ඉන් දරුවන්ට බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි.—ද්විතීය කතාව 6:4-7; හිතෝපදේශ 22:6 කියවන්න.

දරුවන්ව දිරිගන්වන විට හා ඔවුන්ට ප්‍රශංසා කරන විට දරුවන් ඉන් බොහෝ ප්‍රයෝජන ලබනවා. ඒ වගේම ඔවුන්ව නිවැරදි කරන්නත් හික්මවන්නත් අවශ්‍යයි. එය ඔවුන්ට ආරක්ෂාවක් වන අතර ඔවුන්ගේ සන්තෝෂයටද දායක වෙනවා. (හිතෝපදේශ 22:15) ඒ වුණත් ඔබ කිසිවිටක රළු හෝ දරුණු ලෙස හික්මවීම් ලබා නොදිය යුතුයි.—කොලොස්සි 3:21 කියවන්න.

දරුවන් හා දෙමාපියන් වෙනුවෙන් ලියැවුණු පොත් රාශියක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පොත්වල සඳහන් තොරතුරු පදනම් කරගෙන තිබෙන්නේ බයිබලය මතයි.—ගීතාවලිය 19:7, 11 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න.