Skip to content

පටුනට යන්න

ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා

ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා

ෂූෂන් මාලිගාව සාදා තිබුණේ හිම වැටෙන සාග්‍රොස් කන්ද අසලයි. ඈත සිට බලන කෙනෙකුට එම මාලිගාව පෙනෙන්නේ එය වේදිකාවක් මත ඉදි කර තිබෙන ආකාරයටයි. එම මාලිගාව අසලින් ඉතාමත් අලංකාර ලෙස කෝඇස්පීස් ගඟ ගලා ගියා. රජමාලිගාව හා එහි ඇති සියල්ල නිර්මාණය කර තිබුණේ මාලිගාව ඇතුළට පැමිණෙන ඕනෑම කෙනෙකුට රජ මොන තරම් බලවත් කෙනෙක්ද කියා තේරුම්ගත හැකි ආකාරයටයි. එහි බිත්ති සාදා තිබුණේ මතුපිට දිලිසෙන ගඩොල්වලිනුයි. එම බිත්තිවල පියාපත් ඇති ගවයන්, දුනුවායන් හා සිංහයන්ගේ විශාල රූප දක්නට තිබුණා. ඊට අමතරව විශාල ප්‍රතිමාද නිර්මාණය කර තිබුණා. මෙවැනි දේවල් දකිමින් රජුව හමු වීමට යන විට එස්තර්ට මහත් බියක් දැනුණු බවට කිසිම සැකයක් නැහැ.

එස්තර්, අහෂ්වේරොෂ් * රජුගේ බිරිඳයි. එවැනි බලවත් රජ කෙනෙකුගේ බිරිඳ වීමට තමන්ට සිදු වෙයි කියා යුදෙව් තරුණියක් වූ එස්තර් කිසි දිනක සිතන්න නැතුව ඇති. එස්තර් නමස්කාර කළ යෙහෝවා දෙවි ගැනවත් ඔහුගේ නීති ගැනවත් රජු කිසිම දෙයක් දැන සිටියේ නැහැ. ඒ නිසා තම බිරිඳට ඇහුම්කන් දෙන්න කියා දෙවිගෙන් ලැබුණු මඟ පෙන්වීම පිළිගත් ආබ්‍රහම් වැනි පුරුෂයන් මෙන් අහෂ්වේරොෂ් රජුත් ක්‍රියා කරයි කියා සිතන්න බැහැ. (උත්පත්ති 21:12) පර්සියානු නීතියට අනුව රජුගේ අවසරයක් නොමැතිව රජුව හමු වීමට යන ඕනෑම කෙනෙකුව මරා දමන ලෙස අණ කිරීමට රජුට අවසර තිබුණා. එවැනි තත්වයක් යටතේ රජුගෙන් කැඳවීමක් නොමැතිව ඔහු වෙතට යෑමට තරම් එස්තර්ට කොතරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද! රජුව හමු වීමට මළුව දිගේ ගමන් කරන විට තමන් මරණය කරා ගමන් කරනවා කියා ඇයට සිතෙන්න ඇති.—එස්තර් 4:11; 5:1.

එස්තර් තමාගේ ජීවිතය අනතුරේ දැම්මේ ඇයි? ඇගේ විශ්වාසයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට පෙර එස්තර් පර්සියාවේ රැජින බවට පත් වූයේ කෙසේද කියා බලමු.

“රූමත් තරුණියක්”

එස්තර්ගේ දෙමාපියන් හෙබ්‍රෙව් බසින් සුදු පාට මල් පිපෙන පඳුර යන අර්ථය ඇති හදස්සා යන නම ඇයට දමා තිබුණා. කෙසේවෙතත් ඇගේ දෙමාපියන් ගැන එතරම් තොරතුරු බයිබලයේ සඳහන් වී නැහැ. ඔවුන් මිය ගිය විට එස්තර්ගේ ඥාති සහෝදරයෙක් වූ මොර්දෙකයි ඇයව තමාගේම දියණිය ලෙස හදා වඩා ගත් බව එහි සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා අතර විශාල වයස් පරතරයක් තිබුණා.—එස්තර් 2:5-7, 15.

මේ වන විට මොර්දෙකයි සහ එස්තර් ජීවත් වුණේ පර්සියානු අගනුවරෙයි. දෙවිගේ නීතිවලට එකඟව ජීවත් වීමට උත්සාහ කරද්දී ඔවුන්ට විවිධ නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. මොර්දෙකයි එස්තර්ට යෙහෝවා දෙවි ගැන බොහෝ දේ ඉගැන්නුවා. දෙවි කරුණාවන්ත කෙනෙක් බවත් තම සෙනඟ විපත් අද්දකින විට ඔවුන්ව ගලවාගත් බවත් ඉදිරියේදීත් තම සෙනඟව ගලවාගන්නා බවත් ඔහු එස්තර්ට උගන්වන්න ඇති. (ලෙවී කතාව 26:44, 45) පියෙක් සහ දියණියක් අතර ඇති වන කිට්ටු බැඳීම ඔවුන් දෙදෙනා අතරත් ඇති වුණා.

රජමාලිගාවේ නිලධාරියෙක් ලෙස මොර්දෙකයි සේවය කළ බව පෙනෙන්න තිබෙනවා. ඔහු රජුගේ අනික් සේවකයන් සමඟ රජුගේ දොරටුව අසල සිටි බව බයිබලයේ සඳහන් වීමෙන් එය පැහැදිලියි. (එස්තර් 2:19, 21; 3:3) එස්තර් සහ මොර්දෙකයි ජීවත් වුණේ රජමාලිගාව අසල පිහිටි ගඟෙන් එගොඩ තිබූ දුප්පත් නිවසක විය හැකියි. එස්තර් එහි කාලය ගත කළේ කෙසේද කියා අප නොදන්නවා වුණත් ඇය ඇගේ නිවසේ හා මොර්දෙකයිගේ වැඩකටයුතු බලාගත්තා කියා සිතන්න පුළුවන්. නිවසට අවශ්‍ය දෑ ලබාගැනීමට ඇය ෂූෂන් නගරයට යන්න ඇති. ඒ වගේම එම නගරයේ තිබූ රත්තරන් හා රිදී බඩු විකුණූ කඩසාප්පු දිගේ ඇවිදින්නත් ඇය ආස කරන්න ඇති. එම කඩසාප්පුවල තිබූ මිල අධික බඩු භාණ්ඩ තමන්ට කවදා හෝ ලැබෙයි කියා ඇය කවදාවත් නොසිතන්න ඇති.

කිරුළ අහිමි වූ බිසව

එක්තරා දවසක රජමාලිගාවේ සිදු වූ දෙයක් එහි සිටි බොහෝදෙනා අතර කතාබහට ලක් වුණා. එදින අහෂ්වේරොෂ් රජු විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. ඒ අවස්ථාවට තම රූමත් බිරිඳ වන වෂ්ටී බිසවව කැඳවන්න රජු තීරණය කළා. ඒ වන විට ඇය වෙනමම තැනක කාන්තාවන් සමඟ භෝජන සංග්‍රහයක් පවත්වමින් සිටියා. ඒ නිසා ඇය රජුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එය තමන්ට කළ මදිපුංචිකමක් කියා සිතූ රජු ඒ ගැන බොහෝ සේ කෝප වුණා. ඒ වෙනුවෙන් තම බිසවට දිය යුතු දඬුවම කුමක්ද කියා රජ ඔහුගේ උපදේශකයන්ගෙන් ඇසුවා. ඒ අනුව තවදුරටත් ඇයව තම බිසව ලෙස තබා නොගැනීමට රජ තීරණය කළා. යම් කලක් ගත වූ පසු රජුගේ සේවකයන් රජුට සුදුසු බිසවක්ව තෝරාගැනීම සඳහා රාජධානියේ සිටි රූමත් තරුණියන්ව රජමාලිගාවට ගෙන ආවා.—එස්තර් 1:1–2:4.

පොඩි කාලේ සිටම ආදරයෙන් හදා වඩා ගත් තම දියණිය දැන් ලොකු මහත් වී රූමත් යෞවනියක් වීම ගැන මොර්දෙකයිට ආඩම්බරයක් හිතෙන්න ඇති. බයිබලයේ ඇය ගැන සඳහන් වෙන්නේ ඇය “ඉතා රූමත් තරුණියක්” කියායි. (එස්තර් 2:7) රූමත් කෙනෙකුට ප්‍රඥාව හා යටහත්පහත්කම තිබීම වැදගත්. නැත්නම් එවැනි කෙනෙකු අහංකාර හෝ උඩඟු විය හැකියි. (හිතෝපදේශ 11:22) සමහරවිට ඔබ එවැනි අය ගැන දන්නවා ඇති. එස්තර් ඇගේ රූමත්කම නිසා නරක ගතිගුණ ඇති කෙනෙක් බවට පත් වෙයිද? එසේ නැත්නම් ඇය යටහත්පහත් කෙනෙක් වෙයිද? කාලය ගත වන විට ඊට පිළිතුරු දැනගත හැකි වෙයි.

රජුගේ සේවකයන්ට එස්තර්ව නෙත ගැටුණු විට ඔවුන් ඇයව ගඟ එගොඩ තිබෙන මාලිගාවට රැගෙන ගියා. (එස්තර් 2:8) එම සිදුවීම නිසා එස්තර් සහ මොර්දෙකයි මහත් සේ දුක් වෙන්න ඇති. රජ කෙනෙකු වුවත් ඔහු දෙවිට සේවය නොකරනවා නම් එවැනි කෙනෙකුට එස්තර්ව විවාහ කර දීමට මොර්දෙකයි කැමති වුණේ නැති බව ස්ථිරයි. නමුත් දැන් ඒ වෙනුවෙන් මොර්දෙකයිට කරන්න දෙයක් ඉතුරු වී නැහැ. තමන්ව එම නිවසින් රැගෙන යෑමට පෙර මොර්දෙකයි දුන් උපදෙස් එස්තර් මොන තරම් උනන්දුවෙන් සිතට ගන්න ඇතිද! රජමාලිගාවට පැමිණි පසු ඇගේ මනසට බොහෝ ප්‍රශ්න මතු වෙන්න ඇති. මාලිගාවේ සිටියදී ඇයට මුහුණ දීමට සිදු වුණේ මොන වගේ තත්වයන්ටද කියා දැන් අපි බලමු.

ඇය “සියලුදෙනාගේ කරුණාව දිනාගත්තා”

රජමාලිගාවේ සිටින විට තමන් වෙනමම ලෝකයක සිටිනවා කියා එස්තර්ට සිතෙන්න ඇති. පර්සියානු අධිරාජ්‍යයේ සෑම තැනකින්ම රැගෙන ආ ‘තරුණියන් බොහෝදෙනෙක්’ ඇය සමඟ සිටියා. ඔවුන්ගේ චාරිත්‍ර, භාෂාව සහ ඔවුන් දරන ආකල්ප බොහෝ සේ වෙනස් වූවා විය හැකියි. මේ සියලු තරුණියන්ව බලාගැනීමට පත් කළේ හෙගයි නම් සේවකයාවයි. මේ තරුණියන්ට වසරක කාලයක් පුරා තමන්ගේ රූමත් බව වැඩි කරගැනීමට විවිධ රූපලාවන්‍ය සත්කාර කළා. ඊට සුවඳ ගැල්වූ තෙල්වලින් සම්බාහනය කිරීමත් අයත් වුණා. (එස්තර් 2:8, 12) තමන්ට ලැබෙන සැලකිල්ල සහ අලුතෙන් භුක්ති විඳින සුඛෝපභෝගී ජීවිතය නිසා එම තරුණියන් පහසුවෙන්ම තමන්ගේ රූපය ගැන ඕනෑවට වඩා සිතන්න පෙලඹීමට ඉඩ තිබුණා. ඒ වගේම ඔවුන් තුළ අහංකාරකමක් හා තරඟකාරී බවක් ඇති වීමටද ඉඩ තිබුණා. මේ සියලු දේ එස්තර්ට බලපෑවේ කොහොමද?

මොර්දෙකයි තරම් එස්තර් ගැන සැලකිලිමත් වුණ කෙනෙක් සිටියේ නැහැ. ඔහු දිනපතාම එස්තර්ගේ සුව දුක් සොයා බැලුවා. (එස්තර් 2:11) එම නිවසේ සේවකයන්ගෙන් ලැබුණු ආරංචි නිසා ඔහුට ඇය ගැන ආඩම්බරයක් දැනෙන්න ඇති.

හෙගයිට එස්තර් ගැන පැහැදීමක් ඇති වූ නිසා ඇයට කාරුණිකව සැලකුවා පමණක් නොව එම නිවසේ සේවය කළ ස්ත්‍රීන් හත්දෙනෙකුව ඇගේ සහයට ලබා දී ඇයට එම නිවසේ හොඳම ස්ථානයේ නවාතැන් දුන්නා. “එස්තර් සියලුදෙනාගේ කරුණාව දිනාගත්තා” කියා බයිබලයේ සඳහන් වෙනවා. (එස්තර් 2:9, 15) මේ සියල්ල ඇයට ලැබුණේ ඇගේ රූපය නිසා පමණක් නොවෙයි.

එස්තර් රජමාලිගාවේ සිටියදීත් මොර්දෙකයි දී තිබූ උපදෙස්වලට කීකරු වුණා. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “එස්තර් තමාගේ සෙනඟ ගැනවත් තමාගේ ඥාතීන් ගැනවත් කිසිවෙකුට නොකීවාය. මන්ද ඒ ගැන කිසිවක් නොකියන ලෙස මොර්දෙකයි ඇයට අණ කර තිබුණේය.” (එස්තර් 2:10) මොර්දෙකයි ඇයට එසේ පැවසුවේ පර්සියානුවන්ට යුදෙව්වන් ගැන තිබෙන්නේ පහත් ආකල්පයක් බව දැන සිටි නිසයි. එස්තර් තමන් ළඟ නැති විටත් තමන් පැවසූ දේවලට කීකරු වෙන බව දැනගත් විට ඔහු මොන තරම් සතුටු වෙන්න ඇද්ද!

ඒ හා සමානව අද සිටින යෞවනයන් තම දෙමාපියන්ට කීකරු වන විට දෙමාපියන්ටද ඒ ගැන සතුටු විය හැකියි. යෞවනයන්, වැඩිහිටියන් සමඟ නොසිටින අවස්ථාවලදීත් ඔවුන් ඉගෙනගෙන තිබෙන නිවැරදි ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා කරනවා නම් ඔවුන්ට නරක බලපෑම්වලට හසු නොවී සිටීමට හැකි වෙනවා. එසේ කිරීමෙන් ඔවුන්ට යෙහෝවා දෙවිවත් සතුටු කළ හැකියි.—හිතෝපදේශ 27:11.

දැන් අහෂ්වේරොෂ් රජු වෙතට යෑමේ වාරය පැමිණ තිබෙන්නේ එස්තර්ටයි. ඊට පෙර ඇයට අවශ්‍ය යමක් තිබෙනවා නම් එය ඉල්ලීමට ඇයට අවස්ථාව ලැබුණා. එසේ වූයේ ඇගේ ලස්සන තව වැඩි කරගැනීමට ඇයට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමට විය හැකියි. නමුත් ඇයට ලබා දුන් දේ හැර වෙන කිසිවක් ඇය ඉල්ලුවේ නැහැ. (එස්තර් 2:15) රජුගේ සිත දිනාගැනීමට ලස්සන පමණක් ප්‍රමාණවත් නොවන බව ඇය දැන සිටියා. රාජකීය අය අතර සිටින විට නිහතමානිකම මිල කළ නොහැකි දෙයක් බව ඇය දැන සිටියා.

රජ, මෙම රූමත් නිහතමානී තරුණියට ‘අන් සියලු තරුණියන්ට වඩා ආදරේ කළා. ඒ නිසා අන් සියලුම තරුණියන්ට වඩා රජුගේ විශේෂ සැලකිල්ල ඇයට ලැබුණා. රජ, රාජකීය හිස් පළඳනාව ඇයට පළඳවා වෂ්ටී බිසව වෙනුවට ඇයව තම බිසව කරගත්තා.’ (එස්තර් 2:17) ඒ සිද්ධියත් සමඟම දිලිඳු පවුලක හැදී වැඩුණු එස්තර්ට ඇගේ ජීවිතයේ විශාල වෙනස්කම් කරන්න සිදු වුණා. එය ඇයට අභියෝගයක් වෙන්න ඇති. කොහොමවුණත් රජුගේ බිසව වීම නිසා ඇය උඩඟු වුණාද? නැහැ.

ඇය දිගටම මොර්දෙකයිට කීකරු වුණා. ඇය තමන්ගේ යුදෙව් පසුබිම ගැන කිසි කෙනෙකුට පැවසුවේ නැහැ. ඊට අමතරව අහෂ්වේරොෂ් රජුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් වෙන බව රජුට දැනුම් දෙන්න කියා මොර්දෙකයි ඇයට පැවසූ විට ඇය ඒ තොරතුරු රජුට දැන්වූවා. මොර්දෙකයිට කීකරු වෙමින් ඇය කළ ඒ ක්‍රියාව නිසා කුමන්ත්‍රණය අසාර්ථක වුණා. (එස්තර් 2:20-23) නිහතමානිකම හා කීකරුකම වැනි ගුණාංග විදහාපෙන්වීමෙන් ඇය දිගටම දෙවිට පක්ෂපාත වුණා. වර්තමානයෙදීත් බහුලව පවතින්නේ අකීකරුකම හා කැරලිකාරකම නිසා කීකරුකම ඉතා වටිනා ගුණාංගයක් ලෙස සෑමදෙනාම සලකනවා.

දැඩි අභියෝගයක්

හාමාන් නම් නිලධාරියෙක් අහෂ්වේරොෂ් රජු යටතේ සේවය කළා. ඔහු ජනප්‍රිය වීමට ආශා කළ කෙනෙක්. රජු ඔහුට අගමැති හා ප්‍රධාන උපදේශක යන තනතුරු ලබා දුන්නා. ඒ වගේම සියලුදෙනාම හාමාන් ඉදිරියේ වැඳ වැටී ඔහුට ආචාර කළ යුතු බවත් රජු නියෝග කළා. (එස්තර් 3:1-4) නමුත් මොර්දෙකයි ඒ නීතිය ගැන සතුටු වුණේ නැහැ. ඒ ඇයි කියා අපි බලමු. හාමාන් අමලෙක්වරුන්ගේ රජු වූ “ආගග්ගෙන්” පැවත එන කෙනෙක්. අමලෙක්වරුන් ඉතා දුෂ්ට සෙනඟක්. ඔවුන් යෙහෝවා දෙවිටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධව ක්‍රියා කළා. ඒ නිසා දෙවි ඔවුන්ව විනාශ කිරීමට නියම කළා. * (ද්විතීය කතාව 25:19) පසු කාලයකදී දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ සාමුවෙල් ආගග්ව මරා දැමුවා. (1 සාමුවෙල් 15:33) මේ සියලු තොරතුරු මොර්දෙකයි දැන සිටියා. ඒ නිසා හාමාන් ඉදිරියේ වැඳ වැටී ඔහුට ආචාර කරන්න ඔහු කැමති වුණේ නැහැ. වර්තමානයේ සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ද මොර්දෙකයිගේ ආදර්ශය අනුගමනය කරනවා. ඔවුන්ගේ ජීවිතය අනතුරේ වැටුණත් ඔවුන් ‘මිනිසුන්ට කීකරු වෙනවා වෙනුවට දෙවිට කීකරු’ වෙනවා.—ක්‍රියා 5:29.

මොර්දෙකයි තමන් ඉදිරියේ වැඳ වැටී ආචාර නොකිරීම ගැන හාමාන්ට දැඩි කෝපයක් ඇති වුණා. ඒ නිසා ඔහු මොර්දෙකයිගෙන් පමණක් නොව ඔහුගේ මුළු ජාතියෙන්ම පළිගැනීමට තීරණය කළා. හාමාන්, යුදෙව්වන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු රජුට පැවසුවා. ඔවුන් වැඩකට නැති සෙනඟක් බව රජුට පැවසූ ඔහු ඔවුන්ගේ ජාතිය ගැන සඳහන් නොකර මෙසේ පැවසුවා. “එක්තරා ජන කොටසක් ඔබේ රාජධානිය පුරා විසිරී සිටිනවා. ඔවුන් රාජධානියේ සිටින අන් සෙනඟ හා සම්බන්ධ නොවී වෙනම සෙනඟක් ලෙසයි ජීවත් වෙන්නේ.” ඒ වගේම ඔවුන් රජුගේ ආඥා පිළි නොපදින බවත් කැරලිගසන බවත් ඔහු සඳහන් කළා. රාජධානිය පුරා විසිරී සිටින ඔවුන්ව විනාශ කර දමන්න යන වියදම තමන් ලබා දීමට සූදානම් බවත් ඔහු රජුට පැවසුවා. * රජු තමාගේ රාජකීය මුද්‍රාව සහිත මුද්ද ඔහුට ලබා දී ඔහු කැමති ආඥාවක් නිකුත් කරන්න හාමාන්ට අවසර දුන්නා.—එස්තර් 3:5-10.

හාමාන් කිසිම ප්‍රමාදයකින් තොරව, යුදෙව්වන්ව ඝාතනය කරන්න කියා සඳහන් නිල නිවේදනය ලියා එය රාජධානියේ අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ කළා. බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී පැමිණ යෙරුසලම් නගරයේ තාප්ප ඉදි කිරීමට උත්සාහ කරමින් සිටි යුදෙව්වන්ට ඒ ආරංචිය ඇසුණු විට ඔවුන්ට කෙසේ හැඟෙන්න ඇද්ද! මොර්දෙකයිට ඒ ආරංචිය ඇසුණු විට ඔහු යෙරුසලමේ සිටි යුදෙව්වන් ගැනත් ෂූෂන්වල සිටි ඔහුගේ මිතුරන් හා නෑදෑයන් ගැනත් කල්පනා කරන්න ඇති. නමුත් කිසිවක් කරකියාගත නොහැකිව සිටි ඔහු තමාගේ වස්ත්‍ර ඉරාගත්තා. පසුව ගෝණි රෙදි ඇඳගත් ඔහු ඇඟේ අළු තවරාගෙන නුවර මැදට ගොස් මහත් දුකකින් හඬා වැලපුණා. ඒ වුණත් යුදෙව්වන්ට සිදු වීමට නියමිත දේ ගැන හාමාන්ට නම් කිසිම අනුකම්පාවක් දැනුණේ නැහැ. ඔහු රජු සමඟ ඔහුගේ සුපුරුදු වැඩකටයුතු කරගෙන ගියා.—එස්තර් 3:12–4:1.

තමන් මේ ගැන යමක් කළ යුතු බව මොර්දෙකයි දැන සිටියත් කරන්නේ කුමක්ද කියා ඔහු දැන සිටියේ නැහැ. මේ අතර මොර්දෙකයි ගැන ආරංචි වූ විට එස්තර් ඔහුට ඇඳගැනීමට අලුත් වස්ත්‍ර යැව්වා. නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළා. බොරු දෙවිවරුන්ට නමස්කාර කළ රජ කෙනෙකුගේ බිසව වීමට දෙවි එස්තර්ට ඉඩහැරියේ ඇයි කියා සමහරවිට මොර්දෙකයි කල්පනා කරන්න ඇති. ඔහුට දැන් දැන් ඊට හේතුව අවබෝධ වෙනවා. “ඇගේ සෙනඟ වෙනුවෙන්” ඉදිරිපත් වී රජු සමඟ කතා කරන්න කියා ඔහු එස්තර්ට පණිවිඩයක් යවනවා.—එස්තර් 4:4-8.

මේ ආරංචිය ඇසුණු විට එස්තර් මහත් සේ කැලඹෙන්න ඇති. දෙවිගේ සෙනඟ වෙනුවෙන් ක්‍රියා කරන්න ඇයට දැන් කාලය එළඹී තිබෙනවා. නමුත් ඇය මොර්දෙකයිට යැවූ පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ ඇය භය වී සිටින බවයි. රජුගෙන් කැඳවීමක් නොමැතිව ඔහුව හමු වීමට යන කෙනෙකුට මරණ දඬුවම හිමි වන බව ඇය මොර්දෙකයිට මතක් කරනවා. එසේ නොවන්නේ රජ ඔහුගේ රන් යෂ්ටිය දිගු කළොත් පමණක් බවත් ඇය ඔහුට යැවූ පණිවිඩයේ සඳහන් කළා. වෂ්ටී බිසවට රජ කළ දේ ගැන කල්පනා කරද්දී එස්තර් නීතිය කඩ කළ විට රජ ඇයට අනුකම්පාවෙන් සලකයි කියා සිතන්න පුළුවන්ද? ඇයට දවස් තිහකින් රජුගෙන් ආරාධනයක් ලැබී නැති බව ඇය මතක් කළා. හිතුමතේ ක්‍රියා කරන පුද්ගලයෙක් වන රජ, තමා සමඟ අමනාපයෙන් සිටිනවාද කියා ඇය කල්පනා කරන්න ඇති. *එස්තර් 4:9-11.

එස්තර්ගෙන් ලැබූ පණිවිඩයට ඇහුම්කන් දුන් පසු මොර්දෙකයි ඇගේ ධෛර්යය වැඩි කරමින් ඇයට නැවත පණිවිඩයක් යැව්වා. ඇය මේ අවස්ථාවේදී ක්‍රියා නොකළත් වෙන ක්‍රමයකින් හෝ යුදෙව්වන්ට ගැලවීම ලැබෙයි කියා ඔහු ඇයට සහතික කළා. ඒ වගේම යුදෙව්වන් සියලුදෙනාව විනාශ කරද්දී ඇයට පමණක් ගැලවීම ලැබෙයි කියා නොසිතන ලෙස ඔහු ඇයට පැවසුවා. යෙහෝවා දෙවි කිසි දිනක ඔහුගේ සෙනඟ සහමුලින්ම විනාශ වීමට ඉඩ නොදෙන බවත් දෙවි දී ඇති පොරොන්දු ඉටු නොවී නොතිබෙන බවත් ඔහු සඳහන් කළා. (යොෂුවා 23:14) මොර්දෙකයිට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා ඔහු එස්තර්ට පැවසූ දෙයින් පැහැදිලි වුණා. ඔහු එස්තර්ගෙන් මෙසේද ඇසුවා. “මෙවැනි අවස්ථාවකදී සෙනඟට පිහිට වීම සඳහාම ඔබ රජුගේ බිසව වුණාද කියා කවුද දන්නේ!” (එස්තර් 4:12-14) මොර්දෙකයි යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවා. අපටත් එසේ කළ හැකිද?—හිතෝපදේශ 3:5, 6.

නොසැලෙන විශ්වාසයක්

එස්තර් දැන් මුහුණ දෙන්නේ තීරණාත්මක අවස්ථාවකටයි. තමන් දින තුනක් නිරාහාරව සිටින බවත් සියලුම යුදෙව්වන්ට ඊට හවුල් වන ලෙස දන්වන්න කියාත් එස්තර් මොර්දෙකයිට පැවසුවා. තමාගේ ජීවිතය නැති වුණත් යුදෙව්වන් වෙනුවෙන් තමන් කතා කරන බව එස්තර් ඔහුට දන්වා යැව්වා. (එස්තර් 4:15-17) ඇය වෙන කවරදාටත් වඩා උනන්දුවකින් එම දින තුන පුරා දෙවිට යාච්ඤා කරන්න ඇති. අවසානයේදී ඇය ඉතා අලංකාරවත් වස්ත්‍රවලින් සැරසී රජු ඉදිරියට ගියා.

රජුව හමු වීමට යන අතරේ ඇයට මහත් පීඩනයක් දැනෙන්න ඇති. දෙවිට උනන්දුවෙන් යාච්ඤා කරන්නත් ඇති. ඇතුල් මළුවට පැමිණි විට රජු සිංහාසනයේ හිඳගෙන සිටිනවා දැකගැනීමට ඇයට හැකි වුණා. හතරැස්ව කපා ඇති රැවුල සහිත මුහුණ සෙමින් සෙමින් ඉහළට ඔසවන විට ඇය ඔහුගේ මුහුණේ පෙනුමෙන් ඇඟවෙන දේ උපකල්පනය කරන්න ඇති. රජුගේ අවසරය ලැබෙන තෙක් ඇයට ඉන්න සිදු වුණා නම් ඒ සුළු කාලය පවා ඇයට වසර දහස් ගණනක් මෙන් දැනෙන්න ඇති. ඇයව දුටු විට රජු පුදුම වූවාට සැකයක් නැහැ. නමුත් ඔහු ඒ අවස්ථාවේදී කෝප වුණේ නැහැ. ඔහු රන් යෂ්ටිය ඇය වෙතට දිගු කළා.—එස්තර් 5:1, 2.

රජුට කතා කිරීමට එස්තර්ට අවස්ථාව ලැබුණා. ඇය දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවා. ඇගේ සෙනඟ වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වුණා. දෙවිගේ සියලුම සේවකයන්ට ඇය කදිම ආදර්ශයක්. නමුත් ඇයට කිරීමට තව බොහෝ දේ තිබුණා. රජුගේ මිත්‍රයෙක් හා උපදේශකයෙක් වන හාමාන්, දුෂ්ට කුමන්ත්‍රණකරුවෙක් බව රජුට ඒත්තුගන්වන්න ඇය කුමක් කරයිද? ඇගේ සෙනඟව බේරාගැනීම සඳහා ඇය කෙසේ ක්‍රියා කරයිද? ඒ ගැන ඉදිරි මාසයක පළ වන කලාපයකින් ඔබට දැනගත හැකියි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. අහෂ්වේරොෂ් යන නමින් හඳුන්වන්නේ ක්‍රිස්තු පූර්ව පස්වෙනි සියවසේ මුල්භාගයේදී පර්සියාව පාලනය කළ පළමුවන තක්ෂස්තා රජුව විය හැකියි.

^ 24 ඡේ. හෙසකියා රජගේ කාලයේදී අමලෙක්වරුන්ගෙන් ‘ඉතුරු වූ අයව’ විනාශ කළා. නමුත් හාමාන් ඉන් ඉතුරු වූ කෙනෙකුගෙන් පැවත එනවා විය හැකියි.—1 ලේකම් 4:43.

^ 25 ඡේ. හාමාන්, රජුට පොරොන්දු වූ රිදී තලෙන්ත 10,000හි වර්තමාන වටිනාකම රුපියල් බිලියන දහයකට වඩා අධිකයි. අහෂ්වේරොෂ් කියා හඳුන්වන්නේ පළමුවන තක්ෂස්තා රජුව නම් හාමාන් දුන් මුදල ඔහුට බොහෝ සේ වටිනවා. ඊට හේතුව තක්ෂස්තා රජු ග්‍රීකවරුන් සමඟ කළ යුද්ධය නිසා විශාල ධන සම්භාරයක් ඔහුට අහිමි වී තිබීමයි. සමහරවිට එය සිදු වූයේ එස්තර්ව විවාහ කරගැනීමට පෙර විය හැකියි.

^ 28 ඡේ. පළමුවන තක්ෂස්තා රජු හිතුමතේට ක්‍රියා කරන, ඉක්මනින් කෝප වන කෙනෙක්. ඔහු ග්‍රීසිය සමඟ කළ යුද්ධයේදී කළ දේවල් කිහිපයක් ගැන ඉතිහාසඥ හෙරෝඩටස් වාර්තා කළා. හෙලස්පොන්ට් ඇල හරහා පාරුවලින් පාලමක් ඉදි කරන්න කියා ඔහු අණ කළා. කුණාටුවකින් එම පාලම කැඩී ගිය නිසා ඔහු එය ඉදි කළ ඉන්ජිනේරුවන්ගේ හිස ගසා දැමුවා. ඒ වගේම අපහාසාත්මක ලෙස බැණවදිමින් හෙලස්පොන්ට් ඇලේ ජලයට පහර දෙන්න කියා ඔහු අණ කළා. එම යුද්ධයට තමාගේ පුතාව රැගෙන නොයන්න කියා ධනවත් මිනිසෙක් රජුගෙන් ඉල්ලා සිටි විට ඔහු එම මිනිසාගේ පුතාව දෙකට කපා දැමුවා. ඔහු එසේ කළේ අන් අයට අනතුරු ඇඟවීමක් ලෙසයි.

[19වන පිටුවේ පින්තූරය]

තමා හදා වඩා ගත් දියණිය ගැන මොර්දෙකයි ආඩම්බර වුණා

[20වන පිටුවේ පින්තූරය]

බාහිර පෙනුමට වඩා නිහතමානිකම හා ප්‍රඥාව වැදගත් බව එස්තර් දැන සිටියා

[22, 23වන පිටුවල පින්තූරය]

දෙවිගේ සෙනඟව ආරක්ෂා කිරීමට එස්තර් තමාගේ ජීවිතය පරදුවට තැබුවා