Skip to content

පටුනට යන්න

‘සෝදිසියෙන් සිටීම’ වැදගත් ඇයි?

‘සෝදිසියෙන් සිටීම’ වැදගත් ඇයි?

‘සෝදිසියෙන් සිටීම’ වැදගත් ඇයි?

යේසුස්ගේ ගෝලයන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාලපරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙ. 24:3) මතෙව් 24, මාක් 13 හා ලූක් 21 යන පරිච්ඡේදවල දැකගත හැකි ලෙස පැහැදිලිව හඳුනාගත හැකි, අනිවාර්යයෙන්ම ඉටු වන ලකුණක් ගැන යේසුස් සඳහන් කළා. ඔහු මෙසේද පැවසුවා. “සෝදිසියෙන් සිටින්න.”—මතෙ. 24:42.

සෝදිසියෙන් සිටින්න කියා ඔහු පැවසුවේ ඇයි? ඊට බලපෑ හැකි හේතු දෙකක් අපි සලකා බලමු. (1) මනස වෙනතකට යොමු වීම නිසා ලකුණේ අංග නොසලකාහැරීමට ඉඩ තිබෙනවා. (2) ක්‍රිස්තියානියෙක් එම ලකුණේ අංග ඉටු වන බව දුටුවත් ඔහු ජීවත් වන ප්‍රදේශයට එය කෙළින්ම බලපාන්නේ නැති විය හැකියි. ඒ නිසා එම ලකුණේ උච්චාවස්ථාව වන ‘මහත් පීඩාවට’තව කල් තිබෙනවා කියා සිතීමට ඉඩ තිබෙනවා.—මතෙ. 24:21.

‘ඔවුන් කිසි තැකීමක් කළේ නැහැ’

නෝවාගේ කාලයේ ජීවත් වූ අය ක්‍රියා කළ ආකාරය යේසුස් ගෝලයන්ට මතක් කර දුන්නා. නෝවා කළ දේශනා සේවය, ඔහු සාදමින් සිටි විශාල නැව හා ඒ කාලයේ සිදු වූ අපරාධ ඔහුගේ සමකාලීනයන් දුටුවත් ඔවුන් ඒ ගැන “කිසි තැකීමක් කළේ නැහැ.” (මතෙ. 24:37-39) අනතුරු ඇඟවීම් ගැන අද සිටින බොහෝදෙනාටද තිබෙන්නේ එවැනිම ආකල්පයක්. උදාහරණයකට වේග සීමා සංඥා පුවරුවලින් පැහැදිලි අනතුරු ඇඟවීම් ලබා දුන්නත් බොහෝ රියදුරන් ඒවා නොසලකාහරිනවා. වේගය සීමා කිරීමට මාර්ග බාධක දැමීමට බලධාරීන්ට සිදු වී තිබෙන්නේ ඒ නිසයි. ඒ හා සමානව ක්‍රිස්තියානියෙක්ද අවසාන කාලයේදී එම ලකුණේ අංග ඉටු වන බව දැක දැකත් ඒ ගැන කිසි තැකීමක් නොකර ක්‍රියා කිරීමට ඉඩ තිබෙනවා. බටහිර අප්‍රිකාවේ ජීවත් වන ඇරියල් නමැති යෞවනියගේ අද්දැකීමෙන් එය පැහැදිලියි.

ඇය එක්තරා අත්පන්දු ක්‍රීඩාවකට විශේෂ ඇල්මක් දැක්වූ නිසා නිතරම රූපවාහිනියෙන් එම තරඟ නැරඹුවා. ඇගේ පාසැලේ එම ක්‍රීඩාව සඳහා කණ්ඩායමක් පිහිටෙවූ විට ඇයද එයට බැඳුණා. අවසානයේදී එම ක්‍රීඩා කණ්ඩායමේ ගෝල් රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට ඇයට අවස්ථාව ලැබුණා. නමුත් ඇගේ නමස්කාර කටයුතුවලට සිදු විය හැකි හානිය වටහාගැනීමට ඇයට නොහැකි වුණා. පසුව සිදු වූ දේ ගැන ඇය මෙසේ විස්තර කරනවා. “අපේ කණ්ඩායමේ සමහර ගැහැනු ළමයි ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන තිබුණා. ඒ අයගේ සමහර පෙම්වතුන් මත්ද්‍රව්‍යවලට හා දුම් පානයට පුරුදු වෙලා හිටියා. මම ඒ අයට වඩා වෙනස් නිසා ඔවුන් මට විහිළු කළා. මම හිතුවේ මට ඒවාට මුහුණ දෙන්න පුළුවන් කියලයි. ඒත් මේ ක්‍රීඩාව නිසා දෙවි එක්ක තිබුණු මගේ බැඳීම ටිකෙන් ටික දුර්වල වෙන්න පටන්ගත්තා. ක්‍රීඩාවෙන් තොර ජීවිතයක් මට තිබුණේ නැහැ. රැස්වීම් වෙලාවේදීත් මගේ හිත තිබුණේ ක්‍රීඩා පිටියේයි. මම ඇති කරගෙන තිබුණු හොඳ ගුණාංගත් නැති වෙන්න පටන්ගත්තා. ක්‍රීඩා කරන්න තිබුණු ආශාව නොදැනුවත්වම තරඟකාරී ස්වභාවයකට පෙරළුණා. ඒ නිසා මම හුඟක් පුහුණුවීම් කටයුතුවල යෙදුණා. මට ලොකු පීඩනයක් දැනුණා. ක්‍රීඩාව නිසා යාළුවන්ව අත්හැරිය අවස්ථාත් තිබුණා.

“දවසක් දඬුවම් පහරක් එල්ල කරන්න ප්‍රතිවාදි කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මම ගෝල් රකින්න සූදානමින් හිටියත් දන්නෙම නැතුව ඒ වෙනුවෙන් දෙවිගේ උපකාර ඉල්ලලා යාච්ඤා කෙරුවා. මම ක්‍රීඩාවට මොන තරම් වහල් වෙලාද කියලා මට තේරුණේ ඒ වෙලාවේදියි. නැවතත් දෙවිට ළං වෙන්න මට පුළුවන් වුණේ කොහොමද කියලා මං කියන්නම්.

“යෞවනයන් සඳහා තිබෙන Young People Ask—What Will I Do With My Life? * නමැති DVD තැටිය මම කලින් බලලා තිබුණා. නමුත් ඒක නැවතත් බලලා ඒ ගැන කල්පනා කරන්න මම තීරණය කළා. මමත් හරියට ඒ නාට්‍යයේ හිටපු ඔන්ඩ්‍රේ වගේ කියලා මට හිතුණා. මගේ හිතට ගොඩාක් කාවැදුණේ ඒකේ හිටිය වැඩිමහල්ලා ෆිලිප්පි 3:8 කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න කියලා ඔන්ඩ්‍රේට දුන් උපදෙසයි. මමත් එහෙම කළා. ඊට පස්සේ කණ්ඩායමෙන් අයින් වෙන්න තීරණය කළා.

“ඒකෙන් පස්සේ මම කොයි තරම් වෙනස් වුණාද! මගේ තරඟකාරී ස්වභාවය හා දැනුණු පීඩනය නැත්තටම නැති වුණා. මට ලොකු සතුටක් දැනුණා වගේම සභාවේ යාළුවන්ටත් මම ගොඩාක් කිට්ටු වුණා. දෙවිට කරන නමස්කාරයට මගේ ජීවිතයේ මුල් තැන දෙන්නත් පටන්ගත්තා. රැස්වීම්වලට හොඳ අවධානයක් දෙන්නත් එයින් තෘප්තියක් ලබන්නත් පුළුවන් වුණා. අද වෙන තුරු මම දිගටම උපකාරික පුරෝගාමි සේවය කරමින් සිටිනවා.”

යේසුස් දුන් ලකුණ නොසලකාහැරීමට හේතු වන දේවල් ඔබත් අද්දකිනවා නම් ඇරියල් මෙන් බැරෑරුම්ව සිතා බලා අවශ්‍ය පියවර ගන්න. ඒ සඳහා මෙම යෝජනා අත් හදා බැලිය හැකියි. “සැඟවුණු නිධානයක් සෙවීමට උපකාරවත් වන සිතියමක් හා සමාන” මුරටැඹ ප්‍රකාශන සූචිය ප්‍රයෝජනයට ගන්න. ඔබ මුහුණ දෙන අභියෝග හා සමාන ඒවාට සාර්ථකව මුහුණ දුන් අයගේ අද්දැකීම් හා ප්‍රයෝජනවත් උපදෙස් අඩංගු මූලාශ්‍ර ඉන් සොයාගත හැකියි. රැස්වීම්වලට හොඳින් සූදානම් වීමෙන් සහ සටහන් ගැනීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න. රැස්වීම්වලදී ඉදිරි පේළිවල අසුන් ගැනීමෙන් හොඳ අවධානයක් දිය හැකි බව සමහරුන්ගේ අද්දැකීමයි. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවල ආරම්භයේදීම පිළිතුරු දීමට උත්සාහ කරන්න. ඊට අමතරව යේසුස් දුන් ලකුණේ අංග සහ ‘අවසාන කාලයේ’ ලක්ෂණ ඉටු වන ආකාරය තේරුම්ගැනීමට වර්තමාන පුවත් ඒවා සමඟ සන්සන්දනය කරන්න. එසේ කිරීම සෝදිසියෙන් සිටීමට අපට උපකාරයක්.”—2 තිමෝ. 3:1-5; 2 පේතෘ. 3:3, 4; එළි. 6:1-8.

“ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න”

අවසාන දවස් පිළිබඳ ලකුණේ ඉටු වීම “මුළු පොළොව පුරාම” සිදු වන බව දැක ගත හැකියි. (මතෙ. 24:7, 14) අද බොහෝදෙනා ජීවත් වන්නේ සාගත, වසංගත, භූමිකම්පා සහ යේසුස් පැවසූ අනිකුත් සිදුවීම් ඉතා දරුණු ලෙස සිදු වන ප්‍රදේශවලයි. අනික් අතට එම ප්‍රදේශවලට සාපේක්ෂව තවත් අය ජීවත් වන්නේ එවැනි තත්වයන්ට මුහුණ නොදෙන ප්‍රදේශවලයි. ඔබ එම ලකුණේ සමහර අංග කෙදිනකවත් පෞද්ගලිකව අද්දැක නැහැයි කියා සිතන්න. ඒ නිසා මහත් පීඩාව පැමිණීමට තව බොහෝ කාලයක් තිබෙන බව නිගමනය කිරීම ඥානවන්තයි කියා ඔබ සිතනවාද?

උදාහරණයකට “වසංගතද ආහාර හිඟකම්ද” ඇති වන බවට යේසුස් පැවසූ අනාවැකිය සැලකිල්ලට ගන්න. (ලූක් 21:11) ඒවා ලොව පුරා එකම අවස්ථාවේදී හෝ එකම ප්‍රමාණයකින් සිදු වන බව ඔහු පැවසුවේ නැහැ. ඒ නිසා ඒවා ලොව පුරා එකම අවස්ථාවේදී සිදු වෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ ඒවා “එක් තැනක් පාසා තවත් තැනක” සිදු වන බවයි. යේසුස් ඉහත වචන පැවසීමෙන් පසු තම අනුගාමිකයන්ට දුන් මෙම අනතුරු ඇඟවීමෙන්ද අපට තවත් කරුණක් අවබෝධ කර ගත හැකියි. ඔහු මෙසේ පැවසුවා. ‘ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් ඔබේ සිත් බර විය හැකියි.’ (ලූක් 21:34) ඉන් පැහැදිලි වන්නේ ලකුණේ සෑම අංගයක්ම සියලුම ක්‍රිස්තියානීන් අනිවාර්යයෙන්ම අද්දකින්නේ නැති බවයි. ඒ වෙනුවට යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.” (ලූක් 21:31) අප ජීවත් වන ප්‍රදේශයේ එම ලකුණේ අංග අප පෞද්ගලිකව අද්දැක්කත් නැතත් ජන මාධ්‍යය මගින් ලොව පුරාම එම ලකුණේ අංග සිදු වෙනවා දැකගත හැකියි.

මහත් පීඩාව ආරම්භ වීමට නියමිත “දවස හා වේලාව” යෙහෝවා දෙවි දැනටමත් තීරණය කර අවසන්. (මතෙ. 24:36) සමහරවිට ලෝකයේ සිදුවීම් හොඳ අතට හැරෙන බව අපට පෙනෙන්න පුළුවන්. නමුත් දෙවි තම දවස කල් නොදමන බව අමතක නොකරන්න.

ලොව පුරා සිටින ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් උපදෙස මෙයයි. ‘ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න.’ (මතෙ. 24:44) ඔව්, අප සැමවිටම සූදානමින් සිටිය යුතුයි. අපගෙන් කිසිවෙකුට දවසේ පැය විසිහතරම දෙවිට කරන සේවයේ නිරත වෙන්න නොහැකි බව ඇත්තයි. ඒ වගේම මහත් පීඩාව ආරම්භ වන අවස්ථාවේදී අප කුමන කාර්යයක නිරත වී සිටීද කියා කියන්න අප දන්නේ නැහැ. සමහරුන් තම රැකියාවේ හෝ ගෙදර දොරේ වැඩක නිරත වී සිටිය හැකියි. (මතෙ. 24:40, 41) අප කුමක් කළත් සූදානමින් සිටින්න අපට පුළුවන් කොහොමද?

ඒ සඳහා මේ අද්දැකීම සලකා බලන්න. එම්මානුවෙල්, වික්ටරීන් සහ ඔවුන්ගේ දියණියන් හයදෙනා ජීවත් වෙන්නේ අප්‍රිකානු රටකයි. එහි යේසුස් දුන් ලකුණේ අංග සිදු වෙනවා දකින්න නැති තරම්. නමුත් සූදානමින් සිටීම සඳහා ඔවුන් සෑම දිනකම බයිබලය මත පදනම් සාකච්ඡාවක් පවත්වනවා. ඒ ගැන එම්මානුවෙල් මෙසේ පවසනවා. “අපි හැමදෙනාටම පහසු වෙලාවක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඒ නිසා අපි තෝරගත්තේ උදේ හයත් හයාමාරත් අතර කාලයයි. ඒ වේලාවේ අපි දිනපදය සාකච්ඡා කරලා රැස්වීමේදී සාකච්ඡා කරන ප්‍රකාශනයක ඡේද කිහිපයකට සූදානම් වෙනවා.” සූදානමින් සිටීම සඳහා එම සාකච්ඡාව ඔවුන්ට උපකාරවත් වී තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්. එම්මානුවෙල් සභාවේ සම්බන්ධීකාරක ලෙස සේවය කරන අතර ඔහුගේ භාර්යාව විටින් විට උපකාරික පුරෝගාමියෙකු ලෙස සේවය කරමින් බොහෝදෙනෙකුට දෙවිගේ නමස්කාරකයන් වීමට උපකාර කර තිබෙනවා. ඔවුන්ගේ දියණියන්ද සත්‍යය තුළ හොඳින් දියුණු වෙමින් සිටිනවා.

“අවදිව, සෝදිසියෙන් සිටින්න” කියා යේසුස් අපව උනන්දු කරනවා. (මාක් 13:33) ඒ නිසා නිතරම අපි සෝදිසියෙන් සිටිමු. මනස වෙනතකට යොමු කරවන දේවලින් වැළකී සිටිමු. ඇරියල් කළා හා සමානව අපේ ප්‍රකාශනවලින් හා රැස්වීම්වලින් ලැබෙන නැණවත් උපදෙස් සිතට ගනිමු. එම්මානුවෙල් සහ පවුලේ අය මෙන් සූදානමින් සිටීමට හා ‘සෝදිසියෙන් සිටීමට’ උපකාරවත් වන යමක් සෑම දිනකම කිරීමට උත්සාහ කරමු.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව හරි දේ කිරීමට පොරබදන ක්‍රිස්තියානි යෞවනයෙකු වටා ගෙතුණු නාට්‍යයක්.

[4වන පිටුවේ පින්තූරය]

එම්මානුවෙල්ගේ පවුලේ අයට ‘සූදානමින් සිටීමට’ උපකාරවත් වුණේ දිනපතා කළ සාකච්ඡාවනුයි