Skip to content

පටුනට යන්න

විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?

විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?

විනෝදය සඳහා කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද?

“ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න.”—එෆී. 5:10.

1, 2. (අ) අප ජීවිතය සතුටින් ගත කිරීම දෙවිගේ කැමැත්ත බව අප දන්නේ කොහොමද? (ආ) විනෝදය ගෙන දෙන දේවල් කිරීමට ලැබී ඇති කාලය දෙවිගෙන් ලද ආශීර්වාදයක් නිසා එය යොදාගත යුත්තේ කොහොමද?

‘යෙහෝවා දෙවි පොළොවෙන් ආහාර උපදවා දෙන බවත් සිත් සතුටු කරන වයින්ද මුහුණු පැහැපත් කරන තෛලයද පෝෂණය ලබා දෙන ආහාරද සපයා දෙන බවත්’ ගීතාවලිය 104:14, 15හි සඳහන් වෙනවා. දෙවි අපට අවශ්‍ය කෑම බීම ඇතුළු සෑම දෙයක්ම ලබා දීමෙන් පැහැදිලි වන්නේ අප ජීවිතය සතුටින් භුක්ති විඳිනවා දැකීම ඔහුගේ කැමැත්ත බවයි. ජීවත් වීම සඳහා වයින් අත්‍යවශ්‍ය දෙයක් නොවුණත් ඉන් මිනිසාගේ ‘සිතට සතුටක්’ ලැබෙනවා. (දේශ. 9:7; 10:19) ඔව්, අපේ “සිතට සතුට” ගෙන දෙන දේවල් දෙවි ලබා දී තිබෙන්නේ අප ප්‍රීතියෙන් සිටිනවාට ඔහු කැමති නිසයි.—ක්‍රියා 14:16, 17.

2 ‘අහසේ කුරුල්ලන් දෙස හොඳින් බැලීම’ සහ “තණබිම්වල ලිලී මල් වැවෙන” ආකාරය නිරීක්ෂණය කිරීම වැනි අපේ ජීවිතයට සතුට හා ප්‍රබෝධය එක් කරන දේවල නිරත වීම කාලය අපතේ යැවීමක් නොවෙයි. (මතෙ. 6:26, 28; ගීතා. 8:3, 4) සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ‘දෙවිගෙන් ලද ආශීර්වාදයක්.’ (දේශ. 3:12, 13) විනෝදය ගෙන දෙන දේවල් කිරීම සඳහා අපට ලැබී ඇති කාලයද දෙවිගෙන් ලද ආශීර්වාදයක්. ඒ නිසා අප එම කාලය යොදාගත යුත්තේ ඔහුව සතුටු කරන ආකාරයෙනුයි.

තෝරා බේරාගන්න

3. මිනිසුන් විනෝද වීම සඳහා විවිධ දේවල් තෝරාගන්නේ ඇයි?

3 බොහෝදෙනා විනෝදය සම්බන්ධයෙන් විවිධ තේරීම් කරනවා. ඊට හේතුව වටහාගැනීමට මේ උදාහරණය සලකා බලන්න. විවිධ රටවල ජීවත් වන අය විවිධ වර්ගයේ ආහාරවලට ප්‍රිය කරනවා. ඒ හා සමානව විවිධ රටවල ජීවත් වන ක්‍රිස්තියානීන්ද විවිධාකාරයෙන් විනෝද වී ප්‍රීතියක් ලබනවා. එකම රටේ ජීවත් වන අය පවා කරන තේරීම් විවිධයි. සමහරුන් පොත් කියවීමෙන් සතුටක් ලැබුවත් තවත් අයට එය නිරස දෙයක් විය හැකියි. විනෝදය සඳහා බයිසිකල් පැදීම වැනි කය වෙහෙසා කරන දේවලට සමහරුන් කැමති වුණත් තවත් අය ඊට අකමැති විය හැකියි. තමන් කැමති ආහාර තෝරාගැනීමට මිනිසුන්ට නිදහස තිබෙනවා හා සමානව විනෝදය සඳහා කරන දේවල් තෝරගැනීමටද ඔවුන්ට නිදහස තිබෙනවා.—රෝම 14:2-4.

4. විනෝදය සඳහා කරන දේවල් අප තෝරා බේරා ගත යුත්තේ ඇයි? එය උදාහරණයකින් පැහැදිලි කරන්න.

4 විනෝද වීම සඳහා තමන්ට කැමති දෙයක් තෝරාගැනීමට නිදහස තිබුණත් ඒ ගැන සැලකිලිමත් විය යුතු බව අප දන්නවා. විනෝදය සඳහා අප ආශා කරන සෑම දෙයක්ම තෝරාගැනීම සුදුසු වන්නේ නැහැ. නැවතත් ආහාර පිළිබඳ උදාහරණය ගැන සිතන්න. අප විවිධ ආහාර ගැනීමට කැමති වුණත් නරක් වූ ආහාර ගැනීමට කැමති නැහැ. ඊට හේතුව එම ආහාර ගැනීමෙන් අප අසනීප වීමයි. ඒ හා සමානව අප විනෝද වීමට ආශාවක් දැක්වුවත් අනාචාරයට හා සැහැසියාවට සම්බන්ධ හෝ අපේ ජීවිතය අනතුරේ හෙළන දේවල් අප තෝරාගන්නේ නැහැ. ඒවා බයිබල් ප්‍රමිතිවලට පටහැනි වන අතර දෙවි සමඟ අපට ඇති බැඳීමටත් අපේ සෞඛ්‍යයටත් හානිකර විය හැකියි. ඒ නිසා අප හොඳින් තෝරා බේරා ගත යුතුයි. විනෝද වීම සඳහා අප ආශා කරන දේවල් අපට ප්‍රයෝජනවත්ද සහ එමගින් දෙවිගේ සිත සතුටු කරනවාද කියා හොඳින් කල්පනා කර බැලිය යුතුයි. (එෆී. 5:10) එය කරන්නේ කොහොමද?

5. විනෝද වීමට අප කරන දේවල් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟද කියා දැනගන්නේ කොහොමද?

5 විනෝද වීමෙන් ප්‍රයෝජන ලැබීමට හා දෙවිගේ සිත සතුටු කිරීමට නම් ඒවා බයිබල් ප්‍රමිතිවලට එකඟ විය යුතුයි. (ගීතා. 86:11) ඒ සඳහා පහත සඳහන් ප්‍රශ්න තුනට ඔබේ පිළිතුර කුමක්ද කියා බලන්න. විනෝදය සඳහා තෝරාගන්නා දේට ඇතුළත් වන්නේ කුමක්ද, ඊට කොපමණ කාලයක් වැය කරනවාද හා විනෝද වන්නේ කවුරුන් සමඟද යන්නයි.

ඇතුළත් වන්නේ කුමක්ද?

6. අප විනෝදය සඳහා කොහෙත්ම තෝරා නොගත යුතු දේවල් මොනවාද? ඒ ඇයි?

6 විනෝද වීමට දෙයක් තෝරාගැනීමේදී ඊට ඇතුළත් වන්නේ මොනවාද කියා අප හොඳින් කල්පනා කිරීම අවශ්‍යයි. සමහර ඒවා අප කොහෙත්ම තෝරාගන්නේ නැහැ. ඊට හේතුව සාතන්ගේ බලපෑමට හසු වී තිබෙන ලෝකයේ ඇති බොහෝ දේවල් දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි වීමයි. (1 යොහ. 5:19) සැබෑ ක්‍රිස්තියානීන් භූතවාදය, සමලිංගික සේවනය, කාමුක දර්ශන හා සැහැසියාව ඇතුළත් දේවල් විනෝදය සඳහා තෝරා නොගත යුතුයි. ඒ වගේම කෙනෙකුව ශාරීරිකව වේදනාවට පත් කිරීමෙන් සතුටක් ලබන හෝ දෙවි අනුමත නොකරන ක්‍රියා වරදක් නැහැයි කියා පෙන්වන දේවලින්ද අප වැළකිය යුතුයි. (1 කොරි. 6:9, 10; එළිදරව් 21:8 කියවන්න.) ඉන් අප පෙන්වන්නේ ‘දුෂ්ට දේවලට’ වෛර කරන බවයි.—රෝම 12:9; 1 යොහ. 1:5, 6.

7, 8. විනෝදය සඳහා කිරීමට සුදුසු දෙයක් තෝරාගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද? උදාහරණයකින් පැහැදිලි කරන්න.

7 විනෝදය සඳහා කරන තවත් සමහර දේවල් තෝරාගැනීමට නිදහස තිබුණත් අප ඒවා ගැන ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍යයි. විනෝදය සඳහා ක්‍රිස්තියානීන්ට සුදුසු දේවල ලැයිස්තුවක් බයිබලයේ සඳහන් නොවුණත් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ කුමනාකාරයේ දේවලටද කියා අවබෝධ කරගැනීමට එහි ඇති ප්‍රතිපත්ති අපට උපකාරවත් වෙනවා. ඒ නිසා එවැනි දේවල් තෝරාගැනීමට පෙර ඒවා බයිබල් ප්‍රමිතිවලට පටහැනි නොවන ඒවා බවට සහතික විය යුතුයි. (හිතෝ. 4:10, 11) ඉන්පසුව අප ගන්නා තීරණය අපගේ හෘදය සාක්ෂියට එකඟ විය යුතුයි. (ගලා. 6:5; 1 තිමෝ. 1:19) නැවතත් ආහාර පිළිබඳ උදාහරණය ගැන සිතන්න. අලුත් කෑමක් රස බැලීමට පෙර එය සාදා තිබෙන්නේ කුමකින්ද කියා දැනගැනීමට අප කැමතියි. ඒ හා සමානව විනෝදය සඳහා කරන දෙයක් ක්‍රිස්තියානියෙකුට සුදුසුද නැද්ද කියා තීරණය කිරීමට පෙර ඊට ඇතුළත් වන්නේ කුමක්ද කියා සොයා බැලීම අවශ්‍යයි.—එෆී. 5:17.

8 බොහෝදෙනා මෙන් ඔබත් ක්‍රීඩාවලට කැමති ඇති. ඉන් වින්දනයක් හා ප්‍රබෝධයක් ලබන්න පුළුවන්. නමුත් සමහර ක්‍රීඩා කෙනෙකුගේ ජීවිතය අනතුරේ හෙළන හෝ සැහැසියාවට මඟ පාදන තරම් තරඟකාරී ස්වභාවයක් ගන්නවා. තවත් ඒවායින් බොහෝ අනතුරු සිදු වෙනවා. තම ජාතිය පමණක් උසස් කියා සිතමින් ඉතා කලහකාරී ලෙස ජයග්‍රහණය සමරන ක්‍රීඩාද තිබෙනවා. ඔබ ආශා කරන ක්‍රීඩාවේද එවැනි දේවල් සිදු වෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි නිසාත් අප ප්‍රකාශ කරන සමාදානයේ ශුභාරංචියට නොගැළපෙන නිසාත් එවැනි ක්‍රීඩා නුසුදුසුයි කියා ඔබ තීරණය කළ හැකියි. (යෙසා. 61:1; ගලා. 5:19-21) අනික් අතට විනෝදය සඳහා ඔබ තෝරාගත් ක්‍රීඩාව දෙවිගේ ප්‍රමිතිවලට එකඟ නම් ඉන් ඔබට ප්‍රයෝජනයක් මෙන්ම ප්‍රබෝධයක්ද ලැබිය හැකියි.—ගලා. 5:22, 23; ෆිලිප්පි 4:8 කියවන්න.

කොපමණ කාලයක් වැය කරනවාද?

9. විනෝද වීම සඳහා කොපමණ කාලයක් වැය කරනවාද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

9 අප විනෝද වන්නේ කුමන අවස්ථාවලද, ඒ සඳහා කොපමණ කාලයක් වැය කරනවාද කියා කල්පනා කිරීම අවශ්‍යයි. ඊට අප දෙන පිළිතුරෙන් අප ජීවිතයේ මුල් තැන දෙන්නේ කුමකටද කියා පැහැදිලි වෙනවා. අපේ ජීවිතයේ විනෝදාස්වාදයට දිය යුතු තැන කුමක්ද කියා තීරණය කරන්නේ කොහොමද?

10, 11. විනෝදාස්වාදයට කොපමණ කාලයක් වැය කළ යුතුද යන්න තීරණය කිරීමේදී මතෙව් 6:33 උපකාරවත් වන්නේ කොහොමද?

10 යේසුස් තම අනුගාමිකයන්ට මෙවැනි දෙයක් පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30) අපේ ජීවිතයේ වැදගත්ම දේ ලෙස අප සලකන්නේ දෙවිට ප්‍රේම කිරීම නම් යේසුස් දුන් මෙම ආඥාවට අප කීකරු වෙනවා. “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.” (මතෙ. 6:33) විනෝදාස්වාදයට දිය යුතු තැන සහ ඊට කොපමණ කාලයක් වැය කළ යුතුද යන්න තීරණය කිරීමට යේසුස්ගේ එම වදන් අපට උපකාරවත් වෙනවා.

11 ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියා පැවසූ විට යේසුස් ඉන් අදහස් කළේ ජීවිතයේ අනිකුත් සියලුම වගකීම් පැහැරහරින්න කියා නොවෙයි. කෑමබීම, ඇඳුම්පැළඳුම්, ඉඳුම්හිටුම්, මූලික අධ්‍යාපනය හා විනෝදය වැනි දේවලටද අප යම් කාලයක් වෙන් කිරීම අවශ්‍යයි. නමුත් ඒවා අපේ ජීවිතයේ මුල් තැන නොගත යුතුයි. (1 කොරි. 7:29-31) අපේ ජීවිතයේ මුල් තැන ගත යුතු දේ අප අවබෝධ කරගන්නා විට විනෝදය සහ අනිකුත් සියලුම ක්‍රියාකාරකම්වලට හිමි වන්නේ දෙවෙනි තැනයි. අප එසේ කරනවා නම් අප විනෝද වන විටත් ඉන් අපට ප්‍රයෝජන ගත හැකියි.

12. විනෝද වීම ගැන තීරණ ගැනීමේදී ලූක් 14:28හි ඇති ප්‍රතිපත්තිය අපට උපකාරවත් වන්නේ කොහොමද?

12 යමක් මිල දී ගැනීමේදී මුදලක් වැය වෙනවා හා සමානව විනෝද වීම සඳහාද අපට කාලය වැය කිරීමට සිදු වෙනවා. ඒ නිසා විනෝදය සඳහා දෙයක් තෝරාගැනීමට පෙර ඊට කොතරම් කාලයක් වැය වෙනවාද කියා හොඳින් සිතා බැලිය යුතුයි. (ලූක් 14:28) ජීවිතයේ වැදගත්ම දේවල් වන පෞද්ගලික අධ්‍යයනය, පවුලේ නමස්කාරය, රැස්වීම්වලට සහභාගි වීම හෝ දේවසේවයේ හවුල් වීම වැනි දේවලට කාලය ඉතුරු නොවන තරමටම විනෝද වීමෙන් වැළකී සිටිය යුතුයි. (මාක් 8:36) නමුත් විනෝද වීම සඳහා කරන දෙයින් දෙවිට දිගටම සේවය කිරීම සඳහා අපට ප්‍රබෝධයක් ලැබෙනවා නම් විනෝද වීම සඳහා යම් කාලයක් යෙදවීම සුදුසු බව තීරණය කළ හැකියි.

කවුරුන් සමඟද?

13. විනෝද වීමට හවුල් කරගන්නා අය ගැන කල්පනාකාරී විය යුත්තේ ඇයි?

13 මම විනෝද වන්නේ කා සමඟද? අප ගන්නා තීරණවලට අප ඇසුරු කරන අය විශාල බලපෑමක් ඇති කරනවා. මේ ගැන සිතන්න. අන් අය සමඟ ආහාර වේලක් ගැනීමෙන් අප විශාල සතුටක් භුක්ති විඳිනවා. ඒ හා සමානව අන් අය සමඟ විනෝද වීමෙන් අපට සතුටක් ලැබිය හැකියි. නමුත් හොඳ මිත්‍රයන් සමඟ විනෝද වීමෙන් ඊටත් වඩා සතුටක් ලබන්න පුළුවන්. අප සෑමදෙනාම විශේෂයෙන්ම යෞවනයන් විනෝද වීම සඳහා අන් අයව හවුල් කරගැනීමට උනන්දුවක් දක්වන්නේ ඇයි කියා අපට තේරුම්ගත හැකියි. කෙසේවෙතත් ප්‍රයෝජනයක් ලැබීමට නම් විනෝද වීමට හවුල් කරගන්නේ කාවද කියා අප මුලින්ම තේරීමක් කළ යුතුයි.—2 ලේක. 19:2; හිතෝපදේශ 13:20 කියවන්න; යාකො. 4:4.

14, 15. (අ) හොඳ මිත්‍රයෙකු තෝරාගැනීමේදී යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ආ) මිත්‍රයෙකුව තෝරාගැනීමේදී සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

14 හොඳ මිතුරන් තෝරාගැනීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්. ඔහු සෑම කෙනෙකුටම ප්‍රේම කළා. (හිතෝ. 8:31) ඔහු අන් අයට ප්‍රේම කළා වගේම ඔවුන්ට ගෞරව කළා. (මතෙ. 15:29-37) යේසුස් සියලුදෙනා සමඟ මිත්‍රශීලීව කටයුතු කළත් ඒ සෑමදෙනාවම කිට්ටු මිතුරන් කරගත්තේ නැහැ. ඔහු තම කිට්ටු මිතුරන්ව තෝරාගත් ආකාරය ගැන ඔහු තම මුල්ම අනුගාමිකයන්ට පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් ලෙසයි.” (යොහ. 15:14; 13:27, 30ද බලන්න.) යේසුස්ගේ කිට්ටු මිත්‍රයන් වුණේ ඔහුව අනුගමනය කළ සහ දෙවිට සේවය කළ අය පමණයි.

15 ඔබත් කිට්ටුවෙන් ඇසුරු කිරීමට මිත්‍රයෙකු තෝරාගන්නා විට යේසුස් පැවසූ වචන මතක තබාගැනීම සුදුසුයි. මේ ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න. ඔහු කරන කියන දේවලින් ඔහු යෙහෝවා දෙවි සහ යේසුස් දුන් ආඥා පිළිපදින බව දකින්න ලැබෙනවාද? ඔහු යහපතට ප්‍රේම කර නපුරට ද්වේෂ කරන කෙනෙක්ද? දේවරාජ්‍යයට මුල් තැන දීමටත් දෙවිට විශ්වාසවන්තව සිටීමටත් ඔහු මට උපකාර කරයිද? එම ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නේ ඔව් කියා නම් විනෝද වීමට ඔබ තෝරාගෙන තිබෙන්නේ හොඳ මිත්‍රයෙකු බව නිසැකයි.—ගීතාවලිය 119:63 කියවන්න; 2 කොරි. 6:14; 2 තිමෝ. 2:22.

තේරීම නිවැරදිද?

16. අප කල්පනා කර බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

16 අප විනෝද වීමට පෙර ඊට ඇතුළත් වන්නේ කුමක්ද, ඒ සඳහා කොපමණ කාලයක් වැය වෙනවාද සහ ඊට හවුල් කරගන්නේ කවුරුන්වද යන්න ගැන සලකා බැලුවා. අප විනෝදය සඳහා කරන දේවලින් ප්‍රයෝජන ලැබීමට නම් ඒවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟ විය යුතු බවත් අප දැනගත්තා. අප තෝරාගෙන තිබෙන දේවලට ඇතුළත් වන්නේ මොනවාද කියා කල්පනා කිරීමේදී මේ ගැන සිතා බලන්න. එය යෙහෝවා දෙවි අනුමත කරනවාද නැත්නම් ඊට සැහැසියාව හෝ දුරාචාරය ඇතුළත් වෙනවාද? (හිතෝ. 4:20-27) විනෝදයට යොදවන කාලය සම්බන්ධයෙන් මේ ගැන කල්පනා කර බලන්න. ඒ සඳහා මම කොපමණ කාලයක් වැය කරනවාද? ඒ සඳහා යොදවන කාලය වටිනවාද? (1 තිමෝ. 4:8) විනෝද වීම සඳහා අප හවුල් කරගන්නා අය ගැන මෙසේ සිතා බලන්න. මම හවුල් කරගන්නේ කාවද? ඔවුන් හොඳ ආශ්‍රිතයන්ද නැද්ද?—දේශ. 9:18; 1 කොරි. 15:33.

17, 18. (අ) විනෝදයට කරන දේවල් දෙවිගේ ප්‍රමිතිවලට එකඟද කියා සොයා බලන්න අපට පුළුවන් කොහොමද? (ආ) ඒ සම්බන්ධයෙන් ඔබ ගන්නේ මොන වගේ තීරණයක්ද?

17 අප මෙතෙක් සාකච්ඡා කළ ප්‍රශ්න තුනට ලැබුණු එක පිළිතුරක් හෝ දෙවිගේ ප්‍රමිතිවලට පටහැනි නම් ඉන් පැහැදිලි වන්නේ ඒවායෙහි යම් වෙනසක් කළ යුතු බවයි. නමුත් ඒවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟ නම් ඉන් පැහැදිලි වන්නේ ඒවා අපට ප්‍රයෝජනවත් මෙන්ම එයින් දෙවි අසතුටු නොවන බවයි.—ගීතා. 119:33-35.

18 අප සියලුදෙනාගේ ආශාව විය යුත්තේ බයිබලයේ දී ඇති මෙම උපදෙසට කීකරු වීමයි. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.” (1 කොරි. 10:31) ඒ නිසා විනෝදය සඳහා සුදුසු දෙයක් තෝරාගැනීමටත් ඊට යොදවන කාලය ගැන සැලකිලිමත් වීමටත් සුදුසු මිත්‍රයන් තෝරාගැනීමටත් අපි දැඩි වෑයමක් දරමු!

ඔබට විස්තර කළ හැකිද?

පහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් කොහොමද?

ෆිලිප්පි 4:8

මතෙව් 6:33

හිතෝපදේශ 13:20

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඇතුළත් වන්නේ කුමක්ද?

[10වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කොපමණ කාලයක් වැය කරනවාද?

[12වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කවුරුන් සමඟද?

[10වන පිටුවේ පින්තූරය]

මිතුරන්ව සහ විනෝදයට කරන දේවල් තෝරාගැනීමේදී යේසුස්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?