Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

සූදුවේ නියැලුණු සහ සොරකම් කළ පුද්ගලයෙක් ඔහුගේ ජීවිතය වෙනස් කළේ කෙසේද? ඒ ගැන අපි සොයා බලමු.

‘මම හැම වෙලාවෙම හිතුවේ අශ්ව රේස් ගැන විතරයි.’—රිචඩ් ස්ටුවට්

උපත ලැබූ වසර: 1965

රට: ජැමෙයිකාව

අතීතයේදී: සූදුවේ නියැලුණු දාමරික කෙනෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ ජැමෙයිකාවේ කිංස්ටන් නගරයේයි. ඒක හරිම ජනාකීර්ණ නගරයක්. එහේ ජීවත් වුණු ගොඩක් අයට රැකියා තිබුණේ නැහැ. හැම තැනම අපරාධ සිදු වුණා. විවිධ කල්ලි නිසා මිනිස්සු ජීවත් වුණේ භයෙන්. හැමදාම වගේ වෙඩි හඬ ඇහෙනවා.

මගේ අම්මා මාවයි මගේ මල්ලිවයි නංගිවයි හදා වඩා ගන්න ගොඩක් වෙහෙසුණා. අම්මට ඕන වුණේ අපිට හොඳට උගන්වන්න. ඒත් මම ඉස්කෝලේ යන්න නම් කැමති වුණේ නැහැ. මම හැම වෙලාවෙම හිතුවේ අශ්වයෝ සහ අශ්ව රේස් ගැන විතරයි. මම ඉස්කෝලෙන් කට්ටි පැනලා රේස් බලන්න ගියා. ඒ විතරක් නෙවෙයි මම රේස් දුවන අශ්වයන් පිටෙත් ගිහිල්ලා තියෙනවා.

පස්සේ මම අශ්වයන්ට ඔට්ටු අල්ලන්න පටන්ගත්තා. ඉවක්බවක් නැතුව අනාචාරයේ හැසිරුණා. මරිජුවානාවලටත් ඇබ්බැහි වුණා. මේවා කරන්න සල්ලි ඕනෙ නිසා හොරකම් කරන්නත් පුරුදු වුණා. මං ළඟ තුවක්කුත් තිබුණා. මම ගොඩක් හොරකම්වලට සම්බන්ධ වුණත් මගේ අතින් කිසි කෙනෙකුගේ ජීවිතය නැති නොවුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.

අන්තිමේදී මාව පොලිස්සියට අහු වුණු නිසා මට හිරේ යන්නත් සිද්ධ වුණා. හිරෙන් නිදහස් වුණාට පස්සේ මම කලින්ටත් වඩා දරුණු වුණා. මට අහිංසක පෙනුමක් තිබුණත් මම මට ඕන විදිහට වැඩ කරන, ඉක්මනින් කේන්ති යන දරුණු කෙනෙක්. මම හැම වෙලාවෙම හිතුවේ මං ගැන විතරයි.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම ඒ විදිහට හැසිරෙන කාලයේදී මගේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒත් එක්කම අම්මා එයාගේ ජීවිතයේ වෙනස්කම් කරනවා මම දැක්කා. අම්මගේ ජීවිතය වෙනස් කරගන්න එයාට පුළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න මටත් ඕන වුණා. ඒ නිසා මමත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් අනිත් ආගම්වල ඉගැන්වීම්වලට වඩා වෙනස් කියලත් එයාලගේ හැම ඉගැන්වීමක්ම පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත කියලත් මම දැනගත්තා. ගෙයින් ගෙට ගිහිල්ලා ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙත් ඒ අය විතරයි. (මතෙව් 28:19; ක්‍රියා 20:20) සාක්ෂිකරුවන් අතර තියෙන ප්‍රේමය දැක්කාම සැබෑ ආගම මේක කියලා මට හොඳින්ම තේරුණා.—යොහන් 13:35.

මගේ ජීවිතයේ ලොකු වෙනස්කම් කරන්න ඕනේ කියලා බයිබලය ඉගෙනගනිද්දී මට තේරුණා. යෙහෝවා දෙවි වේශ්‍යාකම පිළිකුල් කරනවා කියලත් දෙවිගේ අනුමැතිය ලබන්න නම් මම ඒ පුරුද්ද නැති කරගන්න ඕනේ කියලත් මම ඉගෙනගත්තා. (2 කොරින්ති 7:1; හෙබ්‍රෙව් 13:4) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවිට හැඟීම් තියෙනවා කියලත් මම හැසිරෙන විදිහෙන් දෙවිව සතුටු කරන්න නැත්නම් දුකට පත් කරන්න පුළුවන් කියලත් මම ඉගෙනගත්තා. ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. (හිතෝපදේශ 27:11) ඒ නිසා මරිජුවානා බොන එක නවත්තලා තුවක්කු අයින් කරලා මගේ හැසිරීම වෙනස් කරගන්න මම අධිෂ්ඨාන කරගත්තා. නමුත් මම ගත කරමින් හිටිය අනාචාර ජීවිතයත් සූදුවත් අත්හරින්න මට ලෙහෙසි වුණේ නැහැ.

මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්නවා කියලා මගේ යාළුවන් දැනගන්නවාට මම කැමති වුණේ නැහැ. නමුත් මතෙව් 10:33 කියෙව්වට පස්සේ මම ඒ අදහස වෙනස් කරගත්තා. එතැන යේසුස් කියන්නේ “යමෙක් මිනිසුන් ඉදිරියේ මාව ප්‍රතික්ෂේප කරනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව ප්‍රතික්ෂේප කරනවා” කියලයි. මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා මගේ යාළුවන්ට කිව්වා. මං වගේ කෙනෙකුට ක්‍රිස්තියානියෙක් වෙන්න ඕනේ කියලා දැනගත්තාම එයාලා පුදුම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරද්දී අම්මා ගොඩක් සතුටු වුණා. මම මොන වගේ කරදරයක පැටලෙයිද කියලා අම්මා තවත් වධ වුණේ නැහැ. කලින් නම් අම්මයි මායි කතා කළේ මගේ ප්‍රශ්න ගැන විතරයි. ඒත් මම බයිබලය ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ අපි කතා කළේ යෙහෝවා දෙවි අපිට මොන තරම් ප්‍රේම කරනවාද කියලයි. කලින් ගත කරපු ජීවිතය එක්ක බලද්දී දෙවිගේ උපකාරය ඇතුව මගේ ජීවිතය මෙතරම් වෙනස් කරන්න පුළුවන් වුණ එක ගැන මට පුදුමත් හිතෙනවා. කලින් ගත කළා වගේ කිසිම බරක්පතළක් නැති අනාචාර ජීවිතයක් ගත කරන්න මට දැන් කිසිම උවමනාවක් නැහැ.

මම බයිබලය ගැන ඉගෙනගත්තේ නැත්නම් මේ වෙද්දී මම හිරේ, එහෙමත් නැත්නම් මැරිලා. නමුත් දැන් මම සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරනවා. මගේ බිරිඳයි දුවයි එක්ක සන්තෝෂයෙන් දෙවිට සේවය කරනවා. ප්‍රේමණීය සහෝදර කැලක සාමාජිකයෙක් වෙන්න අවස්ථාව දුන්නට මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. කෙනෙක් ඇවිල්ලා මට බයිබලය ගැන උගන්වපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අනිත් අයට බයිබලය ගැන කියල දෙන්න දැන් මටත් අවස්ථාව තියෙනවා. යෙහෝවා දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මට අවස්ථාව දුන්නට මම අනේක වාරයක් දෙවිට ස්තුතිවන්ත වෙනවා.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවිට හැඟීම් තියෙනවා කියලත් මම හැසිරෙන විදිහෙන් දෙවිව සතුටු කරන්න නැත්නම් දුකට පත් කරන්න පුළුවන් කියලත් මම ඉගෙනගත්තා”

[11වන පිටුවේ පින්තූරය]

මගේ අම්මා බයිබලය ගැන ඉගෙනගනිද්දී එයාගේ ජීවිතය වෙනස් කරගත්තා

[11වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ සහ දුව සමඟ